ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ආන්ඩුව ඊශ්‍රායලය සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන් වන එක්සත් ජනපදය සහ යුරෝපීය බලවතුන් සමඟ පෙල ගැසී සිටින අතරතුර එහි තරුන ව්‍යාපාරය වන සමාජවාදී තරුන සංගමය පලස්තීන ජනයා සමඟ සහයෝගීතාවයේ ප්‍රතිරූපයක් ව්‍යාජ ලෙස පින්තාරු කිරීම ඉලක්ක කර සැප්තැම්බර් 14 වන දින මාධ්‍ය සංදර්ශනයක් පැවැත් වූයේ ය.
මෙම සන්දර්ශනය පැවැත්වුනේ හමාස් සංවිධානයේ මැදිහත්වීමකින් තොර ව ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ද්වි-රාජ්‍ය විසඳුම පුනර්ජීවනය කිරීමේ ඒක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවකට සැප්තැම්බර් 12 වන දින ආන්ඩුව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ය.
පලස්තීන ප්‍රශ්නය සාමකාමී ව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ ඉහල මට්ටමේ ජාත්‍යන්තර සමුලුවේ සම-සභාපතිවරුන් වන ප්‍රංශය සහ සෞදි අරාබිය විසින් මෙම යෝජනාව සකස් කරන ලදී.
ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයාගේ ඉල්ලීමක් වන හමාස් සංවිධානය ආයුධ බිම තබා යටත් විය යුතු ය යන්න එම යෝජනාව තුල මෙසේ සටහන් කර තිබිනි; “හමාස් සංවිධානය ගාසා තීරයේ තම පාලනය අවසන් කල යුතු අතර ජාත්‍යන්තර සහභාගීත්වයක් සහ සහයෝගයක් ඇති ව පලස්තීන අධිකාරියට තම ආයුධ භාර දිය යුතුය...”
මෙම ඡන්දය, පලස්තීන රාජ්‍යයකට සහාය දක්වන බවක් පෙනෙන්නට තිබුනද, සාමය සඳහා පූර්ව අවශ්‍යතාවයක් ලෙස නිරූපනය කරමින් හමාස් විසුරුවා හැරීමේ ඊශ්‍රායලයේ උපායමාර්ගික අරමුන සමඟ එය සමපාත වන බැවින් ප්‍රතිගාමී වේ. හමාස් විසිරුවා හැරිය යුතු ය යන තර්ජනය බැඳී ඇත්තේ අතිශයින්ම සන්නද්ධ සියොන්වාදී ඊශ්‍රායල ආන්ඩුවට පලස්තීන වැසියන් නිරායුධව යටත් විය යුතු බවයි.
“ද්වි-රාජ්‍ය විසඳුම” 1948 සිට බංකොලොත්, ප්‍රතිගාමී උගුලක් වී ඇති අතර, එය පලස්තීනුවන් සඳහා කිසිදු සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් ලබා නොදෙන අතර පලස්තීන රාජ්‍යයක් සමච්චලයට ලක් කිරීමක් ලෙස ක්‍රියාත්මක වෙයි.
එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය අනුමත කරමින් ශ්‍රී ලංකා ආන්ඩුව කුහක ලෙස පැවසුවේ “එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සහ අදාල එක්සත් ජාතීන්ගේ යෝජනාවල අරමුනු සහ මූලධර්මවලට අනුකූල ව, පලස්තීන ජනතාවට රාජ්‍යත්වයට ඇති අහිමි කල නොහැකි අයිතිය සඳහා ශ්‍රී ලංකාව සිය නොසැලෙන සහයෝගය නැවත තහවුරු කරයි” යනුවෙනි.
