ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය යටත් කරගැනීමේ පෙබරවාරි 28දා ආරම්භ කල යුද්ධයේ ප්‍රතිවිපාක රටක් රටක් පාසා ආර්ථිකයන්ට, විශේෂයෙන්ම කම්කරු පන්තියේ ජීවිතවලට විනාශකාරී තත්වයන් ඇති කර තිබේ. මෙම යුද්ධයට මේ වනවිටත් පුලුස්සා ඇති ඩොලර් බිලියන 30ක ආසන්න යුද වියදම සෘජුවම ඇමෙරිකානු කම්කරු පන්තියේ කරමත පටවා ඇති අතර එනයින් ඔවුන් වඩවඩාත් වේගයෙන් යුද්ධයටත් කප්පාදුවලටත් එරෙහිව අරගලවලට තල්ලු කරමින් තිබේ.
දස දහස් ගනනක් කම්කරුවන් මෙම අරගලවලට පිවිස ඇත්තේ, ආර්ථිකයේ විවිධ අංශ--පොදු ප්‍රවාහනය, සෞඛ්‍ය සේවා, වාහන අමතර කොටස් නිෂ්පාදනය, අධ්‍යාපනය, මස් ඇසුරුම් කිරීම සහ උසස් අධ්‍යාපනය යන අංශවල-- කම්කරුවන් හරහා වැඩවර්ජන, පාගමන්, පිකටින් සහ පෙලපාලි හරහා තම සේවා යෝජකයින් සමඟ විවෘත ගැටුමකට අවතීර්න වෙමිනි. එක්සත් ජනපදය තුල සමාජවාදී සමානතා පක්ෂයේ සහෝදර පක්ෂය, අත්‍යවශ්‍ය වැඩපිලිවෙල හා ඉදිරිදර්ශනය සම්පාදනය කරමින් මෙම අරගලවලට සක්‍රීයව මැදිහත් වෙමින් තිබේ. මෙම වාර්තාව සකසා ඇත්තේ එවන් මැදිහත්වීම් සම්බන්ධයෙන් සසප ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලියූ ලිපිමත පාදක වෙමිනි.
දැන් වර්ජනවලට එලැඹෙන ඇතම් කර්මාන්ත අංශවල කම්කරුවන් එසේ කරන්නේ දශක ගනනාවකට පසු පලමු වරට ය. මේ තත්වය මැද, මෙම අරගල වෘත්තීය සමිති නිලධරයන්ගේ පාලනයෙන් මිදී ස්වාධීන ඒකාබද්ධ අරගලයක් දක්වා වර්ධනය වීමේ තර්ජනය ඇති බවට, ධනපති කතිපයාධිකාරිය සහ එහි දේශපාලන නියෝජිතයන්- ප්රමුඛව ඩිමොක්රටිකයන් සහ රිපබ්ලිකානුවන් යන දෙපිරිසම විසින් – අනතුරු අඟවා තිබේ.
එක පැත්තකින් යුද්ධයේ බලපෑමත්, අනෙක් පැත්තෙන් කර්මාන්ත වඩවඩාත් ඒඅයි තාක්ෂනය යොදාගැනීම මගින්, සංගත හිමිකරුවන් මහා පරිමාන රැකියා කප්පාදුව තීව්ර කර ඇත. ඒ අතර, වැටුප් ඉහල යන ජීවන වියදමට වඩා බොහෝ සෙයින් පසුගාමීව පවතී. අනෙක් අතට සොච්චම් වැටුප් වැඩිවීම් නිරන්තරයෙන් උද්ධමනය සමඟ සමපාත වීමට අපොහොසත් වී ඇති අතර, ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් අනියම් හා අස්ථිර රැකියාවල සිරවී සිටින අතර, ස්ථිර තනතුරු, ස්‍යෙඛ්‍ය අධ්‍යාපනය සහ මූලික ආරක්ෂන ඔවුන්ට අහිමි කෙරී ඇත. මේ ආකාරයෙන්, කම්කරුවන්ගේ සමෘද්ධියේ ආකෘතියක් ලෙස දිගු කලක් තිස්සේ පෙනී සිටි එක්සත් ජනපදය, ගැඹුරු වන අසමානතාවයේ සමාජයක් ලෙස හෙලිදරව් වී ඇති අතර, ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් මූල්‍ය කතිපයාධිකාරය රට තුල දැවැන්ත පරිමාන විනාශයක් සහ විදේශයන්හි මිලිටරි ආක්රමනයක් අනුගමනය කරයි.
