[මෙය “Pakistan warns Indian military strike “imminent,” as tensions between South Asia’s rival nuclear-armed powers flare” මැයෙන්, 2025 අප්‍රේල් 30 දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]
පකිස්ථාන ආරක්ෂක ඇමති ඛවජා මුහම්මද් අසීෆ් ගිය සඳුදා තම රටට එරෙහි ඉන්දියානු මිලිටරි ප්‍රහාරයක් “ඉතා ආසන්න” බවට අනතුරු ඇඟවීය. “අපේ පැවැත්මට සෘජු තර්ජනයක් තිබේ” නම් පමනක් මූලෝපායික හෝ උපායික න්‍යෂ්ටික අවිවලින් ප්‍රතිචාර දක්වන බවද ඔහු කීය.
පකිස්ථාන ප්‍රවෘත්ති ඇමති අතාවුල්ලා තරාර්, ඛවජා අසීස්ගේ ආසන්න ප්‍රහාරයක් පිලිබඳ ප්‍රකාශය තවදුරටත් පැහැදිලි කරමින්, ඉන්දියාව මීලඟ පැය 24-36 ඇතුලත තම රටට එරෙහි මිලිටරි ක්‍රියාන්විතයක් දියත් කිරීමට අදහස් කරන බව දක්වන, තහවුරු කරගත් විශ්වසනීය බුද්ධි තොරතුරු ලැබී තිබෙන බව අඟහරුවාදා සවස ප්‍රකාශ කලේය.
රටවල් දෙක අතර දරුනු යුද ගැටුමක භයානක අනතුර දක්වා තත්වය සීග්‍රයෙන් නරක අතට හැරීම පෙන්නුම් කරමින්, ඕනෑම ඉන්දියානු ප්‍රහාරයකට එම භාෂාවෙන්ම පිලිතුරු දෙන බවට තරාර් ශපථ කලේය. “ඉන්දියාව පැත්තෙන් කෙරෙන ඕනෑම යුදමය අතිධාවනකාරීත්වයකට, සැකයෙන් තොරව තීරකාත්මක ප්‍රතිචාර ලැබෙනු ඇතැයි” ද ඔහු ප්‍රකාශ කලේය.” අතිශය විනාශකාරී මට්ටමට යුද ගැටුම ඇවිලී ගියහොත් ඒ පිලිබඳව සම්පූර්නයෙන්ම වගකිව යුත්තේ ඉන්දියාව බව ජාත්‍යන්තර ප්‍රජාව වටහාගත යුතුය. පාකිස්තාන ජනතාව ඕනෑම වියදමක් මතින් තම ස්වෛරීභාවය සහ භෞමික අඛන්ඩතාවය ආරක්ෂා කරනු ඇත'
හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂය විසින් නායකත්වය දෙන ඉන්දීය ආන්ඩුව, අප්‍රේල් 23 දින ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ පහල්ගම් පලාතේදී සංචාරකයන් 26 දෙනෙකු කුරිරු ලෙස ඝාතනය කරමින් සිදුකල ත්‍රස්‌ත ප්‍රහාරය ගැන පකිස්ථානයට චෝදනා කල අවස්ථාවේ සිට, දකුනු ආසියාවේ එකිනෙකාට පසමිතුරු න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ අසල්වැසි රටවල් දෙක අතර ආතතිය උච්ඡ විය.
පහල්ගම් පලාතේ සිදු වූ සාහසික ප්‍රහාරය පකිස්තාන් රජයේ අනුදැනුම මත සිදුවූවක් යයි ඔප්පු කිරීමට සාක්ෂි නව දිල්ලිය විසින් ඉදිරිපත් කර නැති අතර ප්‍රහාරය පිලිබඳව ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා පකිස්ථානය කල කැඳවීම තැකීමකින් තොරව බැහැර කලේය.
