පාලක ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)ට අනුබද්ධ, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ (සලවපොසේස), 26වන නියෝජිත සම්මේලනය නොවැම්බර් 3 දින කොටුව සේවාමුක්ත භට සංගම් ශාලාවේ දී පැවත්විනි. සම්මේලනයේ තේමාව වූයේ, “ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට වරාය ගොඩනගමු” යන්නයි.
කම්කරුවන් සලවපොසේස නායකයින්ගෙන් ඇසිය යුතු ප්රශ්නය වන්නේ, ඔවුන් “ශක්තිමත් කිරීමට” යෝජනා කරන්නේ, කාගේ “ජාතික ආර්ථිකය” ද යන්නයි. නිසැකව ම, ඒ අන්කවරක්වත් නොව, ධනපති ආර්ථිකය යි. සෑම ධනපති ආන්ඩුවක් ම නොඑසේ නම් සෑම ධනපති හාම්පුතෙක්ම නිර්ධනීන්ට බලකර සිටින්නේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා වැඩි වැඩියෙන් වැඩ කරන ලෙස යි. කුමට ද? කම්කරුවන්ගේ ශ්‍රමය ඇටපොත්තටම සූරා ගෙන කමින් ලාභ තර කර ගැනීමට ය.
ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව බලයට පැමිනීමෙන් රාජ්‍යයේ මෙම ධනේශ්වර ස්වභාවය වෙනස් වී නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) නියෝග යටතේ ආන්ඩුව, භාන්ඩාගාරය පිරවීම සඳහා කම්කරුවන්ට තව තවත් වැඩියෙන් වැඩ කරන ලෙස බල කර තිබේ. භාන්ඩාගාරය එසේ පුරවන්නේ එයින් මහජනයාට සෙත සැලසීමට නොවේ, ධනේශ්වර ලාභ පිපාසාව සංසිඳුවන අතරේ, මහජනයා කිසිසේත් වගකිව යුතු නැති යෝධ නය කන්ද පියවීමට යොදා ගැනීමට ය.
එසේ නම්, “ආර්ථිකය ශක්තිමත් කිරීමට” බලකරන මෙම වැඩපිලිවෙලට, භාන්ඩාගාරය පිරවීම සඳහා තම ජීවන කොන්දේසි මත යෝධ ප්රහාරයන්ට මුහන දී සිටින කම්කරුවන් අවනත විය යුත්තේ ඇයි?
අනෙකුත් සියලුම වෘත්තීය සමිති මෙන් වරාය වෘත්තීය සමිති නායකයින් ද අතීතයේදී කම්කරුවන්ගේ අරගල යටපත් කරමින් ආන්ඩුවේ ප්‍රහාර වලට ඉඩ ලබා දුන්නේ ය. දැන් ජවිපෙ බලයට පැමිනීමෙන් පසු ආන්ඩුවේ වේවා පුද්ගලික අංශයේ වේවා හාම්පුතුන් ලෙස වැඩකරමින් කම්කරු පන්තියේ වැඩපරීක්ෂකයන් ලෙස සේවය කරයි. ජවිපෙ/ජාජබ බලයට ඒමට පෙර ඔවුහු වැඩවර්ජන ඇතුලු සියලුම කාර්මික ක්‍රියා නවතා දැමූහ. දැන් ආන්ඩුව ආරක්ෂා කර ගැනීමේ අරමුනින්, එම වෘත්තීය සමිති නායකයෝ ම කාර්මික ක්‍රියාවලට නොයන ලෙස කම්කරුවන්ට තර්ජනය කරති.
වසරකට පෙරාතුව ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ගෙන ඒමේ දී, සලවපොසේස, වරාය කම්කරුවන්ගේ අරගල අත්හිටුවමින් තීරනාත්මක කටයුත්තක් ඉටු කලේ ය. ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුලු ජවිපෙ/ජාජබ නායකයින් කම්කරුවන් රැවටීමට ලබා දුන් බොරු පොරොන්දුවලට විපරීත ව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) ඇනවූ රුදුරු කප්පාදු ක්‍රියාවට දමමින් වරාය ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් 400කට අධික සංඛ්‍යාවක් පුද්ගලීකරනය හෝ අර්ධ වසයෙන් පුද්ගලීකරනය කිරීමේ වැඩකටයුතු ආරම්භ කෙරී පවතී. සොච්චම් වැටුප් වැඩි කිරීමක් හැරුනු කොට, ලක්ෂ සංඛ්‍යාත රැකියා කප්පාදු කිරීම, අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවා සඳහා බදු වැඩි කිරීම, සහනාධාර සඳහා ආන්ඩුවේ අරමුදල් කප්පාදුව ද මෙම වැඩපිලිවෙලට ඇතුලත් ය.
