පසුගිය අප්‍රේල් 11 දා අම්පාර, අක්කරෙයිපත්තුහි පැවති මැතිවරන රැස්වීමක් ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක, ඊස්රායලය, ගාසා තීරයේ සිදුකරන ලේවැකි ජනසංහාරයට එරෙහිව ස්ටිකරයක් ඇලවූ මුස්ලිම් තරුනයෙකුට එරෙහිව, ත්‍රස්තවාදය වැලක්වීමේ පනත (පීටීඒ) යටතේ පනවන ලද දින 90ක රඳවා ගැනීමේ නියෝගය සාධාරනීකරනය කරමින්, එම තරුනයා “ස්වයං අභිප්‍රේරනයට” ලක්වූ අයෙකු ලෙස විස්තර කලේය. දිසානායක ඔහුට එරෙහිව “චින්තන අපරාධ” චෝදනා දමා ගැසුවේය.
මාර්තු 22දා, පොලිසිය, ත්‍රස්ත විමර්ශන ඒකකය (ටීඅයිඩී) සමග එක්ව, මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුනේ, 22 හැවිරිදි තරුන මුස්ලිම් කම්කරුවෙකු වන මොහොමඩ් රුස්ඩි ය. ඔහුගේ “අපරාධය” වූයේ, වෙලඳ සේවකයෙකු ලෙස තමා සේවය කල කලම්බු සිටි සෙන්ටර් සුපිරි වෙලඳ සංකීර්නයේ කසල බඳුනක “F***ඊස්රායල්” වැකිය සහිත ස්ටිකරයක් ඇලවීමයි. සීසීටීවී දර්ශන ඔස්සේ එය තහවුරු කරගෙන ඇති බව පොලිසිය පවසයි.
මැදපෙරදිග ගාසා තීරයේ අහිංසක පලස්තීනුවන් සමූලඝාතනය කරමින් ඊස්රායලය විසින් ගෙනයන සංහාරය පිලිබඳ පුවත් ඇසීමෙන් හා දැකීමෙන් ඔ්නෑම සංවේදි අයෙකු මෙන්ම රුස්ඩි තුලද සාධාරන වෛරයක් හා කෝපයක් ඇතිව තිබීම, ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස, දිසානායක ඉහත රැස්වීමේදී අර්ථ ගැන්වූයේ ය.
නැගෙනහිර පලාතේ මුස්ලිම් ඡන්ද ගරා ගැනීමේ අරමුනින් ඔහු කීවේ, යූටියුබ් හා අනෙකුත් සාමජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි හරහා “විවිධ අන්තවාදී සංවිධානවල ප්‍රචාර සිදුකෙරන” බව සහ ඒවාට “අපේ දරුවන් අහුවෙලා”හෙවත් “ස්වයං අභිප්‍රේරනයට ලක්ව ඇති” බවයි. තරුනයින් මෙම ප්‍රචාරවලින් “ගලවා ගැනීම” ආන්ඩුවේ වගකීමක් බව දිසානායක කීවේ, රුස්ඩි සම්බන්ධයෙන් තම ආන්ඩුව ක්‍රියාකර ඇත්තේ “සද්භාවයෙන්” බව ඇඟවීමට යි.
මෙම “අන්තවාදී ප්‍රචාර” මොනවාදැයි දිසානායක කීවේ නැතත්, ජනාධිපති ඇඟවුම් කරන්නේ, ඊස්රායාලයේ ජනසංහාරක හමුදාව විසින් ගාසා තීරයේ වසර එක හමාරකට අධික කාලයක් තිස්සේ අඛන්ඩව සිදුකරන අපරාධ පිලිබද පලවන පුවත් හා දර්ශන ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් යුද අපරාධ ගනයේ ලා සලකන, ඩ්‍රෝන ප්‍රහාර මෙන්ම බෝම්බ හෙලීම් මගින් මරනයට පත්වූ මෙන්ම අතපය අහිමිවූ පලස්තීන කාන්තාවන් හා දරුවන් මෙන්ම බිමට සමතලා කරන ලද මහල් නිවාස, බේකරි, විශ්වවිද්‍යාල, රෝහල් හා සරනාගත කඳවුරුවල නටබුන් දැක්වෙන පින්තූර සහ වීඩියෝ සංස්ථාපිත මාධ්‍යවල අවහිරකිරීම් නොතකා සමාජ මාධ්‍යජාලාවල පල කෙරමින් තිබේ.
