ඉන්දියාවෙන් පාලනය වන කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පකිස්ථානයත් අතර යුද ආතතීන් උත්සන්න වේ

[මෙය War tensions between India and Pakistan mount following terrorist attack in Indian-held Kashmir යන මැයෙන් 2025 අප්‍රේල් 27 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය අඟහරුවාදා (22) ඉන්දියාව මගින් පාලනය වන කාශ්මීරයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තානය වගකිව යුතු බව ප්‍රකාශ කිරීමට නව දිල්ලිය ඉක්මන් වීමත් සමග, දකුනු ආසියාවේ ප්‍රතිවාදී න්‍යෂ්ටික-අවි බලවතුන් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර සබඳතා පිහි තුඩක පවතී.

බදාදා (23), ඉන්දියාවේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව පකිස්ථානය ඉලක්ක කරගත් පුලුල් “පලිගැනීමේ” පියවරයන් නිවේදනය කල අතර, එයට, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කුඩා පිරිසක් හැර ඉන්දියාවේ සිටින සියලුම පකිස්ථාන ජාතිකයන් නෙරපා හැරීමත්, ඉන්දුස් ජල ගිවිසුම (Indus Water Treaty - ඉන්දියාව සහ පකිස්ථානය අතර ඉන්දුස් ගඟේ සහ එහි අතු ගංගාවල ජලය බෙදා හැරීම පිලිබඳ ගිවිසුමකි) අත්හිටුවීම ඇතුලත් විය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ භාෂාවට සමාන භාෂාවකින් වහසි බස් දොඩමින්, ඉන්දීය අගමැති සහ හින්දු ඒකාධිපති බලවතෙකු වීමට කැසකවන නරේන්ද්‍ර මෝදි, ඉන්දියාව “ත්‍රස්තවාදයේ ස්වාමිවරුන්ගේ කොඳු කඩා දමන” බවටත්, “ත්‍රස්තවාදීන්ගේ දේශයේ ඉතිරි කොටස ද දූවිලි බවට පත් කරන” බවටත් සපථ කර තිබේ. ඉන්දීය ආන්ඩුව තම ප්‍රධාන ප්‍රතිවාදියා වන පාකිස්ථානය ලෝකයේ ප්‍රධාන “ත්‍රස්තවාදී රාජ්‍යය” ලෙස, දිගු කලක් තිස්සේ හෙලා දැක තිබේ.

ඉන්දියානු පාලනය යටතේ පවතින ජම්මු සහ කාශ්මීරය (ජේ ඇන්ඩ් කේ) ද පකිස්ථාන පාලනය යටතේ පවතින අසාද් කාශ්මීරය ද වෙන් කරන පාලන රේඛාව (එල්ඕසී) හරහා දෙපාර්ශ්වය ම, මෑත දිනවල, නැවත නැවතත් තුවක්කු සහ කාලතුවක්කු වෙඩි හුවමාරු කර ගෙන ඇත. තවමත් කිසිදු හානියක් වාර්තා වී නොමැති වුවද, එල්ඕසී දෙපස ම ප්‍රදේශවාසීහු, ඉදිරි දිනවල කුමක් සිදුවේදැයි බියෙන් සිටිති. “ජාත්‍යන්තර දේශසීමාවට ආසන්නව පිහිටි ජම්මු සහ කාශ්මීරයේ, ආර්.එස්. පෝරා හි බොහෝ පදිංචිකරුවන් භූගත බංකර් පිරිසිදු කරන ආකාරය” හින්දු පුවත්පත වාර්තා කලේ ය; ඒ, “ඕනෑම හදිසි අවස්ථාවකදී” ඒවායේ නවාතැන් ගැනීමට සූදානමිනි.

