ඉදිරිදර්ශන

ට්‍රම්ප්, එප්ස්ටීන් ලිපිගොනු සහ ඇමරිකානු කතිපයාධිකාරීන්ගේ කුනුවීම

[පහත පලවන්නේ ලබන මාසයේ පැවැත්වෙන ජර්මනියේ ලයිප්සීග් පොත් ප්‍රදර්ශනයේ දී මේහ්රිං ප්‍රකාශකයන් විසින් ඉංග්‍රිසි සහ ජර්මන් භාෂාවලින් එලිදැක්වීමට නියමිත ඇමරිකාව කොයිබට ද? (Where is America Going? -- Wohin Geht Amerika?), නම් කෘතියේ පෙරවදනෙහි (Trump, the Epstein files and the putrefaction of the American oligarchy) සිංහල පරිවර්තනයයි.]


***

දෙවන ට්‍රම්ප් පරිපාලනයේ පලමු වසර ගතවෙත් ම, එක්සත් ජනපදය ෆැසිස්ට්වාදී ආඥාදායකත්වයක් කරා ගමන් කරමින් සිටිනවා ද යන විවාදය, ඇමරිකානු රාජ්‍යයේ ක්‍රියාවන් විසින් ම සමථයකට පත් කර ඇත. 2026 ජනවාරියේ මිනියාපොලිස් හි සිදුවීම්, සමස්ත ලෝකය ම කම්පනයට පත් කල අතර ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය මිලිටරි-පොලිස් රාජ්‍යයක් බවට පරිවර්තනය වීම තවදුරටත් හුදෙක් න්‍යායික වශයෙන් සිදුවීමට ඉඩ තිබෙන දෙයක් නොව, එය මේ දැන් සිදුවෙමින් පවතින යථාර්ථය බව පැහැදිලි කර ඇත. 2026 ජනවාරි 6 වෙනිදා ස්වදේශාරක්ෂක දෙපාර්තමේන්තුව, ඔවුන් විසින් ‘ඇමරිකානු ඉතිහාසයේ විශාලතම සංක්‍රමනික නීති බලාත්මක කිරීමේ ක්‍රියාන්විතය’ වශයෙන් හඳුන්වා දුන් ක්‍රියාන්විතය දියත් කරමින් මිනියාපොලිස් සේන්ට් පෝල් නාගරික ප්‍රදේශයට මධ්‍යම ආන්ඩුවේ (ෆෙඩරල්) භටයන් 2000 ක් යැවී ය.

ඉන්පසු සිදුවූයේ ඇමරිකානු නගරයක් යුද හමුදාවක් විසින් වාඩිලා ගනු ලැබීමය. මුහුනු ආවරනය කරගත්, නවීන යුද ඇඳුම් හා මෙවලම් වලින් සන්නද්ධ අයිසීඊ (ආගමන හා රේගු බලාධිකාරිය) භටයෝ නේවාසික කලාප, මගී ප්‍රවාහන පර්යන්ත, සාප්පු සංකීර්න, රථ ගාල්, පල්ලි සහ පාසැල් ආදිය ආවරනය කරමින් සොදිසි මෙහෙයුම් දියත් කලහ. ජනවාරි හත් වෙනි දා, ජොනතන් රොස් නමැති අයිසීඊ භටයා, රෙනේ නිකෝල් ගුඩ් නැමති 37 හැවිරිදි තිදරු ඇමරිකානු මවක් වෙඩි තබා ඝාතනය කලේ ඇය තමන්ගේ වාහනයේ වාඩි වී සිටිය දී ය. මාධ්‍ය ආයතන ගනනාවක් විසින් පරික්ෂාවට ලක් කරන ලද සිද්ධිය පිලිබඳ වීඩියෝ දර්ශනවලින්, ඇය අයිසීඊ භටයාට පහර දුන්නාය යන, පරිපාලනයේ අර්ථ කථනය කෙලින් ම ප්‍රතික්ෂේප විය. ජනවාරි 24 වෙනිදා දේශසීමා ආරක්ෂක භටයෝ ඇලෙක්ස් ප්‍රිටී නම් වූ 37 හැවිරිදි රෝහල් දැඩි සත්කාර හෙද නිලධාරියා, (ඔහු ෆෙඩරල් නිලධාරියකුද විය) භටයින් විසින් බිම පෙරලා දැමූ කාන්තාවක් ආරක්ෂාවට ආවරනය කරද්දී වෙඩි තබා ඝාතනය කලහ. රොයිටර්, බීබීසී, වෝල් ස්ට්‍රීට් ජර්නල් සහ ඒපී යන මාධ්‍ය ආයතන විසින් සනාථ කරන ලද, අවට සිටි ජනයා විසින් වාර්තා කල වීඩියෝ දර්ශන වලින් පෙන්වූයේ භටයන් කීපදෙනෙක් පොර අල්ලා ඔහු බිම දමා, ඔහුට තත්පර පහක් ඇතුලත වෙඩි පහර දහයක් පමන තැබූ ආකාරය යි.

2026 ජනවාරි 31 වන දා ඇලෙක්ස් ප්‍රිටී වෙනුවෙන් පැවැති විරෝධතා පැපැදි පෙලපාලියේ කාන්තාවක් රෙනේ ගුඩ් සහ ඇලෙක්ස් ප්‍රිටී ගේ ඡායාරූප සහිත පෝස්ටරයක් පසු කර ගමන් කරයි. [AP Photo/Julia Demaree Nikhinson]

ලොව පුරා මිලියන ගනනක් ජනයා මෙම මිනීමැරුම් පමනක් නොව ජනාධිපති විසින් ඝාතකයන් ආරක්ෂා කෙරෙන ආකාරය ද සියැසින් දුටුවෝ ය.

රෙනේ ගුඩ් “දේශීය කැරලිකාරියක්” යයි ට්‍රම්ප් ඇයට මඩ ගැසුවේය. ක්‍රියාන්විතය විවේචනය කල ප්‍රාදේශීය නිලධාරීන් රාජ්‍ය විරෝධී කැරැල්ලක් උසිගැන් වූ බවට ට්‍රම්ප් චෝදනා කලේ ය. ඔහු, කැරැලි මර්දන පනත සක්‍රිය කරන බවට තර්ජනය කලේ ය. උප ජනාධිපති වෑන්ස්, “ගුඩ්ගේ මරනය, තමන් ම සිදු කර ගත් ඛේදවාචකයක්” යයි ප්‍රකාශ කලේ ය. ප්‍රාදේශීය රාජ්‍ය මට්ටමේ නිලධාරීන්ට මරන පරීක්ෂනවලට සහභාගි වීමට ඉඩ ලබා දීම මධ්‍යම ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. අයිසීඊය, ජනවාරි මාසය තුල මිනසෝටා ප්‍රාන්තයේ දී පමනක් උසාවි නියෝග අඩු වශයෙන් 96 ක් පමන උල්ලංඝනය කර ඇති බවට ෆෙඩරල් නඩුකාරවරයෙක් ප්‍රකාශ කලේ ය. පාසැල් එක්කෝ වසා දමන ලදී, නැත්නම් මාර්ග ගත ඉගැන්වීමට යොමුකරන ලදී. ව්‍යාපාරික ස්ථාන වසා දමන ලදී. ෆෙඩරල් නිලධාරීන් විසින් කඳුලු ගෑස් ගැසීමෙන් ලමයින් රෝහල්ගත කරන ලදී.

නමුත් මිනියාපොලිස් යනු සංක්‍රමනික නේවාසික ජන සමූහයන්ට එරෙහි ව සමස්ත ඇමරිකා එක්සත් ජනපදය පුරා ම දියත් කර ඇති වඩාත් පුලුල් රාජ්‍ය ත්‍රස්තවාදී ව්‍යාපාරයක හොඳින් ම කැපී පෙනෙන එක් ප්‍රකාශනයක් පමනකි. ට්‍රම්ප් දෙවනවර බලයට පත් වූ දින සිට ම, හිමිදිරි පාන්දර හිරු පායන්නට පෙර සිදු කරන කඩාවැදීම්ද පාසල් හා වැඩපොලවල් වලදී අත්අඩංගුවට ගැනීම්ද දෙමාපියන්ගෙන් දරුවන් පැහැරගෙන යාම් ද සංක්‍රමනිකයන්ට එරෙහි ව එල්ල කරන ලද ක්‍රමානුකූල පැහැර ගෙන යාමේ ක්‍රියාන්විතයන් ලෙස පමනක් විස්තර කල හැකි කටයුතුද ෆෙඩරල් ඒජන්තයන් විසින් සිදු කරන ලදී. අයිසීඊයේ අත් අඩංගුවේ සිටිය දී 2025 වසරේ පමනක් අඩු ගනනේ 31 දෙනෙක් — මෙය පෙරාතු දශක දෙකක් තුල මියගිය වාර්ෂික උපරිම සංඛ්‍යාව යි— මිය ගොස් ඇත. 2026 වසරේ පලමු සති කීපයේ, අයිසීඊයේ අත්අඩංගුවේ සිටිය දී තවත් මරන සිදුවිය. මිනියාපොලිස් හි දී ලියම් රාමෝස් නැමැති පස් හැවිරිදි දරුවෙක් මොන්ටිසෝරියේ සිට ආපසු නිවසට එමින් සිටිය දී, ඔහු එල්ලා ගෙන සිටි ස්පයිඩර් මෑන් මොන්ටිසෝරි බෑගය සහ හාවෙකුගේ කන් සහිත නිල්පාට කැප් තොප්පිය පිටින්ම, — පූර්ව අපරාධ වාර්තා නොමැති නීත්‍යානුකූල ව පුරවැසිභාවය අයදුම්කර සිටි ඔහුගේ පියා ද සමඟ — අත්අඩංගුවට ගෙන, ඔහුගේ නිවසේ සිට කිලෝමීටර් දාහක් දුරින් ටෙක්සාස්හි පිහිටි ඩිලී නමැති රැඳවුම් කඳවුරට ගෙන ගොස් දමන ලදී.

ඉතිහාසයේ ආඥාදායක යුගයන් පිලිබඳව ලියැවී ඇති දෑ යමෙකුට සජීවී ව අත්දැකිය හැකි වන්නේ ඩිලියේ දීය. සවුත් ටෙක්සාස් ෆැමිලි රෙසිඩන්ෂල් සෙන්ටර් නම් ස්ථානයේ දී ——මෙය මධ්‍යම ආන්ඩුවේ කොන්ත්‍රාත්තුවක් මත රැඳවියන් 1200 ක් තබා ගත හැකි (එයින් තුනෙන් පංගුවක් ලමයින්‍ ය) පුද්ගලික සිර ගෙවල් පවත්වා ගෙන යන සංගත සමාගමක් සතු රැඳවුම් කඳවුරකි—— ලමයින් රංචු පිටින් කඳවුර තුල එලිමහන් මිදුලට පැමින කටුකම්බි වැටට උඩින් දෝංකාර දෙන උච්ඡ ලමා ස්වරයෙන් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා කෑ ගැසූහ. කඳවුරේ රැඳවියන්ගෙන් සියයට අසූවක් මෙම විරෝධතාවට එක්වූහ. දෙමාපියෝ - දරුවන්ට නිදහස - යන පාඨය අතින් ලියන ලද පුවරු ප්‍රදර්ශනය කලහ. විරෝධතා පැවත්වෙද්දී එම ස්ථානයේ සිටි සංක්‍රමනික කටයුතු කරන නීතිඥයකු වූ එරික් ලී පැවසුවේ මෙහි බීමට දෙන්නේ පල් වූ කුනුවතුර බවත් කෑමට දෙන දේවල්වල කෘමීන් සහ වෙනත් අපද්‍රව්‍ය තිබෙන බවත් රැකවලුන් වැඩිහිටි සිරකරුවන්ට සලකන කෘරත්වයෙන් ම පවුල් වලටත් සලකන බවත් ය. “ලමයින් කූඩුවල නොදැමිය යුතුය” යැයි දහතුන් හැවිරිදි දැරියක් ප්‍රකාශ කලා ය. “නිදහස් ලෝකයේ” කේන්ද්‍රස්ථානය යයි කියන රටේ පවතින යථාර්ථය එයයි. තම නිදහස ඉල්ලා රැකවලුන්ට නොතේරෙන, තේරුනත් ගනන් ගන්නේ නැති භාෂාවලින් කුඩා දරුවන් කටු කම්බිවලින් වට කල කූඩු තුල සිට මොර දෙන යථාර්ථය එයයි.

ජාත්‍යන්තර ජනමාධ්‍ය වලට, එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදයේ කඩා වැටීම වාර්තා නොකර බැරි විය. ‘දි ඉකොනොමිස්ට්’ සඟරාවේ 2026 ජනවාරි 30 සිට පෙබරවාරි 6 දක්වා කලාපයේ ප්‍රධාන කතුවැකිය, මිනියාපොලිස් වීදිවල ෆෙඩරල් ආන්ඩුවේ ක්‍රියාවන් “සංක්‍රමනිකයන් පාලනයෙන් බොහෝ ඔබ්බට යන” බවත් “තමන්ගේ ම රටවැසියන්ට එරෙහි ව ප්‍රචන්ඩත්වය පාවිච්චි කිරීමේ රාජ්‍යයේ බලය -- එනම් නිදහස හා ආඥාදායකත්වය අතර බෙදුම් රේඛාව පරීක්ෂාවට ලක් කිරීමක් බවත් ප්‍රකාශ කලේය. “මෙය අවසාන අවස්ථාව නොවනු ඇතැයි” ද කතුවැකිය අනතුරු ඇඟවී ය. එම සතියේ ම ඒආර්ඩී නමැති ජර්මන් රූපවාහිනී නාලිකා ජාලය, මිනියාපොලිස් සිද්ධීන් පිලිබඳ ව විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරමින් 1930 ගනන්වල නාසි ජර්මන් තන්ත්‍රයේ විධික්‍රම සහ ට්‍රම්ප් පරිපාලනයේ විධික්‍රම, සැකයකට ඉඩ නොතබන අයුරින් සමාන කලේ ය. මෙය “ග්ලයිච්චල්ටුං” යන ජර්මන් වචනයෙන් හැඳින් වූ, ආඥාදායකයාගේ අභිමතය සමග සියලු ආයතනවල කටයුතු බලහත්කාරයෙන් සම්පාත කිරීමේ සංකල්පය ම බව ද එම නාලිකාව ප්‍රකාශ කලේ ය. මෙය මීට වසරකට පෙර තරම් මෑත අතීතයේ දී ප්‍රධාන යුරෝපීය මාධ්‍ය ජාලයකින් සිදුවෙතැයි සිතාගැනීමටවත් නොහැකි තරම් අපුර්ව සිදුවීමකි.

ට්‍රම්ප් පරිපාලනයේ ෆැසිස්ට්වාදී ස්වභාවය වඩ වඩාත් පිලිගනු ලැබෙතත්, බොහෝ විෂ්ලේෂන ට්‍රම්ප්ගේ පුද්ගලික චරිත ලක්ෂන මත, එනම් ඔහුගේ මනෝභාවයන්, ඔහුගේ චිත්ත ස්වභාවය සහ ඔහුගේ ඊනියා සුවිශේෂත්වය, යනාදිය මත කේන්ද්‍ර වී පවතී. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ කඩා වැටීමට හේතු වූ ගැඹුරු කාරනා මගහරිනු ලැබේ. නමුත් “ට්‍රම්ප් නමැති නරක මිනිහා” යන න්‍යාය මගින් ඉතිහාසය පැහැදිලි කරන්නේ නැත. එය, පිලිතුරු දිය යුතු ව තිබෙන ප්‍රශ්නයට පිලිතුර දුන්නා යයි උපකල්පනය කරයි: මේ මානසික ව්‍යාධිගතයා පෘථිවිය මත තිබෙන ප්‍රබල ම දේශපාලන තනතුරට ඔසොවා තැබීමේ සිදුවීම, පැහැදිලි කරන්නේ කෙසේ ද? මේ ප්‍රතිඵලය ලබා දුන් සමාජමය, ආර්ථිකමය සහ දේශපාලනික ක්‍රියාවලීන් මොනවාද ? කවර පන්ති බලවේග ක්‍රියාත්මක වී ද?

ට්‍රොට්ස්කි, ජර්මන් ෆැසිස්ට්වාදයේ නැගීම පිලිබඳ තම ලේඛනවල දී පහත දැක්වෙන තියුනු නිරීක්ෂනය කරයි : “සෑම කුපිත වූ සුලු ධනපතියාට ම හිට්ලර් කෙනෙකු විය නොහැක ; නමුත් කුපිත වූ සෑම සුලු ධනපතියාගේම හිස තුල හිට්ලර්ගේ අංශුවක් අන්තර්ගත ව තිබේ.” යමෙකුට වර්තමානයේ ඇමරිකාවේ පවතින තත්වයට ගැලපෙන ලෙස එම නිරීක්ෂනය මෙසේ වෙනස් කල හැකි ය: සෑම ව්‍යාපාරිකයෙක් ම ට්‍රම්ප් කෙනෙක් නොවේ; නමුත් ඇමරිකානු ව්‍යාපාරික පන්තියේ සැලකිය යුතු උප කුලකයක් තුල ට්‍රම්ප්ගේ අංශුවකට වඩා මඳක් වැඩියෙන් අන්තර්ගත ව තිබේ.”

