කාර්මික ඝාතන වලට එරෙහි සසප සහ වකක්‍රික උද්ඝෝෂනය

“පුතාට මොකද වුනේ කියලා මට දැනගන්න ඕනෙ” කිරිපෝරුව කම්හලේ පිපිරුමකින් මියගිය තරුනයාගේ මව ප්‍රශ්න කරයි

නොවැම්බර් 02 වැනි දා, යටියන්තොට, කිරිපෝරුව වත්තේ රබර් කිරි සැකසුම් කම්හලේ ඇති වූ පිපිරීමකින් කර්මාන්ත ශාලාවේ සේවය කල රජිනිකාන්ත එතැනම මියගිය අතර තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ. නිසි ආරක්ෂක පියවර සහ නඩත්තු නොමැති පැරනි යන්ත්‍රයක රජිනිකාන්ත සේවයේ යොදවා වතු පරිපාලනය සිදු කල අපරාධය සම්බන්ධයෙන් ප්‍රදේශයේ කම්කරු පීඩිතයන්ගේ වෛරය ඉහවහා ගොස් ඇත. වහාම නිසි පරීක්ෂනයක් සිදු කොට, ආරක්ෂාව තහවුරු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. 

කෙසේ නමුත්, අපරාධය යට ගසමින්, කම්හල යලි විවෘත කොට සුපුරුදු සූරා කෑම දිගටම පවත්වා ගෙන යෑමට පරිපාලනය සූදානම් වෙයි.

කිරිපෝරුව වත්තේ රබර් කිරි සැකසුම් කම්හල

නොවැම්බර් 16 වැනි දා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් කිරිපෝරුව වත්තේ කම්කරුවන් යලි හමු වූහ. වාර්තාකරුවෝ “එක් සතියක් තුල ශ්‍රී ලංකාවේ කම්කරුවන් දෙදෙනෙක් කාර්මික අනතුරුවලින් මිය යති” යන හිසින් ලෝසවෙඅ හි පලකල ලිපියේ සිංහල දෙමල භාෂා පිටපත්, පේලි නිවාස (ලයින් කාමර) වලට ගොස්, බෙදා හරිමින් එහි අන්තර්ගතය  සාකච්ඡා කලහ.

රජිනිකාන්ත ගේ මරනය ගැන ද, එය සිදු වී යන්තම් දින තුනකට පසු (නොවැම්බර් 05 දා), මස්කෙලිය තේ කම්හලක දලු අඹරන යන්ත්‍රයකට හසු වීමෙන් සිදු වූ කම්කරු මරනය ගැන ද ලිපියෙන් සවිස්තරාත්මක ව පැහැදිලි කෙරුනි.  

මියගිය තරුනයාගේ මව වන මුත්තුකුමාර් සුබලක්ෂ්මී ලෝසවෙඅ වාර්තාකරුවන් සමග කතාබහට යොමුවූයේ තවමත් වියැකී නොගිය කඳුලින් යුතුව ය. ඇය පවසා සිටියේ තම පුතා “ඉතා වෙහෙස වී” වැඩකල, වත්තේ “කම්කරුවන්ට සහ කම්හලට හිතවත්ව” රැකියාවේ යෙදුනු තරුනයෙකු බවයි. 

“අපිව බලාගන්න හිටිය පුතා අපිට නැති වුනා මොකක්ද සිදු වුනේ කියල ෆැක්ටරිය කියන්නේ නැහැ. ආන්ඩුව නඩුවක් දාලා තිබෙනවා. ඒ ගැන අපට තේරුමක් නැහැ. පිලිගත හැකි පරීක්ෂනයකින් තොරව නැවත ෆැක්ටරිය වැඩ ආරම්භ කරන්න සූදානම් වෙනවා. මිනිස්සු ෆැක්ටරියේ වැඩට යෑම ප්‍රතික්ෂේප කරනවා. එහි ආරක්ෂාව මදි. ඒ වගේම මගේ පුතාට වෙච්ච අපරාධ නිසා ඒ අය කේන්තියෙන් ඉන්නෙ” යැයි ඇය කීවා ය.