යුද්ධයේ නාටකාකාර උත්සන්නවීම මගින් පෙන්නුම් කල පරිදි, එක්සත් ජනපදය තුල දිග් ගැස්සුනු ආර්ථික අර්බුදය පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වීමට පෙර පවා, කම්කරුවන් අරගලවලට තල්ලු කර පැවැතුනි. ජනවාරි 12 වන දින, නිව් යෝර්ක් නගරය පුරා හෙදියන් 15,000 ක් පමන දින 41 ක වැඩ වර්ජනයක් දියත් කල අතර එය උද්ධමනයට වඩා අඩු වැටුප් දීමනා, අනාරක්ෂිත කාර්ය මන්ඩල මට්ටම්, ප්‍රමානවත් සෞඛ්‍ය සේවා ප්රතිලාභ සහ පුලුල් සේවා ස්ථාන ප්රචන්ඩත්වයට එරෙහිව දශක ගනනාවකින් නගරයේ විශාලතම සෞඛ්‍ය සේවා වැඩ වර්ජනය විය. පෙබරවාරි මාසයේදී, සැන් ෆ්රැන්සිස්කෝ නුවර ගුරුවරුන්, පරිපූරක අධ්‍යාපනඥයින් සහ පාසල් සහායක කාර්ය මන්ඩලය 6,400 ක් පමන වැඩ වර්ජනයක් දියත් කල අතර, වැඩ වර්ජනයේදී ස්ථාන 120 ක පිකට් ලයින් ස්ථාපිත කරමින්, උද්ධමනයට සරිලන වැඩි වැටුප්, පූර්න අරමුදල් සහිත පවුල් සෞඛ්‍ය සේවා සහ බලාත්මක කල හැකි පන්ති ප්‍රමානයේ සීමාවන් (එක් සෞඛ්‍ය සේවකයෙකුට සහායවිය හැකි රෝගීන් සංඛ්‍යාව) ඉල්ලා සිටියහ. මෙය 1979 සිට මෙම දිස්ත්‍රික්කයේ පැන නැගුනු පලමු වැඩ වර්ජනය විය.
මාර්තු අග දී, නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ කොන්ත්‍රාත් පදනම මත වැඩ කරන ගුරුවරුන් 950 ක් පමන - ස්ථිර සේවා කාලයකින් තොරව පාඨමාලා උගන්වන අධ්‍යාපනඥයින් - උද්ධමනයට වඩා වැටුප් වැඩිවීම්, ශක්තිමත් රැකියා ආරක්ෂාව, අධ්‍යයන නිදහස සහ ඔවුන්ගේ තත්වයන් අඩපන කිරීම සඳහා ඒඅයි භාවිතා කිරීමට එරෙහිව ආරක්ෂාව ඉල්ලා දෙදින වැඩ වර්ජනයක් පැවැත්වූහ.
අනෙකුත් අරගල අතර පහත සඳහන් ඒවා කැපී පෙනේ:
*කොලරාඩෝ හි ග්‍රීලි හි ජේබීඑස් ස්විෆ්ට් කම්හලේ (JBS Swift plant) මස් ඇසුරුම්කරුවන්ගේ වැඩ වර්ජනය:
මාර්තු 16 දා ආරම්භවී මස් ඇසුරුම්කරුවන් 4,000කට ආසන්න සංඛ්‍යාවක් සති තුනක් තිස්සේ පැවැති මෙම වර්ජනය වඩාත්ම වැදගත් අරගල අතරට එයි. එය 1985-86 මිනසෝටා හි හෝමෙල් වැඩ වර්ජනයෙන් පසු එක්සත් ජනපද මස් ඇසුරුම් කර්මාන්තයේ විශාලතම පංති ක්‍රියාව විය. කලමනාකරනය සහ ට්‍රම්ප් පරිපාලනයේ පිටුවහල් කිරීමේ වැටලීම් යන දෙකම නොසලකා හරිමින් සංක්රමනික කම්කරුවන් විසින් බලගතු ලෙස මෙහෙයවන ලද මෙම වැඩ වර්ජනය පුලුල් ප්‍රශංසාවක් දිනා ගත්තේය. එහෙත් සති තුනක අධිෂ්ඨානශීලී අරගලයකින් පසු ව, මෙම කම්කරුවන් නියෝජනය කරන එක්සත් ආහාර හා වානිජ සේවක සංගමය (යූඑෆ්සීඩබ්ලිව්) එය පාවා දුන් අතර, කිසිදු අර්ථවත් ජයග්‍රහනයකින් තොරව කම්කරුවන්ට ආපසු වැඩට යාමට නියෝග කෙරිනි.
