පසුගිය මාසයක කාලය තුල පමනක් රැකියා ස්ථානයේ අනාරක්ෂිත බව නිසා අහිමි වූ ජීවිත පිලිබඳ වාර්තා ගනනාවකි.
නොවැම්බර් 2 වැනි දින රජිනිකාන්ත් නම් තරුන කම්කරුවා යටියන්තොට කිරුපෝරුව වත්තේ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් රබර් කිරි කර්මාන්තශාලාවක, නිසි ආරක්ෂක ප්‍රමිතීන්ගෙන් තොර වූ යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවීමේ දී එය පුපුරා යාමෙන් මරනයට පත් විය. නොවැම්බර් 5 වැනි දින මස්කෙලිය මාඋස්සාකැලේ තේ කම්හලේ සේවය කරමින් සිටි විජයකුමාර්, තමන් ක්‍රියාකරවමින් සිටි ආරක්ෂිත ආවරන රහිත දලු ඇඹරුම් යන්ත්‍රයට පැටලී තුවාල වීමෙන් ජීවිතක්ෂයට පත් විය.
ඔක්තෝබර් 10 වැනි දින සීතාවකපුර ආයෝජන කලාපයේ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කල පුෂ්පලතාට දිවි අහිමි වූයේ, ඇගේ රෝගී බව නොතකා, ඉලක්ක සපුරාගනුවස් නිවාඩු ලබා නොදී දිගින් දිගට ම සේවයේ යෙද වූ බැවිනි. ඇය ද කිරිපෝරුව ප්‍රදේශය ආශ්‍රිත වතු කම්කරු පවුලකින් පැවත එන තරුනියකි.
“හදිසි” අනතුරු ලෙස ලේබල් ගසා මෙම සිදු වීම් සාමාන්‍යකරනය කෙරෙන අතර ම ප්‍රධාන මාධ්‍ය තුලින් ඒවාට ඉඩක් ලැබෙන්නේ නැති තරම් ය.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) කිරුපෝරුව සහ මාඋස්සාකැලේ වතුවල සිදු වූ අනතුරු සම්බන්ධයෙන් සිදු කල මැදිහත් වීම්වල දී අනාවරනය කලේ මේවා හුදෙක් හදිසියේ සිදු වූවා නොවන බවත් ධනපති ලාභය ඉහල දැමීම අරමුනු කර ගත් වියදම් කප්පාදු සහ සූරා කෑමේ විධි ක්‍රම සමග ඍජු ව සම්බන්ධ බවත් ය. හාම්පුතුන්ගේ මෙවලම් බවට පත් ව ඇති වෘත්තීය සමිති නිලධරයන් සේවා ස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම මග හැර සිටින්නේ එය ධනපති ලාභයට ප්‍රතිවිරුද්ධ ව පිහිටන බැවිනි.
මේ තත්ත්වය ලංකාවට පමනක් සීමා වුවක් නොවන අතර පසුගිය වසර පහක කාලය තුල ඇමරිකාව වැනි දියුනු ධනපති රටවල ද ඇතුලු ව ලොව පුරා කාර්මික මරන කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇත. සේවා ස්ථානවල ආරක්ෂාව සහ ධනපති ලාභයට කම්කරු ජීවිත යට කිරීම නිසා වැඩපොල හදිසි අනතුරු ඉහල ගොස් ඇති බව එලිදරවු කරමින් හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ලෝසවෙඅ හරහා ගෝලීය පරිමාන උද්ඝෝෂනයක් ගෙන යයි. මෙම ව්‍යාපාරයේ අරමුන සේවා ස්ථානවල ආරක්ෂක කොන්දේසි තහවුරු කිරීම කම්කරුවන් අතට ගැනීමයි.
මෙම ක්‍රියාමාර්ගයේ කොටසක් වශයෙන් සසප සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වකක්‍රික) නොවැම්බර් 30 වැනි දින මස්කෙලිය නගරයේ අප්කොට් පාරේ පීඑම්ඩී උත්සව ශාලාවේ දී දවල් 2ට ප්‍රසිද්ධ රැස්වීමක් සංවිධානය කර ඇත.
අපගේ උද්ඝෝෂනය තුල දී ඇතැම් කම්කරුවන් සහ ශිෂ්‍යයන් අපට ලබා දුන් ප්‍රකාශ පහතින් පල කරමු. මෙම උද්ඝෝෂනයට සහය පල කිරීමට කාර්මික අනතුරු සම්බන්ධයෙන් ඔබ දන්නා තොරතුරු ද එලිදරවු කිරීමට ඉදිරියට එන මෙන් අපි ඉල්ලා සිටිමු.
