[මෙය Sri Lankan journalists visit Israel amid ongoing Gaza genocide මැයෙන් සැප්තැම්බර් 13දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]
ගාසා තීරයේ දැන් කෙරී ගෙන යන ජන සංහාරය මධ්‍යයේ, රජයට අයත් රූපවාහිනී සංස්ථාවේ දෙදෙනෙකු ඇතුලු ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් 16 දෙනෙකුගෙන් යුත් කන්ඩායමක් මෑතක දී ඊශ්‍රායලයට කල සංචාරය, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලවේගය (ජේවීපී/එන්පීපී) රජයේ ඊශ්‍රායල ගැති ස්ථාවරය තවදුරටත් ප්‍රදර්ශනය කිරීමකි.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බන්ඩාර උපුටා දක්වමින්, නිව්ස් වයර් සැප්තැම්බර් 5දා වාර්තා කලේ, “විදේශ මාධ්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට රටේ වත්මන් තත්ත්වය පිලිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම අරමුනු කරගත් පස් දින අධ්‍යයන වැඩසටහනක්” සඳහා ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් පිරිසක් ඊශ්‍රායලයට පැමින ඇති බවයි. නවදිල්ලියේ ඊශ්‍රායල තානාපති කාර්යාලය විසින් මෙම සංචාරය සංවිධානය කර තිබෙන බන්ඩාර ප්‍රකාශ කලේය.
පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ අපරාධ වසන් කිරීම අරමුනු කරගත්තක් මිස, ඊශ්‍රායල් මිලිටරිය විසින් ගාසා තීරයේ සිදුරකමින් තිබෙන ජනසංහාරය පිලිබඳ “පැහැදිලි අවබෝධයක්” ලබා දීමේ කාරනාව සමග මෙම සංචාරයට මෙලෝ සම්බන්ධයක් නැත. ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ගාසා තීරයට ඇතුලුවීම තහනම් කර තිබෙන, එමෙන්ම අඩු ගනනේ මාධ්‍යවේදීන් 248 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ඊශ්‍රායල පාලන තන්ත්‍රයට, ශ්‍රී ලංකා දූත පිරිසට එහි ම්ලේච්ඡ මෙහෙයුම් දැකගැනීමට ඉඩ දීමේ කිසිදු අරමුනක් ඇත්තේ නැත.
“එමෙන්ම, අපගේ මාධ්‍යවේදීන් ගාසා තීරයේ මානුෂීය ආධාර මෙහෙයුම් නිරීක්ෂනය කරනු ඇති අතර, එය ඊශ්‍රායලයේ භූමියේ යථාර්ථයන් අවබෝධ කර ගැනීමේ වැදගත් අංගයකි,” යැයි තානාපතිවරයා සඳහන් කලේ ය. මෙලෙස ප්‍රවේශමෙන් කලමනාකරනය කරන ලද මාධ්‍ය සංදර්ශනවල අරමුන ගොරතර යථාර්ථය වසන් කිරීම වන අතර, ජීවිතය අල්ලා සිටීමට මන්දපෝෂනයෙන් පොරබදන දරුවන්ගේ දර්ශන හෝ සොච්චම් ආධාර ලබා ගැනීමට පෙල ගැසී සිටින පලස්තීනුවන්ට වෙඩි තැබීමේ දර්ශන ඒවාට ඇතුලත් නොවේ.
තම හමුදා මෙහෙයුම් ගෙනියන්නේ කෙසේද යන්න පිලිබඳව ඊශ්‍රායල ප්‍රචාරක කටයුතු පිලිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා නියෝජිත පිරිස ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල විදේශ කටයුතු සහ ආරක්ෂක නිලධාරීන් හමුවීමට ද නියමිත ය. තානාපතිවරයා මාධ්‍යවේදීන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ඡායාරූපයක් නිව්ස් වයර්හි පල කෙරුනි.
මෙම සංචාරය පිලිබඳ පුවත ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන අය තුල කෝපයක් ඇති කර තිබේ. රෝයි ද මෙල් නම් ෆේස්බුක් පරිශීලකයෙක් මෙසේ ලීවේ ය: “මොල සේදීමේ ප්‍රචාරය ආරම්භ වනු ඇත.”මොහොමඩ් අර්සාද් මෙසේ අදහස් දැක්වීය: “අපරාධ සහ මිනීමැරුම් ගැන ඉගෙන ගැනීමට හොඳම ගමනාන්තය.” හසන් එම්එච්එන් ලීවේ මෙය යි : “දැන් ඊශ්‍රායලය ප්‍රවර්ධනය කිරීමට යන අපගේ මාධ්‍ය, ඊශ්‍රායලය සමඟ තරම් වෙනත් කිසිදු රජයක් සමග මෙතරම් සමීපව කටයුතු කර නොමැති බව සැලකිය යුතු කරුනකි.”