ඇමරිකාවේ ගිනිය නොහැකි තරම් වූ වානිජ දේපල සමාගම්වල, තැන්පතු මුදල් එකතු කොට ඒවා තැන්පතු හිමියන් වෙනුවෙන් කොටස් වෙලෙඳ පොලේ ආයෝජනය කර ලාභ උපයන ව්‍යාපාර වස්තූ සමාගම්වල, ක්‍රිප්ටෝ මුදල් (අතථ්‍ය මුදල්) ව්‍යාපාර වල නිරත විධායක නිලධාරීන් අතර ජනාධිපතිගේ පෞරුෂය, හැසිරීම් රටා, අරමුනු හා ක්‍රමවිධි අඩු වැඩි වශයෙන් අනුකරනය කරන පුද්ගලයන් බොහෝ සිටිති. ට්‍රම්ප් මෙම සංස්කෘතිය නිර්මානය කලේ නැත. ඔහු, පාලක සංස්ථාගත මූල්‍ය කතිපයාධිකාරයේ සහ එහි සාපරාධී අවසාන ඉලක්කයේ පුද්ගලාරෝපනය යි. ඔහුගේ පෞරුෂයේ දී හා වැඩ කරන විදියේ දී සමාගමක ප්‍රධාන විධායක නිලධාරි කෙනෙකු සහ පාතාල ලොක්කෙකු අතර වෙනස අකාමකා දැමේ.

නිව්යෝර්ක් නුවර ඉඩම් හා වානිජ දේපල ව්‍යාපාරය නමැති කැසිකිලි ගොහොරුවේ සිට ‘ඇට්ලන්ටික් සිටි’ කැසිනෝ සූදු ශාලා දක්වාත්, රියැලිටි ටෙලිවිෂන් ව්‍යාපාරය දක්වාත් විහිදෙන ට්‍රම්ප්ගේ අඩ සියවසක පමන ව්‍යාපාරික ජීවිතය සමන්විත වූයේ මූල්‍ය මගඩි, භාරගත් කොන්ත්‍රාත්තු අවසන් නොකර පැන යාම් හෝ තමන් ලබාදුන් කොන්ත්‍රාත්තු වලට මුදල් නොගෙවීම්, ව්‍යාපාර බංකොලොත්වීම් මාලාවල්, කෙලවරක් නැති නඩුහබ සහ ව්‍යාජ විශ්වවිද්‍යාල පිහිටුවීම යනාදියෙනි. ඔහුගේ ලෝකය තුල හෙට්ටු කිරීම හා කප්පම ලඟම ඥාති සොහොයුරන් ය. පසුගිය දිනෙක ඔහු කිසිම උත්ප්‍රාසයක් නොමැතිව කියා සිටියේ තමාගේ ජනාධිපති බලතල ක්‍රියාත්මක කිරීමේ සීමාව තමන්ගේම හෘදය සාක්ෂිය පමනක් බව ය. නමුත් මෙය, ධන සම්පත් හා පෞද්ගලික බලය සම්බන්ධයෙන් කිසිත් සීමාවක් නොපිලිගන්නා, නොතිත් පිපාසාවෙන් පෙලෙන කතිපයාධිකාරයේ “හෘදය සාක්ෂිය” යි.

ට්‍රම්ප් බොහෝ විට තමන්ගේ අසමාන බුද්ධි ප්‍රභාව පිලිබඳව කයිවාරු ගසයි. නමුත් ඔහුගේ නොකඩවාම සිදුකරන කතා කිරීම තුල (නොකඩවාම කතා කිරීම ලොගෝරියා නම් රෝගී තත්වයයි) වඩාත්ම අවධානයට ලක්වන ලක්ෂනය නම් කිසිත් ක්‍රමානුකූල හෝ තාර්කික චින්තනයක් නොමැති කම ය. ඔහුගේ ප්‍රතිපත්ති සහ අපේක්ෂා පිලිබඳ ප්‍රශ්න කල විට ඔහු බොහෝ විට උත්තර දෙන්නේ “අපි බලමු” යනුවෙනි. මේ මනුෂ්‍යයාට, එවේලේට හරියන තීන්දු හෝ අතිශය දුෂ්ඨකමෙන් සිදුකරන්නා වූ තමන්ගේ ක්‍රියාවන්ගේ ප්‍රතිඵල කුමක්වේ ද යන්න ගැන කිසිත් අවබෝධයක් නැති බව එම ප්‍රතිචාරයෙන් පැහැදිලි වේ. ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශ සමන්විත වන්නේ කිසිදු තර්කානුකූල සම්බන්ධයක් හෝ තථ්‍ය කරුනු අන්තර්ගත කිරීමකින් තොර, හිට්ලර්ගේ “මෙයින් කාම්ප්ෆ්” හැර වෙනත් කිසි ම පොතක් කියවූ බවට සාක්ෂි නැති, “අති විශාල” “පෙර නොවූ විරූ” “විශ්වාස කල නොහැකි තරමට දැවැන්ත” වැනි වචන වලිනි.

ඊලඟට ඔහු තමාගේ කාර්ය මන්ඩලය තෝරා ගෙන ඇති ආකාරය දෙස බලන විට පෙනෙන්නේ රටේ සිටින නරක ම තක්කඩියන් සහ දුර්ජනයන් තමන් වටේ තබා ගැනීම සඳහා ඔහුගේ ඇති නැමියාව ය. කලිගියුලා නම් වූ කෘර උන්මත්තක රෝමානු ආඥාදායකයා තමන්ගේ අශ්වයා කොන්සල් තනතුරට පත් කරන බවට විහිලු කලේ ය. කලිගියුලාට තිබුනු විහිලුවක් කර සිනාසීමේ හැකියාව පවා නැති ට්‍රම්ප්, කලිගියුලාටත් වඩා අසික්කිත ලෙස තම පරිපාලනයේ ප්‍රධාන තනතුරු පුරවා තිබේ.

හිට්ලර්ගේ පච යන්ත්‍රයේ කර්තෘ වූ ගෝබෙල්ස්ගේ අනුකාරකයකු වන ස්ටීවන් මිලර්; හමුදාවේ ජනරාල්වරුන්ගේ හා කර්නල්වරුන්ගේ ඉන වටේ මිම්ම ගැන අමුතු උනන්දුවක් දක්වන, කලින් ‘ෆොක්ස්’ රූපවාහිනී ජාලයේ සති අන්ත වැඩසටහනක සම්බන්ධීකාරක පීටර් හෙග්සෙත්; තමන්ගේම බල්ලා වෙඩිතබා මරා දැමූ බවට කයිවාරු ගැසූ ස්වදේශාරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම්; රටේ සෞඛ්‍ය සේවාව භාරදී ඇති එන්නත් විරෝධී, එන්නත් යනු ලෝක පරිමාන කුමන්ත්‍රනයකැයි කියන රොබට් එෆ් කෙනඩි ජූනියර්; රහස් ඔත්තුසේවා 17 ක් අධීක්ෂනය කිරීමට ඇයට තිබෙන සුදුසුකම් සීඅයිඒ එකට පවා අබිරහසක් ව ඇති තුල්සි ගබාඩ්; තනතුර දැරීමට ප්‍රධාන සුදුසුකම වශයෙන් තම ෆියුරර් (හිට්ලර් ඇමතුවේ මෙසේය) ට කොන්දේසි විරහිත ගැතිකම පමනක් ඇති එෆ්බීඅයි ප්‍රධානී කෑෂ් පටෙල් යනාදී වශයෙනි.

වඩා ගැඹුරු විෂ්ලේෂනයක් අවශ්‍ය වන්නේ ඉතිහාසය විස්තර කිරීමට “නරක ට්‍රම්ප්” න්‍යාය අප්‍රමානවත් නිසා ම ය. බහු කෝටිපති ස්ත්‍රී සැපයුම්කරු වන ජෙෆ්‍රි එප්ස්ටීන්ගේ ජීවිතය සහ ට්‍රම්ප්ගේත් වෙනත් බලගතු හා ප්‍රකට පුද්ගලයන්ගේත් චරිත සම්පාත වන ආකාරය පිලිබඳ හෙලිදරව් කිරීම් පූර්න වැදගත්කම ලබා ගන්නේ මේ සන්දර්භය තුල ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෙෆ්‍රි එප්ස්ටීන් ෆ්ලොරිඩාවේ පාම් බීච් හි මාර්-අ-ලාගෝ නමැති ට්‍රම්ප්ගේ මන්දිරයේ පැවති සාදයකදී - 1992. [Photo: NBC]

එක්සත් ජනපදයේ අධිකරන දෙපාර්තමේන්තුව විසින් ජෙෆ්‍රි එප්ස්ටීන්ගේ අපරාධ සම්බන්ධ ලියවිලි පිටු මිලියන තුනකට අධික ප්‍රමානයක් ද වීඩියෝ දර්ශන දහස් ගනනක් හා ඡායාරූප ලක්ෂ ගනනක් ද ප්‍රසිද්ධියට පත් කිරීම ප්‍රධාන දේශපාලන සිද්ධියකි. නමුත් එහි වැදගත්කම එක පුද්ගලයකුගේ නීච, කාම විලෝපක ක්‍රියාවන්ට වඩා—එම අපරාධ කොතරම් අති දුෂ්ට වුවත්—බොහෝ දුරදිග යයි. එප්ස්ටීන් ලිපි ගොනු, ජරාජීර්න පාලක පන්තියක හා කුනුවීමේ ඉහල අදියරකට ගොස් සිටින කතිපයාධිකාරී සමාජයක සමාජමය දේහලක්ෂන හෙලිදරව් කරයි. ඔවුන්ගේ අපරාධ අතිශයින් ජුගුප්සාජනකය, ඒවායේ දුර්ගන්ධය අහස උසට පැතිරේ.

කලක සිට ම සැක කරනු ලැබූ, මිලියන ගනන් වැඩ කරන ජනතාව ඉවෙන් මෙන් ග්‍රහනය කරගෙන සිටි දෙය — එනම්, ඇමරිකානු සමාජයේ බලවත්ම පුද්ගලයන්-ජනාධිපති වරු, හිටපු ජනාධිපති වරු, කෝටිපති මූල්‍ය සමාගම් හිමියන්, පරිගනක ක්ෂේත්‍රයේ යෝධ චරිත, සම්භාවනාවට පත් බුද්ධිමතුන්, කුමාරවරුන් සහ තානාපතිවරුන් - ලමා අපචාර චූදිතයකුගේ සමාජ කක්ෂයේ හොඳාකාර ව ම දැන ගෙන නිදහසේ කරක් ගැසූ බව—මේ ලිපිගොනු වලින් සනාථ කර තිබේ. ඔවුන් එසේ කලේ ඔහුගේ අපරාධ ගැන නොදැනුවත්භාවය නිසා නොව ඒවා ඉතා සුලු දේවල් හැටියට ඔවුන් සැලකූ නිසාත් බොහෝ විට තමනුත් ඒවාට සහභාගි වූ නිසාත්‍ ය. මේ මිනිසුන් සැරිසරන සමාජමය ලෝකය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය මිනිසුන් ජීවත්වන ලෝකයේ ක්‍රියාත්මක වන නීතිරීති වලට වඩා සම්පූර්නයෙන් ම වෙනස් නීතිරීති අනුව ය.

ජෙෆ්‍රි එප්ස්ටීන් ඇමරිකානු හා ජාත්‍යන්තර ප්‍රභූ සමාජයේ සෑම අංශයක් සමගම සම්බන්ධතා වගා දිගා කර ගත්තේ ය. දශක දෙකක පමන කාලයක සිට ඔහුගේ ආසන්න මිත්‍රයා වූ ට්‍රම්ප්, එප්ස්ටීන් ගැන විස්තර කලේ “සුපිරි හාදයෙක්” (terrific guy) වශයෙනි. එප්ස්ටීන්ගේ සමාජ කවයට පහත සඳහන් අය අඩංගු විය: හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ; මේ වනවිට රාජකීය පට්ටම් ගලවා දමා සිටින බ්‍රිතාන්‍ය රජ පවුලේ ඇන්ඩෲ කුමරු; බිල් ගේට්ස්, ඊලොන් මස්ක්, ජෙෆ් බෙසෝස්, මාක් සකර්බර්ග්, සර්ජි බ්‍රින්, ලැරී පේජ් සහ රීඩ් හොෆ්මන් — වෙනත් වචනවලින් කිවහොත් වර්තමාන ලෝකයේ ඩිජිටල් යටිතලය පාලනය කරන මිනිසුන්; හිටපු භාන්ඩාගාර ලේකම් හා මේ වනවිට විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමෙන් ඉවත්වන ලෙස බල කෙරී සිටින හාවඩ් විශ්වවිද්‍යාලයේ සභාපති ලැරී සමර්ස්, ඇමරිකානු ෆැසිස්ට්වාදයේ ප්‍රධාන න්‍යායාචාරියා සහ තිරයෙන් එහා සිට ට්‍රම්ප්ට උපදෙස් දෙන ස්ටීව් බැනොන්, තමන් ලියූ ලිපියක ජෙෆ්‍රි එප්ස්ටීන් “මගේ හොඳම මිතුරා” හැටියට හැඳින් වූ, එක්සත් ජනපදයේ සිටින ප්‍රමුඛතම ලිබරල් බුද්ධිමතා ලෙස පුලුල් ලෙස සම්මානයට පාත්‍ර ව සිටින නොආම් චොම්ස්කි, බාඩ් විශ්වවිද්‍යාලයේ සභාපති ලියොන් බොට්ස්ටීන්, රිචඩ් බ්‍රැන්සන්, පීටර් තීල්, ඇලන් ඩර්ෂොවිට්ස්, සහ ලියොන් බ්ලැක් ආදීන් ය. එප්ස්ටීන්ගේ දුරකථන නාමාවලිය තුල මාධ්‍ය ආයතනවල විධායක නිලධාරීන්, දේශපාලනඥයන්, ව්‍යවසායකයන්, නලුවන් සහ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් ආදී සියලු ක්ෂේත්‍ර ආවරනය වූ, නම් 1700 කට අධ්ක සංඛ්‍යාවක් තිබේ.

2011 දී නිව්යෝර්ක් නුවර මෑන්හැට්න් දූපතේ පිහිටි එප්ස්ටීන්ගේ මන්දිරයේ දී ගන්නා ලද ඡායාරූපය : වමේ සිට දකුනට : ජේම්ස් ඊ. ස්ටැලී, - එවකට ඔහු ජේපීමෝගන් මූල්‍ය සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකු විය - හිටපු භාන්ඩාගාර ලේකම් ලෝරන්ස් (ලැරී) සමර්ස්, එප්ස්ටීන්, මයික්‍රොසොෆ්ට් සමාගමේ සමාරම්භක බිල් ගේට්ස්, බිල් හා මෙලින්ඩා පදනමේ විද්‍යා උපදේශක බෝරිස් නිකොලික්.

එප්ස්ටීන්ගේ ජාලය එක්සත් ජනපදයෙන් එතෙරට ව්‍යාප්ත වූවකි; නෝර්වේ රටේ ඔටුන්න හිමි කුමරියගේ සිට ඊශ්‍රායලයේ ඉහුඩ් බරාක් වැනි දේශපාලන චරිත දක්වා ද අරාබි ඒමීර් රාජ්‍යයේ ව්‍යාපාරිකයන් දක්වාද බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් හා වංශවතුන් දක්වාද එය ව්‍යාප්ත විය. සම්පූර්න අර්ථයෙන් ගත් කල, එය ධනේශ්වර ප්‍රභූන්ගේ හීන දීන ජාලයක් විය.

ධනපති මාධ්‍ය වල සම්ප්‍රදායික ක්‍රමයට, එප්ස්ටීන් අපවාදය හුදෙක් පුද්ගලයන්ගේ වැරදි පිලිබඳ ප්‍රශ්නයක් හැටියට අර්ථ කථනය විය. කවර සුවිශේෂී පුද්ගලයා වරද කලා ද? නඩු දමන්නට පුලුවන් ද? එප්ස්ටීන්ගේ “ගනුදෙනුකරුවන්ගේ නාම ලේඛනයක්” තිබෙනවා ද? මේ ප්‍රශ්න වැදගත්‍ ය. නමුත් වඩා මූලික අර්ථයෙන් ගත් කල ඒ ප්‍රශ්න ද්වීතියික ඒවා ය. එම ප්‍රශ්න නිසා, වඩා වැදගත් වන දේශපාලන ප්‍රශ්නය වහංගු වීමට ඉඩදිය යුතු නොවේ: එනම්, එප්ස්ටීන් වැන්නවුන් බිහි කල සමාජයේ ස්වභාවය පිලිබඳව එප්ස්ටීන් ජාලයෙන් හෙලිදරව් වන්නේ කුමක් ද යන්නයි.

එප්ස්ටීන් තමන්ගේ කටයුතු එතරම් නිපුනතාවකින් සැඟවූ බවක් නොපෙනේ. 2008 දී ඔහු කාමාපරාධ සඳහා දඬුවම් ලැබ සිරගත විය. ඔහු ලියාපදිංචි කරන ලද කාමාපරාධ කරුවෙකු (ලංකාවේ අයිආර්සී වැනි-පරිවර්තක) විය. එසේ තිබියදීත් — වැදගත්ම කාරනය එයයි — ප්‍රභූ සමාජයේ දොරටු ඔහු වෙනුවෙන් විවෘත ව තිබුනි. විශ්වවිද්‍යාල, ඔහුගෙන් ලැබෙන මුදල් ආධාර දිගට ම භාර ගත්හ. ශාස්ත්‍රාලිකයකයෝ දිගට ම ඔහුගේ සැලොන් වලට ගියහ. පොත් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධ ඒජන්තයෙකු වූ ජෝන් බ්‍රොක්මන්, එප්ස්ටීන්ට විද්‍යාඥයන් හා තාක්ෂන විධායකයන් සමග ගැවසීමට හැකිවන පරිද්දෙන්, ඔහු සංවිධානය කල බුද්ධිමතුන්ගේ රැස්වීම් වලට ඔහුට ඇරයුම් ලබා දීම දිගට ම කලේ ය. විනෝදාස්වාද උත්සව ප්‍රචාරනය කරන්නියකු වූ පෙගී සීගල්, තමන් සංවිධානය කල පුද්ගලික සාද වලට එප්ස්ටීන්ට ඇරයුම් කිරීම දිගට ම කරගෙන ගියා ය. හාවඩ් මහාචාර්යවරු එප්ස්ටීන්ට තම නිල කාර්යාලවලට ඇරයුම් කර ඔහු මුනගැසුනාහ. ඔවුන් සතු නාගරික මහල් නිවාස, පුද්ගලික අයිතිය ඇති දූපත් ආදිය ඔහු සඳහා විවෘතව පැවතුනි. බොරතෙල් මිලවල සිට අන්තර්ජාලයෙන් කාන්තාවන් හා පිරිමින් මුන ගැසෙන ආකාරය පිලිබඳ ව ඔහුගෙන් උපදෙස් පතන ලදී.

