වරාය අධිකාරිය යටතේ පවතින කොලඹ වරාය අසල ඉඩම් අක්කර 13ක් (හෙක්ටයාර 5.3ක් ) චීනයට අයත් කොලඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයට (සීඅයිසීටී) පැවරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව කරගෙන යන වැඩකටයුතු සම්බන්ධයෙන් වරාය කම්කරුවන් අතර බලගතු විරෝධයක් වැඩෙමින් පවතී. පසුගිය 27 දින, වරාය හා නාවික ඇමති රෝහිත අබේගුනවර්ධන විසින් මේ පිලිබඳ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මන්ඩලයට ඉදිරිපත් කලේය.
ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ ), පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප ) සහ වරාය වෘත්තීය සමිති එක්ව, නැගෙනහිර පර්යන්තය (ඊසීටී) පුද්ගලීකරනය කිරීමට එරෙහි වරාය කම්කරුවන්ගේ අරගලය පාවාදීමෙන් පසු බටහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පැවරූ ආන්ඩුව, වරාය පුද්ගලීකරන වැඩපිලිවෙල තවත් ඉදිරියට ගෙන යමින් සිටී.
ඇමරිකානු, ඉන්දියානු සහ චීන භූ-දේශපාලනික අවශ්‍යතාවයන් සමග කොලඹ වරාය පුද්ගලීකරනය අත්‍යන්තයෙන් බැඳී පවතී. කොලඹ වරාය නගර ව්‍යාපෘතිය චීනයට පවරාදීමත්, කොලඹ සහ බීජින් අතර වඩා කිට්ටු සබඳතා තහවුරු වීමත්, ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සහ එහි කලාපීය සගයා වන ඉන්දියාව විසින් දැකගනු ලබන්නේ, චීනයට එරෙහි තම මූලෝපායික අවශ්‍යතාවයන්ට සතුරු වර්ධනයක් ලෙසිනි.
ඉන්දියානු සංගතයක් වන අදානි සමාගමට බටහිර පර්යන්තය පවරාදීමට කොලඹ ආන්ඩුවට සිදුවූයේ, ඉහත වර්ධනයට එරෙහිව වොෂින්ටනය සහ නවදිල්ලිය යෙදූ පීඩනයට ප්‍රතිචාර වශයෙනි.
කැබිනට් පත්‍රිකාවට අනුව, කොලඹ වරායේ සේවා සැපයුම් වලට අනුරූප පූර්වගාමී සංවර්ධන ක්‍රියාවලියක් සඳහා මෙම ඉඩම පවරනු ලබයි. කොලඹ දකුනු වරායට අයත් ඉතා වටිනා බැටන්බර්ග් සහ බ්ලූමැන්ඩල් යන ප්‍රදේශ වලින් මෙම භූමිය වෙන්කෙරේ. කම්කරුවන් පවසන පරිදි වරාය කම්කරුවන්ගේ නිල නිවාස පවතින බ්ලුමැන්ඩල් භූමිය ද මීට අයත් වේ.
කොලඹ වරාය නගරයෙන් සීමා වන දකුනු ආසියා ද්වාර පර්යන්තය (එස්ඒජීටී), කොලඹ ජාත්‍යන්තර බහාලු පර්යන්තය (සීඅයිසීටී) සහ නැඟෙනහිර බහාලු පර්යන්තය (ඊසීටී) යන පර්යන්තයන්ට යාබදව පිහිටි හෙක්ටයාර 5.3කට ආසන්න ඉඩම් ප්‍රමානයක, පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ නැව් භාන්ඩ සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා සීඅයිසීටී සමාගම විසින් ඉදිරිපත්කොට ඇති යෝජනාව ඇගයීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ නිර්දේශ පරිදි ඉදිරි පියවර ගැනීමටත් වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කල යෝජනාව අමාත්‍ය මන්ඩලය විසින් අනුමත කල බව වාර්තාවේ.