අප්‍රේල් 22 වන දින, මනස්කාන්ත බයිසරන් නිම්නයේ පහල්ගම් අසල කමාන්ඩෝ ආකාරයේ ප්‍රහාරයකින් සංචාරකයෝ විසි හය දෙනෙකු මියහ; ඔවුන්ගෙන් එක් අයෙකු හැර, අනෙක් සියල්ලෝම ඉන්දියානු පුරවැසියෝ ය. 2019 දී මෝදි ආන්ඩුව විසින්, ජම්මු සහ කාශ්මීරයෙහි, ඉන්දියාව තුල විශේෂ ස්වාධීන තත්ත්වය අවලංගු කිරීමට ප්‍රතිචාර වශයෙන් පිහිටුවන ලද ඉස්ලාමීය කන්ඩායමක් වන ප්‍රතිරෝධක පෙරමුන (Resistance Front) ප්‍රහාරයේ වගකීම භාර ගත් බව, ඉන්දීය බලධාරීන් පවසා තිබේ. ප්‍රතිරෝධක පෙරමුන යනු, පකිස්ථාන හමුදා බුද්ධි අංශවල කොටස්වලින් පිටුබලය ලැබූ ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානයක් වන ලෂ්කර්-ඊ-තායිබා (එල්ඊටී) හි ශාඛාවක් බවට ඉන්දීය ආන්ඩුව චෝදනා කරයි.

පසුගිය අඟහරුවාදා ත්‍රස්ත ප්‍රහාරය කඩතුරාවක් ලෙස යොදා ගනිමින්, භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව ජම්මු සහ කාශ්මීරය පුරා දිවා රාත්‍රී පුලුල් සෝදිසි මෙහෙයුම් සමඟ දැවැන්ත හමුදා මර්දනයක් දියත් කර තිබේ. මෙම මර්දනයේ කොටසක් ලෙස, ඉන්දීය හමුදා විසින් පාලිත-පුපුරවාහැරීම් (controlled blasts) මගින්, “සටන්කාමීන් බවට සැක කරන්නන්ගේ” නිවාස හයක් සුන්බුන් බවට පත් කරන ලදී. “සටන්කාමීන්ට ආධාර කරන්නන්ගේ” යැයි කියනු ලබන නිවාස 100 කට වැඩි ප්‍රමානයක් සෝදිසි කර ඇති අතර සිය ගනනක් රඳවා තබාගෙන ඇත.

කුල්ගම් දිස්ත්‍රික්කයේ මාතල්හාමා ගම්මානයේ පදිංචි 29 හැවිරිදි සකීර් අහමඩ් ගනායිගේ පියා, පවුලේ නිවස විනාශ කිරීමෙන් පසු හින්දු පුවත්පතට කතා කලේය: “අපි අහිංසකයි,” ඔහු ප්‍රකාශ කලේය. “එය අපට සිදු නොවිය යුතුව තිබුනා.” පියා පැවසුවේ, තම පුතා 2023 සැප්තැම්බර් 27 වන දින අතුරුදහන් වූ බවත් ඔහු කිසි දිනෙක නිවසට නොපැමිනි බවත් ය. පසුව ගනායි පවුල, පොලිසියට, ඔහු අතුරුදහන් වූ බවට වාර්තාවක් ගොනු කලේය. “ඔහු ජීවතුන් අතර සිටීද නැද්ද යන්න අපි දන්නේ නැහැ.'

ඉන්දීය ආරක්ෂක හමුදා—ඉන්දියාවේ ප්‍රධාන භූමියේ ඇති එකම මුස්ලිම් බහුතර රාජ්‍යය හෙවත් සන්ධීය ප්‍රදේශය වන—ජම්මු සහ කාශ්මීරයේ බොහෝ ප්‍රදේශවල සහ විශේෂයෙන් චෝදනා එල්ල වන සැකකරුවන් පැමිනෙන ගම්මාන හෝ අසල්වැසි ප්‍රදේශවල ජනතාව සාමූහික දඬුවම්වලට යටත් කරමින් සිටී. නිල නොවන ඇස්තමේන්තුවකට අනුව, අප්‍රේල් 22 වන දින පහල්ගම් හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියානු කාශ්මීරයේ ගිම්හාන අගනුවර වන ශ්‍රීනගර්හි, දේශීය තරුනයින් 1,500 ක් පමන ප්‍රශ්න කර හෝ රඳවා තබා ගෙන ඇත. චූදිත ත්‍රස්තවාදීන්ගේ නිවාස පාලිත-පුපුරවාහැරීම් මගින් සමතලා කිරීම නිසා යාබද නිවාසවල බිත්ති ඉරිතලා ජනෙල් වීදුරු බිඳ දමා ඇත. ජම්මු සහ කාශ්මීරයේ හිටපු මහ ඇමතිවරියක් සහ භාරතීය ජනතා පක්ෂයේ හිටපු සගයෙකු වන මෙහබූබා මුෆ්ටි ට, ආරක්ෂක හමුදා, ත්‍රස්තවාදීන් සහ සිවිල් වැසියන් අතර වෙනස හඳුනාගත යුතු බව පවසමින් මර්දනය විවේචනය කිරීමට බල කෙරී ඇත.