නොආම් චොම්ස්කි හා ජෙෆ්‍රි එප්ස්ටීන්.

මෙකී පුද්ගලයන් වාසය කරන ලෝකය තුල ලමා අපචාර ඇතුලු අනෙකුත් සියලු ම කාරනා අභිබවා, ධනවත්කම ප්‍රමුඛතාවය අත්කර ගනී. ඇමරිකානු සහ ජාත්‍යන්තර පාලක පන්තියේ සදාචාරාත්මක සක්වල, මුදල් හඹා යාම විසින් කොතෙක් ඛාදනය කර තිබේ ද යත් දඬුවම් ලැබූ කාමාපරාධකරුවෙකුට අතේ ප්‍රමානවත් තරම් මුදල් සහ හොඳ සම්බන්ධතා තිබේ නම් ප්‍රභූ සමාජයේ ගරු නම්බු ලබන සාමාජිකයකු ලෙස හැසිරීමට පුලුවන. එප්ස්ටීන් සිද්ධිය මෙම සමාජ ස්ථරයේ සිදු වූ හුදු තාවකාලික මුලා සහගත සිද්ධියක් නොව එහි ඉතා ම සංකේන්ද්‍රිත සහ නීච ම ප්‍රකාශනයයි.

එප්ස්ටීන් ජාලයේ දේශපාලනික වශයෙන් ඉතාම වැදගත් වන ලක්ෂනයක් වන්නේ එහි ද්වි-පාක්ෂික ස්වභාවයයි ; ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ දෙක ම එක හා සමාන ලෙස ඊට අඩංගු ය. ක්ලින්ටන් සහ ට්‍රම්ප්, සමර්ස් සහ බැනොන්, රීඩ් හොෆ්මන් සහ පීටර් තීල්, ලිබරල් ඇකඩමිකයන් හා දක්ෂිනාංශික ක්‍රියාධරයන්, නිල දේශපාලන වේදිකාවේ දී කඩදාසියක් තරම් තුනී ද්වි-පක්ෂ බෙදුම්කඩ හරහා එකිනෙකාට මුහුන දුන් ඔවුහු එප්ස්ටීන් සමග පැවැත් වූ රාත්‍රී භෝජන සංග්‍රහවල දී එකට මුනගැසුනාහ; තවමත් හෙලිදරව් වී නැති අවස්ථා ගනනාවක දී ඔව්හු එප්ස්ටීන් විසින් සංවිධානය කල ලමා අපචාරවලට සම්බන්ධ වූහ.

ද්වි-පක්ෂ දුරාචාර, ද්වි-පක්ෂ දේශපාලනයේ පිලිබිඹුවයි. මේ චරිත, තම පුද්ගලික ජීවිතවලදී ද්වි-පක්ෂ බෙදුම් රේඛා හරහා කොතෙක් පහසුවෙන් ගමන්කර තිබේ ද යන්න තුලින් වඩා ගැඹුරු දේශපාලන යථාර්ථයක් පිලිබිඹු වේ. එනම්, රටේ දේශපාලන ජවයේ උපරිමය උරා ගන්නා ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් වශයෙන් ප්‍රධාන පක්ෂ දෙක අතර පවතින බෙදීම, සියලු තීරනාත්මක කාරනාවල දී මතුපිටින් පමනක් පවතින බෙදීමක් බව ය. එය එක ම තනි පාලක පන්තියක් තුල ශෛලිය හෝ විලාසය පිලිබඳව පමනක්, හෝ ජනමතය කලමනාකරනය කරන ආකාරය පිලිබඳව පමනක් පවතින භේදයකි —— සමාජය ආර්ථික වශයෙන් සංවිධානය කරන ආකාරය පිලිබඳ මතභේදයක් නොවේ.

ඇමෙරිකානු කොන්ග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) විමර්ශන කමිටුවකට ඩිමොක්‍රටික් පක්ෂය විසින් ඉදිරිපත් කල ඡායාරූපයක්. හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්; (මැද) එප්ස්ටීන් සහ ගිස්ලේන් මැක්ස්වෙල් (දකුනේ).

සියලු අන්‍යෝන්‍ය මඩගසා ගැනීම් තිබියදීත්, ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් අතර වෙනස පුදුමාකාර ලෙස කුඩා ය. බොහෝ දුරට එහි හුදෙක් ඝෝෂාව මිස සැබෑ වෙනසක් නැත. ට්‍රම්ප්ගේ පලමු ජනාධිපතිවරන ජයග්‍රහනයෙන් පැය කීපයක් තුල දී අසාමාන්‍ය අවංකභාවයක් ප්‍රදර්ශනය කරමින් ඔබාමා කියා සිටියේ කලබල වීමට හේතුවක් නැති බවත් පක්ෂ දෙක අතර ඝට්ටනය හුදෙක් එකම ආයතනය තුල ඇති වූ එකක් (පාසැල් පන්දු පිටියේ දී කන්ඩායම් දෙකක් අතර ගැටුමක්) පමනක් බවත්‍ ය. අවසාන විග්‍රහයේ දී හැම දෙනා ම එක පැත්තේ ය. 2021 ජනවාරි 6 දින, ට්‍රම්ප් බලය පැහැර ගැනීමට උත්සාහ කල කුමන්ත්‍රනයෙන් යම්තම් දින තුනකට පසු ව මාධ්‍ය හමුවක් අමතමින්, ජනාධිපති පදවියට තේරී පත් වූ බයිඩන් මෙසේ පැවසී ය: “අපට රිපබ්ලිකන් පක්ෂයක් අවශ්‍යයි. අපට ප්‍රතිපත්ති ගරුක හා ශක්තිමත් විපක්ෂයක් වුවමනායි.”

දෙපාර්ශවය අතර බැරෑරුම් මතභේද තිබුනත් ඒවා බොහෝ දුරට තිබෙන්නේ විදේශ ප්‍රතිපත්තියේ යම් යම් පැතිකඩවල් සම්බන්ධයෙන් හා අධිරාජ්‍යවාදී උපායන් සම්බන්ධයෙන් පමනකි.

යුක්‍රේනයේ අධිරාජ්‍යවාදී යුද්ධයට ට්‍රම්ප් ගේ ප්‍රමානවත් උනන්දුවක් නැතිකම පිලිබඳ ගැටුම අසාමාන්‍ය ලෙස තියුනු විය. නමුත් ට්‍රම්ප්ගේ ප්‍රතිගාමී දේශීය ප්‍රතිපත්ති ඩිමොක්‍රටික් පක්ෂය විසින් හෙලා දැකීම හුදු රඟපෑමකට වැඩි දෙයක් නොවේ. ධනය බෙදී යාම පිලිබඳව, මූල්‍ය ප්‍රාග්ධනයේ බලය පිලිබඳව, යුදවාදය අඛන්ඩව ගෙන යාම පිලිබඳව ඩිමොක්‍රටික් පක්ෂය හා රිපබ්ලිකන් පක්ෂය අතර බැරෑරුම් මතභේදයක් නැත.

මූල්‍ය රෙගුලාසි ලිහිල් කිරීම රේගන් විසින් අරඹන ලද අතර ක්ලින්ටන් එය සම්පූර්න කලේ ය. මැද පෙරදිග යුද්ධ, බුෂ් විසින් අරඹන ලද අතර ඔබාමා විසින් පුලුල් කරන ලදී. 2008-2009 වසරවල කඩා වැටුනු බැංකු, රජයේ මුදල් දී ගොඩගැනීම මුල සිට අගටම ද්වි-පාක්ෂික ව්‍යායාමයක් විය. එහි දී මිලියන ගනන් වැඩ කරන ජනයාට ගේ දොර අහිමි වෙද්දී වෝල් වීදියේ බැංකු බේරා ගැනුනේ ය. 2001 සැප්තැම්බර් 11 දායින් පසු ඉදිකිරීමට පටන් ගත් ආවේක්ෂන රාජ්‍යය (ඔත්තු බැලීමේ රාජ්‍යය) පක්ෂ දෙක ම විසින් ගොඩනගන ලදී. වැඩ වර්ජන කඩාකප්පල් කිරීමේ දී සහ ජීවන තත්වයන් මත සමාගම් විසින් එල්ල කරන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට කම්කරු පන්තියට ඇති අයිතිය තහනම් කිරීමට දෙපාර්ශවය ම සහයෝගයෙන් ක්‍රියා කලහ.

ගුවන් තොටුපොල සංඥා පාලක නිලධාරීන් (PATCO) රේගන් විසින් දොට්ට දැමුවේ ඊට පෙර තිබුනු ඩිමොක්‍රටික් ආන්ඩුවේ ජනාධිපති ජිමී කාටර් ගේ සැලසුම අනුව බව දැන් අමතක වී ගොස්‍ ය. 1983 දී ෆෙල්ප්ස් ඩොජ් තඹ සංගතයට විරුද්ධ ව වැඩ වර්ජනය කල තඹ ආකර කම්කරුවන්ට එරෙහි ව පොලිසිය යෙදෙව්වේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් ආන්ඩුකාරයා වූ බ්‍රූස් බැබිට් ය. පක්ෂ දෙක ඒකමතික ව සිදුකල වැඩ වර්ජන කඩාකප්පල් කිරීම් අනන්ත සංඛ්‍යාවක් පෙන්වා දිය හැකි ය.

මෙලෙස එප්ස්ටීන්ගේ කෑම කාමරයේ, නිදන කාමරයේ, හා සම්බාහන මේසවල උස් ස්ථාන වල සිට ඇමරිකානු මහජනයාට “දේශපාලනය” යයි පෙන්වන පක්ෂ දෙකේ ගැටුම හුදු සංදර්ශනයක් පමනකි. මහජනයා තේරුම් නොගත්ත ද එප්ස්ටීන් විසින් ජාලගත කරනු ලැබූ පිරිස මේ කරුන තේරුම් ගත්හ. ඔවුහු පොදු පංති ස්ථාවරයන් ද, ද්‍රව්‍යමය ඕනෑ එපාකම් ද සදාචාරාත්මක ප්‍රමිතීන් ද දැරූහ —දැන් ලිපිගොනු වලින් හෙලිදරව් වන ආකාරයට සදාචාරාත්මක ප්‍රමිතීන් කිසිවක් ම නොමැතිවීම ද පොදුවේ—දැරූහ.

පක්ෂ දෙක වෙන්කර හඳුන්වන තියුනු සංස්කෘතික හා සමාජ කාන්ඩ මත පදනම් වූ දේශපාලන ඝට්ටන, එක්තරා වෛෂයික කාර්යයක් ඉෂ්ඨ කරයි : එනම්, සමාජ පන්ති අතර හරයෙන් ම පවතින බෙදීම සඟවා ධනේශ්වර පද්ධතියට එරෙහි ව එල්ල වීමට ඉඩ තිබෙන දේශපාලන ශක්තිය වෙනතක හැරවීමයි. කම්කරු පන්තිය ඩිමොක්‍රැටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙක අතර බෙදී සංස්කෘතික යුද්ධයේ ප්‍රකෝපකාරී ක්‍රියාවන් ගැන තර්ක කරමින් සිටිනතාක් පක්ෂ දෙකේ ම සේවය ලබන පන්තියට එරෙහි ව එකමුතු වීමට ඊට නොහැකි වේ. පක්ෂ දෙක ම එක ම ධනවත් අරමුදල් සම්පාදක පන්තිය විසින් මූල්‍යනය කරන, එම පන්තිය මත රඳා පවතින දේශපාලන ක්‍රමයක ව්‍යූහාත්මක ලක්ෂනයකි. එප්ස්ටීන් ගේ ලෝකය තුල සංචරනය කරන්නේ ද එම පන්තිය මය.

ජනාධිපති ට්‍රම්ප් ගේ පදවි කාලයේ දේශපාලන වැදගත්කම තේරුම් ගැනීම සඳහා එප්ස්ටීන් සිද්ධිය අත්‍යවශ්‍ය සන්දර්භයක් සපයයි. ඔහු පරම බලය මුදුනේ ම සිටින ඇමරිකානු “නිදහස් ව්‍යවසායේ” කුනුවීමේ දේශපාලන ප්‍රකාශනය යි.

ට්‍රම්ප්ගේ හොඳින් ම ලේඛනගත ව තිබෙන චරිත ලක්ෂන — රෝගයක් තරම් වූ වංක බව, එලිපිට ම සිදුකරන කාම විලෝපනය, නෛතික ධර්මයන් කෙරෙහි දක්වන පිලිකුල, දේශපාලන සතුරන්ට එරෙහි ව පලිගැනීමේ චේතනාවෙන් රාජ්‍ය බලය යෙදවීම, සියලු ප්‍රතිපත්තිමය කරුනු අභිබවා තමන් කෙරෙහි දක්වන පුද්ගලික කීකරුකම සැලකීම ආදී කිසිවක් සඟවනු ලබන්නේ නැත.

මොහු ඇමරිකානු දේශපාලන ජීවිතය තුල දශකයකට අධික කාලයක් ආධිපත්‍යය දරන මිනිසා ය. රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා හැටියට තුන්වරක් නාම යෝජනා ලැබී ය; දෙවරක් ජයග්‍රහනය කලේ ය. දෝෂාභියෝග දෙකකට සහ බරපතල අපරාධ චෝදනාවකට ඔහුගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට තබා ඔහු ධවල මන්දිරයට ඒම වැලැක්වීමටවත් සමත් වූයේ නැත.

එප්ස්ටීන් සමග ට්‍රම්ප්ගේ පැටලීම උපදේශාත්මක ය. ඔහු මෙම අපරාධකරු සමග දිගුකාලීන සමාජ සම්බන්ධතා පවත්වා ගත්තේ ය. එප්ස්ටීන් ලිපිගොනු පිලිබඳව ඔහුගේ පරිපාලනය ක්‍රියා කල ආකාරය තෝරා බේරා ගෙන තමන්ට වාසි ලබා ගැනීමට සිදුකල එකකි. එලිපිට ම දේශපාලන සතුරන්ට එරෙහි ව ඒවා ආයුධ ලෙස පාවිච්චි කරන අතර ම තමන්ගේ සම්බන්ධය හැකි තරම් යටපත් කලේ ය. මේ කිසිවක් දේශපාලනික නුසුදුසුකමක් නොවී තිබීම ම ඇමරිකානු දේශපාලන ක්‍රමයේ ජරාජීර්නභාවය හෙලිදරව් කරයි.

ට්‍රම්ප් සහ ඇමරිකානු පරිහානිය අතර සම්බන්ධය ඔහුගේ “ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨත්වයට පත් කරමු” (Make America Great Again - MAGA) යන සටන් පාඨය තුල ම අන්තර්ගත වෙයි. එය තුල කිසියම් ප්‍රතිගාමී අතීතකාමයක හැඟීමක් උපදවයි. කලින් තිබී නැති ව ගිය ස්වර්නමය යුගයක් - එවැන්නක් කිසිදා නොතිබූ නිසා යලිත් ආපසු ගෙන්වා ගත නොහැකි ය - යලි උදාකර ගැනීමට ආශාවක් එයින් ඇඟවේ.

2016 මාර්තු 19, ට්‍රම්ප් MAGA කැප් තොප්පිය හිස ඇතිව. [AP Photo/Matt York]

මෙහිදී සටහන් කරගත යුතු චරිතාපදානමය මානයක් ද තිබේ. ට්‍රම්ප්ගේ සමස්ත ජීවිතය පශ්චාත් යුද්ධ කාලීන ඇමරිකානු ධනවාදයේ ගමන — එහි උච්ඡතම ස්ථානයේ සිට වර්තමානයේ පවතින එහෙත් ප්‍රසිද්ධියේ පිලිගනු නොලබන, සැබෑ ම බංකොලොත්භාවය දක්වා කාල පරිච්ඡේදය — අන්තර්ගත කර ගනී. ඔහු ඉපදුනේ 1946 ජුනි 14 වෙනි දා ය. එනම්, රත්‍රන් අවුන්සයක් එක්සත් ජනපද ඩොලර් 35 ක ස්ථිර මිලකට හුවමාරු කිරීමේ පදනම මත අලුත් ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියක් ස්ථාපිත කල බ්‍රෙට්න්වුඩ්ස් සම්මේලනය පැවැත්වූ 1944 ජූලි මාසයේ සිට හරියට ම වසර දෙකකට පසු ව ය. එම වැඩ පිලිවෙල වියුක්තයක් නොවී ය. එය පදනම් වූයේ, සමස්ත ලෝක නිෂ්පාදන ධාරිතාවයෙන් හරි අඩක් පමන ද ලෝක රන් සංචිත වලින් අති මහත් වැඩි කොටස ද ඓතිහාසික වශයෙන් පෙර නොවූ විරූ මිලිටරි හා ආර්ථික බලයක් ද අතැති ව ලෝක යුද්ධය තුලින් මතු වූ එක්සත් ජනපදයේ අතිමහත් කාර්මික ආධිපත්‍යය මත ය.

