එල් නිනෝ හේතුවෙන් ලංකාවේ දහස් සංඛ්‍යාත ජනයා ගං වතුරෙන්, නාය යාමෙන් හා නියඟයෙන් බැට කති

ශ්‍රී ලංකාවේ දස දහස් සංඛ්‍යාත ජනයා අසාමාන්‍ය දේශගුනික තත්වයන් හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ව සිටිති. එක් පසෙකින් දැඩි වර්ෂාව මගින් ඇති කරන ගංවතුර සහ නායායම්වලට ද, අනෙක් පසින් දැඩි නියඟයට ද මුහුන දීමට ඔවුන්ට සිදු ව ඇත. 

උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පලාත්වල මෙන් ම හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල 81000 කට වැඩි පිරිසක් නියඟයෙන් සෘජු ව ම බලපෑමට ලක් ව සිටිති. ඒ අතර ම, සැප්තැම්බර් මැද සිට වර්ධනය වෙමින්  පවත්නා අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 16 ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 66කට ගංවතුර සහ නාය යාමේ බලපෑම් ඇති වූ බව ආපදා කලමනාකරන මධ්‍යස්ථානය (ආකම) වාර්තා කලේ ය. 

එම වාර්තාවන්ට අනුව, අධික වර්ෂාවේ බලපෑමට ලක් ව ඇත්තේ, දකුනු, සබරගමු සහ මධ්‍යම කඳුකර ප්‍රදේශයන් ය. නාය යෑම් අවදානම නිවේදනය කරන ලද රතු මට්ටමේ පවතින ප්‍රදේශ වනුයේ, නුවරඑලිය දිස්ත්‍රික්කයේ; නෝර්වුඩ්, අඹගමුව, කොත්මලේ, සහ නැගෙනහිර කොත්මලේ; මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ; කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ය. තවත් ප්‍රදේශ ගනනාවක් ම අඩු මට්ටමේ නාය යෑම එනම් 1 මට්ටමේ සහ 2 මට්ටමේ පවතින බව නිවේදනය කර ඇත. 

මෙය වර්ධනය වෙමින් පවත්නා එල් නිනෝ තත්වයේ ප්‍රතිඵලයක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එල්නීනෝ තත්වයක් යනු, වෙලඳ සුලං දුර්වල වීම හෝ ඒවායේ දිශාව වෙනස් වීම හේතුවෙන්, පැසිෆික් සාගරය තුල උනුසුම් ජලයෙන් සමන්විත විශාල ප්‍රදේශයක් අසාමාන්‍ය ලෙස ඇති වීමයි. මෙම සංසිද්ධිය සමස්ත ලෝකයේ ම වායුගෝලීය සංසරන රටාවන් කඩාකප්පල් කොට දේශගුනික තත්වයන් බලගතු ලෙස වෙනස් කරයි. මධ්‍යම පැසිෆික් සාගරයේ උෂ්නත්වය දැනටමත් සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 2.2කින් ඉහල ගොස් ඇති අතර, නොවැම්බර් වන විට එය තවත් සෙල්සියස් අංශක 1.4 කින් ඉහල යා හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත. 

මීට කලින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ලිපියක් මෙසේ සඳහන් කලේ ය:

“ශ්‍රී ලංකාව තුල එල් නිනෝ තත්වය දෙයාකාරයකින් සිදු වෙමින් පවතී. එක් අතකින්, උනුසුම් සාගර ජලය ඉන්දියානු සාගරයේ සිට පැසිෆික් සාගරය දෙසට මාරු වීමෙන් දිවයින අවට මුහුදු මතුපිට උෂ්නත්වය පහල ගොස් වර්ෂාපතනය අඩු වී නියඟය ඇති වේ. අනෙක් අතට, ඉන්දියානු සාගර ද්වි-ධ්‍රැවය (Indian Ocean Dipole) නම්න් හඳුන්වන, ඉන්දියානු සාගරයේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ අතර සාගර උෂ්නත්වයේ සිදු වන දෝලනය හේතුවෙන් ඉන්දියානු සාගරය අවට රටවල වර්ෂාපතන සහ කාලගුනික රටා වෙනස් වී, සාමාන්‍ය වැසි සමයන්හි වැඩි කාලයක් නියඟය පැවතී, වැසි සමය අවසාන භාගයේ හිටිවන ම අධික වර්ෂාපතනයන් ඇති වේ. එහි ප්‍රතිඵලය වන්නේ දැන් පුරෝකථනය කර ඇති රුදුරු තත්වයන් ය: දැඩි නියඟයෙන් පසු දැඩි ගංවතුර.”