*ලෝන්ග් අයිලන්ඩ් රේල් පාර (එල්අයිආර්ආර්) කම්කරු වර්ජනය.
මෑත කාලීනව වඩාත්ම කැපී පෙනෙන අරගලයක්වූ මෙම වර්ජනය, ලෝක මූල්‍ය කේන්ද්‍රස්ථානය වන නිව් යෝර්ක් නගරයේ මැයි 16දා ආරම්භ වී කම්කරුවන් 3,500 ක් විසින් දින තුනක් පුරා පැවැත්වුනි. එය,1994 න් පසු පලමු වරට ආරම්භ වූ වැඩ වර්ජනයයි. ඒ සමඟම, මෙට්‍රොපොලිටන් ප්‍රවාහන අධිකාරියේ (එම්ටීඒ) උමං මාර්ග සහ බස් රථ කම්කරුවන් 40,000 ක් ආවරනය කරන සේවා කොන්ත්‍රාත්තු ගිවිසුම කල් ඉකුත් වූ අතර, කලාපය පුරා ඒකාබද්ධ ප්‍රවාහන කම්කරුවන්ගේ නැගිටීමක අපේක්ෂාව මතු කලේය. මෙම අනතුරට මුහුන දුන් ප්‍රවාහන අධිකාරියේ (එම්ටීඒ) නිලධාරීන්, මැයි 18 වන දින එල්අයිආර්ආර් වැඩ වර්ජනය අවසන් කරමින් තාවකාලික ගිවිසුමකට එලඹීමට කඩිනමින් පියවර ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ගනුදෙනුව උද්ධමනයට වඩා අඩු වැටුප් වැඩිවීමක් ඇති කරන බවත්, කොන්ත්‍රාත්තුව කල් ඉකුත් වන විට කම්කරුවන් සැබෑ ලෙස දුගීභාවයට ඇද දමනු ඇතැයි යනුවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) අනතුරු අඟවා තිබේ.
* මිෂිගන්හි සැගිනෝ හි නෙක්ස්ටීර් ඔටෝමෝටිව් කම්හලේ සහ ත්‍රී රිවර්ස් හි ඇමරිකන් ඇක්සල් කම්හලේ කම්කරුවෝ ද්‍රෝහී සාමුහික ගිවිසුම් ප්‍රතික්ෂේප කිරීම.
කම්කරුවන්ගේ අධිෂ්ඨානය සහ වෘත්තීය සමිති මර්දනය අතර ගැටුම මෝටර් රථ අමතර කොටස් අංශයේ තරම් තියුනු ලෙස ප්‍රකාශ වී ඇති වෙනත් තැනක් නොමැත. ඩොලර් 60,000 ට වැඩි මිලකට අලෙවි වන වාහන සඳහා තීරනාත්මක සුක්කානම් සංරචක නිෂ්පාදනය කරන මිචිගන්හි සැගිනෝ හි නෙක්ස්ටීර් ඔටෝමෝටිව් කම්හලේ කම්කරුවෝ තම සමිතිය වන යුනයිටඩ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව්) විසින් තම කොන්දේසි පාවා දුන් පාලකයින් සමග ඇතිකරගත් ගිවිසුම් දෙකක් වැඩි ජන්ද බහුතරවලින් ප්‍රතික්ෂේප කලහ. මිචිගන්හි ත්‍රී රිවර්ස් හි ඇමරිකන් ඇක්සල් කම්හලේ, කම්කරුවන් වැඩ වර්ජනයකට අවසර දීමට සියයට 98 ක් ඡන්දය දුන්හ. මෙම අවස්ථා දෙකේදීම, යූඒඩබ්ලිව් සමිති නිලධරය සාමාජිකත්වයේ කැමැත්තෙන් තොරව පවතින කොන්ත්‍රාත්තු දීර්ඝ කර, ඕනෑම වැඩ වර්ජනයක් වැලැක්වීමට උපාමාරු දැමූහ. මෙම සංවිධානය කම්කරුවන්ගේ සංවිධානයක් ලෙස නොව පොලිස්කාරකම් කරන සංගත කලමනාකරනයේ මෙවලමක් ලෙස ක්‍රියා කලහ.
