[මෙය The real state of Trump’s America: Social misery, dictatorship, war—and an upsurge of class struggle යන මැයෙන් 2026 පෙබරවාරි 24 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
කොංග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරයට පෙර, අඟහරුවාදා (24) රාත්‍රියේ දී, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රාජ්‍යයේ තත්වය පිලිබඳ වාර්ෂික දේශනය පවත්වනු ඇත. එය නම් කර ඇත්තේ අවංක ලෙස ම නම්, කතාව “ධනවතුන්ගේ රාජ්‍යය” ලෙස හැඳින්වීමට සිදුවනු ඇත—එය ඇමරිකානු ජීවිතයේ ව්‍යසනකාරී යථාර්ථය බොරු කන්දක් යට වලලා දමන, ස්වයං-සන්තුෂ්ටියේ වාචාල ව්‍යායාමයක් වනු ඇත.
මෙම දේශනය පවත්වනු ලබන්නේ, එක්සත් ජනපදය තම නිදහස් ප්රකාශනයේ 250 වන සංවත්සරය සැමරීමට නියමිත වර්ෂයේ දී ය. 2026 ජූලි 4 වන දින, “සියලු මිනිසුන් සමාන ලෙස නිර්මානය කර ඇත” යනුවෙන් ප්‍රකාශ කරමින්, “ජීවිතය, නිදහස සහ සතුට හඹා යාමේ” අහිමි කල නොහැකි අයිතිවාසිකම් තහවුරු කරන ලද ලේඛනය නිකුත් කිරීම ජාතිය විසින් සමරනු ඇත. මෙහි ආදි-කර්තෘවරු III වන ජෝර්ජ් රජුට එරෙහි ව විප්ලවයක් කලහ.
ට්‍රම්ප්ගේ ඇමරිකාව, වසර දෙසිය පනහකට පසු, (ඇමරිකානු) ප්රකාශනයේ පරමාදර්ශයන්ට තමන්ගේ ම පිලිතුරක් සම්පාදනය කරයි: බිලියනපතියන් විසින්, බිලියනපතියන් සඳහා, බිලියනපතියන්ගේ ආන්ඩුවක්, රට පුරා ව්‍යාප්ත ගාල් කඳවුරු ජාලයක් හරහා සංක්රමනික ප්‍රජාවන්ට එරෙහි ව සන්නද්ධ වැටලීම් මෙහෙයවයි; දෙමාපියන්ගෙන් දරුවන් උදුරා ගනී; මිනියාපොලිස් වීදිවල ෆෙඩරල් ඒජන්තයෝ නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබති.
මෙම ක්‍රියාකාරකම් සිසාරා හමා එන්නේ, ජෙෆ්රි එප්ස්ටීන්ගේ දුර්ගන්ධයයි. අධිකරනය ඉදිරියේ වරදකරුවෙකු වූ ලමා ලිංගික ජාවාරම්කරුවෙකු සමඟ බිලියනපතියන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලන පුද්ගලයින්ගේ සම්බන්ධතා හෙලිදරව් කරන, අධිකරන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මිලියන 3 කට ආසන්න වෙබ් පිටු සංගත සහ ඇමරිකාවේ ඉහල ස්ථර සොලවා දමා තිබේ. ලෝසවෙඅ සභාපති ඩේවිඩ් නෝර්ත් මෑතක දී ලියූ පරිදි, මෙම ලිපිගොනු, “පරිහානියේ ඉහල අවධියක සිටින පාලක පන්තියක සහ කතිපයාධිකාරී සමාජයක සමාජ දේහ ලක්ෂන හෙලි කරයි. ඔවුන්ගේ අපරාධ දුර්ගන්ධය වහනය කරයි; එය දෙව්ලොව දක්වා ම පැතිරේ.”
ට්‍රම්ප් මේවාට ගැඹුරින් ම පැටලී සිටී. නීතිපති පැම් බොන්ඩි, අඛන්ඩ ව සිදුවන වසන් කිරීම පිලිබඳ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වූයේ, ඩව් (ජෝන්ස්) දර්ශකය 50,000 දක්වා ඉහල ගොස් ඇති බවට පුරසාරම් දොඩමිනි. එෆ්බීඅයි ලේඛනවලින් හෙලි වන පරිදි, බිලියනපති ලෙස්ලි වෙක්ස්නර්, 2019 සම-කුමන්ත්රනකරුවෙකු ලෙස හඳුනා ගෙන ඇති මුත්, කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නොමැත. එප්ස්ටීන් තම ජාවාරමට ලක්වූ ගැහැනු ලමයින්, “කූනිස්සන් ය—හිස ඉවත දමා ශරීරය ලඟ තබා ගන්න” යනුවෙන් සංසන්දනය කරන ආකාරය ඔහුගේ ඊමේල් පෙන්වා දෙයි. මේ ඇමරිකාව පාලනය කරන පාලක පන්තියයි.