ඒ වෙනුවට ඉන්දියානු ආන්ඩුව ප්‍රකෝපකාරී ප්‍රතිචාර මාලාවක් දියත් කරමින් දේශසීමාව හරහා පකිස්තානයට පහරදීමට තමන් සූදානම් වන බවට සෑම ඇඟවීමක්ම කර ඇත - ඉන්දියාවේ පාලනය යටතේ පවතින කාශ්මීරය තුල ඉස්ලාමීය සටන්කරුවන්ගේ ක්‍රියාවන්ට පකිස්ථාන රජය වගකිවයුතුයයි කියමින් ඉන්දියාව 2016 සහ 2019 දී කල ප්‍රහාර වලටත් වඩා මේ ප්‍රහාරය පෘථුල වීමට බොහෝ ඉඩ පවතී.
පසුගිය දිනවල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ආන්ඩුවේ අනෙක් ජ්‍යෙෂ්ඨ නායකයෝ , රටේ නම සඳහන් නොකර, හුදෙක් ත්‍රස්ත ක්‍රියා කරන්නවුන්ට පමනක් නොව “ත්‍රස්තවාදයේ මාස්ටර්ලාට” සහ “ත්‍රස්ත ක්‍රියා සංවිධානය කරන්නවුන්ට” චප්ප වීමට පහර දෙන බවට නැවත නැවතත් තර්ජනය කලහ.
ඒ අතරවාරයේ ඉන්දීය ආරක්ෂක හමුදා සටන්කරුවන් සොයා දඩයම් කිරීමේ නාමයෙන් කාශ්මීරය තුල මහජන මර්දන ව්‍යාපාරයක් අරඹා ඇත--එය කොතරම් උග්‍රද යත් ජම්මු හා කාශ්මීර ජාතික සම්මේලනය සහ ජම්මු හා කාශ්මීර ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැනි ඉන්දියාවට හිතවත් පක්ෂ වලට පවා එය විවේචනය කිරීමට සිදු වී ඇත.
අඟහරුවාදා ලැබුනු 'ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා' මූලාශ්‍රයකට අනුව මෝදි, ජාතික ආරක්ෂාව පිලිබඳ සංස්ථාපිතයේ ප්‍රධානීන්ගේ රැස්වීමක් අමතමින් අප්‍රේල් 22 ප්‍රහාරයට ඉන්දියාවේ ප්‍රතිචාරය “සිදුකරන විදිය, එය සිදු කරන වේලාව සහ එය සිදුකරන්නේ කවර ඉලක්කවලට එරෙහිවද යනාදිය” තීන්දු කිරීමේ පූර්න “මෙහෙයුම් නිදහස” ඉන්දීය සන්නද්ධ හමුදාවලට ලබා දුන්නේය. එම රැස්වීමට සහභාගි වූවන් අතර ආරක්ෂක ඇමති රාජ්නාත් සිං, ජාතික ආරක්ෂාව පිලිබඳ උපදේශක අජිත් ඩොවාල්, ආරක්ෂක කාර්ය මන්ඩල ප්‍රධානී ජෙනරල් අනිල් චවුහාන් සහ පාබල, නාවික සහ ගුවන් හමුදා ප්‍රධානීන් සිටි බවද පැවසේ.
එසේම පකිස්ථානයද තම හමුදා සූදානම් කරමින් සිටී. සඳුදා රොයිටර් වාර්තාකරු සමග කතා කරමින් ආරක්ෂක ඇමති අසීෆ්, තම හමුදා උපරිම සීරුවෙන් තබා ඇති බවත් තමන් ඉන්දීය ප්‍රහාරයකට මුහුන දීමට සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය පියවරයන් ක්‍රියාත්මක කල බවත් පැවැසීය. “අපි අපේ සේනාවන් සවිබල ගැන්වූයේ එය සිදුවීමට ඉතාම ආසන්න නිසාය. මේ තත්වය යටතේ සමහර මූලෝපායික තීන්දු ගත යුතුව තිබේ. අපි එම තීන්දු ගත්තෙමු.'
පවතින තත්වයේ ආතති සහගත බව සහ ඉන්දියානු ප්‍රහාරයක් නිසා ජනිත විය හැකි එකට එක කරන ප්‍රහාර මාලාවක්, විශාල ගැටුමක් දක්වා ඇවිලී යාමේ ඉඩකඩ පෙන්වමින්, අසීෆ්, තමන් න්‍යෂ්ටික ප්‍රතිචාරයක් දක්වා ගමන් කරනු ඇත්තේ කවර තර්ජන මට්ටමේදී ද යන ප්‍රශ්නයද මතු කලේය.