නමුත් 1950 සහ 1960 දශකවල දී එම කාර්මික ආධිපත්‍යය නොකඩවා ඛාදනය වීම, බ්‍රෙට්න්වුඩ්ස් පද්ධතිය ප්‍රතික්ෂේප කිරීමට නික්සන් පරිපාලනයට බල කලේ ය. 1971 අගෝස්තු 15 දින —ට්‍රම්ප් තම 25 වන උපන් දිනය සමරා මාස දෙකකට පමනක් පසු—නික්සන්, ඩොලර් වලට රත්‍රන් හුවමාරු කිරීම (පරිවර්ත්‍යතාව) අහෝසි කලේය. එය පශ්චාත් යුද්ධ කාලීන ආර්ථික පර්යායේ අවසානය හා තමන් නිර්මානය කල ගෝලීය වැඩ පිලිවෙල තවදුරටත් පවත්වාගෙන යාමට ශක්තියක් ඇමරිකානු ධනවාදයට නොහැකිය යන්න පිලිගැනීම සනිටුහන් කල ක්‍රියාවක් විය.

එතැන් සිට සිදු වූ දෙය පිලිබඳ මිනුමක් එක ඉලක්කමකින් කැටිකර දැක්විය හැකිය. 1971 දී රන් අවුන්සයක මිල ඩොලර් 35 ක් විය. අද එය ඩොලර් 5,000 කට පමන වෙලඳාම් කෙරේ. මෙය ඩොලරයේ, ඓතිහාසික ව තහවුරු වූ වටිනාකම මනින මිම්ම වූ රත්‍රන් මිලට සාපේක්ෂ ව සියයට 140 ක අවප්‍රමානය වීමකි. මෙය දිගටම සිදු වූ ඇමරිකානු ආර්ථික බලයේ පරිහානියේ මුදල්මය ප්‍රකාශනයයි. එය කොතරම් යුද වියදම් වැඩි කලත්, කවර මූල්‍යමය උප්පරවැට්ටි දැමූවත් කොතරම් ජාතිකවාදී කතා පැවැත්වූවත් නතර කල නොහැකි පරිහානියකි.

තීරුබදු පැනවීම මගින්, සංක්‍රමනිකයන් පාලනය කිරීම මගින්, සහ මිත්‍ර පාර්ශ්ව මෙන්ම පසමිතුරු පාර්ශව ද එක ලෙසට බලහත්කාරී හිරිහැරයට ලක් කිරීම මගින්, (පරිහානිය බිහි කල ආර්ථික ක්‍රියාවලීන් නවතාලිය නොහැකි ලෙස මතුපිටට යටින් ක්‍රියාත්මක වෙද්දී,) පූර්වයේ පැවති තත්වය යලි ස්ථාපිත කිරීමට MAGA පොරොන්දු වෙයි. ට්‍රම්ප් නමැති පුද්ගලයා ම එකී ප්‍රතිවිරෝධයේ මූර්තියයි: ඇමරිකානු බලය එහි මුදුන් හිනිපෙත්තට නැග තිබූ යුගයක උපත ලැබුවා වූත්, තම සමස්ත වැඩිහිටි ජීවිත කාලය ම, ආර්ථික පදනම් අඛන්ඩ ව ක්‍රමයෙන් වැඩිවන සෝදාපාලුවකට ලක් වී, ඇතුලතින් පුස්සක් බවට පත්වෙමින් පවතින සමාජයක ගත කලාවූත්, මනුෂ්‍යයකු වූ ට්‍රම්ප් අමු ප්‍රචන්ඩත්වය මගින් එකී ඓතිහාසික ක්‍රියාවලීන් ආපස්සට හැරවීමට යෝජනා කරයි.

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති, ඇමරිකානු ධනවාදයේ ගෝලීය ස්ථානය ගරා වැටීම කෙරෙහි දක්වන අපරීක්ෂාකාරී සහ ප්‍රචන්ඩ ප්‍රතික්‍රියාවකි. 1950 ගනන්වල දී මූර්ත දල දේශීය නිෂ්පාදිතය (ද්‍රව්‍ය වටිනාකමෙන් මනින ලද දදේනි) සියයට 4.2 ක වාර්ෂික සාමාන්‍ය අනුපාතයකින් වර්ධනය විය. 1960 ගනන්වල දී එය සියයට 4.5 ක් විය. දදේනියේ නිෂ්පාදන අංශයට අයත් කොටස සියයට 21 සහ 25 අතර ප්‍රමානයක් විය. ශ්‍රම සංඛ්‍යාන බියුරෝවේ වැටුප් ලේඛන දත්ත පෙන්නුම් කරන්නේ 1953 සැප්තැම්බරයේ දී උපරිමය වාර්තා කල නිෂ්පාදන අංශයේ සේවයේ නියුතු ශ්‍රම හමුදාව මිලියන 16.4 ක්, එනම් රටේ සියලු ම රැකියාවලින් තුනෙන් පංගුවක් නිෂ්පාදන අංශයේ නිරත ව සිටි බව ය.

1962 වර්ෂය සඳහා වන සංගත සමාගම් ඉපයූ ලාභ පෙන්වන ආර්ථික විශ්ලේෂන බියුරෝවේ වගුවලින් පෙන්වන්නේ සමාගම්වල සමස්ත ලාභයෙන් සියයට 46.1 ක් ම නිෂ්පාදන අංශයෙන් ඉපයූ බව සහ ඊට මූල්‍ය අංශයේ දායකත්වය සියයට 15.1 ක් පමනක් වූ බව ය.

ආර්ථික වර්ධනයේ පසුබෑම, අඛන්ඩ ව හා නිර්දය ලෙස දිගට ම සිදු විය. 1950 සහ 1960 ගනන්වල සියයට 4 ට වඩා ඉහලින් තිබුනු දදේනි යේ සාමාන්‍ය වාර්ෂික වර්ධනය 1970 සහ 1980 ගනන් වන විට සියයට 3 දක්වා ද ඊලඟ දශකයේ දී සියයට 2.5 වඩා අඩු මට්ටමකට ද පල්ලම් බැස්සේ ය. 2000 ගනන්වල පලමු දශකය තුල දී, ඩොට්කොම් බුබුලේ බිඳී යාම (ආයෝජකයන් පොරකමින් මුදල් යෙදවූ පරිගනක සමාගම් රොත්ත බුරුත්ත පිටින් ම එකවර කඩා වැටීම - පරිවර්තක) විසින් ද 2008 මූල්‍ය අර්බුදය විසින් ද පහලට ඇද දැමූ එය අතිශය විනාශකාරී ලෙස සියයට 1.9 ක සාමාන්‍යයක් දක්වා අඩු විය.

නිෂ්පාදන සේවා නියුක්තිය පෙන්වන සංඛ්‍යා ලේඛන ද ඊට නොවෙනස් විනාශකාරී බවක් පෙන්වයි. ශ්‍රම සංඛ්‍යා බියුරෝවේ වැටුප් ලේඛන දත්ත නිරානුකම්පික නිරවද්‍යතාවයෙන් මෙසේ පෙන්වා දෙයි: ගොවිපලවල නොවන සේවා නියුක්තිය, 1953 දී සියයට 32.5 සිට 1970 ගනන්වලදී සියයට 25.7 දක්වාද 1990 ගනන්වලදී සියයට 16.2 දක්වා ද 2010 වනවිට සියයට 8.7 දක්වාද 2025 ජනවාරියේදී යම්තම් සියයට 8 දක්වාද (නිෂ්පාදන අංශයේ සේවා නියුක්තිය) අඩුවී ගියේ ය.

සංගත සමාගම්වල ලාභ කොටසට සිදු වූ දෙය වේදිකාවේ අනෙක් පැත්තේ සිට කියාපාන්නේ ද ඒ කතාව ම ය: 1962 දී සමස්ත සමාගම් ලාභවලින් සියයට 46.1 ක් නිෂ්පාදන අංශයෙන් හා සියයට 15.1 ක් මූල්‍ය අංශයෙන් උපයන ලදී. 1990 වන විට, නිෂ්පාදන අංශය 27.8 දක්වා පහල වැටෙද්දී මූල්‍ය අංශය 29.7 දක්වා ඉහල ගොස් අංශ දෙක සම්පාත විය. 2010 වන විට, මූල්‍ය අංශය සියයට 23.9 දක්වා ඉහල ගොස් නිෂ්පාදන අංශය සියයට 15.4 දක්වා පහල වැටුනේ ය. සියවස මැද දී සියලු ලාභ වලින් අඩක් ම උපයා දුන් නිෂ්පාදන අංශය ඉතා සුලු අගයක් දක්වා පහල වැටෙද්දී මූල්‍ය අංශයේ ලාභ දෙගුනය දක්වා වැඩි විය.

ඇමරිකාව කාර්මිකහරනය කිරීම (කර්මාන්ත අංශයෙන් ඉවත් වීම) සිදු වූයේ ප්‍රබල වෛෂයික ආර්ථික බලවේගවල ක්‍රියාකාරීත්වය සහ පාලක පන්තිය විසින් ප්‍රවේසමෙන් සිතාමතා ගත් සහ කෙටි කාලීන මූල්‍යමය ලාභ වැඩි කර ගැනීම වෙනුවෙන් (ප්‍රධාන පක්ෂ දෙක විසින් ම අනුගමනය කල) ප්‍රතිපත්තිමය තීන්දු වල ප්‍රතිඵලයක් වශයෙනි.

ප්‍රාග්ධනයේ දෘෂ්ටි කෝනයෙන් බලන විට මේ අර්බුදයට පාලක පන්තියේ ප්‍රතිචාරය අතාර්කික එකක් නොවේ. සමාගම් වල ලාභ හා සමාජ සහන යන දෙක ම පවත්වා ගෙන යාමට ප්‍රමානවත් වේගයකින් ආර්ථික අතිරික්තය වර්ධනය නොවේ නම් සහන කප්පාදු කිරීමට සිදු වේ. වෘත්තීය සමිතිවලට පහර දීම, මූල්‍යකරනයට තිබෙන නීතිරීති ලිහිල් කිරීම හෝ ඉවත්කිරීම, ධනවතුන්ගෙන් අය කරන බදු අඩු කිරීම, සමාජ සහන වැඩ පිලිවෙලවල් කප්පාදු කිරීම, නිෂ්පාදනය වෙනත් රටකට මාරු කිරීම ආදී සියල්ල නියෝජනය කරන්නේ, රේගන්ගේ සිට පක්ෂ දෙක විසින් ම, වැඩිවන තීව්‍රතාවයෙන් ක්‍රියාත්මක කරන ලද කම්කරු පන්තියේ වියදම මතින් ලාභ රේට්ටු රැක ගැනීම සඳහා වන සුසංයෝගී පන්ති මූලෝපායකි.

මෙම පන්ති මූලෝපායේ ප්‍රතිපල, ධනය සංකේන්ද්‍රනය වීම හා දුගීභාවය වැඩිවීම පිලිබඳ සංඛ්‍යාලේඛන වල ලියා තිබේ. ඒවා කොතරම් උග්‍ර තත්වයක් නිරූපනය කරනවාද යත්, ඒවා ඇමරිකානු මහ බැංකුව වන ෆෙඩරල් රිසර්ව් ආයතනයේ ම දත්ත සමුදායන්ගෙන් උපුටා ගන්නා ලද ඒවා නොවුනා නම් සමාජවාදී ප්‍රචාරකයන් විසින් නිර්මානය කරන ලද ප්‍රබන්ධ යයි බැහැර ලන්නටද ඉඩ තිබුනි.

2025 වර්ෂයේ තුන්වන කාර්තුව සඳහා ෆෙඩරල් රිසර්ව් බැංකුවේ දත්ත අනුව ඇමරිකානු කුටුම්බවල (පවුල්වල) මුදුනේම සිටින සියයට එක ජාතියේ සමස්ත ධනයෙන් සියයට 31.7 ක් පාලනය කරයි. මෙය, ෆෙඩරල් රිසර්ව් බැංකුව කුටුම්බ සතු ධනය පිලිබඳ සංඛ්‍යා එකතු කිරීම පටන්ගත් 1989 වර්ෂයේ පටන් මේ දක්වා වාර්තා වූ ඉහලම අගය වේ. එකී සියයට එක් දෙනා අතේ, ඩොලර් ට්‍රිලියන 55 ක (මිලියන 55,000) වත්කම් තිබුනි. ඇමරිකානු ජනගහනයේ පහල සියයට 90 දෙනාම අතේ තිබෙන මුලු වත්කම් ප්‍රමානයට මෙය, දල වශයෙන් සමානය. ජනගහනයෙන් උඩම සිටින සියයට 10, සමස්ත ගෘහස්ත වත්කම් වලින් තුනෙන් දෙකක් තම අතේ තබා ගෙන සිටියහ.

වර්නාවලියේ අනෙක් කෙලවර දෙස බලන විට, ඇමරිකානු කුටුම්බවල පහල සියයට 50 —එනම් පවුල් මිලියන 66 ක් — අතේ තිබුනේ සමස්ත ධනයෙන් සියයට 2.5 ක් පමනකි. ජනගහනයේ උඩම සිටින ධනවත්ම සියයට එක් දෙනා, පහලින් සිටින සියයට 90 ම සතු ධනයට සමාන ධනයක් සිය අත තබාගෙන සිටියහ. මෙම සංඛ්‍යා ගැන මොහොතක් සිතා බලන්න.

මෙම සංකේන්ද්‍රනය විහිදී ගිය කාල පරාසයද සමාන ලෙසම සාපරාධී වේ. 1989 දී ජනගහනයේ පහල සියයට 50 සමස්ත ධනයෙන් සියයට 3.4 ක් දරා සිටියහ — එය, ඒ වන විටත් ඉතා සුලු කොටසක් විය— 2025 වන විට එකී සුලු කොටසත් තවදුරටත් ඛාදනය වී ගොස් තිබුනි. ඒ අතරවාරයේදී උඩම සියයට 0.1 දෙනාගේ වත්කම් එකම කාල පරාසය තුල සියයට 60 කින් වැඩි වී තිබුනි. එක්සත් ජනපදයේ බිලියනපතියන් 905 දෙනා, ඩොලර් ට්‍රිලියන 7.8 ක (මිලියන 7800 ක) ධනස්කන්ධයක් දරා සිටිති. එය ජනගහනයේ පහල අර්ධය සතු ධනය මෙන් දෙගුනයකි. පුද්ගලයන් තුන් දෙනෙකුට, ජනගහනයේ පහල සිටින පුද්ගලයන් 160,000,000 දෙනාම (කෝටි 16) සතු ඒකාබද්ධ ධනයට සමාන ධනයක් හිමිය.

ධනය සතු අය සහ එම ධනය නිෂ්පාදනය කිරීම සඳහා දහඩිය හෙලන අය අතර පවතින දැවැන්ත අගාධය, ප්‍රධාන විධායක නිලධාරීන්ගේ (සීඊඕ) වැටුප් සහ සාමාන්‍ය කම්කරු වැටුප් අතර අනුපාතය දෙස බැලීමෙන් සුවිශේෂ විචිත්‍රවත් ආකාරයකින් ප්‍රදර්ශනය වේ. ආර්ථික ප්‍රතිපත්ති ආයතනයට (ඊපීඅයි) අනුව, කොටස් වෙලඳපොලේ කොටස් අලෙවි වන ප්‍රධාන ඇමරිකානු සමාගම් 350 ක සීඊඕ ලා 2024 දී මුලු වේතන හා දීමනා හැටියට ඩොලර් මිලියන 23 ක සාමාන්‍යයක් ලබා ගත්හ. මෙය, සාමාන්‍ය කම්කරුවකුගේ වැටුප මෙන් 281 ක් ගුනයකි. එය, 1965 දී 21 ක් ගුනයක්ද 1978 දී 31 ගුනයක්ද විය. දැන් එය 1978 මෙන් දස ගුනයකින් වැඩි වී තිබේ. වඩාත්ම කැපී පෙනෙන තරමේ නරක සමාගම්වල මේ අනුපාතය සිතා ගැනීමටවත් නොහැකි තරම්‍ය : ස්ටාර්බක්ස් හි (කෝපි ආපන ශාලා ජාලය) සීඊඕ 2024 දී ඩොලර් මිලියන 97.8 ක් , එනම් එම සමාගමේ වැඩ කරන කම්කරුවකුගේ මධ්‍යන්‍ය වැටුප මෙන් 6666 ගුනයක් ලබා ගත්තේය.


1978 සිට සීඊඕ ලාගේ උපලබ්ධි වූ වේතන හා දීමනා සියයට 1094 කින් වැඩිවී තිබේ. එම කාලය තුලදී සාමාන්‍ය කම්කරුවකුගේ වැටුප් වැඩිවී ඇත්තේ සියයට 26 කින් පමනි. එයද ශුද්ධ පලදායිතාවය සියයට 84 කින් වැඩි වී තිබියදීය. 1970 ගනන්වල සිට පලදායිතාවයේ සියලු වැඩිවීම් පාහේ ධනපති පන්තිය තමන්ගේ සාක්කුවල දමා ගෙන ඇත.

මෙම අසමානතාවේ ප්‍රතිඵල ඇමරිකානු ජන ජීවිතයේ සෑම පැතිකඩක් පුරාම වසා පැතිරී තිබේ. එක්සත් ජනපදයේ සමස්ත පරිභෝජන වියදම්වලින් හරි අඩක් පමන වැය කරන්නේ ආදායම් උපයන්නන්ගේ ඉහලම සියයට 10 විසිනි. මෙය 2020 දී සියයට 43 ක් හා 2025 දී සියයට 49 කි. ජනගහනයෙන් බහුතරය, එකතැන පල්වෙන වැටුප්, වැඩිවෙන නය බර හා වැඩිවෙන ගෙවල් කුලී, වෛද්‍ය වියදම් හා අධ්‍යාපන වියදම් සමග අරගල කරද්දී, ඇමරිකානු ආර්ථිකය ධනවතුන් අතලොස්සකගේ පරිභෝජන රටා මත වැඩි වැඩියෙන් රඳා පවතී.