***
මිදිගම මිචෙලින් කර්මාන්තශාලාව කම්කරුවන්ට හොර රහසේ සියැට් සමාගමට විකිනීමට එරෙහි ව කම්කරු අයිතීන් ආරක්ෂා කර ගැනීමට එම කර්මාන්තශාලාවේ කම්කරුවන් ගෙන ගිය අරගලයේ දී පෙරමුන ගැනීම නිසා සමාගම් විසින් දොට්ට දමනු ලැබූ ප්‍රියංග දිමුතු කුමාර කාර්මික අනතුරු සම්බන්ධයෙන් තමන් මුහුන දුන් අත්දැකීම් ලෝසවෙඅ සමග පවසා සිටියේ ය.
“මෙම සහෝදර කම්කරුවන් දෙදෙනාගේ අනතුරු දැකලා මම බොහොම කම්පනයට පත්වුනා. මිචෙලින් කම්හල තුල මම මෙවැනි ආකාරයේ අනතුරුදායක තත්වයන් කිහිපයකට මුහුන දීල තියෙනවා.”
“එක වරක් කම්කරුවෙක් මැෂින් එකකට තද වෙනකොට මම පැනලා බේරගත්තා. සුලු මොහොතක් හෝ පමා වුනා නම් ඔහුගේ ජීවිතය හානි වෙනවා. එය නොකල යුතු ව තිබුනු බවත් එම ක්‍රියාව නිසා එක් කම්කරුවෙකු වෙනුවට දෙ දෙනෙකුගේ ජීවිත ඉන් හානි වීමට තිබුනු බව පවසමින් කම්හල මට චෝදනා කලා.”
“තව සැරයක් මිචෙලින් කම්හල නුපුහුනු කම්කරුවෙක් මැෂිමකට යොදවලා වැඩ කෙරෙව්වා. ඒ වෙලාවේ ඒ කම්කරුවාගේ අත වැලමිට වෙනකම් මැෂිමෙන් තැලුනා. වහා ම කම්හල් පරිපාලනය කලේ කම්කරුවා පුහුනු කම්කරුවෙකුගේ තත්වයට පත් කරමින් ඔහුට ලබා දිය යුතු වන්දිය අඩු කල එක. ඒ විදිහට තමයි කර්මාන්තශාලා පරිපාලනයන් වැඩ කරන්නෙ.”
“මස්කෙලියේ සහ යටියන්තොට සිද්ධ වෙච්ච අනතුරු දෙකම එම කම්හලේ තිබිච්ච අනතුරුදායක තත්ත්වය නොතකා කම්කරුවන් වැඩට යෙදවීමෙන් ඇතිවෙච්ච තත්ත්වයක්. කර්මාන්තශාලා හැම විටම මුල් තැන දෙන්නේ තමන්ගේ ලාභයට. හැම වෙලාවෙම කම්කරුවන් අනතුරට පත්වුනාම කුඩා වන්දියක් දීලා ඇඟ බේරගන්න තමයි කර්මාන්තශාලා පරිපාලනය බලන්නේ. ඒකට විරුද්ධව සටන් කරනවා කියන එක කම්කරුවන්ගේ පැත්තෙන් අන්තිම වැදගත් අවශ්‍යතාවයක්.”
“ඒත් අපි සටන් කරන්නේ කාට විරුද්ධවද කියන එක වැදගත්. මෙය හුදෙක් තනි තනි ෆැක්ටරි පරිපාලනය සම්බන්ධ ගැටලුවක් නෙවෙයි; කම්කරුවන්ගේ ජීවිතවලට ඉහලින් ධනපති ලාභය තබන පද්ධතියක විපාකයක් වශයෙන් අපි හඳුනා ගෙන එම ක්‍රමයට එරෙහි ව සටන් වැදිය යුතු වෙනවා.”