ට්‍රම්ප්ගේ වාචාල කතා වලට යට වී වැලලී යන සැබෑ කරුනු සලකා බලන්න. ජාතික නය ඩොලර් ට්‍රිලියන 38.4 ක් වන අතර එය දිනකට ඩොලර් බිලියන 8 කින් වැඩි වෙමින් පවතී. එනම් රටේ සෑම පුද්ගලයෙක් ම මේ වන විට ඩොලර් බිලියන 113,000 ක් නය වී සිටී. කොංග්රස් අයවැය කාර්යාලය (සීබීඕ) මෙම වසරේ අයවැය හිඟය ඩොලර් ට්‍රිලියන 1.9 ක් බවට ද, එය 2036 වන විට ඩොලර් ට්‍රිලියන 3.1 දක්වා වර්ධනය වන බවට ද අනාවැකි පලකර තිබේ; නය මුදල දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 120 දක්වා ලඟා වීමක් වන එය, ජාතියේ ඉතිහාසයේ නය ඉහල ගිය ඕනෑ ම අවස්ථාවකට වඩා ඉහල අගයකි.
2025 දී ඩොලරය සියයට 9 කට වඩා පහත වැටුනු අතර එය 2017 න් පසු එහි නරක ම වාර්ෂික කාර්යසාධනය යි; බ්‍රික්ස් (BRICS) රටවල් දේශීය මුදල් වෙලඳ පියවීම් සියයට 35 සිට 50 දක්වා වැඩි කරන තතු තුල, එක්සත් ජනපදය අශුභවාදී කොටස් වෙලඳපොල කලාපයේ (bear market territory: ප්‍රධාන කොටස් දර්ශකය හෝ සුරැකුම්පත් එහි මෑත කාලීන ඉහල ම මට්ටමෙන් සියයට 20 හෝ ඊට වැඩි ප්රමානයකින් පහත වැටෙමින්, දිගුකාලීන පහත වැටීමේ ප්රවනතාවක් සහ පුලුල් ආයෝජක අශුභවාදයක් පෙන්නුම් කරන කාල පරිච්ඡේදයක - පරිවර්තක) පවතී. 2020 සිට සමුච්චිත මිල ඉහල යාම අති දැවැන්ත ය: ආහාර පිරිවැය සියයට 25ට වඩා ඉහල ගොස් ඇත; නිවාස පිරිවැය තවමත් වාර්ෂික ව සියයට 3 කින් ද, ස්වභාවික ගෑස් සියයට 10 කින් පමන ද ඉහල යමින් පවතී.
සමාජ අසමානතාවය ඓතිහාසික වශයෙන් පෙර නොවූ විරූ මට්ටමක පවතී. ඉහල ම කුටුම්භ සියයට 1 දැන් මුලු ධනයෙන් සියයට 31.7 ක් පාලනය කරයි; එය 1989 දී ෆෙඩරල් මහ බැංකුව එවැනි දත්ත නිරීක්ෂනය කිරීමට පටන් ගත් දා සිට ඉහල ම අගයයි. ඔවුන් සතු ව ඩොලර් ට්‍රිලියන 55 ක් ඇති අතර එය පහල ම සියයට 90 හි එකතුවට සමාන වේ. ඇමරිකානු බිලියනපතියන් 935 දෙනෙකුගේ ඒකාබද්ධ ධනය 2025 අවසානය වන විට ඩොලර් ට්‍රිලියන 8.1 දක්වා ඉහල ගියේ ය.
ආන්ඩුවේ කාර්යක්ෂමතාව පිලිබඳ දෙපාර්තමේන්තුව (DOGE: Department of Government Efficiency) හරහා ෆෙඩරල් ආන්ඩුව විසුරුවා හැරීමේ ට්‍රම්ප්ගේ හවුල්කරු වන එලොන් මස්ක්, ඔහුගේ ධනය ඩොලර් බිලියන 726 දක්වා ඉහල නංවා ගෙන තිබේ. S&P 500 සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරී වැටුප් සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 18.9 ක් වන අතර එය සාමාන්‍ය සේවකයෙකුගේ වැටුප මෙන් 285 ගුනයකි, එය 1965 දී 21:1 අනුපාතයේ සිට අද දක්වා ඉහල ගොස් ඇති ආකාරය යි. 1978 සිට ප්‍රධාන විධායක නිලධාරී වැටුප සියයට 1,094 කින් ඉහල ගොස් ඇති අතර සේවක වැටුප වැඩි වී ඇත්තේ සියයට 26 කින් පමනි. ටෙස්ලා සමාගම, මස්ක් සඳහා ඩොලර් ට්‍රිලියන 1 ක වැටුප් පැකේජයක් යෝජනා කර ඇති අතර එය සමස්ත ෆෙඩරල් ශ්‍රම බලකායේ මුලු වාර්ෂික වැටුප ඉක්මවා යයි. කොටස් වෙලඳපොල ජාතික සමෘද්ධිය පිලිබඳ මිනුමක් නොවේ. එය පාලක පන්තියේ පොහොසත්කම පිලිබඳ පරාමිතියකි.