ඉන්දියාවේ විරුද්ධ පක්ෂ සහ සංගත-මාධ්‍ය, යුද උන්මාදය, ඉන්දියානු ස්වෝත්තමවාදය සහ මුස්ලිම් විරෝධී වර්ගවාදය ඇවිස්සීමට භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවට සහාය වෙමින් සිටී.

මෝදිගේ ප්‍රධාන හෙංචයියා වන ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සහ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, බ්‍රහස්පතින්දා කැඳවන ලද සහ සියලුම පක්ෂවල නියෝජිතයින් සහභාගී වූ සර්ව පාක්ෂික රැස්වීමකදී, ආන්ඩුව ගන්නා “ඕනෑම ක්‍රියාමාර්ගයකට” පූර්න සහාය දීමට එකඟ වූ බව, කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පැවසීය.

2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, බටහිර ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ පොක්‍රාන් හි පැවති 'වායු ශක්ති-2019' නම් වූ ගුවන් බල අභ්‍යාසයක් අතරතුර පිපිරීමකින් දුමාරය නැඟේ. [AP Photo/Manish Swarup]

2016 සහ 2019 දී, වොෂින්ටනයේ සහාය ඇතිව, දේශසීමා හරහා එල්ල කල නීති විරෝධී ප්‍රහාර වලට වඩා “බලවත්” මිලිටරි ක්‍රියාමාර්ගයක් දියත් කරන ලෙස, බොහෝ මාධ්‍ය, මෝදි ආන්ඩුවෙන් ඉල්ලා සිටී. “අගමැතිවරයා පාකිස්ථානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලහොත්, ඔහු පිටුපස මුලු රටම සිටගනු ඇතැ” යි දිගු කලක් තිස්සේ ඉන්දියන් එක්ස්ප්‍රස් හි තීරු ලිපි රචනාකරන තව්ලීන් සිං ලිවීය. “කිසිවක් නොකර සිටියහොත්, ඔහුට සියලු දෙනාගේ සහයෝගය අහිමි වනු ඇත.'

භාරතීය ජනතා පක්ෂය සහ එහි අන්ත-දක්ෂිනාංශික හින්දු ස්වෝත්තමවාදී සහචරයින් විසින් උසිගන්වන ලද දරුනු හිරිහැර කිරීමේ ව්‍යාපාරයක් හේතුවෙන්, අනෙකුත් ප්‍රාන්තවල විශ්ව විද්‍යාල සහ විද්‍යාල උපාධි හදාරමින් සිටි සිය ගනනක් කාශ්මීර සිසුන්ට කාශ්මීරයට ආපසු යාමට බල කෙරී ඇත.

ප්‍රහාරය පිලිබඳ තම අනුවාදයට අභියෝග කිරීමට තරම් එඩිතර වන ඕනෑම කෙනෙකුට ආන්ඩුව වහ වහා ප්‍රතිචාර දක්වා ඇත. සමස්ත ඉන්දීය එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ (ඒඅයියූඩීඑෆ්) ඇසෑම් ප්‍රාන්ත ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරයෙකු වන අමිනුල් ඉස්ලාම්, ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තවල, පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් “රාජද්‍රෝහී” අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 19 දෙනාගෙන් කෙනෙකි.