ඊශ්‍රායලය දැන් සිදු කරමින් තිබෙන අපරාධ සම්බන්ධයෙන් පැතිරුනු උත්සුකතාවක් මෙන් ම, විරෝධයක් පවතී. ඊශ්‍රායල හමුදාව, ආධාර පතන්නන් සහ නිවාස යනාදිය ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ මාරාන්තික ප්‍රහාර දිගට ම කර ගෙන යයි. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, මරන සංඛ්‍යාව 64,000 ඉක්මවා ඇති අතර, ඉන් තුනෙන් එකක් ලමුන් ය. ඊශ්‍රායලය යුද්ධයේ අවියක් ලෙස සාමූහික සාගින්න දිගට ම භාවිතා කරයි. එලෙස සාගතයෙන් මියගිය සංඛ්‍යාව 313 ඉක්මවා ඇති අතර, එයින් 119ක් ලමුන් ය. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිලිබඳ නියෝජ්‍ය ප්‍රධානියාට අනුව, වයස අවුරුදු පහට අඩු ලමුන් 130,000 කට වැඩි පිරිසක් මන්දපෝෂනයේ බරපතල අවදානමක සිටිති.
ඊශ්‍රායලය සිය මිලිටරි මෙහෙයුම් පුලුල් කරමින්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පූර්න සහාය ඇතිව ගාසා තීරය සම්පූර්නයෙන් අත්පත් කර ගැනීමේ සැලසුම්වල කොටසක් ලෙස, මිලියනයක ජනතාවක් ගාසා නගරයෙන් ඉවත් කරමින් තිබේ. කටාර්හි හමාස් සාකච්ඡාකරුවන් ඉලක්ක කරගත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය, සටන් විරාම සාකච්ඡා පිලිබඳ එක්සත් ජනපද-ඊශ්‍රායල මවාපෑම්වල ව්‍යාජය හෙලිදරව් කර ඇත.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී මෙම ප්‍රශ්නය මතු වූ අවස්ථාවේ දී, විපක්ෂ සමගි ජන බලවේග (සජබ) මන්ත්‍රීවරු, රජයට අයත් රූපවාහිනියේ මාධ්‍යවේදීන් නියෝජිත පිරිසට සහභාගී වීම පිලිබඳව ප්‍රශ්න කලහ. විවෘත ව ඇමරිකානු ගැති පක්ෂයක් වන සජබ, ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරය සම්බන්ධයෙන් ඉතා මෘදු විවේචන එල්ල කර ඇත්තේ, දේශපාලන වාසි තකා යුද්ධය පිලිබඳ මහජන කෝපය ගසා කෑමේ උත්සාහයක් ලෙසිනි.
සංචාරය පෞද්ගලික එකක් බව අවධාරනය කරමින් ආන්ඩුව එම විවේචන ගසාබසා දැමීමේ වෑයමක නිරත විය. පලස්තීනය සමඟ ශ්‍රී ලංකා සහයෝගිතා කමිටුවේ සම-සභාපතිවරයා ද වන සභා නායක බිමල් රත්නායක, ඊශ්‍රායල තානාපතිවරයා විසින් ෆේස්බුක් හි පල කරන ලද ඡායාරූප පිලිබඳව යම් උත්සුකතාවක් පල කල අතර, එය සංචාරය සංවිධානය කිරීමෙහිලා ආන්ඩුවේ මැදිහත්වීම ගැන ප්‍රබල ඇඟවුමකි.
කෙසේ වෙතත්, පසුව පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මෙසේ පැවසීය: “ආන්ඩුව (මේ සම්බන්ධයෙන්) කිසිදු වගකීමක් දරන්නේ නැත. ඕනෑම කෙනෙකුට ඊශ්‍රායලයට යාමට නිදහස තිබේ; සංචාරය කිරීම තහනම් කර නැත. අපට මෙයට බාධා කල නොහැක.”
ප්‍රශ්නය මෙලෙස මතු වේ: ජවිපෙ/ජාජබ ආන්ඩුවට මෙම ගමන සමග කිසිදු සම්බන්ධයක් නැති නම්, එහි තානාපතිවරයා සංචාරය සාධාරනීකරනය කරමින් මාධ්‍යවේදීන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වමින් සහ ඔවුන් සමඟ ඡායාරූප සඳහා පෙනී සිටින්නේ ඇයි?
පසුගිය වසරේ බලයට පත්වීමට පෙර, ජවිපෙ මැතිවරන උද්ඝෝෂනවල දී ඊශ්‍රායලයේ අපරාධ පිලිබඳ විවේචකයෙකු ලෙස පෙනී සිටියේ ය. බලයට පත් වීමෙන් පසු, එය හදිසියේ ම ගාසා තීරයේ එක්සත් ජනපද-ඊශ්‍රායල් ජන සංහාරක යුද්ධය සහ පුලුල් මැද පෙරදිග තුල ඒවායේ උපාය මාර්ගය සමඟ පෙලගැසීම කරා මාරු විය. “සටන් විරාමයක්” සඳහා හිස් ඉල්ලීම් හැරුනු විට, ජවිපෙ/ජාජබ, ගාසා තීරයේ දිග හැරෙන ව්‍යසනය සම්බන්ධයෙන් නිහඬ පිලිවෙතක් පවත්වා ගනිමින්, ව්‍යසනයට එහි සහයෝගය අවධාරනය කරයි.
