වික්‍රමසිංහ ආන්ඩුව කෝවිඩ් BA5 ප්‍රභේදය රටපුරා වේගවත් පැතිරීමකට කොන්දේසි සකසයි

කෝවිඩ්-19 වෛරසයේ මෙතෙක් සොයා ගැනුනු වේගවත්ම පැතිරීම සහිත මාරාන්තික ඔමික්‍රෝන් BA5 ප්‍රභේදය ලංකාවෙන් පසුගිය මාසයේ අග සොයා ගැනීමෙන් පසුව ගත වූ දෙසතිය තුල කෝවිඩ් ආසාදිතයන්ගේ හා මරනවල සීඝ්‍ර ඉහල යෑමක් පෙන්නුම් කර තිබේ.

රටෙහි දෛනික කෝවිඩ් පරීක්ෂන සංඛ්‍යාව පහලම මට්ටම් කරා හෙලා ඇති තත්වයක දී නිල ආසාදන හා මරන සංඛ්‍යාව මෙලෙස වැඩිවීම ඉදිරි සති කිහිපය තුල වර්ධනය විය හැකි අන්තරාය ඇඟවුම් කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පසුගිය සඳුදා හෙලි කලේ පරික්ෂාවට භාජනය කරන ලද රෝගීන් 24 දෙනෙකුගේ ජෛව පටල සාම්පලවලින් 20ක්ම ඔමික්‍රෝන් BA5 අනු ප්‍රභේදය වූ බවයි.

මෙලෙස ඉස්මතු වෙමින් පවතිනුයේ, “BA5 ප්‍රභේදය, කොවිඩ්-19 වයිරසයේ වැඩිම ව්‍යාප්ති වේගය සහිත සහ ප්‍රතිශක්තිය ඉක්මවා යන මාරාන්තික ප්‍රභේදයක්“ බවට ජීවන්දර ඇතුලු වෛද්‍ය විශේෂඥයන් කල අනතුරු ඇඟවීම් මුලුමනින්ම නොතකා හරිමින් වසංගතයට බාධාවකින් තොරව ව්‍යාප්ත වීමට ඉඩ හැරීමේ භයානක ප්‍රතිඵල යි.

මහරගම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයක දී බූස්ටර එන්නත ලබා ගැනීමට පැමින සිටින ජනතාව

මේ වන විට දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,00 ඉක්මවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්තවලට අනුව මේ මස 12 දා වාර්තා වූ නව ආසාදිතයන් 2,27 ත් සමග රෝහල්ගතව ප්‍රතිකාර ලබන සක්‍රීය කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1,764 ක් දක්වා ඉහල නැග තිබුනි.

මේ මාසයේ ගත වූ සති දෙක තුල පමනක් සිදුව ඇති මරන සංඛ්‍යාව 50 ක් ඉක්මවා ගොස් ඇත. පසුගිය මාසයේ වූ මරන 35 හා ආසාදිතයන් 1,361 ක සැසදීමේ දී මෙම අගයන් සීග්‍ර ඉහල යෑමක් පෙන්නුම් කරයි. රටේ සමස්ත කෝවිඩ් මරන සංඛ්‍යාව 16,605 කි.

සීමිත පරීක්ෂන පිලිබඳ අවධානය යොමු කරමින් සමාජයේ සැබෑ ආසාදන සහ මරන සංඛ්‍යාව මීට වඩා වැඩි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරාට අනුව, පසුගිය සතියේ එම රෝහලේ කෝවිඩ් ආසාදිත ලමයින් 09ක් ප්‍රතිකාර ලබමින් සිටි අතර ඉන් දෙදෙනෙක් දැඩි සත්කාර ලැබූහ. ඩෙංගු රෝගය වැලඳුනු ලමුන් 25 ක් ද රෝහලේ ප්‍රතිකාර ලබයි.

“මෙම ආසාදිතයන් සංඛ්‍යාව හඳුනා ගැනුනේ අහඹු පරීක්ෂනවලින්. රෝහලේ සියලුම රෝගී ලමුන් පරික්ෂා කලහොත් මෙම සංඛ්‍යා ඉහල යනවා“ යයි වෛද්‍ය පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.