ඉස්ලාම් යෝජනා කලේ, එය සහ 2019 පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරය යන දෙකම, ආන්ඩුව පිටුපස මහජන මතය පෙලගැස්වීම සඳහා භාරතීය ජනතා පක්ෂයේ ඉහල නායකත්වය විසින් පහසුකම් සලසන ලද “කුමන්ත්‍රනයක්” බවයි. පුල්වාමා හි ත්‍රස්ත ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක නිලධාරීන් 42 දෙනෙකු මිය යාමට හේතු වූ ආරක්ෂක අඩුපාඩු, බලධාරීන් විසින් තවමත් පැහැදිලි කර නොමැති බවත්, 2019 ලෝක් සභා මැතිවරනය ජයග්‍රහනය කිරීම සඳහා හින්දු සහ මුස්ලිම් ඡන්දදායකයින් “වාර්ගික වශයෙන් ධ්‍රැවීකරනය” කිරීමට භාරතීය ජනතා පක්ෂය විසින් මෙම ප්‍රහාරය උපයෝගී කරගත් බවත් ඔහු පැවසීය.

මේ දක්වා නවදිල්ලිය ගෙන ඇති වඩාත්ම ප්‍රකෝපකාරී මහජන පලිගැනීමේ පියවර වන්නේ, ඉන්දුස් ජල ගිවිසුමට (අයිඩබ්ලිව්ආර්) ඉන්දියාවේ සහභාගීත්වය අත්හිටුවීමයි. 1960 දී බලාත්මක වූ මෙම ගිවිසුම, ඉන්දුස් ගංගා පද්ධතියේ ජලය බෙදා ගැනීම සඳහා නීතිමය රාමුවක් සපයන ලද අතර, පැහැදිලිව ම නිර්වචනය කර ඇති ආකාරයට, දෙරටට ම එහි අයිතිවාසිකම් පවතින බව සහතික කලේය.

අද වන විට පකිස්ථානයේ කෘෂිකර්මාන්තයෙන් සියයට 80 කට වඩා සහ එහි ජල විදුලි උත්පාදනයෙන් තුනෙන් එකක් පමන රඳා පවතින්නේ ඉන්දුස් ගංගා ද්‍රෝනියේ ජලය මත ය. එහි වැදගත්කම නිසා ම, පසුගිය වසර 65 තුල ප්‍රකාශිත යුද්ධ දෙකක්, අප්‍රකාශිත යුද්ධ කිහිපයක් සහ පකිස්ථානය සමඟ අසංඛ්‍යාත දේශසීමා ගැටුම් ඇති කර ගෙන තිබියදීත්, නවදිල්ලිය මීට පෙර කිසි විටෙකත් ගිවිසුම අත්හිටුවා නැත.

මේ අවස්ථාවේ දී ඉන්දියාවට විශාල ජල ප්‍රමානයක් අවසානයේ දී පකිස්ථානයට ලඟා වීම වැලැක්වීමේ හැකියාවක් නොතිබුනත්, ගිවිසුම අත්හිටුවීමත් සමඟ, වත්මන් වගා සමයේදී ද ඇතුලුව, ජල ප්‍රවාහයන්ට බාධා කිරීමේ සහ ඒවා පිලිබඳ වැදගත් තොරතුරු සඟවා තැබීමේ බලය ඔවුන් සතු කර ගෙන ඇත.

නවදිල්ලියේ ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට පකිස්ථානය තමන්ගේම ආකාරයෙන් ප්‍රතිචාර දක්වා ඇත. ඉන්දියානු ගුවන් සමාගම් සඳහා තම ගුවන් කලාපය වසා දැමීම, ඉන්දියාව සමඟ ඇති සියලුම වෙලඳාම නතර කිරීම, සියලුම ඉන්දියානු ජාතිකයින්ට රටින් පිටවීමට නියෝග කිරීම සහ 1972 සිම්ලා ගිවිසුම අත්හිටුවීම මෙයට ඇතුලත් වේ. 1971 ඉන්දු-පකිස්ථාන යුද්ධයෙන් පසුව අත්සන් කරන ලද සිම්ලා ගිවිසුම, ජම්මු සහ කාශ්මීරය සහ අසාද් කාශ්මීරය අතර මායිම ලෙස එල්ඕසී ස්ථාපිත කරන ලද අතර, සමස්ත කාශ්මීරයටම දෙරටේ ප්‍රතිවාදී හිමිකම් පිලිබඳ ගැටලුව විසඳීමට ඉතිරිව තිබුනි.

