“ෆැක්ටරියෙ දි, වත්තෙ දි, ලැයිමෙ දි, මේ හැමවිටදි ම අපේ ජීවිත අනතුරේ”: මාඋස්සාකැලේ වතු කම්කරුවෙක්

නොවැම්බර් 05 දා, මස්කෙලිය, මාඋස්සාකැලේ වතුයායේ පිහිටි තේ කම්හලේ දලු අඹරන යන්ත්‍රයක සේවයේ නියුතුව සිටි කේ.විජයකුමාර්, හදිසියේ එම යන්ත්‍රයට හිස අසු වීමෙන් මිය ගියේ ය. ඔහු මියගියේ අදාල අත්‍යවශ්‍ය ආරක්ෂක කොටස් යන්ත්‍රයේ නොතිබීමෙන් බව හාත්පසින්ම අනාවරනය වෙමින් පවතී.

මාඋස්සාකැලේ වතුයායේ තේ කම්හල [Photo: https://www.jedb.lk/]

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංගත සමූහයක් වන රිචඩ් පීරිස් සමාගම (ආර්පිකෝ) විසින් පාලනය කෙරෙන මස්කෙලිය වතු සමාගමට, මාඋස්සාකැලේ වතුයාය සහ තේ කම්හල අයත් වේ. හෙක්ටෙයාර 268 ක් පුරා විහිදෙන වතු යාය කොට්ඨාස කීපයකින් සමන්විත වන අතර, විජයකුමාර් පදිංචිව සිටියේ මාඋස්සාකැලේ කොට්ඨාසයේ ය.

නොවැම්බර් 08 දා පැවති විජයකුමාර්ගේ අවමගුලට සහභාගි වනු වස්, එදින පෙරවරුවේ, කොලඹ සිට නෝර්ටන් බ්‍රිජ් හරහා මස්කෙලිය දක්වා ගමන් කරමින් සිටි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට, මාඋස්සාකැලේ වතුයායේ විවිධ කොට්ඨාසවල සහ වෙනත් වතුවල කම්කරුවන්, තම සහෝදර කම්කරුවාට අවසන් බුහුමන් දැක්වීමට කන්ඩායම් ලෙසින් යන අයුරු දැක ගත හැකි විය.

විජයකුමාර්ගේ දේහය තැන්පත් කොට තිබූ පේලි නිවාසය (ලයින් කාමරය) අසල දී සහ භූමදානය සිදු කෙරුනු, නිවසේ සිට කිලෝමීටරයක් පමන දුරින් පිහිටි, කම්කරුවන් සඳහා වෙන් කෙරුනු කුඩා සුසාන භූමියේ දී, ලෝසවෙඅ වාර්තාකරුවෝ රැස්ව සිටි කම්කරුවන් සමග විජයකුමාර්ගේ මරනය, ඔවුන් මුහුන දෙන රැකියා සහ ජීවන කොන්දේසි ගැන සාකච්ඡා කලහ.

විජයකුමාර්ගේ අවසන් කටයුතු

සහෝදර කම්කරුවන්ගේ ආදරය සහ ගෞරවය දිනා සිටි විජයකුමාර්ගේ හදිසි වියෝවෙන් ඔවුහු ඉමහත් කම්පාවට පත්ව සිටියහ. එමෙන්ම, නිසි ආරක්ෂක පියවර නොගැනීම හේතුවෙන් තම සගයාගේ ජීවිතය අහිමි වීම සම්බන්ධයෙන්, ඔවුහු වතු කලමනාකාරිත්වය කෙරෙහි බලගතු කෝපයෙන් පසු වූහ.

මාඋස්සාකැලේ වතුයායේ දැනට සේවය කරන වතු කම්කරුවන් ලෝසවෙඅ වාර්තාකරුවන් සමග කල සාකච්ඡාවන්හි දී ඔවුන් පලකල අදහස් පහත දැක්වෙන අතර, කලමනාකාරිත්වයේ දඩයමට ලක්විය හැකි බැවින්, ඔවුනගේ නම් හෙලි නොකෙරේ.

කම්හලේ සේවයේ නියුතු කම්කරුවෙක් මෙසේ පැවසීය: “මැෂිමෙ සේෆ්ටි ගාඩ්ස් (safety guards-ආරක්ෂක ආවරන) තිබුනනම් මේ අපරාධෙ වෙන්නෙ නෑ. ඇත්තටම, ෆැක්ටරියෙ දි, වත්තෙ දි, ලැයිමෙ දි, මේ හැමවිටදිම අපේ ජීවිත අනතුරේ. අපේ ගෑනු අය දලු නෙලන්න ගියාම දෙබරු ඇනල මැරෙනව. නැත්නම් දවස් ගනනක් රෝහල්වල ඉන්න වෙනව. ඒ දවස් වලට පඩිත් නෑ. අපිට මේ තත්වයෙන් ගැලවෙන්න විදියක් අවශ්‍යයි.”