වසර 35ක කාලයක් සඳහා යෝජිත නව ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 15 ක කොටසක් පමනක් හිමිවේ. වරාය අධිකාරිය යටතේ පවතින සේවා සැපයුමෙන් ලැබෙන ආදායම සීඅයිසීටී යටතට පත්වේ. ඊට අමතරව සැපයුම් අංශයේ සේවයේ යෙදෙන කම්කරුවන් 600ක් රැකියා අහෝසිවීමේ තර්ජනයට මුහුන දෙති.
ශ්‍රී ලංකාවේ වරාය පුද්ගලීකරනය අනුප්‍රාප්තික ආන්ඩු යටතේ දශක දෙකකට අධික කාලයක් පුරා සිදුවී තිබේ. 1998 වසරේදී කොලඹ වරායේ රැජින පාලම “සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්” නමින් විදේශ සමාගම් සමූහයකට විකිනීම, 2012 දී කොලඹ වරායේ දකුනු පර්යන්තය ඉදිකර පවත්වාගෙන යාමට චීනයේ “චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්”සමාගමට පැවරීම මේ අතර ප්‍රධාන වේ. මෙම පුද්ගලී කරනයන් සියල්ල සිදුවූයේ වෘත්තීය සමිතිවල ආධාරයෙනි.
නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීම පිනිස සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව 2019 මැයි මාසයේ ගිවිසුමක් අත්සන් කල විට විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ), වරාය වෘත්තීය සමිතිවල ද පිටුබලය සහිත ව, ගිවිසුම ඉන්දියාවට රට පාවාදීමක් ලෙස හෙලා දුටු අතර, එය ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරන උද්ඝෝෂනයේ මූලික තේමාවක් විය.
2021 ජනවාරි මාසයේ ඉහත සමිති සන්ධානය, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී නඩ, ජවිපෙ, පෙසප වැනි ව්‍යාජ-වාම සංවිධාන සහ වෙනත් වෘත්තීය සමිති එක්ව, 'කොලඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය' නමින් අටවාගත් අන්ත දක්ෂිනාංශික සංවිධානයක් මගින්, පුද්ගලීකරනයට එරෙහි වරාය කම්කරුවන්ගේ අරගලය අන්ත ප්රතිගාමී ඉන්දියානු විරෝධයක් තුල කොටුකොට පාවාදුනි. මෙම අරගලයට 10,000කට අධික වරාය කම්කරුවෝ, ශ්‍රේනිභේද සහ පර්යන්ත භේද නොතකා සහභාගි වූහ.
ජවිපෙට සම්බන්ධ සමස්ත ලංකා පොදුසේවක සංගමයේ (සලංපොසේස) ලේකම් නිරෝශන් ගොරකානගේ, අගෝස්තු 5 දින පුවත් පත් සාකච්ඡාවක් කැඳවා ආන්ඩුවේ නව ඉඩම් පවාරාදීමේ සැලැස්මට එරෙහිව ව්‍යාජ විරෝධයක් දක්වා ඇත. 2021 පෙබරවාරියේ දී නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය අදානි සමාගමට පැවරීමට පක්ෂපාතවූ වෘත්තීය සමිති සමග සලංපොසේස ද පෙලගැසී සිටියේය.
පුද්ගලීකරනයට සහ අනෙකුත් ප්රහාරයන්ට එරෙහිව අවශේෂ කම්කරුවන් ද ඒකාබද්ධ කරගත් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම වැලැක්වීමේ අරමුනෙන්, යලිත් ආන්ඩුවට පීඩනය යෙදීමේ උගුලක කම්කරුවන් හිර කිරීමේ ව්‍යායාමයක ගොරකාන එහිදී යෙදී ගත්තේය. ජනාධිපති රාජපක්ෂ බලයට පත්වූයේ “පුද්ගලීකරනයට එරෙහි” බව කියා සිටිමින් බැවින්, ඉඩම් පවරාදීමේ “(කැබිනට්) පත්‍රිකාව හකුලා ගන්නා” ලෙස ඔහුට බල කරන සටනක් කැඳවන බවට ඔහු පාරම් බෑවේය.