පසුගිය සතියේ පැවති ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමකින් පසුව, 2019 පෙබරවාරි මාසයේදී ඉන්දීය ගුවන් හමුදාව බාලාකෝට් වෙත එල්ල කල ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස දෙරට මහා යුද්ධයක අද්දරට ම ගෙන ගිය ආකාරය සඳහන් කරමින්, පාකිස්ථානය, තම සන්නද්ධ හමුදාවන්, “ඕනෑම අවාසනාවන්ත සිදුවීමකට එරෙහිව [පාකිස්ථානයේ] ස්වෛරීභාවය සහ භෞමික අඛන්ඩතාව ආරක්ෂා කිරීමට සපුරා ශක්‍ය බවටත්, ඒ සඳහා සූදානම් බවටත්” ප්‍රතිඥා දුන්නේය.

මෙම නිවේදනයට ප්‍රතිචාර දක්වමින්, පකිස්ථාන මහජන පක්ෂයේ සභාපති සහ හිටපු පකිස්ථාන විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ සර්දාරි මහජන රැලියක දී පැවසුවේ, “ඉන්දුස් ගංගාව අපේ ය; ඉදිරියටත් එය අපේම වනු ඇත. එක්කෝ ඒ හරහා අපේ ජලය ගලා යනු ඇත, නැතහොත් ඔවුන්ගේ රුධිරය ගලා යනු ඇත.'

ලෝක සමාජවාදී වෙබ් අඩවිය කලින් පැහැදිලි කල පරිදි, “ඉන්දු-පකිස්ථාන ගැටුම වනාහි, 1947 දී දකුනු ආසියාව ප්‍රසිද්ධියේ මුස්ලිම් පකිස්ථානයක් සහ හින්දු ඉන්දියාවක් ලෙස වාර්ගිකව බෙදීම තුල මුල් බැසගත්, ප්‍රතිවාදී ධනේශ්වර රාජ්‍යයන් අතර ප්‍රතිගාමී ගැටුමකි.... ඉන්දියානු සහ පකිස්ථාන ධනේශ්වරයන් දෙකම, කාශ්මීර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දැඩි ලෙස නොතකා හැර ඇත. ඉන්දියාවේ එකම මුස්ලිම් බහුතර රාජ්‍යය වන ජම්මු සහ කාශ්මීරයේ මැතිවරන වංචා කිරීමට ප්‍රතිචාර වශයෙන් 1989 දී පුපුරා ගිය මහජන විරෝධතා නවදිල්ලිය කුරිරු ලෙස මර්දනය කලේය. මෙය, සෝවියට් සංගමයේ පිටුබලය ලත් ඇෆ්ගනිස්ථානයේ ආන්ඩුවට එරෙහිව සටන් කිරීම සඳහා, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නියෝගය පරිදි වර්ධනය කර ගත් ඉස්ලාමීය මිලීෂියා ජාලය නැවත යෙදවීමෙන් සහ පුලුල් කිරීමෙන් පකිස්ථානය තමන්ගේම ප්‍රතිගාමී අවශ්‍යතා තවදුරටත් වර්ධනය කර ගැනීමට යොදාගත් කැරැල්ලක් ප්‍රේරනය කලේය.”