මෙම දසුන් අන්තර්ජාලය ඔස්සේ නැරඹීම මගින් “ස්වයං අභිප්‍රේරනය” නම් “ත්‍රස්තවාදී ක්‍රියාවට” ලක්වන මුස්ලිම් තරුනයින් විසකුරු ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිනවීමට මහජන අනුමැතිය ඇති බව පෙන්වීමට දිසානායක කීවේ, අත්අඩංගුවට ගත් තරුනයාගේ දෙමව්පියන්ට ඔවුන්ගේ පුතා පෙන්වූ අවස්ථාවේදී එම දෙමාපියන් ජනාධිපතිට “දරුවා එම විනාශයෙන් බේරාගැනීම ගැන ස්තුතිවන්තවූ” බවයි. දිසානායකම කී පරිදි, රුස්ඩිට කිසිදු සංවිධානයක් සමග සම්බන්ධයක් තිබී නැත.
එසේනම් දිසානායක මැදිහත්වී “බේරාගෙන” තිබෙන තරනයා හසුව සිටි “විනාශය” කුමක්ද? “ස්වයං අභිපේරනය” නම් “විනාශයෙනි”! මෙම අත්අඩංගුවට ගැනීමත් සමග රැකියාව ද අහිමි වූ රුස්ඩි මෙතැන් සිට “ස්වයං අභිප්‍රේරනයට” ලක් නොවී සිටීමට, ගාසා තීරයේ සිදුවන ජනසංහාරය ගැන වචනයක් කතා කරනවා තබා ඒ ගැන සිතීමවත් නොකල යුතුය!
රුස්ඩි අත්අඩංගුවට ගැනීම යුක්තිසහගත කිරීමට දිසානායක ගොතන කතා, එක්සත් ජනපදයේ ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර්ගෙන් කොපිකර ගත්තේ දැයි යමෙකුට සිතුනොත් පුදුම විය යුතු නැත. කොලොම්බියානු විශ්වවිද්‍යාලයේ උපාධිධර ශිෂ්‍යයෙකු මෙන්ම එක්සත් ජනපදයේ ස්ථිර ඇමෙරිකානු පුරවැසියෙකු ද වන මහ්මුද් කලීල්, ට්‍රම්ප් පරිපාලනය විසින් පැහැරගෙන ගොස් රඳවා තබා ගනිමින් දැන් රටින් පිටුවහල් කිරීමට තර්ජන කර ඇත්තේ, ඔහු ගාසාවේ ඊස්රායල් ජනසංහාරයට විරුද්ධවීම නිසාය.
මේ පිලිබඳ පැහැදිලි කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙන්වා දුන්නේ, ට්‍රම්ප් ඒකධිපතිත්වයට යන ගමනේදී, පලමු ව්‍යවස්ථා සංශෝධනයෙන් පවා තහවුරු කර ඇති නිදහස් භාෂනයේ අයිතිය ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කර දමමින්, සංක්‍රමනික සිසුන් මෙම ප්‍රහාරයේ ප්‍රමුඛ වින්දිතයා කරගෙන ඇති ආකාරයයි.