නමුත් රාජ්‍යයේ සැබෑ තත්වයේ වඩාත්ම භයානක මානය වන්නේ, ජනතාවට එරෙහි ව සන්නද්ධ ෆෙඩරල් ඒජන්තයින් යෙදවීමයි. 2025 දෙසැම්බර් මාසයේ දී පරිපාලනය විසින් ඔපරේෂන් මෙට්‍රෝ සර්ජ් දියත් කරන ලද අතර, මුහුනු ආවරන පැලඳගත් අයිසීඊ (ICE: සංක්රමන සහ රේගු බලාධිකාරිය) සහ දේශසීමා මුර සංචාර ඒජන්තයින් 3,000 ක් මිනසෝටා හි ට්වින් නගරවලට යොදවන ලදී. එය ඇමරිකානු ඉතිහාසයේ විශාලත ම සංක්රමන මෙහෙයුම ලෙස දේශීය ආරක්ෂාව පිලිබඳ දෙපාර්තමේන්තුව (DHS) විසින් ම හඳුන්වන ලදී. ජනවාරි 7 වන දින, අයිසීඊ විසින් 37 හැවිරිදි ඇමරිකානු පුරවැසියෙකු සහ දරුවන් තිදෙනෙකුගේ මවක වන රෙනේ ගුඩ් වෙඩි තබා ඝාතනය කලේය. ජනවාරි 24 වන දින, දේශසීමා මුර සංචාර ඒජන්තයන් 37 හැවිරිදි දැඩි සත්කාර හෙදියක වන ඇලෙක්ස් ප්රිටීට වෙඩි තබා ඝාතනය කල අතර, ඔහු බිම වැතිර සිටිය දී ඔහුට වෙඩි තැබීම් වට 10 ක් පමන එල්ල කර තිබුනි.
රට පුරා රැඳවුම් කඳවුරු ජාලයක් ගොඩනඟා ඇති පරිපාලනය, ඒවයේ පුද්ගලයින් 66,000 කට ආසන්න සංඛ්‍යාවක් රඳවා තබා ඇත—එය සියයට 75 ක වැඩි වීමකි; එය මෙතෙක් ඉතිහාසයේ ඉහලම මට්ටමයි. කොංග්‍රසය තවත් රැඳවුම් පරිශ්‍ර සඳහා ඩොලර් බිලියන 45 ක් වෙන් කර ඇත; ඒවයේ ධාරිතාව 135,000 ක් ලෙස ගනන් බලා තිබේ. වාර්තාගත අනුපාතයකින් දරුවන් තම දෙමාපියන්ගෙන් වෙන් කරනු ලැබේ. ටෙක්සාස් හි ෆෝර්ට් බ්ලිස් හි කූඩාරම් කඳවුරක—මෙම භූමිය, දෙවන ලෝක යුද්ධ සමයේදී ජපන් ඇමරිකානුවන් සඳහා සිර කඳවුරක් ලෙස භාවිතා කර තිබේ—පුද්ගලයින් 5,000 ක් සිටී. අයිසීඊ රඳවා තබා ගැනීම් සඳහා වාර්තාගත ඉහල ම වසර 2025 විය.
ඩිමොක්රටික් පක්ෂය කිසිදු සැබෑ විරුද්ධත්වයක් නොපෙන්වනු ඇත. අඟහරුවාදා (24) රාත්‍රියේ ඔවුන් කරන ඕනෑ ම අභිනයක් අර්ථ විරහිත ප්‍රයෝග වනු ඇත. සැබෑ භාවිතයේ දී, පාලක පන්තියට වඩාත් ම වැදගත් කරුනු සම්බන්ධයෙන් ඔවුන් ට්‍රම්ප් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. ට්‍රම්ප් සමඟ ඔවුන්ගේ මතභේද පවතින තැන්වල, ඔවුන් කේන්ද්‍රගත වී සිටින්නේ, අධිරාජ්‍යවාදී මූලෝපායේ උපායශීලී ප්‍රශ්න මත ය—සියල්ලටත් වඩා, යුක්රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ වක්‍ර යුද්ධයට ඔහු ප්‍රමානවත් සහයෝගයක් නොදැක්වීම පිලිබඳ අතෘප්තිය මත ය. නමුත් ඉරානය සමඟ යුද්ධය කරා යන ගමනේ දී, පක්ෂ දෙක අත්‍යවශ්‍ය එකඟතාවයකට පැමින සිටී.