“වෘත්තීය සමිති යලි සූදානම් වන්නේ ආන්ඩුව සමග සාකච්ඡා ඉල්ලමින් කම්කරුවන්ගේ විරෝධය දියකර කම්කරුවන් ස්වාධීන මැදිහත් වීමක් වැලැක්වීමට” යැයි වරාය කම්කරුවෙක් පැවසීය.
අගෝස්තු 9 දින දහවල්, බාන්ස් ඔරලෝසු කනුව ඉදිරිපිට විරෝධතාවක් කැඳවූ සලපොසේස, “වරාය දේපල විකිනීම” සහ “සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් කෙරෙහි සීමා පැනවීම” නතර කරන ලෙසත්, “විධිමත් වැඩපිලිවෙලක් මත කොවිඩ් වසංගතය පාලනය කරන” ලෙසත්, ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය.
පුද්ගලීකරනය ඇතුලු ප්රහාරයන්ගේ මූලය වන ධනේශ්වර ක්‍රමයට අභියෝග කෙරෙන මූලෝපායකින් තොරව පුද්ගලීකරනය පරාජය කල නොහැක. වරායට අමතරව, විදුලිබල මන්ඩලය, දුම්රිය හා රාජ්‍ය බැංකු ඇතුලු බොහෝ රාජ්‍ය අංශ පුද්ගලීකරනය ජාත්‍යන්තර මුල්‍ය ප්රාග්ධනයේ විධානයකි.
වෘත්තීය සමිති නියෝජනය කරන්නේ මෙම මූල්‍ය ප්රාග්ධනයේ අවශ්‍යතාවය යි. ඉහත විධානයන් මත ආන්ඩුව ගෙනයන ප්රහාරයන්ට එරෙහිව කම්කරුවන් අතර වැඩෙන අරගල මැඩීම සඳහා ආන්ඩුව වරාය හා සෙසු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කිරීමේදී වෘත්තීය සමිති ඊට පූර්න සහයෝගය දුන්හ. සමාජවාදී සමානතා පක්ෂය (සසප ) හැර අනෙකුත් සියලුම පක්ෂ ආන්ඩුව පනවන ලද මෙම රුදුරු නියෝගයට එරෙහි වී නොමැත.
අත්‍යවශ්‍ය සේවා නියෝගයට අනුව, අදාල ආයතනවල සේවයට වාර්තා නො කරන ඕනෑම සේවකයෙකු, “මහේස්ත්රාත්වරයෙකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් අනතුරුව වැරදිකරුවෙකු කොට” වසර දෙකේ සිට පහ දක්වා වන “බරපතල වැඩ සහිත සිර දඬුවමකට” සහ/හෝ “රුපියල් 2,000ත් 5,000ත් අතර දඩයකට හෝ එම දඬුවම් දෙකට ම යටත් කල හැකි ය.” මීට අමතරව වැඩ වර්ජන සහ පිකටින් ඇතුලු කම්කරුවන්ගේ කාර්මික ක්‍රියා තහනම් කෙරෙන මෙම නියෝගයට එරෙහිව කම්කරුවන් ස්වාධීනව නැගී සිටිය යුතුය.
පුද්ගලීකරනය නතර කිරීම හෝ වරාය කම්කරුවන් මුහුනදෙන අන් කවර ප්‍රශ්නයක් හෝ ජයගැනීම ලාභය මත පදනම් වන්නාවූ ධනේශ්වර ක්‍රමය තුල සිදුකල නොහැකිය. වරාය කම්කරුවන් ඇතුලු සියලු ක්ෂේත්රයන්හි කම්කරුවන් ධනපති-ගැති වෘත්තීය සමිතිවලින් බිඳී ස්වාධීන ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කල යුතු ය. ලංකාවේද, අන්‍ය රටවල ද එසේ ගොඩනගන ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් සඳහා සසප සටන් වදී.
හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) හා එහි ලංකා ශාඛාව වන සසප අවධාරනය කර ඇති පරිදි, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක පදනම මත කම්කරු අරගල සම්බන්ධීකරනය කල යුතු ය. මේ සඳහා එක්වන ලෙස වරාය කම්කරුවන්ගෙන් සසප ඉල්ලා සිටී.