කම්හල් කලමනාකරු, රජිනිකාන්ත ගේ මරනයට වන්දි ලබා දෙන බවට වාචිකව සහතික වූ බවත්, අනෙකුත් කම්කරුවන්  වැඩට යාමට උනන්දු කරන ලෙස ඉල්ලා සිටි බවත්, ලක්ෂ්මී පැවසුවාය. “දැනටමත් ෆැක්ටරියේ වැඩ කොටසක් ආරම්භ කෙරිලා තියෙන්නේ. දවස් තුනයි හරියට වැඩ නැතුව හිටියේ. මට ඕනේ මගේ පුතාට මොකද උනේ කියල දැනගන්න.”

මියගිය තරුනයාගේ සහෝදරිය මෙසේ පැවසුවාය: “යන්ත්‍රය විනාශ වුනේ මොකද කියලා හරියට හොයලා බලන්න ඕනේ. මේ වගේ විනාශයක් ආයෙත් නොවෙන්න නම් එහෙම කරන්න ඕනෙ. අපට දැන් මල්ලි නැහැ. ඒ වෙනුවට ඔවුන් වෙනත් අය මේ වැඩේට යොදා ගනීවි. ඔවුන්ට ලැබෙන්නේ කුමන ආරක්ෂාවක් ද?” 

යන්ත්‍ර ක්‍රියා කරවීමට පෙර සුදුසුකම් සහිත යාන්ත්‍රික ශිල්පියෙකු විසින් පරීක්ෂා කිරීම අවශ්‍ය බව ඇය අවධාරනය කලාය. “කම්හල, මල්ලි ඇතුලු කම්කරුවන්ගෙ ආරක්ෂාව නොතකා ලාභය වැඩි කරගන්න ගිය නිසා මේ අපරාධය සිදු වුනා,” යැයි ඇය එකතු කලා ය.

රජිනිකාන්තගේ මව, සහෝදරිය සහ පියා

රජිනිකාන්තගේ මාමා කෙනෙකු වන කේ.විජය කුමාර් මෙසේ පැවසී ය. “මීට කලිනුත් මේ වගේ අනතුරු සිදු වෙලා තියෙනවා. වත්තෙ ගහක් ලැයිම් කාමරයකට කඩාගෙන වැටිලා එක් කෙනෙක්  මැරුනා. ගෙදර අයට වෙන තැනක ගෙයක් දීපු එකයි කලේ. වෙනත් යැපීමේ ආධාරයක් ඔවුන්ට ලබා දුන්නේ නැහැ. මේ මරනයට අත් වෙන්නේත් ඒ ටිකමයි. ඔවුන් හිමිහිට මේක යට ගහනවා. මැෂිම ආරක්ෂක වැටකින් වට කරලා තිබුනා නම් මෙහෙම වෙන්නේ නැහැ. දැන් ආරක්ෂාව යොදනවා කියලා කියනව, ඒ නැවත ෆැක්ටරියෙ වැඩ ආරම්භ කරන්න කම්කරුවෝ ගෙන්න ගන්න. ඔවුන්ගේ ආරක්ෂක විධික්‍රම ගැන කිසි විශ්වාසයක් තියන්න බැහැ.”

මෙය විශාල අපරාධයක් බවත්, යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පෙර එය පරීක්ෂා කල යුතුව තිබු බවත්, වතු පාලනාධිකාරිය මේ අපරාධයට වගකිව යුතු බවත් පැවසූ ඔහු, එවැනි ආරක්ෂක ක්‍රියා නොසලකා කටයුතු කිරීම ගැන තම කෝපය ප්‍රකාශ කලේය. වත්තේ පරිපාලනය පිලිබඳව බොහෝ පිරිසක් කලකිරීමට පත්ව සිටින බවත්, තම නිවාස අලුත්වැඩියා කරගැනීමට පවා පරිපාලනයෙන් ලිඛිතව අවසර ලබා ගැනීම වැනි බොහෝ දුෂ්කරතාවන්ට පත්කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