2022 මැයි 24 වන අඟහරුවාදා, ටෝකියෝවේ කන්ටෙයි මාලිගයේ පැවති ක්වොඩ් නායක සමුලුවේදී වමේ සිට: ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා. (ඒපී ඡායාරූප/ඉවාන් වුචි)

සියවස ආරම්භයේ සිට ම, ඉන්දු-පකිස්ථාන ගැටුම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ චීනය අතර ගැටුම සමඟ වඩ වඩාත් ගැටගැසී පවතින අතර, එය ඒ දෙකටම නව හා බෙහෙවින් පුපුරන සුලු මානයක් එක් කරයි. චීනයට එරෙහි සිය මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට ඉන්දියාව වඩ වඩාත් ඒකාබද්ධ කිරීම සඳහා වොෂින්ටනය නවදිල්ලියට මූලෝපායික අනුග්‍රහයන් ලබා දී ඇත. මෙම සහාය ඇතිව, මෝදි යටතේ ඉන්දියාව, කලාපීය ආධිපත්‍යය ලෙස තමන්ව තහවුරු කර ගැනීම සඳහා පාකිස්ථානය සමඟ ඇති සම්බන්ධතාවය නැවත අර්ථකථනය කිරීමට ආක්‍රමනශීලීව පියවර ගෙන තිබේ. මේ අතර, පකිස්ථානය බීජිං සමඟ “ඕනෑම තත්වයක් යටතේ” පවතින හවුල්කාරිත්වය දෙගුන කර ඇති අතර, නවදිල්ලිය සහ වොෂින්ටනය යන දෙකම එයට තවදුරටත් විරුද්ධ වී ඇත.

ඉන්දියාවෙන් එන යුද තර්ජනවලට ප්‍රතිචාර වශයෙන් සහ චීනය සහ පකිස්ථානය යන දෙකම සමඟ ගනුදෙනු කිරීමේදී වඩාත් යුදවාදී ආස්ථානයක් ගන්නා ලෙස වොෂින්ටනය නැවත නැවතත් නව දිල්ලිය දිරිමත් කර ඇති බව හොඳින් දැන සිටින බීජිනය, ඉස්ලාමාබාද් සමඟ එහි සන්ධානය යලි තහවුරු කර තිබේ.

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සමඟ ඉරිදා (20) පැවති සංවාදයකින් පසුව, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, අප්‍රේල් 22 වන දින පහල්ග්‍රෑම් ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලා සිටිමින් සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කලේය. “චීනය, සෑම විටම පකිස්ථානයේ ත්‍රස්ත-විරෝධී අධිෂ්ඨානශීලී ක්‍රියාමාර්ගවලට සහාය දී ඇත. දැඩි මිතුරෙකු සහ සියලු තත්ව යටතේ එකට සිටින මූලෝපායික සහකරුවෙකු ලෙස, චීනය පකිස්ථානයේ සාධාරන ආරක්ෂක ගැටලු සම්පූර්නයෙන්ම තේරුම් ගෙන එහි ස්වෛරීභාවය සහ ආරක්ෂක අවශ්‍යතා ආරක්ෂා කිරීමේදී පකිස්ථානයට සහාය දක්වයි,” යනුවෙන් වැන්ග් පැවසීය.

ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ කාලයේ සිට පැවත එන පරිපාලනයන් විසින් ඉන්දියාව සමඟ ඇමරිකාවේ “ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වය” ලෙස හඳුන්වන දෙය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය දරන උත්සාහයේ කොටසක් ලෙස, පහල්ග්‍රම් ප්‍රහාරය සිදුවන විට එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සිටියේ ඉන්දියාවේය. නවදිල්ලිය, වොෂින්ටනය සහ එහි ප්‍රධාන ආසියා-පැසිෆික් සහචරයින් වන ජපානය සහ ඕස්ට්‍රේලියාව අතර අර්ධ-මිලිටරි-ආරක්ෂක සන්ධානය වන ක්වොඩ් හි රාජ්‍ය උප-ප්‍රධානීන්ගේ රැස්වීම මෙම වසර අගදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය.