***
ඉහල යන කාර්මික අනතුරු සම්බන්ධයෙන් සසප තරුන සහ ශිෂ්‍ය සංවිධානය වන සසජාතශි යාපනය විශ්ව විද්‍යාලය ආශ්‍රිත ව කල උද්ඝෝෂනයක දී යාපනය විශ්වවිද්‍යාල කොලිජියේ (විශ්වවිද්‍යාල මට්ටමේ වෘත්තීය පුහුනු මධ්‍යස්ථානයක්) තොරතුරු තාක්ෂනවේදය හදාරන ලක්ෂන් නමැති සිසුවා සසප සහ වකක්‍රික ගෙයන උද්ඝෝෂනයට සහය පල කරමින් අදහස් දැක්වීය. මස්කෙලිය ප්‍රදේශයේ ම වතු කම්කරු පවුලකින් පැවත එන ඔහු අනතුර සම්බන්ධයෙන් දැන සිටියේ ය.
“නිසි ආරක්ෂක විධිවිධාන සැපයීම වතු සමාගම් අත හැර දමා ඇති නිසා වතු කම්කරුවන් නිතර ම අනතුරුවලට මුහුන දෙනවා. තේ දලු නෙලන විට කම්කරු කාන්තාවන් නිතර ම දෙබර දෂ්ඨනවලට ගොදුරු වෙනවා. මේක අනතුරක් වශයෙන්වත් ඔවුන් සලකන්නේ නෑ. මගේ මව තේ දලු නෙලමින් සිටිය දී දෙබර දෂ්ඨනයකට ලක් ව සිහි නැති වුනා. රෝහලට ගෙන යාමේ සිට සියලු වියදම් අපිම දරන්න ඕන. කිසිදු දීමනාවක් හෝ නෑ. යලි සනීප වී වැඩට යන තුරු ආදායම් මාර්ගයක් නොමැති ව ම රෝගී කම්කරුවාට ඉන්න සිදු වෙනවා.”
“වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන බව පැවසුවත් කලමනාකරුවන් විවිධ වංචාවන් කරමින් මෙම මුදල් කම්කරුවන්ට ලබා දෙන්නේ නෑ. මෙම ප්‍රශ්න කතා කිරීමට අපි තරුන සමිතියක් හැදුවා. නමුත් පරිපාලනය කලේ අපි කලු ලයිස්තු කර වත්තේ වැඩ ලබා නොදෙන බවට ප්‍රකාශ කිරීමයි.”
“අපගේ ලයින් කාමරයේ හත් දෙනෙක් ජීවත් වෙනවා. වත්තේ වැඩ කිරීමෙන් අපට මාසිකව ලැබෙන්නේ රුපියල් 36 000ක් වැනි මුදලක්. මූලික අවශ්‍යතාවන්ටවත් සෑහෙන්නේ නෑ. යාපනයේ නැවතී අධ්‍යාපනය ලබන්න මට විතරක් මාසිකව රුපියල් 20 000ක් වැය වෙනවා. අවශ්‍යතා කපලා දාලා මේ ගානට කප්පාදු කර ගෙන ජීවත් වෙන්න වෙලා තියෙනවා. නවාතැන් කුලිය 7 500ක් ගෙවන්න ඕන. කෑම වියදම් කලමනාකරනය කර ගන්න බෝඩිමේම උයනවා. ගමේ යන්නේ මාස 6කට පාරක් වගේ. වියදම් සොයා ගන්න මම බේකරියක පාට් ටයිම් වැඩ කරනවා. පාන් පුච්චන වැඩවලට උදවු කරනවා. පැයකට රුපියල් 120ක් පඩි හැටියට ලැබෙන්නේ.”
කම්කරුවන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි එලිදරවු කිරීමට සසප සහ වකක්‍රික සංවිධානය කරන රැස්වීමට සහය ලබා දෙන බව ඔහු පවසා සිටියේ ය.
***
රුහුනු විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ ඖෂධවේදී උපාධිය නිම කල ශිෂ්‍යයෙකු වන අකලංක සෙනෙවිරත්න ලෝසවෙඅ වෙත මෙසේ අදහස් පල කලේ ය.
“කම්කරුවොන්ට ජීවත් වෙන්න සහ, වැඩපලේ දී ජීවිත ආරක්ෂා කරගන්න අරගල දෙකක් කරන්න වෙලා තියෙනවා. එදිනෙදා තමන්ගේ පවුල නඩත්තු කරන්න ජීවත් වෙන්න අරගල කරන්න වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් තමන් වැඩ කරන වැඩබිම ඇතුලෙදි මේ වගේ අනතුරු වලින් තමන්ගෙ ජීවිත රැකගන්නත් ෆයිට් කරන්න වෙලා තියෙනවා.”