පසුගිය බ්‍රහස්පතින්දා සිට සෑම රාත්‍රියකදීම දේශසීමාව හැටියට පවතින පාලන රේඛාව (Line Of Control) දිගේ සමහර තැන්වල දෙපාර්ශවය අතර සැහැල්ලු අවි යොදාගෙන කල වෙඩි හුවමාරු සිදු විය. මෙම පාලන රේඛාව වනාහී ඉන්දියාව විසින් පාලනය කරන ජම්මු හා කාශ්මීර් නමැති ප්‍රදේශයත් පකිස්ථානය විසින් පාලනය කරන අසාද් කාශ්මීරය නමැති ප්‍රදේශයත් යන දෙක බෙදා වෙන් කරන රේඛාවයි. එසේ බෙදා ඇත්තේ, බ්‍රිතාන්‍යයන් යටතේ එක් පාලකයකු යටතේ පැවති සමස්ත කාශ්මීරයටම ඉන්දියාව සහ පකිස්තානය යන රටවල් දෙකම හිමිකම් කීම නිසා ඇතිව තිබෙන ගැටුම නිරාකරනය වන තෙක් තාවකාලිකවය.
අඟහරුවාදා “තම ගුවන් කලාපය උල්ලංඝනය කිරීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ කරමින්” ඉන්දියාවට අයත් තල බමන හතරේ (quadcopter) ඔත්තු බලන ඩ්‍රෝන යානාවක් පාලන රේඛාව අසලදී බිම හෙලූ බවට පකිස්ථාන හමුදාව පුරසාරම් දෙඩීය. පකිස්ථාන හමුදාව, කුඹුරට ගිය ගොවීන් පිරිසක් සමග ගමන් කරද්දී මග වැරදී පකිස්ථාන ප්‍රදේශයට ඇතුල් වූ බවට වාර්තා වන ඉන්දීය දේශසීමා ආරක්ෂක බලකායේ සොල්දාදුවකුද අල්ලා ගත්තේය.
කාශ්මීරය තුල සහ වඩා පුලුල් ලෙස සැලකුවොත් මුලු දකුනු ආසියානු කලාපය තුලම, තම බලය තහවුරු කර ගැනීම සඳහා ඉන්දියාව සහ පකිස්තානය අතර පවතින ආරවුල පසමිතුරු ධනපති රාජ්‍යයන් දෙකක් අතර සිදුවන ප්‍රතිගාමී ගැටුමකි. එහි මූලයන් පවතින්නේ 1947- 48 දී දකුනු ආසියාව එලිපිටම මුස්ලිම් පකිස්ථානයක් හා හින්දු ඉන්දියාවක් හැටියට වර්ගවාදී ලෙස බෙදා වෙන්කිරීම තුලය.
ඉන්දීය සහ පකිස්තානු රටවල් දෙකේම ප්‍රභූව, පසුගිය දශක අට තිස්සේ, භූ මූලෝපායික සහ ආර්ථික වාසි සඳහාත් කම්කරුවන් සහ වෙහෙසවී වැඩ කරන ජනයා වර්ගවාදී ලෙස භේද කොට තමන්ට රිසිසේ පන්ති අරගලය පිටතට මෙහෙයවීම සඳහාත් මෙම භේදය වගා දිගා කලේය. ප්‍රකාශිත සහ අප්‍රකාශිත යුද්ධ ගනනාවක් වෙනුවෙන්ද අනේක වූ දේශසීමා ගැටුම් හා යුද අර්බුද වෙනුවෙන්ද යුද අවි සම්පාදනය, සංවර්ධනය හා නිෂ්පාදනය වෙනුවෙන්ද (1990 දශකයේ අග භාගයේ සිට න්‍යෂ්ටික අවි සංවර්ධනය ඇතුලුව) මානව සහ භෞතික සම්පත් කන්දරාවක් දෙරට විසින් අපතේ යවන ලදී.