දිසානායක රුස්ඩි සම්බන්ධයෙන් සඳහන් කල, “ස්වයං අභිප්‍රේරනය” පිලිබඳ කතාන්දරය කෙලින්ම කොපි කරගෙන ඇති බව පෙනෙන, රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද සංදේශයක, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කලේ, කලීල්ගේ 'අතීත, වර්තමාන හෝ අපේක්ෂිත විශ්වාසයන්, ප්‍රකාශ හෝ ඔහු සම්බන්ධව සිටින නීත්‍යානුකූල පවා වන (අවධාරනය එකතු කරන ලදී) සංවිධාන' හේතුවෙන් ඔහු ඇමෙරිකාවෙන් පිටුවහල් කල යුතු බවයි.
හුදෙක් ජනසංහාරයට එරෙහිව කතා කිරීම පමනක් නොව, එවන් යුද විරෝධී අදහස් සිතේ පැවතීම හෝ කිසියම් අයෙකු විසින් එවන් අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ තිබේය යන සමපේක්ෂනය නොඑසේනම්, “චින්තන අපරාධයක්” (thought crime) මත පුද්ගලයෙකු රටින් පිටුවහල් කිරීම ද ඇතුලු දන්ඩනයට ලක්කිරීම සපුරාම සමාන වන්නේ ජර්මනියේ ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි තන්ත්‍රය විසින් වර්ධනය කරන ලද Willensstrafrecht (විලෙන්ස්ට්‍රැෆ්රෙක්ට් හෙවත් “අභිප්‍රායට දඬුවම් කිරීම”) යන ෆැසිස්ට් සංකල්පයට ය.
කලෙක “පලස්තීන සහෝදරත්වයේ” කොඩිය වනමින් ව්‍යාජ රංගනයක යෙදුන දිසානායක දැන් ඊස්රායල යුද අපරාධවලට එරෙහිවූ මුස්ලිම් තරුනයාට දඬුවම් පැමිනවීම මගින්, ගාසාවේ ජනසංහාරයට තමන්ගේ සහාය ප්‍රදර්ශනය කර ඇත.
තරුනයා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ලෝක සමාජවාදී වෙබ් අඩවිය අප්‍රේල් 6 දා පලකල ලිපියේදී, ආන්ඩුව රුස්ඩි අත්අඩංගුවට ගැනීම, එලෙස විරෝධයපෑමේ අයිතියක් ලංකාවේ මහජනයාට නැතිබව ප්‍රකාශ කිරීමට සමාන බවත්, යුද්ධයට විරුද්ධ වන සියල්ලන්ට එරෙහිව එල්ල කල ප්‍රහාරයක් බවත් අපි පෙන්වා දුන්නෙමු.
නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතියට එල්ල කෙරුනු මෙම ප්‍රහාරය තුලින් ප්‍රකාශිතවූ, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ස්වභාවය ගැන මහජන විරෝධය ඇවිලවූ තතු යටතේ, දින කීපයකින්ම රුස්ඩිව නිදහස් කිරීමට ආන්ඩුවට බලකෙරුනි. තවද, මෙම සිදුවීම එලැඹෙන පලාත් පාලන මැතිවරන ප්‍රතිපලවලට, විශේෂයෙන්ම මුස්ලිම් ජනයා අතරින් අවාසිසහගත බලපෑමක් ඇතිකල හැකිය යන්න ගැන ද ආන්ඩුව මෙහිදී ගනන් බැලුවේ ය. කෙසේවෙතත්, සාවද්‍ය ත්‍රස්තවාදී ලේබල් ඇලවූ මුස්ලිම් තරුනයා රැකියාවෙන් දොට්ට දමා අර්බුදකාරී තත්වයකට පත්කර ඇතිවා පමනක් නොව, සෑම සතියකම ඉරිදා පොලිසියට ගොස් අත්සන් කිරීමට ඔහුට අධිකරනය නියෝග කර තිබේ.