ඔවුන් ජීවත්වන අඩි 10X10 ප්‍රමානයේ පේලි නිවාසයක් පෙන් වූ ඔහු, “මේ ලයිමක් කොච්චර විතර පරන කියලද හිතන්නෙ” යැයි ඇසීය. “මේවා අවුරුදු 100කට වැඩිය පරනයි. මේවයෙ ටකරන් වහලවල් හොඳටම දිරල. වැහි වෙලාවට හැම තැනින්ම තෙමෙනව. ඒ තැන් වලට බේසම්, බාල්දි තියල තමයි, ගේ හැම තැනටම වතුර ගලා යන එක නතර කර ගන්නෙ. වත්ත අයිති සමාගමෙන් නඩත්තු කිසි දෙයක් කරන්නෙ නෑ. අපේ දෙමාපියන්ගෙ කාලෙ ඉඳල හිටල හරි නඩත්තු වැඩ කරාලු.”

එකිනෙකට බද්ධව පිහිටි පේලි නිවාස, විදුලි කාන්දු හේතුවෙන් නිරන්තරව ගිනි ගැනීම් වලට ලක්‌වන බව ද, මෙම වසරේ ජනවාරි 17 දා හටගත් එවන් ගින්නතික් තම නිවාස පේලිය ම ගිනිබත් වූ බව එම කම්කරුවා පැවසී ය. “පවුල් 10 ක ලමයින්ගෙ පොත්පත්, ඇඳුම්, කනකර, ලී බඩු ඇතුලු සියල්ල විනාශ වුනා. රාජ්‍ය නොවන සංවිධානයකින් සහ කතෝලික පූජකවරයෙකුගෙන් තමයි ඒව හදා ගන්න මුදල් ආධාර ලැබුනෙ. වත්තෙන් මොකුත්ම ලැබුනෙ නෑ. ඔවුන්ට අපේ ජීවිත වටින්නෙ නෑ, අපෙන් හැකි තරම් වැඩ ගන්න එක විතරයි පාලකයොන්ට අවශ්‍ය.”

තවත් කම්කරුවෙක් මෙසේ කියා සිටියේ ය: “දෙබරු විතරක් නෙවෙයි, පඳුරු අස්සෙ ඉඳල අපිට කොටියොත් පනිනව. කූඩැල්ලො අපේ ලේ උරා බොන එක සාමාන්‍ය දෙයක් බවට පත්වෙල. වැසි දවස්වලටත් උදේ පාන්දර සීතලේ දලු නෙලන්න යන ගෑනු අය බොහෝ දෙනෙක් ඇදුම වගේ ලෙඩ හැදිල ඉක්මනට ම මැරිල යනව. විජයකුමාර් ගෙ බිරිඳත් ඔච්චර ඉක්මනට මැරුනෙ ඒ නිසා.”

ආසන්නතම රෝහල, කිලෝ මීටර් 10 දුරින් ඇති මස්කෙලිය නගරයේ පිහිටා ඇති අතර, ත්‍රිරෝද රථයකින් එහි ගොස් ආපසු පැමිනීමට රුපියල් 3000 ක් අය කෙරේ. එම ගාස්තුව, ඔවුනගේ දෛනික වැටුප වන රුපියල් 1350 මෙන් දෙගුනයකයත් වඩා වැඩිය.

“රෝගී අපි උදේ පාන්දරින්ම ඉස්පිරිතාලෙට ගිහිල්ල තුන්ඩුවක් අරගෙන පැය ගානක් රස්තියාදු වුනාට පස්සෙ බොහෝ වෙලාවට බෙහෙත් තුන්ඩුව විතරයි ලැබෙන්නෙ. ඉස්පිරිතාලවල දැන් බෙහෙත් නෑ. නේවාසික පහසුකම් නැති නිසා, අපිට අමාරු වුනත් ආපහු ගෙදර එවනව.”

වත්තේ කලින් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සහ මාතෘ නිවාසයක් ඇති නමුත්, කොට්ඨාස දහයක කම්කරු පවුල් සඳහා ඒවා කිසිසේත් ප්‍රමානවත් නොවන බව ද ඔහු පැවසී ය.

මාඋස්සාකැලේ තේ කම්හලේ ඇඹරුම් යන්ත්‍ර ක්‍රියාකරුවෙකුව සිට, දැන් වෙනත් ආයතනයක සූපවේදියෙකු ලෙස සේවය කරන මහාදේවන්, විජයකුමාර්ගේ මරනය සම්බන්ධයෙන් තම සංවේගය පල කරමින් කීවේ, කම්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වෙන ම නිලධාරියෙකු මෙවන් කම්හලක සිටිය යුතු බව යි.