“ජන සංහාරය වහාම නවත්වනු! පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙමු; නිදහස් පලස්තීනයක් සඳහා වන අරගලයට ශක්තියක් වෙමු” යන තේමාව යටතේ මෙම උත්සවය පැවැත්විනි. මෙය, අඛන්ඩ ව සිදුවන පලස්තීන -ගාසා ජන සංහාරය මධ්‍යයේ එක්සත් ජනපදය සහ එහි දඩ බල්ලා වන ඊශ්‍රායලය සමඟ ආන්ඩුවේ පෙලගැසීම ගැන පිලිකුල් සහගත වන ජනතාව රැවටීමට ජවිපෙ තම තරුන කන්ඩායම භාවිතා කර සුදු හුනු ගෑමේ උත්සාහයකි.
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ මාරාන්තික ප්‍රහාර දිගටම කරගෙන යන අතර, සිවිල් වැසියන් සහ ආධාර පතන්නන් ඉලක්ක කර ගනිමින් 65,000 කට වැඩි පිරිසක් (ඉන් තුනෙන් එකක් පමන ලමයින්ය) මරා දමා ඇත. සමූහ සාගින්න ආයුධයක් ලෙස භාවිතා කරනු ලබන අතර, දරුවන් 146 දෙනෙකු පමන කුසගින්නෙන් මිය ගොස් ඇත. වයස අවුරුදු පහට අඩු ලමුන් 130,000 ක් මන්දපෝෂනයේ අවදානමට ලක් ව ඇත. එක්සත් ජනපද සහාය ඇති ව ඊශ්‍රායලය ගාසාව අත්පත් තර ගැනීමේ වැඩ පිලිවෙල තුල මිලියනයක ජනතාවක් ගාසා නගරයෙන් ඉවත් කරමින් තිබේ.
“අධිරාජ්‍යවාදී නායකයිනි, ඔබේ ශ්‍රේෂ්ඨ මානව හිමිකම් කොහෙද” සහ “ඇමරිකානු අධිරාජ්‍යවාදීන් පලස්තීනුවන් සමූලඝාතනය කිරීමට මැදිහත් වීම අපි හෙලා දකිමු” වැනි අතිශය කුහක සටන් පාඨ සහිත පුවරු උත්සවයට සහභාගී වූවන් ප්‍රදර්ශනය කලේ මෙම බලවතුන් සමඟ ආන්ඩුවට ඇති සමීප සහයෝගීතාවය යට ගසමිනි.
යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුනසේකර, ජාතික ජන බලවේගයේ (ජාජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර ඇතුලු ඉහල පෙලේ ආන්ඩු නියෝජිතයින් උත්සවයට ක්‍රියාකාරීව සහභාගී වූ අතර, ගුනසේකර නිර්ලජ්ජිතව ප්‍රකාශ කලේ, “ආන්ඩුවක් ලෙස වුව ද අපි පලස්තීන ජනතාවගේ නිදහස වෙනුවෙන් හඬ නඟමු” යනුවෙනි.
විරෝධතාව අවසන් වූයේ පාර්ලිමේන්තුව අසල ඇල මාර්ගයක් වන දියවන්නාව ඔයේ දල්වන ලද කූඩු පාකර හරින දර්ශනයකිනි. මෙය සිදු කෙරුනේ පලස්තීනය සමඟ සහයෝගීතාවය සංකේතවත් කිරීමේ ව්‍යාජයක් ලෙස ය.
අගෝස්තු 16 වන දින කොලඹ පැවති “නිදහස් පලස්තීනයක් සඳහා ශ්‍රී ලාංකික සාමූහිකය” සංවිධානය කල මහජන රැලිය සහ පිකට් කිරීම ගාසා තීරයේ සිදු කෙරෙන සමූලඝාතනවලින් සැබවින්ම කෝපයට පත් සාමාන්‍ය පුරවැසියන් දහස් ගනනක් ආකර්ෂනය කර ගත්තේ ය. එසේ වුව ද, ගාසා තීරයේ සංහාරයට විරුද්ධ නොවීමේ ආන්ඩුවේ අධිරාජ්‍යවාදී ගැති ප්‍රතිපත්තිය සාධාරනීකරනය කිරීම සඳහා ජවිපෙ/ජාජබ නායකයින් විසින් මෙම අවස්ථාව නිර්ලජ්ජිත ලෙස ගසාකන ලදී.