ට්‍රම්ප්ගේ රාජ්‍යයේ තත්වය පිලිබඳ වාර්ෂික දේශනයට පක්ෂයේ ප්‍රතිචාරය ඉදිරිපත් කිරීම සඳහා ඩිමොක්රටික් පක්ෂය සීඅයිඒ ප්‍රවීනයන්—පසුගිය වසරේ සෙනෙට් සභික එලිසා ස්ලොට්කින් සහ මෙම වසරේ වර්ජිනියා ආන්ඩුකාර අබිගේල් ස්පාන්බර්ගර්—තෝරා ගැනීම ම, බර්නි සැන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස්ගේ වාචාල “වාම” හඬ භාවිතා කරමින්, පහලින් මහජන ව්‍යාපාරයක් මතුවීම අවහිර කිරීම සඳහා ඔවුන් මිලිටරි-බුද්ධි යාන්ත්‍රනය ආරක්ෂා කරන බවට පාලක පන්තියට දුන් සහතිකයකි.
නිදහස් ප්රකාශනයේ සිට 250 වන වසර එලඹීම තුල ට්‍රම්ප්ගේ ඇමරිකාවේ සැබෑ තත්වය මෙයයි: ස්වර්නමය යුගයේ (හෙවත් Gilded Age යනු දල වශයෙන් 1870 ගනන් වල සිට 1900 දක්වා පැවති, දැඩි සමාජ අසමානතාවය සහ දේශපාලන දූෂනයෙන් ආවරනය වූ එක්සත් ජනපදයේ වේගවත් ආර්ථික වර්ධනය, කාර්මිකකරනය සහ පෙර නොවූ විරූ ධනයේ කාල පරිච්ඡේදයකි - පරිවර්තක) සිට මෙතෙක් අත් නොදුටු පරිමානයකින් පන්ති ප්රතිවිරෝධතාවලින් ඉරිතලා ගිය සමාජයකි; ප්රජාතන්ත්රවාදී පාලනයේ මවාපෑම පවා අත්හැර දමා ඇති, විදේශයන්හි යුද්ධයට සහ රට තුල ආඥාදායකත්වයට නැඹුරු වී ඇති, සාපරාධී කතිපයාධිකාරීත්වයක් විසින් පාලනය කරනු ලබන සමාජයකි.
නමුත් මෙම සමීකරනයට තවත් පැත්තක් පවතින අතර එය තීරනාත්මක එකකි. පාලක පන්තිය ෆැසිස්ට්වාදය හා යුද්ධය දෙසට තල්ලු කරන එම අර්බුදය ම කම්කරු පන්තිය අරගලයට තල්ලු කරයි. වර්ධනය වන වැඩ වර්ජන රැල්ලක්, අයිසිඊ ට එරෙහි දැවැන්ත මහජන විරෝධතා, පසුගිය වසරේ “රජවරු එපා” පාගමන්, උසස් පාසල් සිසුන්ගේ අඛන්ඩ පාගමන් යන මේවා, කිසිදු මහා ව්‍යාපාරික පක්ෂයකට පාලනය කල නොහැකි සමාජ බලවේගයක ආරම්භක ප්රකාශනයන් වේ.
තීරනාත්මක ප්රශ්නය, දේශපාලන වැඩපිලිවෙල, ඉදිරිදර්ශනය සහ සංවිධානය පිලිබඳ එකකි. ට්‍රම්ප් පරිපාලනයට එරෙහි විරෝධය, ඔහු කරන සෑම දෙයකට ම දුස්සහාය ලබා දෙන ඩිමොක්රටිකයන්ට භාර දිය නොහැක. එය පදනම් විය යුත්තේ, කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීම මත ය.
විරුද්ධත්වය සම්බන්ධීකරනය කිරීමට, අයිසීඊ ත්‍රස්තවාදය අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට, සංක්රමනිකයන් ආරක්ෂා කිරීමට සහ ආන්ඩුවේ යුද්ධයට, කප්පාදුවට සහ ආඥාදායකත්ව වැඩපිලිවෙලට එරෙහි ව මහා වැඩ වර්ජනයකට සූදානම් වීමට, කම්කරුවන් සෑම වැඩබිමක ම, පාසලක ම සහ අසල්වැසි ප්‍රදේශයක ම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු ය. සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩසටහනක පදනම මත සංවිධානය කරන එවැනි කමිටු ගොඩනැගීම ඇමරිකානු කතිපයාධිකාරීත්වයේ ෆැසිස්ට් කුමන්ත්රනය පරාජය කිරීම සඳහා ඇති එක ම යථාර්ථවාදී උපාය මාර්ගයයි.