ආන්ඩුවේ මෙම කප්පාදු වැඩපිලිවෙල, ලෝක ධනේශ්වර ලාභ පද්ධතිය මුහුන දී ඇති පෙර නොවූ විරූ අර්බුදයේ කොටසක් ලෙස, ලංකාව මුහුන දී ඇති යෝධ අර්බුදයට මෙරට පාලක පන්තිය දක්වන ප්‍රතිචාරය යි. ආන්ඩුව, රටෙහි සමස්ත ආර්ථිකය, අයිඑම්එෆ් නය මත රඳවා ඇත. අයිඑම්එෆ් බලකර කියා සිටින්නේ ආර්ථිකයේ සමස්ත බර කම්කරු පීඩිත මහජනයා මත පැටවිය යුතු බවයි. “ජාතික ආර්ථිකය සංවර්ධනය” නමින් අයිසිං ගන්වා ඉදිරිපත් කර ඇත්තේ මෙම රුදුරු වැඩපිලිවෙල මිස අනෙකක් නොවේ.
කම්කරුවන් අතර දැවැන්ත විරෝධතාවක් ඇවිලවූ, ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) රජය සතු සමාගම් හතරකට කඩා විකිනීමේ ප්රතිව්යුහකරන ක්‍රියාවලිය මෙම අයිඑම්එෆ් ගැති වැඩපිලිවෙලේ තීරනාත්මක කොටසකි. වෘත්තීය සමිතිවල ධනපති ගැති භූමිකාවට පන පොවමින් ලංවිම වෘත්තීය සමිති කම්කරුවන්ගේ විරෝධය මැඩ පවත්වා, මේ වනවිට ඔවුන් නව සමාගම් යටතේ වැඩ කිරීමට තල්ලු කර තිබේ.
සලවපොසේස ඇතුලු මුලු මහත් වෘත්තීය සමිති නිලධරය, මෙම ධනපති/ අධිරජ්‍යවාදී වැඩපිලිවෙලට පක්ෂපාතීව කම්කරු අරගල පාවා දෙමින් සිටිති.
26 වැනි සම්මේලනයේ දී, තමන් පුද්ගලිකරනයට විරුද්ධ බව මවා පෙන්වීමට වෑයම් කල ජවිපෙ සමිති නායකයෝ, වරාය අදිකාරිය යටතේ වරාය සංවර්ධනය කරන බව හුවා දක්වමින් කම්කරුවන් නොමග යැවීමේ උත්සායක නිමග්න වූහ.
ආන්ඩුවේ දිනමින පුවත්පත වාර්තා කල ආකාරයට, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමති අනුර කරුනාතිලක එම සම්මේලනයට සුභ පතමින්, ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කල හැකිව තිබෙන නැගනහිර බහාලුම් පර්යන්තය, ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේදී විදේශීය සමාගම් වලට දීමට දැරූ ප්රයත්නය පරාජය කිරීමට, සලවපොසේස ගත් ප්රයත්නය ජයග්‍රහනයකින් අවසන් වූ බව පවසා ඇත.
මෙම කියාපෑම ප්‍රෝඩාවකි. එකල ජවිපෙ-ගැති වෘත්තීය සමිති ඉන්දියානු බිලියනපතියෙකු වූ අදානිට වරාය විකිනීමට එරෙහිව කම්කරුවන් මෙහෙයවූයේ, එය කිසිසේත්ම එය පුද්ගලීකරනයට එරෙහි නිසා නොව, කම්කරුවන් අතර ඉන්දියානු විරෝධය අවුලුවා, කම්කරුවන්ගේ සටන ජාතිකවාදය දිහාවට හරවා ගැනීමේ ප්රතිගාමී ප්රයත්නයක කොටසක් වසයෙනි.