බීජේපී ආන්ඩුව, මාධ්‍ය සමාගම් හා විරුද්ධ පක්ෂ වල ආධාර සහ අනුබල ඇතිව යුදකාමී ජාතිකවාදයත් වර්ගවාදී ප්‍රතිගාමීත්වයත් අවුස්සා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත අලුත් ප්‍රහාර දියත් කිරීමට පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය පාවිච්චි කරයි.
පාලක බීජේපී ආන්ඩුවේ අනුග්‍රහය ලබන දක්ෂිනාංශික හින්දු සංවිධාන විසින් ඉන්දියාවේ වෙනත් ප්‍රදේශවල අධ්‍යාපනය ලබන කාශ්මීර සිසුන් සිය ගනනකට තම ගම් ප්‍රදේශවලට පලායාමට බල කරමින් ප්‍රහාර දියත් කරන ලදී. වාර්තා වන අන්දමට, පහල්ගම් ප්‍රහාරයට ඉන්දියාවේ ප්‍රතිචාරය ගැන සාකච්ඡා කිරීම සඳහා අඟහරුවාදා මෝදි, ස්වෝත්තමවාදී හින්දු ආර්එස්එස් සංවිධානයේ නායක මොහාන් භග්වත් හමුවිය. බීජේපීය වනාහි වර්ගවාදී ගැටුම් ඇවිලීම පිලිබඳ දීර්ඝ ලේවැකි වාර්තාවක් හිමි ආර්එස්එස් සංවිධානය තුලින් බිහි වූවකි.
ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දු නිම්න ජල සම්මුතියෙන් ඉවත්වන බවට ඉන්දියාව කල ප්‍රකෝපකාරී ප්‍රකාශයට, (එයින් පකිස්ථානයේ ගොවීන්ට හානි සිදුවන බැවින්) තම විරෝධය පල කල ඉන්දියාවේ ප්‍රධාන ගොවි සංවිධානයක නායකයාට හතර අතින්ම ගල් මුගුරු එල්ල විය. “ඔහු පකිස්ථානයේ භාෂාවෙන් කතා කරනවා” යයි බීජේපී නායකයකු චෝදනා කලේය.
අඟහරුවාදා, ඉන්දීය ආන්ඩුව, ඩෝන් නිව්ස් (Dawn News) සහ ජියෝ නිව්ස් (Geo News) ඇතුලු පකිස්ථානයේ ප්‍රධාන ධාරාවල යූ ටියුබ් චැනල දුසිමකට වඩා තහනම් කලේ ඒවායේ තිබෙන්නේ “ප්‍රකෝපකාරී දේවල්” සහ “ඉන්දියාව, ඉන්දියාවේ හමුදාව සහ ආරක්ෂක ඒජන්සි ගැන බොරු ප්‍රචාර” යයි කියමිනි.
පහල්ගම් ප්‍රහාරය පාවිච්චි කොට ප්‍රතිගාමීත්වය අවුස්සා පකිස්ථානයට එරෙහි යුද්ධයකට යාමට තමුන් ගෙනයන ක්‍රියා මාර්ගයට ඉන්දීය මහජන මතය හරවා ගැනීමේ අරමුනෙන් පසුගිය බ්‍රහස්පතින්දා බීජේපීය කැඳවූ සර්ව පාක්ෂික සමුලුවකට ඉන්දියාවේ ප්‍රධාන ස්ටැලින්වාදී පක්ෂය වන ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඑම්) සහභාගි විය. ආන්ඩුව පකිස්තානයට විරුද්ධව ගත්, තානාපති කාර්ය මන්ඩල හැර සෙසු සියලු පකිස්තානුවන්ට ඉන්දියාවෙන් පිටවීමට කල නියෝගය හෝ පකිස්තානයට දිගුකාලීන තර්ජනයක් වන වාරි ජල සැපයුම හා විදුලිය නිපදවීමට අත්‍යවශ්‍ය වන ජල ගිවිසුමෙන් ඉවත්විම ආදී “එකට එක කිරීමේ” පියවරයන් කිසිවක් සීපීඑම් විසින් විවේචනය නොකෙරුනි.