එම අවස්ථාවෙහිදී, පලස්තීන ජනතාවට “කුසගින්න, පීඩනය, දරිද්‍රතාවය සහ මරනය හැර අන් කිසිවක්” ලබා නොදීම සම්බන්ධයෙන් සාලි ඊශ්‍රායල හමුදාව හෙලා දුටු අතර ජන සංහාරයට එරෙහි ගෝලීය විරෝධයක් ඉල්ලා සිටිය ද, ඔහුගේ ආන්ඩුව පලස්තීන සංහාරයට එරෙහි නොවීමේ අධිරාජ්‍ය-ගැති පිලිවෙතක් ක්‍රියාවට දැමීම පිලිබඳව වචනයක්වක්වත් කතා නොකලේ ය.
මෙම කුහකකමට යටින්, ආන්ඩුව ඊශ්‍රායලය සහ එහි ප්‍රධාන අනුග්‍රාහකයන් වන ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ ඉතා සමීප සහයෝගීතාවයක් පවත්වාගෙන යයි. මෙම ගැඹුරු පෙලගැස්ම ක්ෂේත්‍ර කිහිපයකින් පැහැදිලි වේ:
පලමු ව, ඊශ්‍රායලය සමඟ ආර්ථික සහයෝගීතාවය ශක්තිමත් ය. ආන්ඩුව රට තුල පවතින උග්‍ර විරැකියාව ගසා කමින් ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලයේ රැකියා සඳහා යවන අතර නීත්‍යානුකූල නොවන ඊශ්‍රායල ව්‍යාපාර සඳහා දොරටු විවෘත කරමින් ඊශ්‍රායලයට නොමිලේ වීසා ලබා දෙයි. අවබෝධතා ගිවිසුමක් මගින් ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ ශ්‍රී ලාංකික සේවකයින්ට පහසුකම් සැපයේ. දැනට එහි සේවය කරන ශ්‍රී ලාංකිකයින් 15,000 ත් 20,000 ත් අතර සංඛ්‍යාවක් සිටින අතර, ගාසා ගැටුමෙන් ඊශ්‍රායලයට පැමිනීම අවහිර වූ පලස්තීන කම්කරුවන්ට ආදේශයක් ලෙස මෙය සිදු කෙරේ.
තවද, ශ්‍රී ලංකාව වානිජ සබඳතා පුලුල් කිරීම සඳහා, විශේෂයෙන් දියමන්ති, ආභරන, කුරුඳු සහ කෘෂිකර්මාන්තය වැනි අංශවල නව කොන්සල් කාර්යාලයක් ස්ථාපිත කර ඇත.
දෙවනුව, බලයට පත්වීමෙන් පසු, ජවිපෙ/ජාජබ ආන්ඩුව ගාසා තීරයේ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද ධාවනය සහ මැද පෙරදිග භූ-උපායමාර්ගික න්‍යාය පත්‍රය සමඟ නිහඬ එකඟතාවයක් අනුගමනය කර ඇත. ගාසා තීරයේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල හමුදා සොල්දාදුවෙකු වන ගැල් ෆෙරෙන්බුක්ගේ මතභේදාත්මක පැමිනීම මගින් ඉස්මතු කර ඇති පරිදි, ඊශ්‍රායල ආරක්ෂක හමුදා නිලධාරීන්ට ශ්‍රී ලංකාවට පැමිනීමට අවසර දීම මෙයට ඇතුලත් වන අතර, මහජන කෝපය ඇවිස්සීම නිසා ඔහු අවසානයේ රටින් පලා ගියේ ය.
කටාර්හි හමාස් සාකච්ඡාකරුවන්ට සැප්තැම්බර් 9 වන දින එල්ල කල ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඊශ්‍රායලය හෙලා දැකීමෙන් වැලකී සිටියේය. ආන්ඩුව ප්‍රහාර පිලිබඳව “ගැඹුරු කනස්සල්ල” ප්‍රකාශ කල අතර සාමය සහ ස්ථාවරත්වය සඳහා රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් ඉල්ලා සිටියේය.