එකල ලෝක සමාජවාදී වෙබ් අඩවිය පුලුල්ව වාර්තාකර ඇති පරිදි, 2021 ජනවාරි මාසයේ කොලඹ වරායේ වෘත්තීය සමිති සලවපොසේස මූලිකත්වයෙන් සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී නඩ, ජවිපෙ, සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම සංවිධාන ද එක්ව “කොලඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය” නමින් අන්ත දක්ෂිනාංශික සංවිධානයක් ගොඩනගමින්, පුද්ගලීකරනයට එරෙහිව කම්කරුවන් අතර වැඩුනු විරෝධය පාවා දීමට කටයුතු කිරීම ය.
අවසානයේ සිදුව ඇත්තේ, නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය අදානි සමාගමට පවරා දීමට එකඟ වෙමින් පුද්ගලීකරනයට එරෙහි වරාය කම්කරුවන්ගේ අරගලය පාවා දීම ය. මේ අනුව කොලඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ කොටස් වලින්, සියයට 51ක් ඉන්දියානු අදානි සමාගමට, සියයට 34ක් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (ජේකේඑච්) පීඑල්සී සමාගමට සහ සියයට 15ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වන ගිවිසුමකට, අත්සන් තැබීමට වෘත්තීය සමිති එකඟ වූහ.
මෙම පාවා දීම ගැන මුලුමනින් ම මුකපූට්ටු කර ගනිමින්, ඇමතිගේ ප්‍රෝඩාව තවදුරටත් ඉදිරියට ගෙන ගිය, එම වෘත්තිය සමිතියේ නායක නිරෝෂන් ගොරකාන, නැගෙහිර පර්යන්තය සංවර්ධනයට පසුගිය ආන්ඩු කිසිවක් නොකල බවත්, ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ වේගයෙන් සංවර්ධනය වන බවත් කියා පෑවේ ය. ගොරකාන මෙහිදී වෑයම් කරන්නේ, අයිඑම්එෆ් වැඩපිලිවෙල යටතේ පුද්ගලීකරනයට වරාය ද අයත්වන බව කම්කරුවන්ගෙන් වසන් කරමින්, ඊට එරෙහි වරාය කම්කරුවන් සංවිධානය වීම වැලක්වීමටයි.
ඇත්ත වසයෙන් ම, දශක දෙකකට අධික කාලයක් පුරා, ශ්‍රී ලංකාවේ වරාය පුද්ගලීකරනය සිදු කෙරෙමින් පවතින්නේ, ගොරකාන ද ඇතුලු සමිති නිලධරයේ පූර්න පිටුබලය සහිතව ය. 1998 වසරේ දී කොලඹ වරායේ රැජින පාලම “සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්” නමින් විදේශ සමාගම් සමූහයකට විකිනීම, 2012 දී කොලඹ වරායේ දකුනු පර්යන්තය ඉදිකර පවත්වා ගෙන යාමට චීනයේ “චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්”සමාගමට පැවරීම මේ අතර ප්‍රධාන වේ.
වෘත්තීය සමිතිවල පිටුබලය සහිතව සිදු කෙරුනු පුද්ගලීකරනය යටතේ, 24500ක් පමන වූ වරාය අධිකාරියේ ස්ථිර සේවක සංඛ්‍යාව දියකර හරිමින්, ඒ වෙනුවට අඩු වැටුප් සහ දරුනු ශ්‍රම සූරා කෑමේ කොන්දේසි යටතේ “මිනිස් බල” කම්කරුවන් සේවයේ යෙදීම 1979 සිට මේ දක්වා පැවති සෑම ආන්ඩුවක් විසින්ම සිදුකරමින් පවතී. මේ වන විට වරායේ සමස්ත සේවක සංඛ්‍යාව 8000කට පමන කප්පාදු කෙරී ඇති අතර, මිනිස් බල කම්කරුවන් සෑහෙන සංඛ්‍යාවක් වරාය පුරා සේවයේ යොදවා ඇත.