රුස්ඩි අත්අඩංගුවට ගැනීම සාධාරනීකරනය කිරීමට දිසානායක 2019 අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී කන්ඩායමක් කිතුනු පල්ලිවලට එල්ල කල පාස්කු ප්‍රහාරයත්, මෑතකදී විශාල හඬතැලීමක් කල ආරුගම්බේ ප්‍රදේශයේ සිදුවීමට සැලසුම් කර තිබුනේයැයි කියන “ප්‍රහාරය” පිලිබඳ කතාන්දරයත් හුවාදැක්වූයේ ය.
පාස්කු ප්‍රහාරය, ජනාධිපති, අගැමති ඇතුලු දේශපාලන සංස්ථාපිතයේ කොටස් මෙන්ම දශක තුනකට වැඩි කාලයක් වර්ධනය කරන ලද මිලිටරි බුද්ධි යාන්ත්‍රනයේ අනුදැනුමෙන් තොරව සිදුවිය නොහැකිව තිබුනි. එවක පැවැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ඊනියා යහපාලන ආන්ඩුව ක්‍රියාවට දමා තිබූ කප්පාදු පිලිවෙත් කෙරෙහි වැඩෙමින් පැවැති මහජන වෛරය ද ගසාකමින්, “ජාතික ආරක්ෂාවේ” මන්ත්‍රය ජපකරමින් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනඒමට පසුබිම මෙයින් සකසා ගැනුනි.
බලයට පැමිනීමට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව කී රාජපක්ෂ ඒ වෙනුවට ඒකාධිපති ක්‍රියාමාර්ගයන්ට වාරු වෙමින්, සිය ගනන් මුස්ලිම් තරුනයින් ත්‍රස්තවාදී සැකකරුවන් ලෙස නිකරුනේ අත්අඩංගුට ගත් අතර, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ගෙනගිය කප්පාදු පිලිවෙත් දැවැන්ත මට්ටමකින් උත්සන්න කලේ ය.
පාස්කු ප්‍රහාරයෙන් පසු වර්ගවාදීන්ගෙන් අපමන ගැහට විඳි මුස්ලිම් ජනයා ගැන කනගාටු වන බව දිසානායක නැගෙනහිර පැවැති රැස්වීම්වලදී කීවේ ය. එහෙත්, මේ දිසානායකම එදා රාජපක්ෂගේ මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයට පිටුබලය දුන්නේ, ඉස්ලාම් ත්‍රස්තවාදයට මුස්ලිම් සමාජයම වගකිවයුතුය යන නින්දිත චෝදනාව දමා ගසමිනි. පාස්කු ප්‍රහාරයෙන් ඉක්බිතිව 2019 මැයි 7දා පැවැති පාර්ලිමේන්තු විවාදයේදී දිසානායක, “ඉල්ලාමීය ත්‍රස්තවාදයේ කලලය හැදී වැඩෙන්නේ මුස්ලිම් සමාජය නමැති ගර්භාෂය” තුලයැයි ප්‍රකෝපකාරී ප්‍රකාශයක් කලේ ය.
දකුනු පලාතේ, විශේෂයෙන්ම සංචාරක ඊස්රායල් ජාතිකයන් ගැවසෙන ආරුගම්බේ ප්‍රදේශයේ සිදුකිරීමට සැලසුම් කර තිබුනේයැයි දිසානායක කියන “ප්‍රහාරය” පිලිබඳව ද කිව යුත්තේ ඒ ටිකමය. ආරුගම්බේ සම්බන්ධයෙන් “6 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඔහුගේ ගිනුමට මුදල් වැටිලා තිබුනා. ආරුගම්බෙ ඡායාරූප අරගෙන තිබුනා. අත්අඩංගුටව ගත් අය සමග සබදතා තිබුනා” යැයි නැගෙනහිර පලාතේ මැතිවරන රැස්වීම්වලදී දිසානායක කීවේ ය. “ත්‍රස්තවාදීන්” අඳුනා ගැනීමට දිසානායකට මීට වඩා දෙයක් අවශ්‍ය නැත!