විශ්‍රාමික කම්කරුවකු වන එස්. මයිල්වාහනම් පැවසුවේ “ආරක්ෂාව ගැන නොතකා මිනිස්සුන්ගෙන් වැඩ ගන්න, ෆැක්ටරිය ඔවුන්ට ප්‍රශංසා කරලා ගොනාට අන්දනවා. ජීවත් වෙන්න කීයක් හරි හම්බ කර ගන්න පුලුවන් වෙන්නෙ වත්තෙ වැඩ කලොත් නිසා, ආරක්ෂාව නොතකා කම්කරුවො වැඩට යනවා.”

“අවුරුදු තිහක් හෝ ඊටත් වඩා පැරනි මැෂින් වෙනුවට ආරක්ෂාව වැඩි, දියුනු මැෂින් අවශ්‍ය” බව ඔහු පැවසී ය.  කම්කරුවන් බොහෝ දෙනෙක් වත්තේ වැඩට නොයන්නේ පරිපාලනය “දෙන්නෙකුගේ වැඩ එක්කෙනෙකුගෙන් ගන්න උත්සාහ කරන නිසා” බවත් ඔහු වැඩි දුරටත් පැවසී ය.

“වතු පාලකයෝ හදන්නේ අපිව මේ ඉන්න පුංචි ලයින් කාමර වලිනුත් එලවන්න. අපිට මේ ගෙවල් වල අලුත්වැඩියාවක් කරලා දෙන්නේ නැහැ. කරගන්න දෙන්නෙත් නැහැ. මගේ ගෙදර වහලේ ටකරන් හිල් වෙලා. එහි ජීවත් වෙන්න පුලුවන් කමක් නැහැ. වැසිකිලියක් හදාගන්න බැහැ. මගේ ගෙදර ලඟ අනතුරුදායක සියඹලා ගසක් තිබෙනවා. ඒක කපා ගන්න ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. මේ වැසි සමයේ ගස කඩා වැටුනොත්, විශාල අනතුරක් සිදු වෙනවා,' යැයි පද්මාවතී පැවසුවා ය.

නිවාස අලුත්වැඩියා කිරීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවල වත්තේ වැඩ කරන අයට පමනක් නිවාස අලුත් වැඩියා කර දෙන බවට ව්‍යාජයක් ඉදිරිපත් කරන නමුත් ඔවුන්ගේ කිසිම නිවසක් අලුත්වැඩියා කිරීම අතහැර දමා ඇති බව ඇය සඳහන් කලාය. වත්තේ වැඩ කරපු සහ දැනට වැඩ කරන සියලු කම්කරුවන්ට පිලිවෙලකට ජීවත් වීමට අවශ්‍ය බවත් ඇය සඳහන් කලා ය.

“මේ ගෙවල්වල තිබෙන්නේ එකම කාමරයයි. වැඩිමහල් ගෑනු ලමයෙකුට වෙනම කාමරයක් දෙන්න විදිහක් නැහැ. වැඩිහිටි ගැහැනු ලමයි පිරිමි ලමයි එකම කාමරයක බුදිය ගන්න වෙලා තිබෙනවා. අපි සම්ප්‍රදායන් නොදන්නවා නොවේ. වතු පාලකයෝ කෝටි ගනන් ලාභ ලබද්දී අපට අපව සත්තු වගේ හිර කරලා තියෙන්නේ. වැසි දවස් වලට ෆැක්ටරියේ අපජලය ගඟට දානවා. එහෙම නැති දවස්වල පාරවල් දිගේ හලනවා. වටේටම දුර්ගන්ධයක් පැතිරෙනවා. මේවායින් මිනිස් සිරුරට ඇතිවන හානිය කොපමනදැයි අපි දන්නේ නැහැ” යැයි ඇය පැවසුවේ කෝපය මුසු කනගාටුවෙනි.