පාවාදීමේ හේතුව තේරුම් ගැනීම අපහසු නැත. මැයි 21දා ලෝසවෙඅ හි (ඇමරිකානු) කම්කරු සංස්කාරක ජෙරී වයිට් පැහැදිලි කල පරිදි:
“නියමිත වේලාවට බෙදා හැරීමේ කොන්දේසි යටතේ, නෙක්ස්ටීයර් කම්හලේ වැඩ වර්ජනයක් මගින් මැදපෙරදිග සහ ඉන් ඔබ්බට ජෙනරල් මෝටර්ස්, ෆෝඩ් සහ ස්ටෙලැන්ටිස් කම්හල් හරහා නිෂ්පාදනය වේගයෙන් වසා දැමිය හැකිය. යූඒඩබ්ලිව් නිලධරය වැලැක්වීමට කටයුතු කරන්නේ හරියටම එයයි.'
කෙසේ වෙතත්, නෙක්ස්ටීර් හි කම්කරුවෝ වැඩවර්ජන බලය පැවරීමේ ඡන්දයක් පැවැත්වීමට වෘත්තීය සමිතියට බල කල අතර, එය සියයට 86 කින් ජයග්‍රහනය කලහ. වෘත්තීය සමිති යාන්ත්‍රනයෙන් ස්වාධීනව පිහිටුවන ලද නෙක්ස්ටීර් කම්කරු ක්‍රියාකාරී කමිටුව (එන්ඩබ්ආර්එෆ්සී) පහත යෝජනා ඉදිරිපත් කලහ: විශ්වාසදායක වැඩබිම් කම්කරුවන්ගෙන් තේරී පත් වූ වැඩ වර්ජන කමිටුවක් වහාම පිහිටුවීම; ස්ථිර වැඩවර්ජන කාල සීමාවක් නියම කර එය බලාත්මක කිරීමට ඉල්ලා සිටීම; කම්කරුවන්ට විරුද්ධව කුමන්ත්රනය කරමින් කම්කරු අරගල පාවා දෙන වත්මන් කේවල් කිරීමේ කමිටුව පලවා හැරීම; සහ සාමාජිකත්වය ඉදිරියේ විවෘතව සාකච්ඡා පැවැත්විය හැකි තත්වයක් නිර්මානය කරන වාතාවරනයක් ගොඩ නැගිම.
මෙම අරගලයට පෙන්සිල්වේනියාවේ මැකුන්ගි හි මැක් ට්‍රක්ස් කම්කරුවෙකු සහ සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) සාමාජිකයෙකු වන විල් ලෙහ්මන් මැදිහත් වී ඇත. ඔහු වෘත්තීය සමිති නිලධරය අහෝසි කර වැඩපොලේ කම්කරුවන්ට බලය නැවත පැවරීමේ වේදිකාවක් මත යූඒඩබ්ලිව් සභාපති ධුරයට තරඟ කරයි. නෙක්ස්ටීර් හි සාමාන්‍ය කම්කරුවන්ට ආයාචනා කරමින්, කම්කරුවන්ගෙන් තේරී පත් වූ වැඩ වර්ජන කමිටු පිහිටුවීමට, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ඉදිරිදර්ශනයක් ඉදිරියට ගෙන යාමට සහ ජාතික දේශසීමා හරහා සාමාන්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටු සම්බන්ධ කිරීමට කැඳවුම් කරන ලෙස ලෙහ්මන් ඉල්ලා තිබේ.
ඇමරිකානු කම්කරුවන්ගේ අරගල මාලාව, කප්පාදු, යුද්ධය සහ සමාජ අසමානතාවට එරෙහිව වර්ධනය වන ජාත්‍යන්තර වැඩකරන ජනයාගේ සටන්වල කොටසකි. ජර්මනියේ කම්කරුවන් කර්මාන්තශාලා වැසීමට සහ මහා පරිමාන දොට්ට දැමීම්වලට එරෙහිව වැඩවර්ජනවල නිරත වී ඇති අතර, පාලක පන්තිය විසින් නිර්මානය කරන ලද පුලුල් යුද ගැටුම් සඳහා සූදානම් වීම සඳහා තරුනයින් අනිවාර්ය හමුදා සේවයට බඳවා ගැනීමේ නව නීතිවලට විරුද්ධ තරුනයෝ සහ සිසූහු සටන් කරති. ලොව පුරා, කම්කරුවන් තමන්ගේම ආන්ඩුවලට එරෙහිවත් සහ තමන් සේවය කරන සංගතවලට එරෙහිවත් මුහුනට මුහුන අභිමුඛ වෙමින් සිටින අතර, ඔවුන් මත ඇති කරන අර්බුදය ජාතික නොව ජාත්‍යන්තර ස්වභාවයකින් පැන නගින බව තේරුම් ගත යුතුය.