“මම සම සෞඛ්‍ය ශිෂ්‍යයෙකු හැටියට රෝහල් වල පුහුනුව ලැබු කාලෙත් කාර්මික අනතුරු වලට ලක්වෙලා සෑහෙන ප්‍රමානයක් එන හැටි දැකල තියෙනවා. කරාපිටිය ශික්ෂන රෝහලට කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවෝ තිහක් හතලිහක ප්‍රමානයක් ආහාර විෂ වෙලා ගෙනාවා. මේසන් වැඩ කරන තුන්දෙනෙක් විතර ඉස්පිරිතාලෙට ගෙනාවා පලංචි කඩන් වැටිලා. එක්කෙනෙක් මැරුනා. අපි එදිනෙදා ජීවිතයෙදි පත්තරයක් බැලුවත් හැම වෙලේම අනතුරක් ගැන තියෙනවා.” බොහෝ විට කර්මාන්තශාලාවල වෛද්‍ය මධ්‍යස්ථානයේ පවතින්නේ පැනඩෝල් පෙති පමනක් බව ඔහු කීවේය.
බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සිදු වූ මරනය සමීපව අධ්‍යනය කර සිටි ඔහු ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂ ගෙන ඇති ධනපති ගැති ආස්ථාන විවේචනයට ලක් කලේ ඔවුන් “කම්කරුවා සහ ධනපතියා අතර ඝට්ටනය ගැන කතා නොකර, ධනපති ක්‍රමය ගැන වචනයක් හෝ කතා නොකර” “කම්කරුවොන්ගේ විරෝධතා යටපත් කරන්න, පැරසිටමෝල් වැනි රෝග ලක්ෂනවලට ප්‍රතිකාර කරන පිලියම් යොදමින් සිටින” බව පවසමිනි.
වානිජ හා කාර්මික සේවක සංගමය පුෂ්පලතාගේ මරනය සම්බන්ධයෙන් තම ෆේස්බුක් පිටුවේ නිවේදනයක් පල කරමින් බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ඉල්ලා සිටියේ “තම ශ්‍රමයෙන් එය නඩත්තු කරනා කාන්තාවන් සූරාකෑමට නොව, ඔවුන් ආරක්ෂා කිරීමට ඇති සිය යුතුකම හඳුනාගන්නා” ලෙසයි.
පෙසප මෙම ධනපති සමාගම්වලට එරෙහි ව කම්කරුවන් මානව හිමිකම් සංවිධානවලට කනිපින්දම් කීමට යොමු කිරීමේ උද්ඝෝෂනයක් අරඹා ඇත.
“බ්‍රැන්ඩික්ස් තම්හලට සහ වතුවලට මේ අනතුරු සීමා වෙලත් නෑ; ගෝලීයව තියෙන තත්වයක්. කාර්මික අනතුරු වලට හරිම වචනෙ තමා කාර්මික ඝාතන කියන එක. ඇත්තටම ධනපති පන්තියට කම්කරුවොන්ට මොනවා උනත් අදාල නෑ. රෝගී ව සිටි කම්කරු කාන්තාවක් දිගින් දිගට ම සේවයේ යෙදවීම ලාභය පමනක් ඔලුවේ වැඩ කරන මේ ෆැක්ටරිකරුවන්ගේ තුච්ඡ ස්වභාවය පෙන්වනවා. එහෙම තත්ත්වයක දී ඔවුන්ට කනිපින්දම් කීම වැඩකට ඇති දෙයක් නෙමෙයි. පෙසප සහ වෘත්තීය සමිතිවල උගුල්වල නොවැටී ස්වාධීන ක්‍රියාමාර්ගයකට කම්කරුවන් යොමු විය යුතුයි” යනුවෙන් සෙනෙවිරත්න පැවසී ය.
වැඩිදුර කියවන්න
- මාඋස්සාකැලේ තේ කම්හලේ විජයකුමාර්ගේ මරනය: ලාභය උදෙසා ජීවිත බිලි නොදෙනු!
- එක් සතියක් තුල ශ්‍රී ලංකාවේ කම්කරුවන් දෙදෙනෙක් කාර්මික අනතුරුවලින් මිය යති
- “ෆැක්ටරියෙ දි, වත්තෙ දි, ලැයිමෙ දි, මේ හැමවිටදි ම අපේ ජීවිත අනතුරේ”: මාඋස්සාකැලේ වතු කම්කරුවෙක්
- ආසාදන ඉහල යද්දී දිගටම වැඩ කරන ලෙස නිදහස් වෙලඳ කලාප සේවකයින්ට කියයි