වරාය කම්කරුවෙක් පැහැදිලි කල පරිදි, වරායේ භාන්ඩ මෙහෙයුම් ක්‍රියාවලිය අඛන්ඩව සිදුකිරීමට අවශ්‍යවන රියැදුරන්, ප්‍රයිම් මූවර් රියැදුරන්, ලෑෂින්ග් ගැන්ග්ස් (බහාලුම් නැවට අමුනන සහ ගලවන කම්කරු කන්ඩායම්), ප්ලෑන් ක්ලාක් (නැවක බහාලුම් ස්ථාන ගත කිරීම තීන්දු කරන්නන්) වැනි සේවාවන් සඳහා මිනිස් බල කම්කරුවන් යොදවා ඇත. වරාය තුල පිරිසිදු කිරීමේ කටයුතු මුලුමනින්ම පාහේ සිදුකරන්නේ මිනිස්බල කම්කරුවන් විසිනි. ස්ථිර සේවකයන් කප්පාදු කොට, මිනිස්බල කම්කරුවන් වඩ වඩාත් යොදාගනිමින් හැකිතාක් ලාබ උකහා ගැනීම ආන්ඩුවේ අරමුන යි.
මේ අතර වාරයේ දී අදානි සමාගම මගින් දැනටමත් බටහිර පර්යන්තය සංවර්ධනය කර ලාභ උත්පාදනයට කටයුතු යොදා ඇත. අදානි සමූහය සහ එහි හවුල්කරුවන් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විසින් කොලඹ වරායේ ඉදිකරන ඩොලර් මිලියන 840ක බටහිර බහාලුම් පර්යන්තයේ ධාරිතාව නියමිත කාලයට මාස ගනනකට පෙර දෙගුන කිරීමට සූදානම් වන බව සැප්තැම්බර් 19දා රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංග්ස් විසින් පවත්වා ගෙන යනු ලබන පර්යන්තයට යාබද ව ගැඹුරු මුහුදේ ජාත්‍යන්තර බටහිර පර්යන්තය පිහිටා ඇති අතර, ඉන්දියානු සාගරයේ බලාධිකරය සඳහා නවදිල්ලිය සහ බීජිං අතර ඇති වන ගැටුමේ දී ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික වැදගත්කම තවදුරටත් තහවුරු කෙරී ඇති අතර යුද්ධයක් ඇවිලී ගියොත් මුලු රට ම තර්ජනයකට මුහුන දෙන්නේ ය. මෙම අන්තරායන් කම්කරුවන්ගෙන් වසන් කෙරී ඇත.
වරාය තුල නැගෙන කම්කරු අයිතීන් සඳහා සටන මැඬලීමේ අරමුනෙන් ගොරකාන කියා සිටියේ වසරක බෝනස් මුදල රු 100,000 සිට රු 160,000 දක්වා තම ආන්ඩුව යටතේ ඉහල දැමූ බව ය. කම්කරුවන්ට මෙය ලැබෙන්නේ, වසරේ අප්‍රේල් සහ දෙසැම්බර් මාසවල 80,000 බැගින් කොටස් දෙකකට වන අතර, හැල්මේ ඉහල යන ජීවන වියදම මගින් දුෂ්කර තත්වයන්ට මුහුන දී ඇති කම්කරු පවුල්වල මෙය සොච්චම් වැඩිවීමකි.
රක්ෂන ලබා දීම් වැඩි කරන බවට කම්කරුවන්ට පොරොන්දු දුන් ගොරකාන, මීට කලින් ජවිපෙ/ජාජබ ආන්ඩුවේ වරාය ඇමති ව සිටි බිමල් රත්නායකටත් මෙය ඉදිරිපත් කලත් විසඳුමක් ලැබුනේ නැත්තේ ඇයිද යන්න ගැන වචනයක් කීවේ නැත. එමෙන්ම ඔහු , “මෑන්පවර්” කම්කරුවන් ගැන හා අනෙකුත් අඩුපාඩුකම් ගැන වැලපෙන්නේ කම්කරුවන්ගේ ඇසට වැලි ගැසීම සඳහා ය.
ගොරකානගේ මේ ප්‍රෝඩාකාරී කතා සිද්ධ වන්නේ, කොලඹ වරාය තුල වැඩි කොටසක් දැනටමත් පුද්ගලීකරනය කොට, ඉතිරි කොටස් ද පුද්ගලීකරනයට කැසපොට ගසමින් සිටින තත්වයක් තුල ය. ඒ අනුව, “ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට වරාය ගොඩනගමු” යන්නට ඇත්තේ එක තේරුමකි: ජවිපෙ/ජාජබ ආන්ඩුව, ස්ථිර සේවකයන් බුරුතු පිටින් සේවයෙන් නෙරපමින්, අයිඑම්එෆ් අන ප්‍රකාරව වරාය පුද්ගලීකරනය කිරීම සඳහා කරගෙන යන විෂකුරු වැඩපිලිවෙලට විරෝධය නොපා නිහඬ ව සිටිනු යන්නයි.