කම්කරු පංතික ඇමරිකානුවන්ගේ ජීවිතාපේක්ෂා කාලය ඇත්ත වශයෙන් පහල ගොස් ඇත : මෙය දියුනු කාර්මික රටක කිසිදා නොඇසූ විරූ ප්‍රපංචයකි. ඕපියොයිඩ් වසංගතය හා ඒ සමග ආ දිවි නසා ගැනීම, මත්පැන් ලෝලිත්වය, අන්තරායකර ඖෂධ අධි මාත්‍රා ගැනීම ආදියෙන් සිදුවන 'අපේක්ෂා භංගත්වයේ මරන' ජනයා ලක්ෂ ගනනින් ආර්ථික අනාරක්ෂිත භාවයට, සමාජීය ගර්හිත භාවයට හා අපේක්ෂා භංගත්වයට ඇද දැමූ සමාජ ක්‍රමයක කායික විද්‍යාත්මක ප්‍රතිපලයන්‍ ය.

2020 ජනවාරියේ දී කෝවිඩ් -19 වසංගතය පුපුරා ගිය විට ඊට පක්ෂ දෙකේ ඒකාබද්ධ ප්‍රතිචාරයෙන් හෙලිදරව් වූයේ, පක්ෂ දෙකම ජීවිත බේරාගැනීම දෙවන තැනට දමා ලාභ රැක ගැනීමට ප්‍රමුඛතාවය දෙන බවය. කම්කරු පන්තිය විසින් දැමූ පීඩනය නිසා SARS-CoV-2 වයිරසයේ ව්‍යාප්තිය වලක්වාලීම සඳහා ඉතා කෙටි කලකට කම්හල් වසා දැමීමට එකඟවීමට පාලක පන්තියට බල කෙරුනි. නමුත් වෝල් වීදියේ මූල්‍ය ආයතන කඩා වැටීමෙන් බේරා ගැනීම සඳහා රජයේ මුදල් අති විශාල ප්‍රමානයක් වෙන්කිරීමට පක්ෂව කොන්ග්‍රසය චන්දය දුන් සැනින්ම ජීවිත අවදානම නොතකා කම්හල් හා වැඩපොලවල් විවෘත කිරීම දෙසට අවධානය විතැන් විය.

'නිව්යෝර්ක් ටයිම්ස්' තීරු ලිපි රචකයකු හා 'අධිරාජ්‍යවාදයේ දූතයා' වශයෙන් හඳුන්වන ලිබරලකු වන තෝමස් ෆ්‍රීඩ්මාන් පලදායක හා හොඳින් තහවුරු කරන ලද මහජන සෞඛ්‍ය පියවරවල් ගැනීම ප්‍රතික්ෂේප කිරීම සඳහා උවමනා කරන සටන් පාඨය සපයා දුන්නේය : 'ප්‍රතිකාරය, [එනම්, ලාභ කැපකර වයිරසය පැතිර යාම වැලැක්වීම] රෝගයට වඩා නරක දෙයක් වීමට ඉඩ නොදිය යුතුය'

මෙහි ප්‍රතිඵලය විනාශකාරී විය : එක්සත් ජනපදය තුල පමනක් වැලැක්විය හැකිව තිබූ මරන ලක්ෂ 15 ක් හා ජාත්‍යන්තරව වලක්වාලිය හැකිව තිබූ මරන කෝටි 3 ක් (මිලියන 30 ක්) සිදුවිය. එතැන් සිට වසර හයක් ගත වී ඇති අද වනවිටත් කෝවිඩ් වසංගතය තවමත් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක් හැටියට පවතියි. නමුත් S&P 500 හා ඩව් ජෝන්ස් සාමාන්‍ය කාර්මික දර්ශකය 2020 මට්ටම මෙන් දෙගුනය දක්වා වැඩි වී ඇත.

කොටස් වෙලඳපොල දර්ශකවල සීඝ්‍ර වර්ධනය පසුපසින් තිබෙන සමාජ යථාර්ථය මෙයයි. පාලක පන්තිය ට්‍රම්ප් හා එප්ස්ටීන් යන දෙදෙනා වමනය කර ඔවුන් අති විශාල බලයක් සහ අති විශාල බලපෑමක් කල හැකි අයවලුන් බවට ඔසොවා තැබීය. සමාජය මුදුනේ සිදුවන ජුගුප්සාජනක ධන සමුච්චනය, ජනගහනයේ විශාල කොටස් සූරාකෑමට හා දුගී භාවයට ඇද දැමීමෙන් වෙන් කල නොහැකිය. සංසිද්ධීන් දෙක අතර සම්බන්ධය ව්‍යුහාත්මකය. ධනපති පන්තිය පොහොසත් කල එම ක්‍රියාවලියම — එනම්, වෘත්තීය සමිති විනාශ කිරීම, මූල්‍යන නීති ලිහිල් කිරීම, සමාජ සේවා වැඩසටහන් කප්පාදු කිරීම සහ නිෂ්පාදනය වෙනත් රටවලට මාරු කිරීම — ආදිය සමග ඊට සමාන්තරව සිදුකල කම්කරු පන්තිය දුගී බවට ඇද දමා ට්‍රම්ප් වැනි ආඥාදායක ගෝසාබද්දයන්ට ගසා කෑමට හැකි සමාජමය අපේක්ෂාභංගත්වය නිර්මානය කලේය.

පලදායි ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභ අඩුවෙත්ම ප්‍රාග්ධනය වැඩි වැඩියෙන් මූල්‍යමය සමපේක්ෂනයට ගලා යයි, (සංක්‍රමනය වෙයි). එම සමපේක්ෂන ආයෝජන අතර ව්‍යුත්පන්න නය, (බැංකු විසින් එක් ගනුදෙනුකරුවකුට දුන් නයක් නැවත කුඩා බන්ඩලවලට කඩා වෙලඳපොලේ පිටස්තර අයට විකිනීම), කොටස් වෙලඳපොල තුල විකිනීමට තිබෙන කොටස් එම කොටස්ම ඇපයට තබා ලබා ගන්නා නයකින් මිලට ගැනීම, කොටස් වෙලඳපොල තුල යම් සමාගමක කොටස් මිල ඒවායේ සැබෑ අගයට වඩා ඉහල ගිය විට ඒවා ගැනීම හෝ විකිනීම යනාදිය ඇතුලු කිසිම දෙයක් නිෂ්පාදනය නොකර ධනය රැස් කිරීම සඳහා වෝල් වීදියේ මූල්‍ය ආයතන විසින් සපයා ඇති විවිධාකාර ඇටවුම් ඊට අයත්‍ ය. දූෂිත මූල්‍ය ගනුදෙනු සඳහා ට්‍රම්ප් ගේ මූල්‍ය දූෂනවලට තිබෙන නැමියාව, ඔහුගේ ලෝකයේ හැඩරුව පහදයි.

නමුත් ඔහුගේ සියලු පුරාජේරු තිබියදීත් ඔහු පොරොන්දු වූ ආර්ථික ආශ්චර්යය නම් පෙනෙන තෙක් මානයකවත් නැත. ඒ වෙනුවට පෙනෙන්නට තිබෙන්නේ ට්‍රම්ප් ගේ ශාරීරික හා මානසික දිරාපත් වීම තරමටම ප්‍රදර්ශනය වන නිර්දය ලෙස ක්‍රියාත්මක වන කුනුවීමේ ක්‍රියාවලිය යි. 2026 පෙබරවාරි 2 දා වෝ්ල් ස්ට්‍රීට් ජර්නලය මෙසේ වාර්තා කලේය :

'ජනාධිපති ට්‍රම්ප් ඇමරිකාවට සවර්නමය යුගයක් උදා කරමැයි පොරොන්දු වූ නිෂ්පාදන උත්පාතය රිවස් ගියරයේ ගමන් කරයි. අවුරුදු ගනනාවක් මුලුල්ලේ ට්‍රම්ප් හා බයිඩන් පරිපාලනයන් විසින් සිදුකල ආර්ථික මැදිහත්වීම්වලට පසුව, නිෂ්පාදන කර්මාන්ත වල නිරත ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව කෝවිඩ් වසංගතය අවසාන වීමෙන් පසු තිබුන අඩුම මට්ටමට වැටී ඇත. ෆෙඩරල් සංඛ්‍යා ලේඛන වලට අනුව, ජනාධිපති ට්‍රම්ප් විසින් 'විමුක්ති දිනයේ' තීරුබද්ද දියත් කලදායින් පසු ගතවූ මාස 8 තුල දී , 2023 සිට එක දිගට සිදු වූ ආර්ථික සංකෝචනයක් දිගු කරමින් නිෂ්පාදකයෝ කාර්ය සංකේතයන් (රැකියා) 200,000 කට වඩා අහෝසි කලහ.

ට්‍රම්ප්වාදයේ බංකොලොත්කම හෙලිදරව් වන්නේ කාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රය තුල පමනක් නොවේ. MAGA සටන් පාඨයේ මායාකාරී ස්වභාවය ඊටත් වඩා සියුම් නිරවද්‍යභාවයෙන් යුතුව පෙන්වා දෙනු ලබන්නේ එක්සත් ජනපදයේ පරිහානියේ කාසි මිම්ම වන ඩොලර් නෝට්ටුවේ වටිනාකමේ කඩාවැටීම විසිනි.

ඩොලරය යලිත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා (Make Dollar Great Again) වෙනුවට සිදුව ඇත්තේ එහි වටිනාකම දිගටම පහලට ලිස්සා යාමයි. 'දි ඉකොනොමිස්ට් ' සඟරාවේ පෙබරවාරි 6 -13 කලාපයේ 'ද ඩේන්ජරස් ඩොලර්' නමැති ප්‍රධාන ලිපිය මෙසේ කියයි :

2025 වසරේ ජනවාරියේ [ට්‍රම්ප්ගේ දෙවන පදවි ප්‍රාප්තිය සිදු වූ] සිට මේ දක්වා ඩොලරයේ වටිනාකම වෙනත් ප්‍රධාන මුදල් ඒකක පැසකට (බාස්කට්) සාපේක්ෂව දහයෙන් පංගුවක් අඩු වී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස ඇමරිකානු වත්කම්වල විදේශීය මුදලින් මනින ලද ඉපයුම් ශක්තිය අඩු වී තිබේ. උදාහරනයක් හැටියට යූරෝ වලින් මැන බැලූවිට ඇමරිකානු ව්‍යාපාර වස්තූවල ජාත්‍යන්තර වටිනාකම පසුගිය වසර මුලුල්ලේම වැඩිවී ඇත්තේ ඉතාම සොච්චමකිනි.'

බිට්කොයින් නම් අතථ්‍ය මුදල්, ඩොලරයට විකල්පයක් ලෙසද ඊටත් වඩා විශ්වසනීය වටිනාකම් නිධියක් ලෙසද ප්‍රචාරය කිරීම මගින්, ඩොලරයේ පහලට ලිස්සා යාමෙන් තමන්ට ගැලවීගත හැකි වෙතැයි ද —තමන්ටත් තම පවුලේ අයටත් ඒ මගින් තවත් ධනවත් විය හැකි වෙතැයි ද — ට්‍රම්ප් විශ්වාස කලේය. මෙම කෝකටත් තෛලය පිලිබඳ ඔහුගේ අලෙවිකරන ප්‍රචාර මුලදී සාර්ථක විය. බිට්කොයින් ඒකකයක වෙලඳපොල මිල ඩොලර් 120,000 දක්වා පියඹා ගියේය. නමුත් යථාර්ථය නිර්දය ය. බිට්කොයින් මිල යලිත් ට්‍රම්ප්ගේ දෙවන පදවි ප්‍රාප්තියට පෙර, 2024 නොවැම්බරයේ තිබූ මට්ටම වන ඩොලර් 65,000 - 70,000 දක්වා ලිස්සා ගියේය. බිට්කොයින් මිල, ඇත්තවශයෙන්ම එය තිබිය යුතු සැබෑ පතුලේ අහලකටවත් පැමින නැතැයි යන සැකය වැඩෙමින් පවතී. බිට්කොයින්වල ආයෝජනය කර සිටින අයට අනාගතයේදී බිට්කොයින් එකකට ලැබෙන ටියුලිප් මල් ගනන අනුව එහි වටිනාකම මනින්නට බල කෙරෙනු ඇත.

ආර්ථික පරිහානිය, පරපෝෂනය සහ නිර්බාධිත මිලිටරි ප්‍රචන්ඩත්වය මත වැඩි වැඩියෙන් විශ්වාසය තැබීම අතර සම්බන්ධය ප්‍රතික්ෂේප කල නොහැක. ප්‍රචන්ඩත්වයට නැඹුරු වීම හා එක්සත් ජනපද රාජ්‍යය වැඩි වැඩියෙන් නීතියට පිටුපා ක්‍රියා කිරීමේ මුල් තිබෙන්නේ උත්සන්න වී තිබෙන ආර්ථික හා මූල්‍යමය බිඳෙනසුලුභාවය තුලය. අති විසල් ජාතික නය කන්දේ බර ද ව්‍යුහාත්මකව දිගටම පවතින අයවැය හිග ද පිලියම් ලෙස ගැනීමට තිබෙන ප්‍රතිපත්ති විකල්පයන් සීමා කොට තිබෙන අතර, පද්ධතිය වැඩි වැඩියෙන් අඛන්ඩ ප්‍රති මූල්‍ය පහසුකම් සොයා යාම මතද අඩු මූර්ත පොලියකට ජාත්‍යන්තර මුදල් වෙලඳපොලෙන් නය සොයා යාම මතද සෙසු ලෝකයෙන් ඇමරිකානු ඩොලර් වත්කම් සඳහා වැඩි ඉල්ලුමක් ඇතිකර ගැනීමට උත්සාහ කිරීම මතද රඳා පවතින තත්වයට පත් කර ඇත. ඒ අතරම කොටස් වෙලඳපොල — සැමටම වඩා ප්‍රධාන තාක්ෂන සමාගම්වල කොටස් විකිනෙන වෙලඳපොල— නොකඩවාම සිදුවෙතැයි අපේක්ෂා කරන ඉපයුම් වැඩිවීම සහ දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කරන හිතකර ද්‍රවශීලතා තත්වයන් මත පිහිටා තිබේ ; ඕනෑම දිගට පවතින මිල ගැලපුමක් පහත සඳහන් දේවල් ඇති කිරීමට තර්ජනය කරයි : කොටස් වෙලඳපොලේ මුදල් යෙදවූ අය එම ආයෝජන වල මිල අඩු වූ විට පරිභෝජනයට මුදල් වැය කිරීමට පැකිලෙති. එසේම කොටස් මිල අඩු උනොත් සමාගම්වල සේවකයන් දොට්ට දැමීමද බැංකු සහ නය ලියවිලි වෙලඳපොල මත ආතතියක් ඇතිවීමද සිදු වේ.

ෆෙඩරල් රජය ක්‍රියා කරන්නේ රාජ්‍ය නය සහ ඒවායේ පොලී බර නිසා උපාමාරු දැමීමේ ඉඩකඩ ඇහිරී ඇති තත්වයක් තුලය.

2026 ජනවාරි 7 වෙනිදා වන විට එක්සත් ජනපදයේ රාජ්‍ය නය ප්‍රමානය ඩොලර් ට්‍රිලියන 38.43 ක් විය. මෙයට ඇමරිකානු මහජන නය ඩොලර් ට්‍රිලියන 30.81 ක් අඩංගුය. එහි වාර්ෂික පොලිය 2025 සඳහා ඩොලර් බිලියන 970 ක් විය. මෙය දල වශයෙන් ද.දේ.නි යෙන් සියයට 3.2 ක්ද ෆෙඩරල් රජයේ සමස්ත වියදම් වලින් සියයට 13.8 ක්ද විය.

එක්සත් ජනපදයේ ෆෙඩරල් නය - FRED [Photo: FRED]

මෙම තත්වයන් යටතේ බලහත්කාරය සහ නීත්‍යානුකූල නොවන විධික්‍රම පාවිච්චි කිරීමත් බලහත්කාරයෙන් ඇමරිකාව තුල මුදල් ආයෝජනය කරන ලෙස බාහිර පාර්ශ්ව වලට බල කිරීමත් පටි තද කිරීමට හා යුද්ධයට එරෙහි දේශීය විරෝධතා මර්දනය කිරීමත් වත්කම් උද්ධමනය ආරක්ෂා කර ගැනීමේ මෙවලම් බවට පත් වී තිබේ.