“සීමිත පරීක්ෂන හේතුවෙන් සමාජය තුල සැරිසරන සැක කටයුතු කෝවිඩ් රෝගීන් හඳුනා ගත නො හැකි වී තිබෙන“ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස්.අයි. බෝපිටිය අවධාරනය කර ඇත.

පුත්තලම දිස්ත්‍රික්කයේ, නොරෙච්චෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරයේ සේවකයන් 103 ක් ආසාදිතව ඇතැයි කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර තිබේ. එය, වැඩබිම් ආශ්‍රිතවත් කොලඹින් පිට ප්‍රදේශවලත් රෝගය පැතිර ඇතිබව සනාථ කෙරෙන පැහැදිලි සාක්ෂියකි.

පසුගිය දෙවසර තුල හා විශේෂයෙන් ඩෙල්ටා ප්‍රභේදයේ නැගීම තුල කම්කරුවන් ඒකරාශි වන ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතුලු රටපුරා කම්හලවල දහස් ගනනක් සේවකයෝ වසංගතයට ගොදුරු වූහ. දැන් එවැනි කම්හල්වල අහඹු පරීක්ෂනයක් හෝ සිදු වන්නේ නැත. එවන් පසුබිමක අපනයන ප්‍රවර්ධන කලාප ඇතුලු රටපුරා වැඩබිම් ආශ්‍රිතව රෝගය දැනටමත් ව්‍යාප්ත වී ඇති බවට සැක නැත.

වසංගතයේ අන්තරාය මධ්‍යයේ පාසල් විවෘත කිරීම, දරුවන්ගේ හා ගුරුවරුන්ගේ ජීවිත අවදානමේ හෙලන අතරම රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තියකට කොන්දේසි සකසයි. රට තුල බලපත්වන ඉන්ධන හිගය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් සතියට දින තුනක් පැවැත් වූ පාසල් මේ සතියේ සිට දින 5 ම පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් තීන්දු කර තිබේ.

පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන දරුවන් අධ්‍යාපනය ලබන්නේ තදබදයෙන් යුත් පන්ති කාමරවල සහ සීමිත සනීපාරක්ෂක පහසුකම් යටතේ ය. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව ලංකාවේ මේ දක්වා පාසල් දරුවන් 90 ක් කෝවිඩ්-19 ට ගොදුරු වී මියගොස් තිබේ.

අහස උසට නැග ඇති ජීවන වියදම හමුවේ බහුතරයක් කම්කරු පීඩිත මහජනයාට, තම දෛනික වියදම් සොයා ගැනීම සඳහා දරුනු රැකියා කොන්දේසි යටතේ පැය ගනන් වැඩ කිරීමට බල කෙරී ඇත. දින ගනන් තෙල්, ගෑස් පොලිම්වල රස්තියාදු වීම වැනි තත්වයන් යටතේ සෞඛ්‍ය පිලිවෙත් ගැන අවධානය යොමු කිරීමට පවා ඉස්පාසුවක් ඇත්තේ නැත. වැඩබිම්, පාසල්, පොදු ප්‍රවාහන සේවා වෛරස බෝ කරන මධ්‍යස්ථාන බවට පත් වෙමින් තිබේ.

ඛාදනයට ලක්ව ඇති රටේ සෞඛ්‍ය පද්ධතිය, වසංගතයේ සීඝ්‍ර නැග්මක් හමුවේ බිඳ වැටීමේ අන්තරායට යලිත් මුහුන දී තිබේ. රෝහල් තුල පවත්නා සීමා සහිත දැඩි සත්කාර ඒකක එවන් වැඩිවීමකට කිසිසේත් ප්‍රමානවත් නොවේ. රෝහල් කාර්ය මන්ඩලවල හිගය ද දරුනු අර්බූදයකි. ඔවුන්ට නිසි පෞද්ගලික ආරක්ෂන ඇඳුම් කට්ටල නොමැති තත්වයක් තුල වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මන්ඩල රෝගයට ගොදුරු වීමේ කොන්දේසි වැඩෙමින් තිබේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක් වූ සෞඛ්‍ය සේවකයන් කියා සිටියේ දැනටමත් සෞඛ්‍ය කාර්ය මන්ඩල ආසාදනය වෙමින් පවතින බවයි. පරීක්ෂන ඉහල දැමිය යුතු වුවත් රෝහල් තුල ද ඒ සඳහා අවශ්‍ය පරීක්ෂන කට්ටල සීමා සහිත බව ප්‍රකාශ කල ඔවුහු ආන්ඩුවේ නිල දත්ත මගින්, යතා තත්වය වසං කෙරෙන බවට චෝදනා කලහ.