මහදේවන්

“කම්කරුවෙක් වැඩ ආරම්භ කිරීමට පෙර යන්ත්‍රය පරීක්ෂා කල යුතුයි. ඇත්තෙන් ම මේ යන්ත්‍රයට අවුරුදු ගානක් තිස්සේ ආරක්ෂක ආවරන තිබී නැහැ. ඒ විතරක් නෙවෙයි, කම්කරුවන්ගේ ආරක්ෂක ඇඳුම් නිසි පරිදි පරීක්ෂා කල යුතුයි. ඔහුගේ ජැකට්ටුව යන්ත්‍රයට හසු වුනේ එසේ නොකල නිසයි.”

“ඇත්තටම, එවන් අනාරක්ෂිත තත්ත්වයන් ගැන කම්කරුවන් දැනුවත් කිරීමක් කරන්නේ නැහැ. කොහොම වුනත්, මේ මරනයේ මූලික හේතුව වුනේ ආරක්ෂක ආවරන නොතිබුන එක. මේ මරනයට සමාගම සම්පූර්නයෙන් වගකියන්න ඕන.”

කම්හලේ තේ ඇඹරීම රාත්‍රී 10ට ආරම්භ කරන බවත්, අධික වැඩ සහිත දවස්වල දී පසු දින හවස 1.30 වන තෙක් අඛන්ඩ ව වැඩ කිරීමට සිදු වන බවත්, තවත් කම්කරුවෙක් කීවේ ය. අතිරේක පැය ගනන් සඳහා, කම්කරුවන්ට අතිකාල වැටුප් ලැබිය යුතු වුවත්, එය පැයකට හෝ දෙකකට සීමා කර, අතිරේක අතිකාල ගෙවීම් කපා දමනු ලැබේ.

“හවස 1.30 ට ගෙදර ගියත් ව්වේකයක් හෝ නින්දක් ලබා ගන්න විදියක් නෑ. රෙද්දක් සෝද ගන්න, දර ටිකක් එකතු කර ගන්න වගේ වැඩ වල අපි යෙදෙන්න ඕන. ඒ නිසා දැඩ් තෙහෙට්ටුවකින් තමයි ආයෙ රෑට වැඩට යන්නෙ. මැෂිමට සේෆ්ටි කොටස් නැති වුනොත්, නිදිමත සහ තෙහෙට්ටුව නිසා අනතුරු ඇතිවීමේ ඉඩකඩ වැඩියි.”

තම දරුවන්ගේ අධ්‍යාපන වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාසලෙන් කැඳවන අවස්ථාවන්හි දී පවා පැන නගින දුෂ්කරතා තවත් කම්කරුවෙක් පැහැදිලි කලේ මෙසේ ය: “දරුවන්ගෙ අධ්‍යාපනය ගැන කතා කරන්න පංතිභාර ගුරුවරුන් හෝ විදුහල්පති පාසලට එන්න කිවුවත් අපට යන්න විදියක් නෑ. අපිට පඩි සහිත නිවාඩු නැති නිසා, එහෙම ගියොත් අපිට පඩි නෑ. බොහෝ වෙලාවට අපිට තීන්දු කරන්න වෙනව, පාසලට නොගිහින් ඉන්න.”

දෛනික වැටුප රුපියල් 400 කින් වැඩි කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක දුන් පොරොන්දුව ගැන කතා කරමින් ඔහු පැවසුවේ, “දවසකට රුපියල් 5000 ක් හෝ නැතිව ජීවත්වෙන්න බැරි තත්වයකදි රුපියල් 1750 ක් දක්වා පඩි වැඩි කරල ඇති වැඩේ මොකක් ද?”

කනත්ත තුල සාකච්ඡාව කෙරෙමින් පැවතිය දී එතැනට පැමිනි, වත්තේ ලංකා කම්කරු කොංග්‍රස් (සීඩබ්ලිව්සී) නායකයා සාකච්ඡාව කඩාකප්පල් කිරීමට තැත්කල අතර කම්කරුවෝ එය වැලැක්වූහ. “මේ ගොල්ලො තමයි, අපේ හැම සටනක්ම කඩාකප්පල් කරන්නෙ” යැයි කම්කරුවෙක් ඔහුගේ මූනට ම කීවේ ය. “සමිති නායකයො අපේ ආරක්ෂාව සහ අයිතීන් වෙනුවෙන් කිසිම දෙයක් කරන්නෙ නෑ.”

ලාභය උදෙසා ආරක්ෂක පියවරයන් කපා දැමීම හේතුවෙන් හටගත් මෙම මරන, සරල “කාර්මික අනතුරු” නොව ධනවාදය විසින් නිර්මිත මිනීමැරීම් බව ලෝසවෙඅ වාර්තාකරුවෝ කම්කරුවන්ට පැහැදිලි කර දුන්හ.

සෑම කම්හලක, වත්තක හා වැඩපොලක ම කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙසත්, කම්කරුවන්ට සිය ජීවිත ආරක්ෂා කර ගැනීමේ මෙන් ම, රැකියා හා වැටුප් සඳහා සටන එම කමිටු හරහා ඉදිරියට ගෙන යාහැකි බව ද මෙහිදී පෙන්වා දුනි.  

Loading