ට්‍රම්ප් පරිපාලනය මුහුන දෙන තත්වය — අති විසල් ජාතික නය, වටිනාකම පහත වැටෙන ජාතික මුදල් ඒකකය, පහත වැටෙන කාර්මික නිෂ්පාදනය, ගෝලීය වෙලඳපොලවල් අහිමි වීම — ආදිය 1937-1938 දී නාසි තන්ත්‍රය මුහුන දුන් තත්වයන්ට සමානකම් පෙන්වයි. තුන්වන රයිකය පිලිබඳ දීප්තිමත් ඉතිහාසඥයකු වූ ටිම් මේසන් මෙසේ ලිවීය :

'ආඥාදායකත්වය හා යලි සන්නද්ධ වීම විසින් නිර්මානය කරන ලද මෙම ව්‍යුහාත්මක ආතතීන් හා අර්බුදයන්ගේ තන්ත්‍රයට, ඉතිරිව ඇති එකම 'විසඳුම' වන්නේ තව තවත් ආඥාදායකත්වයට හා යලි සන්නද්ධ වීම කරා යාමය. ඉන්පසු යුද්ධය සහ ත්‍රස්තවාදයත් ඉන්පසු කොල්ලකෑම හා වහල්භාවයට යටත් කර ගැනීමත් එනු ඇත. ඊට විකල්පය ලෙස පැවතුනේ කඩාවැටීම හා වියවුලය. ඉතින්, සියලු විසඳුම් එදාවේල පිරිමසා ගන්නා තාවකාලික විසඳුම් හා මෘග තේමාවක් වටා එහෙන් මෙහෙන් ගොනුකරගත් වනචාරී විසඳුම් විය. ජාතික සමාජවාදී (නාසි) පාලනය යටතේ ජර්මානු ආර්ථික සංවර්ධනයේ බියකරු තර්කනය වූයේ මානව හා ද්‍රව්‍යමය සම්පත් කොල්ලකෑම සඳහා වන යුද්ධය යි.'

[නාසිවාදය, ෆැසිස්ට්වාදය හා කම්කරු පන්තිය (කේම්බ්‍රිජ්,1995), 51 වන පිටුව

ඇමරිකානු ධනවාදය ඵලදායිතාව අතින් අඩු තරගකාරීත්වයකින් යුක්ත නිසා එය, තම ගෝලීය ස්ථානය රැක ගැනීම සඳහා වැඩි වැඩියෙන් මිලිටරි බලය හා බලහත්කාරය මත විශ්වාසය තබා ඇත. ඉරාකයේ, ඇෆ්ගනිස්තානයේ, ලිබියාවේ සහ සිරියාවේ යුද්ධ හුදු අපගමනයන් නොව ආර්ථික ගතිකත්වය මගින් පමනක් තම අවශ්‍යතා ඉෂ්ට කර ගත නොහැකි පද්ධතියක ප්‍රකාශනයන් වේ. නොනවතින යුද්ධ, ඩ්‍රෝන ඝාතන, වධ බන්ධන, අනීතික රඳවා ගැනීම්, ආදිය නියෝජනය කරන්නේ දේශපාලන ජීවිතය රලු වීමය. මේවා අවසානයේදී වැලැක්විය නොහැකි ලෙස, ස්වදේශීය දේශපාලන ජීවිතය තුලටත් ගලා එයි.

ට්‍රම්ප්, ඇමරිකාවේ සුරා තහනම ක්‍රියාත්මක වූ 1930 ගනන්වල මාෆියා පාතාලයේ විධික්‍රම විදේශ ප්‍රතිපත්තියට යොදා ගනී. ඇමරිකානු පාලක පන්තිය විසින් බලයට පත් කරනු ලැබ සිටින ඔහු අතට, අල් කැපෝන් පාතාල නායකයා අතේ තිබුනු තොම්ප්සන් වර්ගයේ මැෂින් තුවක්කුවක් නොව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සමස්ත යුද අවි ගබඩාවම — මිනිස් වර්ගයාම අවසාන කර දැමීමට ශක්තිය සහිත න්‍යෂ්ටික අවිද ඇතුලත් ඉතිහාසයේ වැඩිම විනාශකාරී ප්‍රබලත්වයෙන් යුද බලය — තමන් රිසි ලෙස පාවිච්චි කිරීම සඳහා ලබා දී තිබේ. වර්තමාන තත්වය පිලිබඳ සැබෑ අනතුර මෙයයි : තර්කානුකූලව සිතීමේ ශක්තිය අහිමිව සිටින පාලක පන්තියක් සුපිරි ලෝක බලවතකුගේ අවි ආයුධ පාතාලයකුගේ විධික්‍රම පාවිච්චි කරන පුද්ගලයෙකුගේ අතට දී තිබේ.

2022 ජූලි 28 වැනි දින, නිමිට්ස් පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන්, රිම් ඔෆ් ද පැසිෆික් අභ්‍යාස සඳහා සූදානම් වෙමින්. [ඡායාරූපය: කැනේඩියානු සන්නද්ධ හමුදා ඡායාරූප Cpl. Djalma Vuong-De Ramos විසිනි] [Photo: Canadian Armed Forces photo by Cpl. Djalma Vuong-De Ramos]

ට්‍රම්ප් යටතේ ඇමරිකානු අධිරාජ්‍යවාදී ආක්‍රමනශීලීත්වයේ පුපුරා යාම — වෙනිසියුලා ආක්‍රමනය, කැනඩාව හා ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමට කරන විවෘත තර්ජන, සහ ඉරානයට එරෙහි යුද සූදානම ආදිය —නේටෝවේ යුරෝපීය හවුල්කරුවන් පෙර දැකීමට අසමත් වූ ඔවුන් තෝන්තු කරවා ඇති ගුනාත්මක වර්ධනයක් සනිටුහන් කරයි.

නමුත් ගිනිකන්දක් පුපුරා යන්නා සේ සිදුවන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විදාරනය, අපූර්ව ලෙස පෙර දකිනු ලැබ තිබුනි. ඒ ට්‍රොට්ස්කි හා ඔහු ස්ථාපනය කල ව්‍යාපාරය විසිනි. 1928 තරම් ඈතදී පශ්චාත් යුද කාලීන උත්පාතයේ ප්‍රතිපල හා මහා අවපාතයේ දොරකඩ ගැන ලියමින් ඔහු මෙසේ සඳහන් කලේය :

'අර්බුද කාලවලදී එක්සත් ජනපදයේ හෙජමනිය (අධිකාරිත්වය) උත්පාත කාලවලට වඩා සම්පූර්න ලෙසත් විවෘත ලෙසත් නිර්දය ලෙසත් ක්‍රියාත්මක වනු ඇත. එක්සත් ජනපදය තමන් වැටී සිටින දුෂ්කර තත්වයන් හා ආබාධයන් ජය ගැනීමට සහ ඒවායින් ගැලවීමට උත්සාහ කරනු ඇත්තේ, (එය ආසියාවේ, කැනඩාවේ, දකුනු ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ හෝ යුරෝපය තුලම සිදුවුවත්, එය යුද්ධයෙන් හෝ සාමයෙන් සිදුවුවත්) මූලික වශයෙන්ම යුරෝපයේ වියදම මතිනි.

ට්‍රොට්ස්කි, ඝට්ටනය කරා යාමට අධිරාජ්‍යවාදයේ තිබෙන පොදු නැමියාව පෙර දුටුවා පමනක් නොවේ : ඔහු අපූර්ව සුවිශේෂීභාවයක් සහිතව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී ආශාවන් ක්‍රියාත්මක වන භූගෝලීය මානයනුත් ඒවා ක්‍රියාත්මක වන නිර්දය ආකාරයනුත් හඳුනා ගත්තේය. සියවසකට පමන පසු අද, ට්‍රම්ප් කැනඩාවේ ස්වාධිපත්‍යයට තර්ජනය කරයි, පැනමා ඇල බලෙන් අල්ලා ගනී, වෙනිසියුලාව ආක්‍රමනය කරයි, ග්‍රීන්ලන්තය තමුන්ට පවරා දෙන ලෙස ඩෙන්මාර්කයට බල කරයි, ඉරානයට යුදමය විනාශයක් අත්කර දෙන බවට තර්ජනය කරයි.

ලියොන් ට්‍රොට්ස්කි, තුර්කියේ ප්‍රින්කිපෝ හිදී,1931.

1934 දී ජර්මන් ෆැසිස්ට්වාදයේ නැගීම හා දෙවන ලෝක යුද්ධයේ ආගමනය සමග ට්‍රොට්ස්කි තම විශ්ලේෂනය තවදුරටත් මුවහත් කලේය : 'ලෝකය බෙදී ඇත් ද? එය නැවත බෙදීමට අවශ්‍ය ය. ජර්මනියට, එය යුරෝපය සංවිධානය කිරීම පිලිබඳ ප්‍රශ්නයක් විය. එක්සත් ජනපදය ලෝකය සංවිධානය කල යුතුයි. ඉතිහාසය, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකඳු විදාරනය කරා මනුෂ්‍ය වර්ගයා අභිමුඛ කරමින් සිටී' — මේ වාක්‍යාංශය, එනම් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකඳු විදාරනය — පරන වී ගිය රූපකයක් නොවේ. එය සාක්ෂාත් වී තිබෙන විද්‍යාත්මක පුරෝකථනයකි.

අප මේ දක්වා ඉදිරිපත් කල විශ්ලේෂනයේදී ධනපති ක්‍රමයේ සහ එහි පාලක පන්තියේ කුනුවීම හා ජරපත්වීම සැලකිය යුතු තරම් විස්තරාත්මකව දැක්වූයෙමු. නමුත් වර්තමාන තත්වය තුල තිබෙන තර්ජනය පමනක් දැකීම ප්‍රගාඪ දේශපාලන වරදක් — කලකිරීමට හා අපේක්ෂා භංගත්වයට, අශුභවාදයට යටත් වීමක් — වේ. මන්ද යත්, අර්බුදය ෆැසිස්ට්වාදයේ හා යුද්ධයේ අනතුර පමනක් නොව සමාජ විප්ලවයේ වෛෂයික හැකියාවද පෙරට ගෙන එයි. ඇත්තෙන්ම, පාලක පන්තිය ආඥාදායකත්වයට හා යුදවාදයට දක්කන එම ප්‍රතිරෝධයන්ම ජාත්‍යන්තර පරිමානයෙන් කම්කරු පන්තික විප්ලවවාදී ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය කොන්දේසිද නිර්මානය කරයි.

අර්බුදයේ මූලික හේතුව කුමක්ද ? ධනේශ්වර විචාරකයන් කෙලවරක් නැතිව යෝජනා කරන ආකාරයට එය, නායකත්වයේ අසමත්කමක්, ආචාරශීලිත්වයේ හෝ ශිෂ්ටත්වයේ මදිකමක්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිමානයන්ගේ බිඳවැටීමක් හෝ නොවේ. ඒවා රෝග ලක්ෂන පමනි. රෝග නිධානය ව්‍යුහාත්මකය; පද්ධතිගතය: එනම්, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය හා නිෂ්පාදන ක්‍රියාවලියේ වැඩිවන සමාජයීය ස්වභාවය යන දෙක අතර තිබෙන සමහන් කල නොහැකි ප්‍රතිවිරෝධය රෝග නිධානයයි. මාක්ස් විසින් හඳුනාගත් කේන්ද්‍රීය ප්‍රතිවිරෝධය මෙයයි. එහි වර්තමාන ක්‍රියාකාරීත්වය පෙර නොවූ විරූ තීව්‍රතා මට්ටමකට ලඟා වී තිබේ.

මෙයට තවත් ලඟින් සම්බන්ධ දෙවන ප්‍රතිවිරෝධතාවක් එකතු කල යුතුය. එනම්, ලෝක ආර්ථිකයේ වර්ධනය — නිෂ්පාදනයේ, හුවමාරුවේ සහ සන්නිවේදනයේ නිර්ව්‍යජ ගෝලීය පද්ධතියක වර්ධනය — සහ දේශපාලන බලය තවමත් සංවිධානය වී පවතින යල් පැනගිය ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප්‍රතිවිරෝධතාවයයි. බහුජාතික නිෂ්පාදන ජාල, රටවල් දුසිම් ගනන් සම්බන්ධ වන ගෝලීය සැපයුම් දාම සහ ක්ෂනික ගෝලීය සන්නිවේදන හැකියාව ආදිය විසින් ජාතික රාජ්‍යය, නිෂ්පාදන බලවේග වල තර්කානුකූල සංවර්ධනයට විලංගුවක් බවට පත්කර තිබේ. ප්‍රාග්ධනය දේශසීමා හරහා නිදහසේ ගලා යයි; ශ්‍රමය, ජාත්‍යන්තර ලෙස සංවිධානය වී පවතී; තායිවානයේ කොම්පියුටර් චිප් නිෂ්පාදනය කරන කම්හලක ඇතිවන බිඳ වැටීමක් මිචිගන්හි රථවාහන නිෂ්පාදන කම්හල් තුලද ගුවාන්ඩොං හි ඉලෙක්ට්‍රොනික් උපකරන එකලස් කරන කම්හල් තුලද වර්ජිනියාහි පිහිටි දත්ත ගබඩා සංකීර්න හරහාද දෝංකාර දෙයි. එහෙත් තවමත් දේශපාලන බලය ජාතික ධනපති රටවල්වල තරගකාරී ඕනෑ එපාකම් අනුව තම මූලෝපායික ගනන් බැලීම් සිදුකරන පාලක පංතීන් අතේම රැඳී, එම රටවල දේශසීමා ඇතුලත හිරවී පවතී.

ලෝකයේ කාර්යබහුලම කන්ටේනර් නැව්තොට. ෂැංහයි, චීනය [Photo by Marqueed / CC BY 3.0]

ඇමරිකානු අධිරාජ්‍යවාදී ධනේශ්වරය, මිලිටරි බලය යෙදීම මගින් - ගෝලීය ආර්ථික සම්බන්ධතා තමන්ට වාසි වන ආකාරයට ප්‍රචන්ඩ ලෙස ප්‍රතිසංවිධානය කිරීම මගින් මෙම ප්‍රතිවිරෝධතාවය විසඳාලීමට අපේක්ෂා කරයි. 'නිදහස් ලෝකය ආරක්ෂා කිරීම' යන අලෙවිකරන කඩතුරාව ඉවත් කල විට, ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය අන්තර්ගතය මෙයයි.

එම ගෝලීයකරන ක්‍රියාවලිය විසින්ම ජනිත කරන ලද තවත් බලවේගයක් — එසේ ජනිත කිරීමට ධනේශ්වරය අදහස් නොකල, (එහි විප්ලවීය ශක්‍යතාවන් එය විසින් තවමත් සම්පූර්නයෙන් හඳුනා නොගත්) — තවත් බලවේගයක් තිබේ. නිෂ්පාදනය ගෝලීයව ඒකාග්‍ර වීම, ප්‍රමානයෙන්ද සංකේන්ද්‍රනයෙන්ද වෛෂයික අන්තර්-සම්බන්ධතා අතින්ද මානව ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් අති විශාල ගෝලීය කම්කරු පන්තියක්ද ජනිත කර තිබේ.

පසුගිය අඩ සියවස තුලදී ලෝක ජනගහනය නාගරීකකරනය හා නිර්ධනපංතිකරනය, සිතා ගත නොහැකි තරම් මානයක පරිවර්තනයකට ලක්ව තිබේ. ලතින් ඇමෙරිකාවේ 1970 දී සියයට 57 ක්වූ නාගරික ජනගහනය අද වනවිට, (සාඕ පවුලෝ, මෙක්සිකෝ සිටි, බුවනස් අයර්ස්, බොගෝටා, ලීමා වැනි නගරවල අති විසල් කම්කරු පන්ති සංකේන්ද්‍රයන් නිර්මානය කරමින්) සියයට 80 දක්වා වැඩිවී තිබේ. අප්‍රිකාවේ නාගරික ජනගහනය 1980 දී තිබූ මිලියන 80 සිට මිලියන 700 දක්වා වැඩි වී තිබේ. ආසියාවේ දී චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, බංග්ලාදේශය සහ පිලිපීනය තුල මිලියන සිය ගනනක් දුගී ගොවීන් එක පරම්පරාවක් තුලදී කාර්මික නිෂ්පාදනය තුලට ඇදී විත් තිබේ. චීනය තුල පමනක් මානව ඉතිහාසයේ විශාලම මිනිස් සංක්‍රමනය වාර්තා කරමින්, 1980 සිට මිලියන 300 ක පමන ජනගහනයක් ගම්බද ප්‍රදේශවල සිට කාර්මික මහ නගර කරා සංක්‍රමනය වී තිබේ. ගෝලීය කම්කරු පන්තිය අද ගනන් බැලෙන්නේ බිලියන ගනනිනි.

නවීන නිෂ්පාදනයේ සහ සැපයුම් දාමවල අන්තර්ජාතික ස්වභාවය විසින් එම කම්කරු පන්තිය ඉතිහාසයේ වෙනත් සමාන්තරයක් නොමැති ආකාරයට ඒකාබද්ධ කර ඇත. ලොස් ඇන්ජලීස් නුවර නැව්තොටක සිදුවන වැඩ වර්ජනයක් චීනයේ වූහාන් නුවර භාන්ඩ එකලස් කරන කම්හලකට බලපායි. දකුනු අප්‍රිකාවේ පතල් කම්කරුවන් ගේ වැඩ වර්ජනයක් ජර්මනියේ කම්හල් වලට බලපායි. එක් තනි සුහුරු දුර කථනයක් නිෂ්පාදනය කරන කම්කරුවන් — කොංගෝවේ දුර්ලභ ඛනිජ පතල්වල වැඩ කරන කම්කරුවන්, චිලී රටේ ලීතියම් පිරිපහදු කරන කම්කරුවන්, දකුනු කොරියාවේ චිප් නිෂ්පාදනය කරන කම්කරුවන්, චීනයේ ෂෙන්හෙන් නුවර සුහුරු ෆෝන් එකලස් කරන කම්කරුවන්, බැංගලෝරයේ හෝ කුපර්ටිනෝ හි මෘදුකාංග සකස් කරන කම්කරුවන් යනාදී වශයෙන්—මහාද්වීප හරහා ව්‍යාප්ත නිෂ්පාදන ජාලයකින් එක මිටියකට බැඳ තබා ඇත. ජාතික දේශසීමා, ශිල්පීය වශයෙන් යල් පැන ගොස් ඇත. ගෝලීය කම්කරු පන්තියේ මෙම වෛෂයික ඒකාග්‍රවීම ඓතිහාසික වශයෙන් පෙර නොවූ විරූ විප්ලවීය හැකියාවන් නිර්මානය කර ඇත. අවශ්‍ය වන්නේ මෙම වෛෂයික එකමුතුකමෙහි දැනුවත් දේශපාලන ප්‍රකාශනය වන ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක් සහ ජාත්‍යන්තර විප්ලවවාදී පක්ෂයයි.