පේරාදෙනිය හා නුවර රෝහල්වල අත්දැකීම විස්තර කල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු කියා සිටියේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ සැලකිය යුතු ප්‍රමානයක් අසාදනයවීම හේතුවෙන් එම පවුල්වල සාමාජිකයන් ද රෝගයට ගොදුරු වී ඇති බවයි. “මා හඳුනන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මාසයක් වසසැති කුඩා දරුවෙක් ද ආසදනය වෙලා තියෙනවා. ආන්ඩුවේ සංඛ්‍යා තනිකර බොරු“ යයි වෛද්‍යවරයා කෝපයෙන් ප්‍රකාශ කලේ ය.

“පරීක්ෂනවලට භාජනය කරන්නේත්, කෝවිඩ් වාට්ටුවට ඇතුලත් කර ගන්නේත් අසාධ්‍ය හෝ බරපතල සංකූලතා පෙන්වන රෝගීන් පමනයි. බොහොමයක් රෝගීන් නිවෙස්වලට යැවෙනවා. ඒ නිසා රෝග ව්‍යාප්තිය තවත් වැඩි වෙනවා“ යයි පුත්තලම දිස්ත්‍රිකයේ මූලික රෝහලක හෙදියක් ප්‍රකාශ කලා ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුලු පාලක පන්තියේ සියලු කොටස් හා මාධ්‍ය සංස්ථාපිතය මහජනයා වසංගතයේ අන්තරායට ඇඳ දැමීමට එකාවන්ව ඒකාබද්ධ වී සිටී. වැඩබිම් හා පාසල් තුල වර්ධනය වන අන්තරාය යට ගසමින් වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම පක්ෂ ආන්ඩුවට පෙර මෙන්ම සහාය දී ඇත.

වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු ලංකාවේ පාලක පන්තියේ සියලූම කොටස් අනුයන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ බයිඩන් පරිපාලනයේ සිට ඉන්දියාවේ මෝදි ආන්ඩුව දක්වා ලොවපුරා ධනපති ආන්ඩු ගෙන යන, මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් අතලොස්සක් මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ තැබීමේ එකම සාපරාධී පිලිවෙතයි.

මේ මස මුල ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබා ගන්නැයි මහජනයාට කුහක කැඳවුමක් කලේ ය. නමුත්, “එන්නත්කරනය එකම පිලිවෙත“ බවටත් “ඔමික්‍රෝන් ප්‍රභේදය වසංගතයේ අවසානය බවටත්“ ඇමරිකාවේ එක්සත් ජනපදය, යුරෝපය හා ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හරහා ලංකාව දක්වා ආන්ඩු හා සෞඛ්‍ය බලධාරින් වැපුරූ අවිද්‍යාත්මක තර්ක නව ප්‍රභේදයේ ජාත්‍යන්තර ව්‍යාප්තිය මගින් යලි කීතු කර තිබේ.

ජනගහනයෙන් අතිශය බහුතරයක් එන්නත්කරනයට ලක් කර ඇති ඇමරිකා එක්සත් ජනපදයේ පසුගිය මාස තුන තුල දෛනික නව ආසාදිතවල සාමාන්‍ය 100,000 ඉක්මවූ අතර සතියක මරනවල සාමාන්‍ය අගය නැවතත් 5,00 ඉක්මවා තිබේ. ආසාදිතයන්ගෙන් පිරී යමින් තිබෙන ජර්මනියේ සතියක් තුල සිදුවන මරන 7,00 ක් දක්වා ඉහල ගොස් ඇති අතර එම අගය පසුගිය වසරේ මේ කාලසීමාවේ සිදු වූ මරන මෙන් දෙලොස් ගුනයක ඉහල යෑමකි.

ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍යය කාර්ය මන්ඩල බරපතල ලෙස කෝවිඩ්-19 රෝගයට ගොදුරු වී ඇති අතර මේ සතියේ එරට සමස්ත මරන සංඛ්‍යාව12,500 පසු කලේ ය. නවසීලන්තයේ පසුගිය දින 28 ට පුද්ගලයන් 2,475 ක් මරනයට පත්ව ඇත. කෝවිඩ් මරන, එරට සමස්ත මරන සංඛ්‍යාවෙන් සියයට 10 ක් දක්වා ඉහල නැග තිබේ.

ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ ආන්ඩු වසංගතය “පාලනය“ කිරීමට ඔවුන් කලින් සිදුකල සීමිත සෞඛ්‍යාරක්ෂන පිලිවෙත අත හැර දමා ඇමරිකාවේ හා යුරෝපයේ මෙන් “රංචු ප්‍රතිශක්තීකරන“ පිලිවෙතට මාරු වූ රටවල් දෙකකි. රංචු ප්‍රතිශක්තිය යනු, බහුතරයක් මහජනයාට රෝගය බෝවීම මගින් ඇති කරන “ප්‍රතිශක්තිය“ මගින් රෝගය ස්වභාවිකව ම පහව යනු ඇත යන අවිද්‍යාත්මක පිලිවෙතකි.

එම සාපරාධි පිලිවෙත වසංගතයේ නව ප්‍රභේද බිහි වීමට හා එන්නත්වල ශක්තිය හීනවී මරන සංඛ්‍යාව ඉහල යාමට හේතුකාරක වී ඇත.

දෛනික පරීක්ෂන සංඛ්‍යාව දහස් ගනනින් ඉහල දැමීම, ආශ්‍රිතයන් හඹා යෑම සහ නිරෝධායනයට යොමු කිරීම, සංචරන සීමා හා අගුලු දැමීම් සමග අවශ්‍ය සියලූම අය එන්නත්කරනට ලක් කිරීම වැනි මූලික සෞඛ්‍යාරක්ෂන පිලිවෙත් අඛන්ඩව ක්‍රියාවේ යොදවන චීනයේ ශූන්‍ය කෝවිඩ් පිලිවෙත වසංගතය මුලුනුපුටා දැමිය හැකි බවට වන ප්‍රබල සාධකයකි.

නමුත් ජාත්‍යන්තරව අන්තර් සම්බන්ධිත නිෂ්පාදන හා සැපයුම් ජාලයකින් ලෝකය එකිනෙක වෙලි පවතින තත්වය තුල දී රෝගය නැවත නැවතත් චීනය තුල ඉස්මතු වී ඇති අතර වර්ධනය වන ලෝක අර්ථික අර්බූදය මගින් චීනය තුල ක්‍රියාත්මක අගුලු දැමීම් නවතා දමන ලෙස මහ සංගතවලින් එල්ලවන පීඩනය වර්ධනය වෙමින් තිබේ.

පැහැදිලිව ඉස්මතු කෙරී ඇත්තේ, මහජනයා අත්විඳින ආහාර අනාරක්ෂිතභාවය, විරැකියාව, අධ්‍යාපන සෞඛ්‍යය ඇතුලු සුභසාධන කප්පාදුව, පාරිසරික ව්‍යසනය, වසංගත පැන නැගීම හා වර්ධනය වන තුන්වන ලෝක යුද්ධය වැනි එකඳු මූලික ගැටලුවකට හෝ ධනේෂ්වර ක්‍රමය තුල හා ධනපති ජාතික රාජ්‍ය පද්ධතිය තුල කිසිදු විසඳුමක් නොමැති බවයි.

Loading