සැලකිය යුතු කරුනක් නම්, සැප්තැම්බර් 9දා කටාර්හි හමාස් සාකච්ඡාකරුවන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද නීති විරෝධී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය පිලිබඳ ප්‍රකාශයේ දී විදේශ කටයුතු අමාත්‍යාංශය ඊශ්‍රායලය හෙලා දැකීම හෝ නම් කිරීම පවා සිදු නොකලේ ය. “රාජ්‍ය අස්ථාවරත්වය තීව්‍ර කිරීමට සහ කලාපීය ආරක්ෂාව අඩපන කිරීමට හේතුවිය හැකි කටාර් රාජ්‍ය තුල සිදුවූ මෑත කාලීන ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පල කරයි” යනුවෙන් සඳහන් කල ප්‍රකාශය, “කලාපීය සාමය සහ ස්ථාවරත්වය අරමුනු කරගත් රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක්” ඉල්ලා සිටියේ ය.
අධිරාජ්‍යවාදයට දහසක් හුයපටින් ගැටගැසී ඇති ජවිපෙ/ජාජබ, සිදුවෙමින් පවත්නා යුද අපරාධ සඳහා සියොන්වාදී තන්ත්‍රය සහ එහි අධිරාජ්‍යවාදී අනුග්‍රාහකයන් හෙලාදැකීම තබා, ගාසා තීරය සම්බන්ධයෙන් “ජන සංහාරය” යන යෙදුම පවා උච්චාරනය කිරීමට පවා මුලුමනින්ම අසමත් ය.
මෙම සංචාරයේ යෙදී සිටි රාජ්‍ය නිලධාරීන් ආයතන සංග්‍රහය උල්ලංඝනය කර ඇතිවා විය හැකි බවට තර්ක කල විපක්ෂ මන්ත්‍රීවරයෙකු, සංචාරය සංවිධානය කලේ කවුරුන්ද සහ කුමන අධිකාරියක් යටතේද යන්න පිලිබඳව පරීක්ෂනයක් ඉල්ලා සිටියේ ය. ජවිපෙ/ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් මෙසේ කීවාය: “නිසි හේතුවක් නොමැතිව සහ රාජ්‍ය තාන්ත්‍රික සිදුවීමක් අවුලුවාලීමේ අවදානමක් නොමැතිව අපට අපගේ තානාපතිවරුන් ආපසු කැඳවීමේ හැකියාවක් නැත.”
ටෙල් අවිව් හි තම සමීප සගයා අමනාප කරගැනීමට හෝ තරහ කරගැනීමට ආන්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නැත. ඒ වෙනුවට එය, ඊශ්‍රායලය ප්‍රසිද්ධියේ විවේචනය කරන අය ඉලක්ක කරයි.
ඊශ්‍රායල ධජය පාගා දමන ආකාරය දැක්වෙන ඉන්ස්ටග්‍රෑම් ඡායාරූපයක් බෙදාහැරියේ යැයි චෝදනා කරමින් 21 හැවිරිදි මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහයිල්, පසුගිය ඔක්තෝබර් මාසයේ දී අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන මාස නවයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ රඳවා තබා ගන්නා ලදි. තවත් තරුනයෙකු වන මොහොමඩ් රුස්ඩි, ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කල ප්‍රහාර හෙලා දකින ස්ටිකර් ඇලවීමේ චෝදනාව මත මාර්තු 22දා අත්අඩංගුවට ගෙන, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගනු ලැබීය.අවසානයේ ඔහුට ඇප ලැබුනේ, සති දෙකකට පසුව අප්‍රේල් 7දා ය.
ගාසා සංහාරයට සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටනට එක්වන්න!
මෙම පෝරමය පුරවන්න, අපි ඉක්මනින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.
වැඩිදුර කියවන්න
- ගාසා තීරය අත්පත් කර ගැනීමේ ඊශ්‍රායල සැලසුම් හෙලා දැකීමට ශ්‍රී ලංකාවේ ආන්ඩුව අසමත් වේ
- පොලිසිය ගාසා තීරයේ ජන සංහාරයට විරුද්ධ වූ තරුනයෙකු ත්‍රස්ත පනත යටතේ රඳවා ගනී
- ජනාධිපති දිසානායක, ඊස්රායල් යුද අපරාධයන්ට විරුද්ධවූ මුස්ලිම් තරුනයාට එරෙහිව “චින්තන අපරාධ” චෝදනා දමා ගසයි
- ශ්‍රී ලංකාවේ මුස්ලිම් තරුනයෙක් නව මාසයක් පුරා දරුනු ප්‍රති-ත්‍රස්ත නීතිය යටතේ රැඳවුම් භාරයේ