වොෂින්ටනය ප්‍රසිද්ධියේ, ඉන්දියාව සහ පකිස්ථානය අතර සිදුවීමට නියමිත ගැටුමක—එය ඉක්මනින් න්‍යෂ්ටික සන්නද්ධ රාජ්‍යයන් අතර සම්පූර්න ගැටුමකට තුඩු දිය හැකි අතර අනෙකුත් ලෝක බලවතුන් ආකර්ෂනය කර ගත හැකිය—තර්ජනය ගැන කිසිවක් පවසා නැත. 2016 දී ඔබාමා සහ 2019 දී ට්‍රම්ප් ඔහුගේ පලමු ධුර කාලය තුල ලබා දුන් පරිදි, තිරය පිටුපස සිට, “පලිගැනීමේ ප්‍රති-ත්‍රස්ත ප්‍රහාර” සඳහා තම “අයිතියට” සහාය දෙන ලෙස ඉන්දියාව නිසැකවම වොෂින්ටනයෙන් ඉල්ලා සිටිනු ඇත.

සිකුරාදා, පාප්තුමාගේ අවමංගල්‍යය සඳහා රෝමයට යන අතරතුර, ට්‍රම්ප්, ඉන්දු-පකිස්ථාන ගැටුම පිලිබඳව තම නොදැනුවත්කම සහ ප්‍රතිගාමීත්වය පෙන්නුම් කල අතර, ඔවුන් “එය එක් හෝ තවත් ආකාරයකින් එය විසඳා ගනු ඇතැ” යි කියා සිටියේය. “මම ඉන්දියාවට ඉතා සමීපයි, මම පාකිස්ථානයටත් ඉතා සමීපයි,” එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසීය. “ඔවුන් කාශ්මීරයේ වසර 1,000 ක් තිස්සේ එම සටන පවත්වාගෙන ගියා. කාශ්මීරය වසර 1,000 ක් තිස්සේ පැවතුනා, බොහෝ විට ඊටත් වඩා දීර්ඝයි.'

මෙය, බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් සහ හින්දු අධිපතිවාදීන් විසින් ගොතන ලද ඉතිහාසයෙන් පිරුනු බරපතල විකෘතිකරනයකි. පුදුමයට කරුනක් නොවන ආකාරයට ම, එය වහාම හින්දු අන්ත දක්ෂිනාංශිකයින්ගේ ප්‍රශංසාවට ලක්විය; එක්සත් හින්දු කවුන්සිලය, ඔලමොට්ටල ෆැසිස්ට් ඇමරිකානු ජනාධිපතිවරයාට, “වඩාත් ගැඹුරු ඉතිහාසයක් ගැන... ඉස්ලාමීය අන්තවාදය හේතුවෙන් සියවස් ගනනාවක් පැවත එන සාවද්‍ය ආගමික මතවාදයන් ගැන” ඉඟි කිරීම සම්බන්ධයෙන් ප්‍රශංසා කලේය.

දකුනු ආසියාවේ වැඩෙන යුද අනතුර, ප්‍රමාද වූ ධනේශ්වර සංවර්ධනයක් ඇති රටවල ජාතික ධනේශ්වරයේ දූෂිත ස්වභාවය සහ “විජිතහරනය” හරහා නිර්මානය කරන ලද පශ්චාත් යටත් විජිත ජාතික රාජ්‍ය පද්ධතියේ ප්‍රතිගාමී ස්වභාවය පිලිබඳ විනාශකාරී හෙලිදරව්වකි.

සියල්ලටත් වඩා, එය අවධාරනය කරන්නේ, ඉන්දියාවේ සහ පකිස්ථානයේ කම්කරුවන් තමන්ගේම ආන්ඩුවලට විරුද්ධ වීමේ, සමාජ අසමානතාවයට, වර්ගවාදයට සහ යුද්ධයට එරෙහිව ඔවුන්ගේ පන්ති සමගිය ගොඩනඟා ගැනීමේ සහ සමාජවාදී විප්ලවය හරහා—යුද්ධයේ මූල හේතුව වන—ධනවාදය මුලිනුපුටා දැමීම මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයකට උතුරු ඇමරිකාවේ, චීනයේ සහ ලොව පුරා කම්කරුවන් සමඟ එක්වීමේ හදිසිභාවයයි.

Loading