පසුගිය දශක දෙක තුල ඉන්දු පකිස්ථාන ගැටුම, අමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ චීනය අතර පවතින ගැටුම සමග වඩ වඩා ගැටගැසී පවතී. මෙය, ගැටුම් දෙකටම දැවැන්ත බල ආරෝපනයක් එකතු කරයි.
ඉන්දියාවට මූලෝපායික අනුග්‍රහ මාලාවක්ම දෙමින්, චීනයට එරෙහි බර යෙදීමට වොෂින්ටනය ගත් පියවර, එතෙක් තිබුනු බල තුලනය අසම කොට - වඩා ගැලපෙන වචනවලින් කිවහොත් - නව ත්‍රස්ත තුලනයක් නව දිල්ලිය සහ ඉස්ලාමාබාද් අතර ඇති කලේය.
එම කාරනය, පකිස්තානය සමග තමන් අතර පැවැති සම්බන්ධතාවය මෙතෙක් කල් පදනම් වූ ක්‍රීඩාවේ නීති, කලාපයේ මහ බලවතා ලෙස තමන් ඉස්මතුවීමේ අරමුන ඇතිව වෙනස් කිරීමට උත්සාහ ගැනීමට තරම් ඉන්දියාව නිර්භීත කලේය. ඉන්දියාව, තම මිතුරන් වන එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය මෙන් දේශසීමාවෙන් ඔබ්බට ගොස් පකිස්තානයට පහර දීමට තමන්ට “අයිතියක්” ඇති බව අන් අයට කියා සිටියි. 2016 දී සහ 2019 දී එසේ කල අවස්ථාවේදී ඔබාමා සහ ට්‍රම්ප් යටතේ වොෂිංටනයේ සහාය ඉන්දියාවට ලැබුනි.
ඉන්දියාව සහ එක්සත් ජනපදය සමග තම සබඳතා තවදුරටත් නරක අතට හරවමින්, චීනය සමග “ඕනෑම කාලගුනික තත්ත්වයක් යටතේ” වලංගු මූලෝපායික හවුල්කාරිත්වය වඩා ශක්තිමත් කිරීම මගින් පකිස්තානය ප්‍රතිචාර දක්වා ඇත.
2019 දී මෝදි ආන්ඩුව, ජම්මු හා කාශ්මීරයේ මුස්ලිම් බහුතරයක් සිටින ප්‍රදේශයට ව්‍යවස්ථාව යටතේ ලබා දී තිබූ ස්වයංපාලන තත්වය නීතිවිරෝධී ලෙස අහෝසි කොට, එම ප්‍රදේශය මධ්‍යම ආන්ඩුව යටතේ පාලනය වන්නක් බවට පත් කිරීම මගින් ජම්මු හා කාශ්මීරය මත තම ග්‍රහනය දැඩි කර ගැනීමටත් චීනය හා පකිස්තානය යන දෙකටම එරෙහිව තම හස්තය ශක්තිමත් කිරීමටත් බලාපොරොත්තු විය. ඒ සමගම ඉන්දියාව, සමස්ත ප්‍රදේශයම මිලිටරිකරනය කිරීම පහසු කරනු වස් අමතර වාසියක් ද ලබාගත්තේ චීනය යටතේ පවතින අක්සායි චින් ප්‍රදේශයට මායිම් ව පිහිටි ලඩක් පලාත අත්පත් කර ගැනීමෙනි.
අඟහරුවාදා වනවිට චීනය, ඉන්දියාව හා පකිස්තානය අතර වැඩිවන ආතතිය පිලිබඳව පිටපිටම දෙවරක් අනතුරු ඇඟවීය.
ඉරානය සහ සවුදි අරාබිය ඉන්දූ පකිස්ථාන් දෙපාර්ශවයම සාකච්ඡා සඳහා කැඳවද්දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ඉවසීමෙන් සහ සංයමයෙන් සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳා ගන්නා ලෙස ඉල්ලා සිටිද්දී වොෂින්ටනය කිසිවක්ම කියා නැත. නිශ්චිතවම තම සගයාගේ ක්‍රියා පාලනය කිරීමට වොෂින්ටනය මැදිහත් වන්නේ නැත.