සාකච්චාවට එක්වූ කම්කරු කාන්තාවක් කියා සිටියේ, වෘත්තීය සමිති කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ නොකරන බව මෙම සිද්ධියෙන් පැහැදිලි වන බව යි. ඔවුන් සම්බන්ධ ලංකා කම්කරු කොන්ග්‍රසයේ (සීඩබ්ලිව්සී) සමිති නායකයෙකු තවම “පැත්ත පලාතේ පැමින” නැත. වෘත්තීය සමිතියට තමන් මුහුන දෙන ප්‍රශ්න ඉදිරිපත් කලහොත් වෘත්තීය සමිති නායකයා එය වත්තේ ඉහල නිලධාරීන්ට වාර්තා කරන බවත්, කම්කරුවන්ට එහි ප්‍රතිවිපාක විඳින්නට සිදුවන බවත් ඇය සඳහන් කලා ය. 

“ෆැක්ටරියේ මැෂිම පුපුරා යාමෙන් අත තුවාල වුනේ මගේ ඥාතියෙකුග. එයාගෙ වම් අතේ ඇඟිලි තුනක් වැඩ කරන්නේ නැහැ. කම්හල තුල විතරක් නෙවෙයි. ජීවිතයේ සෑම තැනක ම අපට ආරක්ෂාව අහිමි කරලා තියෙනවා. ලමයි පාසල් යන්න ඕනෙ මෙතන ඉඳලා කිලෝමීටර් තුනක් ඈතින් තිබෙන කැලනිවැලි වත්තට. දුෂ්කර මාර්ගයක් දිගේ ලමයින්ට තනියම යන්න බැහැ. ඔවුන්ගේ තනියට දෙමව්පියෙක් ගියොත් එදාට ඔවුන්ට රැකියාව කරන්න වෙන්නෙ නෑ. ත්‍රී රෝද රථයක ගියොත් රුපියල් දාහක විතර ගාස්තුවක් අය කරනවා. අපේ වැටුපෙන් එවැනි මුදලක් දරන්න අමාරුයි. කොම්පැනිය මේ වත්තෙන් සහ ෆැක්ටරියෙන් විශාල ලාභයක් ලබනවා. හැබැයි අපට කියන්නේ නිතරම පාඩුයි කියලා” යැයි ඇය සඳහන් කලා ය. 

කම්කරු කාන්තාවක වන අංගමුත්තු ජයකොඩි සඳහන් කලේ වසරකට ඉහත කම්හලේ ටැංකි වලට ඇමෝනියා එකතු කිරීමේ දී එම රසායනික මුහුනට විසිවීමෙන් තම සැමියාගේ ඇස් දෙකම අන්ධභාවයට පත් වූ බවයි. තම පවුලට කිසියම් ජීවනාධාරයක් නොලැබීමෙන් තමා ඉතාම අසරන වී සිටින බව ඇය ඉතාම දුක්ඛිතව සඳහන් කලා ය. දින දහයක් පමන  රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට සිදු වූ නමුත් ඒ වියදම් පවා සමාගම ලබා නොදුන් බවත් ආරක්ෂක උපකරන ලබාදුන්නේ නම් මෙවැනි දෙයක් සිදුනොවන බවත් ඇය පැවසුවා ය. කම්කරුවන් ආරක්ෂා කිරීමට සංවිධානයක් අවශ්‍ය යැයි ඇය තවදුරටත් සඳහන් කලා ය.