එපමනක් නොව, ප්‍රතිගාමීත්වයේ දේශපාලන ආධිපත්‍යය තිබියදීත් පසුගිය අඩ සියවස තුලදී මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම විද්‍යාත්මක හා තාක්ෂනික විප්ලවය ලෙස සාධාරන ලෙස විස්තර කල හැකි විප්ලවය සිදු විය. විද්‍යාවේ සෑම ක්ෂේත්‍රයක් තුලම අපූර්ව පරිවර්තනයක් සිදු විය.

ජීව විද්‍යාවේදී, මානවයාගේ සමස්ත ජාන සිතියම සම්පූර්න කිරීම, CRISPR ජාන සංස්කරන තාක්ෂනය හා කෝවිඩ් වසංගතය සමයේ ලෝක ඓතිහාසික වේගයකින් සම්පූර්න කල mRNA චිකිත්සා තාක්ෂනය ආදිය පරම්පරාවකට ඉහතදී මනස්කල්පිතයන් ලෙස දකින්නට ඉඩ තිබුනු රෝග සුව කිරීමේ හැකියාවන්ට දොර විවෘත කලේය.

තාරකා විද්‍යාවේදී හා භෞතික විද්‍යාවේදී ගුරුත්වජ තරංග සොයා ගැනීම, කලු කුහර ඡායාරූප ගත කිරීම, සෞරග්‍රහ මන්ඩලයෙන් එපිට තාරකා වටා භ්‍රමනය වන ග්‍රහලෝක දහස් ගනනක් සොසා ගැනීම හා ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ සියුම් නිරවද්‍යතාව ආදිය විශ්වය පිලිබඳ අපේ තේරුම් ගැනීමේ පරිවර්තනීය වෙනසක් ඇතිකර තිබේ.

2017 අප්‍රේල් 13 : ග්‍රීන්බෙල්ට්, මේරිලන්ඩ්හි ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී කාර්මික ශිල්පීන් දොඹකරයක ආධාරයෙන් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ දර්පනය ඔසොවන අවස්ථාව [AP Photo/Laura Betz/NASA]

රසායන විද්‍යාව හා ද්‍රව්‍ය විද්‍යාව තුල, නව උත්ප්‍රේරකයන් (catalysts) හා නැනෝ ද්‍රව්‍ය වර්ධනය කිරීම මගින් හා සූර්ය බල කෝෂවල කාර්යක්ෂමතාවයේ සහ බැටරි තුල ගබඩා කිරීමේ විස්මයජනක වැඩිදියුනු කිරීම් ඇතුලු තිරසාර බලශක්ති තාක්ෂනයේ වර්ධනයන් මගින්, ෆොසිල ඉන්ධන වලින් ඉවත්වීමට තාක්ෂනික හැකියාව තිබෙන බව ප්‍රදර්ශනය කලේය.

වෛද්‍ය විද්‍යාවේදී, ඉමියුනෝ චිකිත්සාව, අවයව බද්ධය, ශරීර අභ්‍යන්තරය පරීක්ෂා කිරීමේ තාක්ෂනය, ක්ෂුද්‍ර ලෝකය වටහා ගැනීමේ හැකියාව ආදිය මානව සෞඛ්‍යයේ නිම් වලලු මූලික වශයෙන් පුලුල් කර ඇත.

කෘතිම බුද්ධියට වඩා සමුච්චිත බුද්ධිය වශයෙන් හැඳින්විය යුතු ඒඅයි තාක්ෂනය ගතහොත්, විශාල භාෂා ආකෘති, ප්‍රෝටීන් ව්‍යුහය පුරෝකථනය කල හැකි යන්ත්‍ර ඉගෙනුම් පද්ධති, ඒඅයි සහායෙන් ඖෂධ සොයා ගැනීම සහ ස්වයංක්‍රීය පද්ධති සංවර්ධනය කිරීම ආදිය, තාක්ෂනික විප්ලවයක් නියෝජනය කරන අතර එහි ඇඟවුම් වටහා ගැනීම ආරම්භවූවා පමනි. ධනවාදය යටතේ ඒඅයි තාක්ෂනය වර්ධනය කරන්නේ මූලික වශයෙන්ම ලාභ උකහා ගැනීමේ උපකරනයක් වශයෙන් ශ්‍රම සූරාගැනීම තීව්‍ර කිරීම, ඔත්තු බැලීම පුලුල් කිරීම, පරිභෝජක හැසිරීම් තමන්ට උවමනා ලෙස හැඩගස්වා ගැනීම, දොට්ට දමන කම්කරුවන්ට ජීවිතය ගෙන යාමට විකල්ප මගක් නොසපයා ඔවුන් වෙනුවට යන්ත්‍ර යෙදවීම, ආදිය සඳහාය.

ධනේශ්වර ලාභ චේතනාවෙන් ගලවා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ඒඅයි පත් කලහොත් එයට කල හැකි දේ ගැන මොහොතක් සිතා බලන්න.

සමාජ සැලසුම් කරනය, තාර්කික ලෙස සම්පත් විවිධ ප්‍රයෝජන සඳහා, (පුද්ගලික ධන ඉපයුම වෙනුවට මානව අවශ්‍යතා සඳහා) උපරිම ලෙස විභජනය කිරීම, නාස්තිය හා පරිසර විනාශය අවම කිරීම, මිනිසුන් එකම දේ නැවත නැවතත් කරන හා ගර්හිත රැකියා වලින් මුදා ගැනීම යනාදී (සමාජවාදී ව්‍යාපාරය බොහෝ කලක සිටම මනසින් දැක සිටි, එහෙත් කිසිදා ඊට උවමනා තාක්ෂනික සම්පත් නොතිබුනු) සියල්ල ඊට කල හැකිය.

පරස්පරවිරෝධය බරපතලය. ඉතිහාසයේ පලමු වතාවට මානව වර්ගයා සතුව, ද්‍රව්‍යමය ජීවිතයේ සියලු ප්‍රශ්න - සාගින්න, රෝග, පරිසර හානිය, ඉතා වෙහෙසකර කාර්යයන් අතින් කිරීම - ආදී සියලු ප්‍රශ්න විසඳීම සඳහා උවමනා විද්‍යාත්මක ඥානය හා තාක්ෂනික හැකියාව අද ලැබී තිබේ. නමුත් එම හැකියාවන් පුද්ගලික ලාභ සමුච්චනයට යටත් කරන සමාජ ක්‍රමයක් තුල සිරගත කර ඇත. විද්‍යාත්මක සුධීමත්භාවය, මූල්‍ය උප්පරවැට්ටි වලට හා අවි ආයුධ වර්ධනයට යොදා ගනු ලැබේ. ඇල්ගොරිතමයන් (algorithm: පරිගනක විද්‍යාවේ බොහෝ විට භාවිතා වන, කාර්යයක් ඉටු කිරීමට හෝ ගැටලුවක් විසඳීමට පියවරෙන් පියවර දෙන උපදෙස් සමූහය) විසින් වෙලඳ දැන්වීම් වලින් ලැබෙන ආදායම උපරිම කෙරෙද්දී දරුවන් හාමතට ඇද වැටේ. මෙය තාක්ෂනයේ වරද නොව තාක්ෂනය යොදන සමාජ ක්‍රමයේ වරදයි. විද්‍යාව සහ තාක්ෂනය පුද්ගලික හිමිකාරීත්වයේ දඬුකඳෙන් ගැලවීම සමාජවාදී විප්ලවයේ තීරනාත්මක කාර්යයන්ගෙන් එකකි.

පාලක කතිපයාධිකාරය විසින් පාලනය කරන ඒඅයි තාක්ෂනය අතිශයින්ම අනතුරුදායකය. නමුත් එය මාක්ස්වාදී හා සමාජවාදී ව්‍යාපාරය විසින් යොදා ගැනීම කම්කරු පන්තියේ අවබෝධය දියුනු කිරීම සඳහා පෙර නොවූ විරූ හැකියාවන් විවෘත කරයි. 2025 දෙසැම්බරයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය සෝෂලිසම් ඒඅයි දියත් කරද්දී පෙන්වා දුන් පරිදි :

'Socialism AI හි තීරනාත්මක වැදගත්කම පවතින්නේ, කම්කරු පන්තියේ වෛෂයික චලනයන් සහ සමාජවාදී විඥානයේ ආත්මීය මට්ටම අතර පරතරය පියවීමට එයට ඇති හැකියාව තුල ය. මාක්ස්වාදය සැම විට ම අවධාරනය කර ඇත්තේ, කම්කරුවන්ගේ ස්වයංසිද්ධ අරගල, කොතරම් බලවත් වුවත්, ඒවාට පමනක් සංගතික විප්ලවවාදී ඉදිරිදර්ශනයක් නිර්මානය කල නොහැකි බවයි. විඥානය වර්ධනය කල යුතුය; ඓතිහාසික අත්දැකීම් උකහා ගත යුතුය; න්‍යායික අන්තර්ඥානය සාක්ෂාත් කර ගත යුතුය. වර්තමාන යුගයේ තාක්ෂනික වර්ධනයන්, දැන්, ගෝලීය පරිමානයෙන් අදහස් වේගයෙන් සම්ප්‍රේෂනය කිරීමට ඉඩ සලසා ඇති අතර, කම්කරු පන්තියට වෛෂයික අර්බුදයට අනුරූපී වේගයකින් තම දේශපාලන අවබෝධය වර්ධනය කර ගැනීමට හැකියාව ලබා දී තිබේ'

පෙරලා දැමිය යුතුව පවතින වත්මන් තන්ත්‍රයේ ගෝලීය අර්බුදය, එනම් පාලක පන්තියේ කුනුවීම, ආර්ථික කඩා වැටීම, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පුපුරා යාම, ෆැසිස්ට්වාදී දේශපාලනයේ නැගීම, ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතීන් විනාශ කිරීම ආදිය හජාජාක විසින් විෂ්ලේෂනය කලා පමනක් නොවේ : එය වර්තමානයේ දිග හැරෙමින් පවතින සිදුවීම් සුවිශේෂී නිරවද්‍යතාවකින් පුරෝකථනය කලේය.

2016 මාර්තුවේදී ට්‍රම්ප් සුපර් ටියුස්ඩේ ප්‍රාථමික චන්ද සියල්ල ජයග්‍රහනය කල අවස්ථාවේ ලෝසවෙඅ මෙසේ ලිවීය :

'මෑතක් වන තුරුම බොහෝ පඬියන් කලාක් මෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අපේක්ෂකත්වය විකාර සහගත හා විනෝදාත්මක කෙටි නාට්‍යයක් හැටියට නොතකා හැරීම තවදුරටත් කල හැකි නොවේ. ප්‍රතිපලය අවිනිශ්චිත වුවත් ජනාධිපති අපේක්ෂකත්වයට රිපබ්ලිකන් පක්ෂයේ මුල් පෙලේ තරඟකරුවා පැහැදිලි ෆැසිස්ට්වාදී පුද්ගලභාවයක් හා ආකර්ශනයක් සහිත අපේක්ෂකයෙකි'

ට්‍රම්ප්ගේ ආකර්ෂනයේ මූලයන් කම්කරු පන්තියේ ආර්ථික ව්‍යසනය තුල තිබෙන බව හඳුනාගත් ලිපිය, සමාජ අර්බුදයට ආමන්ත්‍රනය කිරීමට ව්‍යාජ (සූඩෝ) වමට හා ඩිමොක්‍රැටික් පක්ෂයට නොහැකි වීම දක්ෂිනාංශික වාචාලයන්ට දොර විවෘත කරන බවට අනතුරු ඇඟවීය.

ඊට මාස දෙකකට පසු, 2026 මැයි මාසයේදී, ලෝසවෙඅ, කාරනය තවදුරටත් විශ්ලේෂනය කරමින්, පූර්වානුමාන ජනාධිපති අපේක්ෂකයා හැටියට ට්‍රම්ප්ගේ ඉස්මතු වීම එක්සත් ජනපදයේ හා ලෝක දේශපාලනයේ අනතුරුදායක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන බවත් ප්‍රධාන ධනපති පක්ෂ දෙකෙන් එකක අපේක්ෂකයා හැටියට ෆැසිස්ට්වාදී වාචාලයකු තෝරා ගැනීම ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ කුනුවීමේ ඉහල අවධියක් බව අවිවාදිතව ඔප්පු කිරීම බවත් ප්‍රකාශ කලේය.

ලිපිය පුලුල් ඓතිහාසික නිගමනයකට එලඹෙමින් මෙසේ ලිවීය : 'ට්‍රම්ප්ට නාම යෝජනා ලැබීම හුදෙක් එක්තරා සිදුවීමක් හෝ අහම්බයක් නොවේ. එහි මූලය තිබෙන්නේ ඇමරිකානු ධනවාදයේ කල් ඇදී ගිය අර්බුදය හා ඊට සම්බන්ධිත ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ කැඩී බිඳී යාම තුලය'

2016 මැයි මාසයේදී — ජනාධිපතිවරනයට මාස 6 කට පෙර —ලෝසවෙ.අඩවිය තවදුරටත් අනතුරු ඇඟවීය : 'ට්‍රම්ප් ජයග්‍රහනය නොකලත්, ඊටත් වඩා තර්ජනාත්මක පුද්ගලයකු වෙනුවෙන් වේදිකාව සකස් කෙරෙනු ඇත. ජනවාරියේ බලයට පත්වන ආන්ඩුව, ට්‍රම්ප් එහි නායකයා උනත් නැතත්, එය, ඇමරිකානු ඉතිහාසයේ වැඩිම ප්‍රතිගාමී, වැඩිම ප්‍රචන්ඩ හා වැඩිම ආඥාදායක ආන්ඩුව වනු ඇත'. දශකයකට පමන පෙර ලියූ එම වචන අද කියවෙන්නේ පුරෝකථනයක් ලෙස නොව දැනටම තහවුරු වූ කරුනක් පිලිබඳ විස්තර කිරීම් වශයෙනි. හජාජාක, එකී අන්තර්-ඥානය ලබා ගත්තේ අහම්බෙන් හෝ උනන්දු සහගතව අනුමාන කිරීමෙන් නොවේ. ඒවා ගලා එන්නේ මාක්ස්වාදී විධික්‍රමය තුලිනි, ධනපති ක්‍රමයේ වෛෂයික ප්‍රතිවිරෝධතා පිලිබඳ විෂ්ලේෂනයකිනි, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඓතිහාසික අත්දැකීම් තුලිනි, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ න්‍යායික උරුමය තුලිනි.

කම්කරු පන්තියට ඓතිහාසික තත්වය පිලිබඳ සවිඥානික අවබෝධයක් ලබා ගැනීමට හැක්කේත් සමාජයේ සමාජවාදී පරිවර්තනය සාක්ෂාත් කරගත හැක්කේත් මාක්ස්වාදී - ට්‍රොට්ස්කිවාදී පක්ෂය ගොඩනැගීම තුලිනි. හජාජාක, සසප සහ ලෝසවෙඅ වර්තමාන අර්බුදය පෙර දුටු බව, එහි පන්ති ස්වභාවය හඳුනාගත් බව සහ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම සඳහා ක්‍රියා මාර්ගයක් සකස් කල බව යන කාරනා එකී කර්තව්‍යය සඳහා උවමනා කරන උපකරන දැනටම තිබෙන බව ඔප්පු කරයි. ඒවා මුල සිට අලුතෙන් සොයා ගැනීමට හෝ අලුතින් සකස් කිරීමට අවශ්‍ය නොවේ. කල යුත්තේ ඒවා සියතට ගෙන, හදාරා, ප්‍රයෝජනයට යොදා ගැනීමය.

.

එසේනම්, අප කවර නිගමන කරා එලැඹිය යුතු ද?

ට්‍රම්ප් වනාහී රෝගය නොවේ, රෝගයේ උග්‍රම රෝග ලක්ෂනයයි. චන්ද මගින් ඔහු බලයෙන් පහ කිරීමෙන් අර්බුදය නිරාකරනය කල හැකි යයි සිතීම ඉතාම අනතුරුදායක මායාවකි. අනාගතයේදී පැවැත්වීමට ඉඩ ඇති ජනාධිපතිවරනයක් තියා 2026 වාර මැද චන්දයවත් ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් අනුව පැවැත් වේ යයි සිතීමට ඇති ඉඩ බොහෝ අඩුය. ඡන්ද අහෝසි කිරීමට හෝ මගඩි මගින් ජනාධිපතිවරනය දිනා ගැනීමට ට්‍රම්ප් දැන් සිටම කටයුතු සකස් කරයි. ජන්ද දායකයන්ට බලපෑම්, අඩන්තේට්ටම් කිරීමට හා ඔවුන් ඡන්දය දැමීමට යාමෙන් වැලැක්වීමට ඔහු රජයේ හමුදා — මිනියාපොලිස් හි වාඩිලා ගත් එම අයිසීඊ භටයන්ම— පාවිච්චි කරනු ඇත. සූදානම් වීම සඳහා ඇති තරම් කාලය ලැබුනු නිසා ඔහුගේ 2021 ජනවාරි 6 දා කුමන්ත්‍රනයෙන් ඔහු බොහෝ පාඩම් ඉගෙන ඇත. ඊලඟ උත්සාහය හදිසියේ රැස්කර ගත් අසංවිධිත කැරලිකරුවන් පිරිසකගේ මැදිහත්වීමක් නොවනු ඇත. ෆෙඩරල් ආන්ඩු යන්ත්‍රයේ සමස්ත බලයම යොදා එය ක්‍රියාවට නැගෙනු ඇත. ජීව විද්‍යාව මැදිහත් වුවහොත් හෝ ට්‍රම්ප් වේදිකාවෙන් ඉවත් වුවහොත් ආඥාදායකත්වය කරා ගමන නොනවතිනු ඇත. අලුත් 'ට්‍රම්ප් ' කෙනෙක්, සමහරවිට වඩා සාටෝප, එහෙත් දුෂ්ටත්වයෙන් අඩු නොවන ට්‍රම්ප් කෙනෙක් සොයා ගැනෙනු ඇත. ට්‍රම්ප් කෙනෙක් නිර්මානය කල වෛෂයික සමාජ බලවේගම — ඇමරිකානු ධනවාදයේ අර්බුදය, එහි නිෂ්පාදන පදනමේ ජරපත්වීම, මූල්‍ය පරපෝෂනයේ ප්‍රමුඛතාව, සමාජ විෂමතාවයේ බර යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බිඳී විසිර යාම ආදිය —ඔහුගේ අනුප්‍රාප්තිකයාගේ ප්‍රතිපත්තිද හැඩගස්වනු ඇත.