සුලු වාර්ගික ඡන්ද ගසාකෑමේ අරමුනින් “අපේ රටේ සිංහල මුස්ලිම් දෙමල ජනතාවට එක විදියට සලකන එකම ආන්ඩුව” ජවිපෙ/ජාජබ ආන්ඩුව යැයි දිසානායක කියන විට ජවිපෙ සමස්ත ඉතිහාසයම පිහිටා ඇත්තේ එම ප්‍රකාශයට එරෙහිව ය. දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයේ ප්‍රධාන කසකරුවා ලෙස මිලිටරිය විසින් මරා දමන ලද දසදහස් සංඛ්‍යාත දෙමල ජනයාගේ ලෙයින් නැහවී සිටින ජවිපෙ නායකයාට මෙවන් ව්‍යාජ ප්‍රකාශ කිරීමට කිසිදු හිරිකිතයක් ඇත්තේ නැත.
රාජපක්ෂ සමයේදී නුවර දිගන, අකුරන, අලුත්ගම සිදුවූ විසකුරු මුස්ලිම් විරෝධී ප්‍රහාරයක් සිහිපත් කල දිසානායක, “අපි ඔබට සහතික වෙන්නම් ආයෙ ලංකාවේ එවැනි කිසිම ගැටුමක් ඇතිවෙන්න ඉඩ දෙන්නෙ නෑ” යනුවෙන් කීවේය. අවධාරනය කලයුතු කාරනාව වන්නේ, මෙම විසකුරු මුස්ලිම් විරෝධී ප්‍රහාරවටල එරෙහිව එදා දිසානායක ඇතුලු ජවිපෙ මන්ත්‍රීන් වචනයකින් හෝ විරුද්ධත්වය නොපා ඒවාට නිහඬ අනුමැතිය ලබා දුන් බවයි. දෙමල, සිංහල හා මුස්ලිම් කම්කරු පන්තිය භේදබින්න කිරීමේ කුප්‍රකට වාර්තාවකට හිමිකම් කියන දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව, වර්ගවාදයට එරෙහිව කටයුතු කරන බවට කිසිදු මිත්‍යාවක් කම්කරු පන්තිය තබා නොගත යුතුය.
තම ආන්ඩුව රුස්ඩි වැනි තරුනයින් ගැන “අවධානයෙන් සිටින” බව කියමින් දිසානායක තර්ජනය කලේ හුදෙක් රුස්ඩිට හෝ මුස්ලිම් ජනයාට පමනක් නොව, සමස්ත කම්කරු පන්තියටම ය. ජවිපෙ/ජාජබ ආන්ඩුව මගින් ක්‍රියාවට දමා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) කප්පාදු පිලිවෙත් කෙරෙහි වැඩෙන ආන්ඩුවිරෝධී මහජන විරුද්ධත්වය මැඩීමට දිසානායක ආන්ඩුව අධිෂ්ඨානශීලීව සිටී. කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදමින්, සුලුතර දෙමල හා මුස්ලිම් ජනයාට එරෙහි වර්ගවාදය ද කලතා ගත් ආඥාදායක පිලිවෙත්වලට මාරුවීමෙන් තොරව මෙම මර්දනය සිදුකිරීමේ හැකියාවක් ඇත්තේ නැත.
වර්ගවාදී ජවිපෙ/ජාජබ ආන්ඩුවේ මෙම විසකුරු ප්‍රහාරයන්ට සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරු පන්තිය අභියෝග කල යුත්තේ, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයෙන් සන්නද්ධ වෙමිනි. එම ඉදිරිදර්ශනය සම්පාදනය කරන එකම පක්ෂය වන්නේ, වර්ගවාදී යුද්ධයට එරෙහිව ධෛර්ය සම්පන්නව සටන් කිරීමේ කීර්තිමත් වාර්තාවක් ඇති සමාජවාදී සමානතා පක්ෂය යි. මෙම පක්ෂය මහජන පක්ෂයක් ලෙස ගොඩ නැගීමට එකතු වන්න.