තරුන ජීවිතයක් විනාශ කර දැමීම පිලිබඳව කෝපයට පත් වී සිටි  විශ්‍රාමික වතු කම්කරුවෙකු තමා සත්‍ය පැවසීමට තීන්දු කල බව පවසමින් අප සමග කතාබහට එකතුවිය. මීට අවුරුදු හතකට පෙර කම්හලේ රැකියාවෙන් ඉවත් වූ බවත්, එහි ඇති  යන්ත්‍ර දශක තුනක් පමන පැරනි බවත් ඔහු පැවසී ය. ඔහුට අනුව, මෙම මරනයට පෙර, රබර් කිරි සහිත ටැංකියකට ඇද වැටීමෙන් තවත් මරනයක් සිදුව ඇත. පරිපාලනය, නිසි පරීක්ෂනයක් පවා සිදු නොකොට, එය බීමතින් සිටීම නිසා සිදුවූ මරනයක් බව තීරනය කොට ඇත. මේ මරනයටත් එවැනිම ඉරනමක් අත්විය හැකි බව ඔහු පැවසී ය. 

“මැෂිම හරියට ක්‍රියා කරනවද කියලා දැනගන්න පුලුවන් සද්දෙන් තමයි. එවිට අපි යන්ත්‍රය නතර කරලා දෝෂය නැවත සකස් කරනවා. මෙහි වැරදි කම්පනයක් සිදුවනවිට එය හඳුනා ගැනීමට තාක්ෂනිකව ඉහල සංවේදක  සවි කර නැහැ. මැෂිමේ තත්ත්වය පිරික්සන්න බාස් කෙනෙක් ඉන්නවා ඔහු පවා ෆැක්ටරියේ වැඩ කරලා අත්දැකීම් ඇති කෙනෙක් මිසක් නිසි කාර්මික අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නෙවෙයි.”

ඔහු රැකියාව කල සමයේ කම්හල තුල කම්කරුවන් 65 ක් පමන සේවයේ යෙදී සිටි නමුත් වර්තමානයේ එම සංඛ්‍යාව 20-25 ත් අතර ප්‍රමානයකට අඩු කර ඇත. එසේ වුවද, කම්කරුවන් “මරවා වැඩ ගැනීමෙන්” නිෂ්පාදනය වැඩි වී ඇති බව ඔහු පැවසී ය. “ආරක්ෂාව ගැන නොතැකීම කොතරම් ද කියනවා නම්, පුද්ගලික ආරක්ෂක උපකරන (හෙල්මට් බූට්ස් ග්ලවුස්) ලබාදෙන්නේ රජයේ නිලධාරීන් පරීක්ෂාවට එන අවස්ථාවල විතරයි. ඔවුන් ගිය පසු ඒවා නැවත කාර්යාලයට ලබාගන්නවා” යැයි ඔහු පැවසී ය. උපකරන ආපසු ගන්නේ, ඒවා පැලඳ වැඩකලොත් කාර්යක්ෂමතාව අඩු වෙන බැවිනි. “ආරක්ෂක උපකරන පලඳින්නේ පැය භාගයක් විතරයි, එහෙමයි ආරක්ෂාවේ හැටි” යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

“කම්හලේ භාවිතා කරන රසායනික ද්‍රව්‍ය ඉතා හානිකරයි. ඇමෝනියා ආඝ්‍රානය  වුනොත් නහයෙන් ලේ ගලනවා හුස්ම ගන්න අමාරුයි. ඒ වගේම යොදා ගන්නා ඇසිඩ් ඉතාම හානිකරයි. වරක් එවැනි බෝතලයක් බිඳිලා වරාවල පාලම ගාවට වෙනකං ගගේ මාලු මැරුනා. මේ රසායනික නිසා ඇස් පෙනීම අඩු වෙනවා. මට කන්නාඩි හතරක් ගන්න සිද්ධ වුනා. මෙයින් තේරෙනවා. මෙහි වැඩ කිරීම කොතරම් අනතුරුදායක ද කියන එක.”

