සමාජවාදී සමානතා පක්ෂය (සසප) වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වකක්‍රික), මස්කෙලිය, මාඋස්සාකැලේ තේ කර්මාන්තශාලාවේ පසුගිය දා සිදු වූ කාර්මික අනතුරකින් මියගිය ක්‍රිශ්නන් විජයකුමාර් ගේ මරනය ගැන සාකච්ඡා කරන ප්‍රසිද්ධ රැස්වීමක්, නොවැම්බර් 30 දා, මස්කෙලිය නගරයේ දී පවත්වනු ඇත.
දිනය : 2025 නොවැම්බර් 30 ඉරිදා
වේලාව : පස්වරු 2.00 - ප.ව. 5.00
ස්ථානය: මස්කෙලිය අප්කොට් පාරේ පීඑම්ඩී උත්සව ශාලාව
49 හැවිරිදි විජයකුමාර්, 2025 නොවැම්බර් 5 දා, තමා වැඩ කරමින් සිටි දලු ඇඹරුම් යන්ත්‍රයට හසු වීමෙන් ඇති වූ දරුනු තුවාල හේතුවෙන්, එතැන ම මිය ගියේ ය. මරන පරීක්ෂන වාර්තාවට අනුව, ඔහු මිය ගොස් ඇත්තේ, “මොට වූ යමක් තදින් වැදීම” නිසා “බෙල්ල, පපුව සහ දෑත් වලට සිදු වූ තුවාල” හේතුවෙනි.
විජයකුමාර් මෙම මාරාන්තික අනතුරට ලක්වූයේ, ඔහු වැඩ කරමින් සිටි දලු ඇඹරුම් යන්ත්‍රයේ අනිවාර්යයෙන්ම තිබිය යුතු ආරක්ෂක ආවරන (safety guards) නොතිබූ බැවින් බවත්, එම ආවරන තිබුනේ නම් නිසැකවම ඔහුගේ ජීවිතය ආරක්ෂා වන බවත් ඔහුගේ සහෝදර කම්කරුවෝ පවසති.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංගතයක් වන සීමා සහිත රිචඩ් පීරිස් සමාගමට (ආර්පිකෝ) අයත් මස්කෙලිය වැවිලි සමාගම විසින් මාඋස්සාකැලේ තේ කර්මාන්තශාලාව සහ එම වතුයාය පාලනය කරනු ලබන අතර, කම්හල් පරිපාලනය, දිගු කාලයක සිට, මෙම අනාරක්ෂිත යන්ත්‍රය ක්‍රියා කරවීමට විජයකුමාර් ඇතුලු කම්කරුවන් යොදවනු ලැබ ඇත.
ආරක්ෂක ආවරන නොමැතිකම සහ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ යතුරු (switches) වලින් නිරන්තරව විදුලිය කාන්දු වී විදුලිසැර වැදීම ඇතුලු අන්තරායකාරී තත්වයන් ගැන කම්කරුවන් යලි යලිත් පැමිනිලි කල ද කම්හල් පරිපාලනය කවර හෝ පියවරක් ගෙන නොමැත.
මෙලෙස, අත්‍යවශ්‍ය ආරක්ෂක පියවර නොගැනීම හේතුවෙන් සිදුවන කාර්මික අනතුරු සහ මරන සංඛ්‍යාව, ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තරව ද වේගයෙන් වැඩි වෙමින් පවතී. විජයකුමාර්ගේ මරනය එහි මෑත ම සිද්ධියයි.
විජයකුමාර්ගේ මරනය සිදු වීමට දින තුනකට පෙර, නොවැම්බර් 2 දා, යටියන්තොට කිරිපෝරුව වත්ත රබර් සැකසුම් කම්හලේ යන්ත්‍රයක් පුපුරා යාමෙන්, එහි සේවයේ යෙදී සිටි 25-හැවිරිදි අවිවාහක තරුනයෙකු වූ රජිනිකාන්ත මාරාන්තික තුවාල ලබා මිය ගියේ ය. 2025 අගෝස්තු මාසයේ, කොලඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ සහ කොලඹට තදාසන්න සපුගස්කන්ද මාකොල ප්‍රදේශයේ කම්හලක සිදු වූ කාර්මික අනතුරු වලින් කම්කරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මේවා හුදෙක් “කාර්මික මරන” නොවේ; ඒවා ධනපතියන්ගේ ලාභය උදෙසා ආරක්ෂක පියවර කපා දැමීමෙන් සිදු කෙරුනු කාර්මික ඝාතනයන් ය.
සිය ජීවිත ආරක්ෂා කර ගැනීමටත්, රැකියා හා වැටුප් සඳහා සටන ඉදිරියට ගෙන යාමටත්, සෑම කම්හලක, වත්තක හා වැඩපොලක ම, සමාගම්වල මෙවලම් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ, කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස, සසප සහ වකක්‍රික, කම්කරුවන් උනන්දු කරයි.
අනාරක්ෂිත කොන්දේසි යටතේ සිදු කරන නිෂ්පාදන නැවැත්විය යුතු එම කමිටු, සියලු ආරක්ෂක දත්ත හෙලි කරන ලෙසත්, මරනවලට හා තුවාල වීම්වලට වගකිව යුතු සියල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිය යුතු ය.
මෙම අරගලයේ දී කම්කරු පන්තියේ ජාත්‍යන්තර සහෝදරත්වය ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ. ධනවාදයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය තුල, කම්කරුවන් ජාත්‍යන්තර ව බලමුලු ගැන්වීමට, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සටන් කරයි.
ඉහත වැඩපිලිවෙල සාකච්ඡා කරන, මෙම වැදගත් රැස්වීමට සහභාගි වන ලෙස, කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ අවශේෂ පීඩිතයන්ගෙන්, සසප සහ වකක්‍රික ඉල්ලා සිටී.
දිනය : 2025 නොවැම්බර් 30 ඉරිදා
වේලාව : පස්වරු 2.00 - ප.ව. 5.00
ස්ථානය: මස්කෙලිය අප්කොට් පාරේ පීඑම්ඩී උත්සව ශාලාව