ට්‍රම්ප් පරිපාලනය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන්වල තීරනාත්මක කැඩී බිඳී යාමත් එලිපිටම ආඥාදායකත්වය කරා සංක්‍රමනය වීමත් නියෝජනය කරයි. නමුත් එය විවෘත පන්ති ඝට්ටනයේ බරපතල තියුනුවීමක් හා සමාජ විප්ලවය කරා සංක්‍රමනය වීම සලකුනු කරනු ඇත.

දැනට පවත්නා ආයතන හා ධනේශ්වර දේශපාලන රාමුව තුලින් ඇමරිකානු ධනවාදයේ අර්බුදයට විසඳුම් මතු නොවනු ඇත. එවැනි විසඳුමක් ජනිත විය හැක්කේත්, ජනිත වනු ඇත්තේත් පවත්නා දේශපාලන රාමුවට හා එය විසින් ආරක්ෂා කරන්නාවූ ආර්ථික පර්යායට එරෙහි ක්ෂමා විරහිත විරුද්ධත්වය තුලින් පමනකි. මෙය මනෝරාජික (යුටෝපියානු) ඉදිරි දර්ශනයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කල ප්‍රහාරයන්ට එක්සත් ජනපදය පුරා මිලියන ගනන් ජනතාවගේ ප්‍රතිචාරය, දේශපාලන රැඩිකල්කරනයේ ක්‍රියාවලිය දැනටම ඇරඹී තිබෙන බව හෙලිදරව් කරයි.

මේ පොතේ නමෙන් අසනු ලබන ප්‍රශ්නයට, එනම් 'ඇමරිකාව යන්නේ කොයිබට ද?' පිලිතුර තීන්දු වනු ඇත්තේ ශාස්ත්‍රාලිකයක වාද විවාද තුලින් නොව පන්ති අරගලය තුලිනි. ඇමරිකානු පාලක පන්තියේ ප්‍රති විප්ලවවාදී නිර්දයභාවය අඩුවෙන් තක්සේරු කිරීම වගකීම් විරහිත ක්‍රියාවකි. එසේම කම්කරු පන්තියේ විප්ලවීය විභවය හා මතුපිටට යටින් තිබෙන බලය, අවතක්සේරු කිරීමද විනාශකාරි ලෙස අදූරදර්ශී සහ ස්වයං විනාශකාරී වේ. පවතින වෛෂයික වර්ධනයන්ගේ දෘෂ්ටි කෝනයෙන් බලන විට පෙන්නුම් කරන්නේ, ප්‍රධාන ප්‍රවනතාව තිබෙන්නේ සැකයෙන් තොරවම සමාජවාදය දෙසට බවයි. නමුත් එම වෛෂයික විභවය විප්ලවවාදී පන්තියේ ආත්මීය විඥානය තුල ප්‍රකාශයට පත් විය යුතු වේ.

ට්‍රම්ප් පරිපාලනයට එරෙහි මහජන පෙලපාලි, ස්වයංසිද්ධවම මෙන් 'රජුන් එපා!' යන සටන් පාඨය යොදා ගැනීම විසල් දේශපාලන වැදගත්කමක් අත්කර ගනී.

2025 ජුනි මාසයේදී මිලියන ගනන් ජනයා එම ධජය යටතේ පෙලපාලි දැක්වූහ. ඔක්තෝබරයේදී මිලියන හතකට අධික ජනතාවක් ප්‍රාන්ත 50 ම පුරා විරෝධතා 2700 ක් වටා ඒකරාශි වූහ. තමන්ගේ නගරයේ ෆෙඩරල් හමුදා වාඩිලා ගැනීමට එරෙහිව ජනවාරි 23 දින මිනියාපොලිස් නුවර 100,000 කට අධික ජනතාවක්, එලිමහනේ උෂ්නත්වය අංශක බින්දුවෙනුත් පහලට අඩුවී තිබීම නොතකා වීදි බැසීම, මෑතකාලීන ඇමරිකානු ඉතිහාසයේ මහජන විරෝධතාවල ඉතාම සුවිශේෂී ප්‍රකාශනයක් විය. බොස්ටන් නගරයේ රූපවාහිනී කතුවැකි වැඩ සටහනක් 2026 මිනියාපොලිස් සහ 1775 බොස්ටන් නුවර අතර පැහැදිලි සමාන්තරයකට—මිනියාපොලිස් හිදී තම නගරය ෆෙඩරල් හමුදා විසින් වාඩිලා ගැනීමට එරෙහිව ; බොස්ටන්හිදී බ්‍රිතාන්‍ය යුද හමුදා විසින් නගරය වාඩිලා ගැනීමට එරෙහිව [එය ඇමරිකානු නිදහස් සටනේ පලමු වෙඩිල්ලද විය] —අවධානය යොමු කලේය.

2026 ජනවාරි 23 දින මිනියාපොලිස් නුවර දැවැන්ත විරෝධතාවයට එක්වූ ජනතාවගෙන් කොටසක්.

ඇමරිකානු කම්කරු පන්තිය මේ අරගලයට පිවිසෙන්නේ විප්ලවවාදී සම්ප්‍රදායකින් තොරව නොවේ. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස, ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ විප්ලවවාදී උරුමය ලෝකයේ ගැඹුරුම සහ විප්ලවවාදීම උරුමයයි. 1775-83 ඇමරිකානු විප්ලවය සහ 1861-65 සිවිල් යුද්ධය — යන මෑතකාලීන ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම විප්ලවවාදී නැගිටීම් දෙක අද දක්වාම ඇමරිකානු මහජනතාවගේ විඥානයේ සජීවීව පවතියි. සියලු මනුෂ්‍යයන් සමාන ලෙස මවා ඇති බවත් ඔවුන් සතුව අහිමි කල නොහැකි අයිතීන් ඇති බවත් ප්‍රකාශ කල නිදහස් ප්‍රකාශනය ; (Declaration of Independence) ඇමරිකානු ව්‍යවස්ථාවේ කථනයේ නිදහස, රැස්වීමේ නිදහස සහ සෑම කෙනෙකුටම රටේ තහවුරුව පවතින නීති අනුව යුක්තිය පසිඳලිය යුතු බවට සහතික කල (අනීතිකව කෙනෙකුගේ ජීවිතය, නිදහස හෝ දේපල අහිමි කල නොහැක), ව්‍යවස්ථාවේ බිල් ඔෆ් රයිට්ස් (Bill of Rights) නම් කොටස ; විමුක්ති ප්‍රකාශනය (Emancipation Proclamation) ; ව්‍යවස්ථාවේ 13 වන, 14 වන, සහ 15 වන යන දෙවන ඇමරිකානු විප්ලවයේ දී වහල් මෙහෙය අවසන් කරමින් යුදපිටියේදී අත්කර ගත් ජයග්‍රහන නීති පොතට අන්තර්ගත කල සංශෝධන ; ආදී ජන විඥානයේ ගැඹුරින්ම තැන්පත්ව පවතින්නාවූත් ආඥාදායකත්වයට එරෙහි අරගලයට ප්‍රබල අත්තිවාරමක් සපයන්නාවූත් නෛතික ලිපි ලේඛන සජීවී සම්ප්‍රදායයන් වේ.

එකී විප්ලවවාදී අතීතය විරෝධතා පෙලපාලිවලදී යලි සිහියට කැඳවීම විශාලම වැදගත්කමක් අත්කර ගනී.

ඇමරිකානු විප්ලවයේ හා සිවිල් යුද සමයේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන්ගේ ගිනි සිලු තවමත් නිවී ගොස් නැති බව එය ඔප්පු කරයි.

ඒවා යලි පන ගන්වනු ලබන්නේ තම ආදි මුතුන් මිත්තන් සටන් කල මූලධර්මයන්, මරනීය තර්ජනයට ලක්ව තිබෙන බව නිවැරදි ලෙස දැනී ගිය මිලියන ගනන් මිනිසුන් විසින්‍ ය.

ෆිලඩෙල්ෆියාවේ ඇමරිකානු විප්ලවයේ කෞතුකාගාරයේ චිත්‍ර එකතුවක් තුල තිබෙන විලියම් ට්‍රෙගෝ ගේ "ද මාච් ටු වැලී ෆෝජ් 1883" (The March to Valley Forge -1883) නම් චිත්‍රය.

නමුත් එම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය එලෙසින්ම ගත්කල, ප්‍රමානවත් නැත. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයන්ගේ යුගය අයත් වන්නේ ඈත අතීතයටයි. වර්තමාන ඓතිහාසික යුගය ලෝක සමාජවාදී විප්ලවයේ යුගයයි. 1917 ඔක්තෝබර් විප්ලවයේ දී රුසියානු කම්කරු පන්තිය විසින් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අත්දැකීම් සහ එහි පසුකාලීන විපාක ඇමරිකානු කම්කරු පන්තිය විසින් හදාරා ඉන් පාඩම් උගත යුතුය. ඇමරිකානු කම්කරුවන්ට ඉවෙන් මෙන් ලැබී ඇති සටන්කාමීත්වය හා මාක්ස්වාදයේ අති විසල් න්‍යායික හා දේශපාලනික උරුමය අතර තිබෙන බාධකය බිඳ දැමිය යුතුය. පරතරය පියවා ගත යුතුව තිබේ.

පලමු ඇමරිකානු විප්ලවය යටත් විජිතවාදී පාලනය පෙරලා දමා ස්වාධීනත්වය පිහිටුවීය. දෙවන ඇමරිකානු විප්ලවය වහල් ක්‍රමය විනාශ කලේය. ජාත්‍යන්තර පන්ති අරගලයේ තීරනාත්මක කොටසක් වන තුන්වන ඇමරිකානු විප්ලවයේ කාර්ය භාරය වන්නේ ධනවාදය පෙරලා දැමීමයි. ඇමරිකානු කම්කරු පන්තියට අවශ්‍ය වන්නේ ඊට ගැඹුරෙන්ම දැනෙන ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන්, සමාජවාදය සඳහා අරගලය සමග බද්ධ කිරීමට — (නිර්ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය සමග මූල්‍ය කතිපයාධිකාරයේ ආඥාදායකත්වය අසංගත හෙයින් [එකකට එකක් නොගැලපෙන හෙයින්]) — ක්‍රියා මාර්ගයක් සහ පක්ෂයක්‍ ය.

මේ අරගලය එහි ගති ස්වභාවයෙන්ම ජාත්‍යන්තර ය. එප්ස්ටීන් ජාලය ජාත්‍යන්තර ය. ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී දේශපාලනය කිසි ලෙසකින් එක්සත් ජනපදයට සුවිශේෂී වූ එකක් නොවේ. යුරෝපය පුරා ඔහු කොපි කරන අය නැතුවා නොවේ : ඉතාලියේ මෙලෝනි, ප්‍රංශයේ ලි පින්, බ්‍රිතාන්‍යයේ ෆරාජ්, ජර්මනියේ ඒඑෆ්ඩී නායකයන් යනාදී වශයෙනි. තුන්වන රයිකයේ බිඳ වැටීමෙන් වසර 81 කට පසු, ඔවුන්ගේ අප්‍රකාශිත සටන් පාඨය 'Make Europe Fascist Again' (යුරෝපය යලි ෆැසිස්‌ට්කරනය කරනු) යන්නයි.

ධනවාදයේ අර්බුදය ජාත්‍යන්තර ය. කම්කරු පන්තිය ජාත්‍යන්තර පන්තියකි. ජාතිකවාදී විසඳුමක් නොපවතී, පැවතිය නොහැක. එක්සත් ජනපදය තුලද ලෝකයේ අනෙකුත් රටවල් වලද සංස්ථාපනය වෙමින් සිටින කතිපයාධිකාරීාධිකාරී ඒකාධිපතිත්වයට එරෙහි සටනට මාක්ස්වාදයේ ක්‍රියා මාර්ගය සහ එහි මූලධර්ම මගින් මග පෙන්වනු ලබන, කම්කරු පන්තිය තුල මුල් බැසගත්, ධනපති ක්‍රමය පෙරලීමට කැපවූ විප්ලවවාදී ව්‍යාපාරයක් අවශ්‍යය.

වර්තමාන අර්බුදයේ පරිමානය හා පවත්නා විඥානයේ මට්ටම අතර සැලකිය යුතු තරමේ පරතරයක් පවතී. ප්‍රති කොමියුනිස්ට්වාදය රාජ්‍ය ආගමක මට්ටමට තරම් ඔසොවා තබා තිබෙන, දේශපාලන හා සමාජ පසුගාමිත්වයේ සෑම ස්වරූපයක්ම නිරන්තරයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රවර්ධනය කරනු ලබන රටක එය එසේ නොවිය හැක්කේ කෙසේද ? මහජනයා විසින් සමාජයේ සැබෑ තත්වය පිලිබඳව කිසිදු තක්සේරුවක් කිරීම වැලැක්වීම සඳහා කල හැකි සියල්ල කරනු ලැබේ. ඉතා බලගතු සංගත හා ප්‍රතිගාමී බිලියනපතියන් විසින් ජනමාධ්‍ය හසුරුවනු ලැබේ. ඔවුන්ගේ පාලනය හා ඔවුන්ගේ නියෝග මත, ප්‍රවෘත්ති පිලිබඳ වෛෂයික වාර්තා, ඔවුන්ගේ ප්‍රචාරක වැඩ සටහන්වලින් විස්ථාපනය කර ඇත. සන්ධ්‍යා ප්‍රවෘත්ති සඳහා වෙන්කරන කාලය, කාලගුන වාර්තා, මානුෂීය හැඟීම් දනවන කතන්දර, ක්‍රීඩා සහ ඖෂධ ප්‍රචාරනයට පවරා දී තිබේ.

වෙනත් ප්‍රගාඪ අර්බුදයක් තිබූ වකවානුවකදී ලින්කන් නිරික්ෂනය කල පරිදි, වෛෂයික තත්වය 'අහස උසට ගොඩගැසුනු දුෂ්කරතා වලින් පිරී පවතී' නමුත් ගැටලුවලට උපත දුන් වෛෂයික තත්වයන්ම, ඒවා විසඳීම සඳහා හැකියාවද නිර්මානය කර ඇත. වර්තමාන තත්වය විසින් මතුකරන ශ්‍රේෂ්ඨ කර්තව්‍යය වන්නේ වෛෂයික අර්බුදය විසින් ඉල්ලා සිටින මට්ටමට කම්කරු පන්තියේ විඥානය එසවීම යි.

මෙය කල හැක්කේ කෙසේද?

ලියොන් ට්‍රොට්ස්කි, තම ඇමරිකානු හිතවතුන් සමග 1938 දී —මහා අවපාතය මැද, ලෝක යුද්ධයක දොරකඩ දී —පැවැත් වූ සාකච්ඡාවකදී එම ප්‍රශ්නයට මෙසේ පිලිතුරු දුන්නේය : 'කම්කරුවන් ඒ සඳහා මෝරා සිටිනවාද නැද්ද යන්න නොතකා, මේ වෛෂයික තත්වයෙන් ගලා එන ඓතිහාසික කර්තව්‍යයන් පිලිබඳව පැහැදිලි, අවංක චිත්‍රයක් අප ඔවුන්ට දිය යුතුයි. අපේ කර්තව්‍යය, කම්කරුවන්ගේ මානසික තත්වය මත රඳා පවතින්නේ නැත”.

මේ වචන, අද ඉතාම දැවෙන හදිසි භාවයක් අත් කර ගනී. අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ ජාත්‍යන්තර කමිටුවේ අවශේෂ පක්ෂවල සිටින තම සම-චින්තකයන් සමග සහෝදරත්වයෙන් කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වය හැටියට සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීමයි. මෙය, දුර අනාගතයක සිදුවන දෙයක් හෝ වියුක්ත අරමුනක් නොවේ. එය අපේ කාලයේ වඩාත්ම හදිසි අවශ්‍යතාවයයි.

මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ විශ්ලේෂනය, සිදුවීම් විසින් ඔප්පු කර තිබේ. ඉදිරිමග සඳහා තිබෙන එකම ශක්‍ය ක්‍රියා මාර්ගය වනුයේ එම ක්‍රියා මාර්ගයයි. හජාජාක සහ එහි ශාඛා පක්ෂ ගොඩනගනු ! ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කටයුතු සහ එහි බලපෑම් ක්ෂේත්‍රය පුලුල් කරනු ! මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය ඒ මත රඳා පවතී.

Loading