ඩිමොක්රටික් පක්ෂය සහ වෘත්තීය සමිති නිලධරයන් යන දෙඅංශයෙන්ම වාරුව ලබාගෙන ඇති ට්‍රම්ප් තන්ත්රය නියෝජනය කරන ඇමරිකානු කතිපයාධිකාරය ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව යන, ඇමරිකානු සමාජය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඉල්ලා සිටින අතර සමස්ථ ඇමරිකානු පාලක පන්තිය දැනටමත් මුලු ලෝකයම තුන්වන ලෝක යුද්ධයක් කරා ගමන් මාර්ගයකට යොමු කර ඇත. එක්සත් ජනපදයේ, ජර්මනියේ, ශ්‍රී ලංකාවේ සහ සෑම තැනකම කම්කරු පන්තිය හුදෙක් ආර්ථික ප්‍රහාරයකට නොව, ගැඹුරු අර්බුදයක සිටින පාලක පන්තියක දේශපාලන ප්‍රහාරයකට මුහුන දෙමින් සිටිති.
ශ්‍රී ලාංකික කම්කරු පන්තිය මෙම වර්ධනයන් සම්බන්ධයෙන් පැහැලිදි අවබෝධයක් ඇතිකර ගත යුතුය. එක්සත් ජනපදයේ කම්කරුවන් අත්විඳිමින් සිටින්නේ ඇමරිකානු විශේෂත්වයක් නොවේ. එය ධනවාදය යටතේ පන්ති අරගලයේ විශ්වීය ලක්ෂනයකි.
ශ්‍රී ලංකාවේ, සෑම අංශයකම වෘත්තීය සමිති නිලධරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) මුර්ග කප්පාදු පිලිවෙත සමඟ සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලය (ජවිපෙ/එන්පීපි) පාලන තන්ත්රය සමඟ පෙල ගැසී ඇත. කප්පාදුවලට විරුද්ධයයි මවා පාමින් බලයට පත් වූ දිසානායක ආන්ඩුව, දැන් සමාජ වියදම් කප්පාදු කිරීම, කම්කරුවන්ගේ අයිතිවාසිකම්වලට පහර දීම සහ ධනපති පන්තියේ නියෝග ක්‍රියාත්මක කිරීම යන අයිඑම්එෆ් හි න්‍යාය පත්‍රයට ප්‍රායෝගිකව සම්පූර්නයෙන්ම කැප වී සිටී. වෘත්තීය සමිති මෙයට විරුද්ධ වී නැත. ඔවුන් එයට සහයෝගයෙන් කටයුතු කර ඇත. මෙය විශේෂිත පුද්ගලයින්ගේ අසාර්ථකත්වයක් නොවේ; එය වෘත්තීය සමිති නිලධරයේ පන්ති ස්වභාවයේ ප්රකාශනයයි. මෙම සමිති, කම්කරුවන්ගේ අවශ්‍යතා ධනේශ්වර පාලනය පවත්වා ගැනීමට යටත් කරයි - ඒ, හරියටම එක්සත් ජනපදයේ යූඒඩබ්ලිව්, යූඑෆ්සීඩබ්ලිව් සහ එම්ටීඒ වෘත්තීය සමිතිවල ඔවුන්ගේ සගයන් කර ඇති ආකාරයටම ය.
ශ්‍රී ලංකාවේ සසප සහ එහි මාධ්‍ය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ශ්‍රී ලාංකික කම්කරු පන්තියෙන් තීරනාත්මක සංවිධානාත්මක වැඩකටයුතුවලට එලැඹෙන ලෙස ඉල්ලා සිටී: සෑම වැඩබිමකම සහ නිවහනකම වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු වහාම ස්ථාපිත කල යුතුය. මෙම කමිටු එක්සත් ජනපදයේ සහ අනෙකුත් රටවල කම්කරුවන් විසින් ගොඩනඟන ක්‍රියාකාරී කමිටු සමඟ සම්බන්ධීකරනය කල යුතු අතර, ධනේශ්වර ලාභ ක්‍රමය අහෝසි කිරීම, ලෝක සමාජවාදය සඳහා අරගලය සහ තුන්වන ලෝක යුද්ධයක් වැලැක්වීම එල්ල කරමින් පොදු ජාත්‍යන්තර වැඩපිලිවෙලක් සඳහා සටන් කල යුතුය.