ඉරානය එක්සත් ජනපද-ඊශ්‍රායල් නීති විරෝධී ප්‍රහාරයකට මුහුන දුන් විට, ජනාධිපති දිසානායකගේ ආන්ඩුව ඇඟ බේරා ගැනීමේ කුහක දුර්වල ප්‍රකාශයක් නිකුත් කලේය. හුදෙක් “ප්‍රහාර අඩු කිරීම” සහ “සංවාදය” සඳහා කැඳවමින්, එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය නමින් සඳහන් කිරීම පැහැදිලිවම මඟ හැරියේ ය.
ගාසා ගැටුම සම්බන්ධයෙන් එහි සමස්ත ප්‍රවේශය දක්වා මෙම රාජ්‍ය තාන්ත්‍රික නිහඬතාවයේ රටාව විහිදේ. විශේෂයෙන් තම ප්‍රකාශවල ඊශ්‍රායලය හෙලා දැකීමට හෝ නම් කිරීමට අපොහොසත් වී ඇති ආන්ඩුව ගාසාවට අදාලව ‘ජන සංහාරය’ යන යෙදුම උච්චාරනය කිරීමට සම්පූර්නයෙන්ම පවතින නොහැකියාව ඔප්පු කර ඇත. ඒ වෙනුවට, ඊශ්‍රායලය සැලසුම් සහගත ව ගාසා තීරය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් එය “ගැඹුරු කනස්සල්ලක්” පමනක් ඉදිරිපත් කල අතර සටන් විරාමයක් සහ සංවාදයක් සඳහා හිස් ඉල්ලීම් නිකුත් කලේ ය.
තෙවනු ව, ආන්ඩුව ඊශ්‍රායලයට එරෙහි ජනතා විරෝධය ක්‍රියාකාරී ව මර්දනය කරයි. පලස්තීන ජන සංහාරයට එරෙහි උද්ඝෝෂකයින් කුරිරු ලෙස මර්දනය කරමින් සිටී. නිදසුනක් වශයෙන්, ඊශ්‍රායල ධජයක් පාගා දමන ආකාරය දැක්වෙන ඉන්ස්ටග්‍රෑම් ඡායාරූපයක් පල කිරීම සම්බන්ධයෙන් 21 හැවිරිදි මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහයිල් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන මාස නවයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබා ගන්නා ලදී.
ඒ හා සමාන ව, ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හෙලා දකින ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් මොහොමඩ් රුස්ඩි අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබා ගන්නා ලදී. මෙම දැඩි මර්දනය පලස්තීන ජන සංහාරයට එරෙහි මාධ්‍ය සංදර්ශන වලට පූර්න ලෙස පටහැනි වන අතර, ටෙල් අවිව් හි එහි සමීප සගයා සමීප ව තබා ගැනීමේ පැහැදිලි ප්‍රමුඛතාවයක් පෙන්නුම් කරයි.
සිව්වනුව, ආන්ඩුව ඊශ්‍රායල ප්‍රචාරනයට පහසුකම් සපයා ඇති බව, රජය සතු මාධ්‍ය ඇතුලු ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් 16 දෙනෙකුගෙන් යුත් කන්ඩායමක් මෑතක දී ඊශ්‍රායලයට කල සංචාරයෙන් සනාථ වේ. “පැහැදිලි අවබෝධයක්” ලබා දීම සඳහා “අධ්‍යයන වැඩසටහනක්” ලෙස සකස් කර තිබුන ද, මෙම සංචාරය ඊශ්‍රායල තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද්දේ පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ අපරාධ වසන් කිරීම සහ එහි හමුදා මෙහෙයුම් වාර්තා කරන ආකාරය පිලිබඳව මාධ්‍යවේදීන් පිරිසට උපදෙස් දීමට ය.