වරාය කම්කරුවන් මෙම නියෝගයට එරෙහි විය යුතු ය. “ජාතික ආර්ථිකය” ශක්තිමත් කිරීම යනු කම්කරුවන්ගේ ජීවිතවල වියදමින් ධනපතියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම යි.
පුද්ගලීකරනයට එරෙහි ව සටන් වැදීම සඳහා ද, රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා ද මිනිස්බල කම්කරුවන් ස්ථිර කර ඔවුනගේ අයිතීන් තහවුරු කිරීම සඳහා ද සියලු පුරප්පාඩු පුරවා පුහුනුව ලබා දී කම්කරු අනතුරු වලක්වා ගැනීම සඳහා ද කම්කරුවන් සංවිධානය විය යුතු ය.
එහෙත්, සලවපොසේස ඇතුලු ධනපති ගැති වෘත්තීය සමිතිවල ග්රහනය යටතේ ඔවුන්ට මෙම සටනට අඩියක්වත් ඉදියට තැබීමේ හැකියාවක් නැති බව කම්කරුවෝ වටහා ගත යුතු ය. තීරනාත්මක පියවර වන්නේ, සටන තම අතට ගනු වස්, සලවපොසේස ඇතුලු අවශේෂ වරාය වෘත්තීය සමිතිවලින් තීරනාත්මකව බිඳී වෙන්වී ගනිමින්, තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගැනීමයි.
මෙම වෘත්තීය සමිති මෙන් ම ඒවා දේශපාලනික ව ගැට ගැසී සිටින, සජබ, එජාප, ශ්‍රීලනිප, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, සහ දෙමල සහ මුස්ලිම් ධනපති පක්ෂ ඇතුලු සියලු ධනපති පක්ෂ අයිඑම්එෆ් වැඩපිලිවෙලට පක්ෂපාතී ය. අනෙක් අතට, ව්‍යාජ වාම පෙසප, බටහිර පර්යන්තය අදානි සමාගමට ලබා දීමේ දී වෘත්තීය සමිති සමග ඒකාබද්ධව කටයුතු කල අතර, ධනේශ්වර ක්‍රමය තුල විසඳුම් ඇති බවට කම්කරුවන් නොමග යවමින් සිටී. ලාභ ලැබීමේ ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමෙන් තොරව කම්කරු අයිතීන් ආරක්ෂා කරගත නොහැකිය.
මෙම සටනේ දී ඔවුන්ගේ සැබෑ සගයන් වන්නේ, මේ සමාන ම රුදුරු කොන්දේසිවලට මුහුන දී ඇති, අනෙකුත් රාජ්‍ය මෙන්ම පුද්ගලික ක්ෂේත්රවල කම්කරු සහෝදර සහෝදරියන් ය.
ධනේශ්වර ක්‍රමය ජාත්‍යන්තර පරිමාන වන්නා සේ ම එහි අර්බුදය ද ජාත්‍යන්තර අර්බුදයකි. ඒ අනුව කොලඹ වරාය කම්කරුවන් මුහුන දී ඇත්තේ අඩු වැඩි වසයෙන් අවශේෂ රටවල තම සහෝදර කම්කරුවන් මුහුන දෙන වර්ගයේ ප්‍රශ්නවලට ම ය. ලොව පුරා කම්කරුවෝ, තමාට එල්ල වන ප්‍රහාර වලට එරෙහි ව වේගයෙන් අරගල වලට ඇදෙමින් සිටිති.
කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය, මෙම ජාත්‍යන්තර කම්කරු අරගල ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වෙයි.
වරාය කම්කරුවන්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කැඳවුම් කර ඇති කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්රජාතන්ත්රවාදී සහ සමාජවාදී සම්මේලනය ගොඩ නැගීමට එක්විය යුතු ය. කම්කරුවන්ට ධනපති ආන්ඩුවක් අවශ්‍ය නැත. ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය වන්නේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයක කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවකි. මෙම අරගලයට ඒකාබද්ධ වන්න.