“මැෂිම ක්‍රියාත්මක කරලා නිසි වේගෙට එන්න විනාඩි පහලොවක් විතර ගත වෙනවා. ඉන්පසු රත් වෙලා තිබෙන ඇතුලත කොටස් වතුර යවලා සිසිල් කරනවා. ඉන් පස්සේ තමයි රබර් කිරි යන්ත්‍රයට ඇතුල් කරන්නේ. ලේටෙක්ස්  සහ අපජලය කේන්ද්‍රාප්‍රසාරනයේ දී වෙන් වෙනවා. ඉන්පසු ඒවා වෙන ම ටැංකි වලට එකතු කරනවා. අප ජලයට ඇසිඩ් දමලා එහි  ඉතුරු වී ඇති රබර් ටිකත් එකතු කරගන්නවා.”

පෙර දී අප ජලය පරිසරයට මුදා හැරියේ පිරිසිදු කිරීමෙන් පසුව බවත්, ඒ සඳහා ජෛව ප්‍රතිකාරක යොදා ගත් බවත් ඔහු පැවසී ය. “දැන් මේවා සිදුවෙන්නේ නැහැ. කෙලින්ම පරිසරයට මුදා හරිනවා. හරියට නම් මෙවැනි ක්‍රියාවලියකට සම්බන්ධ වෙන අය ඒ වැඩේට යොදාගන්න ඕන, අවුරුදු පහක් වගේ කෙටි කාලයක්. නමුත් දැන් මිනිහෙක් මැරෙනකම් වැඩ ගන්නවා.”

මාඋස්සාකැලේ තේ කම්හලේ විජයකුමාර්ගේ මරනය ගැන තමා සමාජ මාධ්‍ය ඔස්සේ දැනගත් බවත් ඔහුගේ මරනය සම්බන්ධයෙන් සමාජවාදී සමානතා පක්ෂය සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව ගෙනයන උද්ඝෝෂනය සහ එහි කොටසක් ලෙස නොවැම්බර් 30 දා මස්කෙලියේදී පැවැත්වෙන රැස්වීම ඔහු අගය කලේ ය. 

කම්කරුවන්ගේ ආරක්ෂාව ඇතුලු අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට අව්‍යාජ සංවිධානයක් ගොඩනැගීමට මෙම රැස්වීම ඉතාම වැදගත් බවත් එයට සහභාගි වීමට උත්සාහ කරන බවත් පැවසූ ඔහු, කිරිපෝරුව වත්තේ රජිනිකාන්තගේ මරනය සම්බන්ධයෙන් එවැනි රැස්වීමක් පැවැත්වීමට, මියගිය තරුනයාගේ පවුලේ අය සමඟ සාකච්ඡා කර දැනුම් දීමට බලාපොරොත්තු වන බව අවසාන වශයෙන් සඳහන් කලේ ය.

කිරිපෝරුව වත්ත සහ එහි පිහිටි රබර් කිරි සැකසුම් කම්හල පාලනය කරන හේලිස් සංගතය සහ එහි පරිපාලකයන් වන බිලියනපති ධම්මික පෙරේරා වැනි ධනපතියන්, කම්කරුවන්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව නොතකා ලාභ ගැරීම සම්බන්ධයෙන් කුප්‍රකට ය. 2013 වසරේ දී ගම්පහ, වැලිවේරියේ පිහිටි රබර් අත්වැසුම් නිෂ්පාදනය කරන වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම පරිසරයට මුදාහල අපජලය නිසා පීඩාවට පත් ප්‍රදේශයේ මහජනතාව එයට විරෝධය පලකරමින් උද්ඝෝෂනවල යෙදී ගත්හ. රතුපස්වල උද්ඝෝෂකයන්ට හමුදාව කල වෙඩි තැබීමෙන් තරුනයන් දෙදෙනෙක් මරනයට පත් වූහ. 

බලයට පැමිනෙන සෑම ආන්ඩුවක්ම ලබාදෙන සහයෝගයෙන්, හේලීස් ඇතුලු සමාගම් මෙම අපරාධකාරී පිලිවෙත් තීව්‍ර කර ඉදිරියටම ගෙන යමින් ලාභ තහවුරු කිරීමේ යෙදී සිටියි.

Loading