පාර්ලිමේන්තු ප්‍රශ්න සහ මහජන කෝපය නොතකා, ආන්ඩුව එය “පෞද්ගලික” සංචාරයක් ලෙස නම් කල අතර, එහි තානාපතිවරයා විවෘත ව සංචාරය සාධාරනීකරනය කර මාධ්‍යවේදීන්ට සත්කාරකත්වය ලබා දුන් පසුබිම තුල පවා එහි සම්බන්ධය පිලිගැනීම ප්‍රතික්ෂේප කලේ ය.
අවසාන වශයෙන්, ආන්ඩුවේ ක්‍රියාමාර්ග ගැඹුරු කුහකකමක් හෙලි කරයි. පලස්තීනය සමඟ එහි සහයෝගීතාවය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම යනු දේශීය මහජන මතය අවමංගත කිරීමේ කුහක මාධ්‍ය සංදර්ශනයකි.
ඊශ්‍රායලය සහ එහි බලවත් අධිරාජ්‍යවාදී සහචරයින් සමඟ ආන්ඩුවට ඇති ගැඹුරු ආර්ථික හා මිලිටරි සබඳතා, පලස්තීන ජන සංහාරයට විරෝධය දැක්වීම කුරිරු ලෙස මර්දනය කිරීම, ඊශ්‍රායල කුරිරුකම් සම්බන්ධයෙන් එහි රාජ්‍ය තාන්ත්‍රික නිහඬතාවය සහ හමාස් හෙලා දකින සහ නිරායුධ කිරීමට උත්සාහ කරන එක්සත් ජාතීන්ගේ යෝජනාවකට ඡන්දය දීම, නිසැක ව ම පෙන්නුම් කරන්නේ ආන්ඩුව යථාර්ථයේ දී ඊශ්‍රායලයේ සහ එහි ආධාරකරුවන්ගේ කඳවුරේ ස්ථිර ව සිටින බවයි.
මෙම දෙබිඩි උපාය මාර්ගය හරහා ජවිපෙ/ජාජබ ආන්ඩුව උත්සාහ දරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු වැඩසටහන ඇතුලු ව එහි අධිරාජ්‍යවාදී ගැති ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ඉඩ සලසා ගැනීම ඉලක්ක කර ගනිමින් අධිරාජ්‍යවාදී විරෝධයක් පින්තාරු කිරීම මඟින් තමන්ට එරෙහි ව වැඩෙන මහජන කෝපය අවමංගත කිරීමටයි.
වැඩිදුර කියවන්න
- ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 10 කට වැඩි ප්රතිශතයක ජනයා මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව හිටපු ඊශ්‍රායල හමුදා ප්‍රධානියා පිලිගනී
- පලස්තීන ජන සංහාරයට එරෙහිව “නිදහස් පලස්තීනයක් උදෙසා ශ්‍රී ලාංකික සාමුහිකයේ” උද්ඝෝෂනය ගැන
- ගාසා තීරයේ ගෙනියන ජන සංහාරය මධ්‍යයේ ලංකාවේ මාධ්‍යවේදීන් ඊශ්‍රායලයේ සංචාරයක
- ගාසා තීරය අත්පත් කර ගැනීමේ ඊශ්‍රායල සැලසුම් හෙලා දැකීමට ශ්‍රී ලංකාවේ ආන්ඩුව අසමත් වේ
- ඉරානයට එරෙහි ඇමරිකානු ප්‍රහාර හෙලා දැකීමට ශ්‍රී ලංකා ආන්ඩුව ප්‍රතික්ෂේප කරයි
- ශ්‍රී ලංකාවේ මුස්ලිම් තරුනයෙක් නව මාසයක් පුරා දරුනු ප්‍රති-ත්‍රස්ත නීතිය යටතේ රැඳවුම් භාරයේ
- ජනාධිපති දිසානායක, ඊස්රායල් යුද අපරාධයන්ට විරුද්ධවූ මුස්ලිම් තරුනයාට එරෙහිව “චින්තන අපරාධ” චෝදනා දමා ගසයි