සහස්‍ර ගනනාවක් පුරා, වසර දෙකත් හතත් අතර කාල පරාසයන්හි දී අක්‍රමවත් ලෙස ඇති වී තිබෙන එල්නීනෝ සංසිද්ධිය ගෝලීය උනුසුම හේතුවෙන් දැන් නිරන්තර ව සිදු වෙමින් පවතින අතර, එය වඩාත් තීව්‍ර සහ වඩාත් විනාශකාරී වී ඇත. ගෝලීය උනුසුම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය වන ෆොසිල ඉන්ධන වෙනුවට විකල්ප බල ශක්ති උත්පාදන ක්‍රමයන් වෙත මාරු වීමෙන් මෙම තත්වය පාලනය කල හැකි නමුත්, එය දැවැන්ත ඉන්ධන සංගතයන්ගේ සුවිසල් ලාභයට එරෙහි ව පිහිටා සිටින බැවින් ධනපති ක්‍රමය තුල සාක්ෂාත් කල නොහැක්කකි. 

එල් නිනෝ තත්වයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවේ සැලකිය යුතු කොටසක් පසු ගිය වසරේ ඇති වූ දිට්වා සුලි කුනාටුවට මෙන් ම ඉන් අනතුරු ව ඇති වූ වැසි සහ ගංවතුර ආපදාවන්ට ගොදුරු වූ අය වන අතර ඔවුන්ට ඒවායින් ගොඩ ඒමේ ලා කිසිදු පිලිසරනක් ලැබී නොමැත.

ආකමයේ තත්ත්ව වාර්තාවට අනුව, 2026 අප්‍රේල් 17 වන විටත් දිට්වා සුලිකුනාටුවෙන් අවතැන් ව සිටි පුද්ගලයින් 151,733 දෙනෙකු සිටි අතර, ඉන් පුද්ගලයින් 150,329 දෙනෙකු නිල රැකවරන මධ්‍යස්ථානවලින් බැහැර ව සත්කාරක පවුල් හෝ ප්‍රජාවන් සමඟ ජීවත් වන අතර, 1,404 දෙනෙක් ආරක්ෂිත මධ්‍යස්ථාන 20ක රැඳී සිටිති. එහෙත් ඔවුන්ගෙන් කොපමන සංඛ්‍යාවක් වත්මන් කාලගුනික විපර්යාසයක් නිසා බලපෑමට හසු ව ඇත්දැයි නිවැරදි සංඛ්‍යා ලේඛන නොමැත. 

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එල්නිනෝ තත්ත්වයෙන් මහජනතාවට ඇති වන ගැටලු විසඳන බවට  පොරොන්දු මාලාවක් දී ඇත. 2026 ජුනි 11දා, කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කලමනාකරන මධ්‍යස්ථානය ඇතුලු අදාල ආයතනවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවක දී, “දිට්වා සුලි කුනාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඇති වූ අභියෝගවලට මුහුනදුන් ආකාරයට ම … නිසි සැලසුම් ඔස්සේ කටයුතු කිරීමෙන්, ඇති විය හැකි ඕනෑ ම තත්ත්වයකට මුහුන දීමට හැකි වනු ඇති බවට ද විශ්වාසය පල කල” බව මාධ්‍ය වාර්තා කලේ ය.

2025 නොවැම්බර් මාසයේ දිට්වා සුලි කුනාටුවෙන් පසු ව, ජීවනෝපාය, නිවාස සහ යටිතල පහසුකම් සඳහා යැයි කියමින්, රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. එ මෙන් ම, ප්‍රතිසාදන ව්‍යාපෘති 1,028ක් සහ පලාත් ව්‍යාපෘති 38ක් සඳහා යැයි නම් කරමින්, 2026 ජුනි මාසයේ දී වාර්ෂික අයවැය මගින් මූල්‍ය පහසුකම් සලසමින්, පිලිවෙලින් රුපියල් බිලියන 515.46ක සහ රුපියල් බිලියන 102.22ක ප්‍රතිපාදන  කැබිනට් මන්ඩලය විසින් අනුමත කල බව වාර්තා විය.  

එ මෙන් ම, ඔරොත්තු දෙන ආකාරයේ ප්‍රතිසංස්කරන කටයුතු, ජීවනෝපාය සහ නිවාස සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ඒඩීබී) ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ආන්ඩුව විසින් ලබා ගන්නා ලදී.

කෙසේ වෙතත් මේවා මහජනයාගේ ඇස්වලට වැලි ගැසීමට කෙරෙන පාරම්බෑම් පමනක්  බව විශේෂඥයින්ගේ මතවලින් සහ අදාල ආයතනවල ප්‍රකාශවලින් පැහැදිලි වේ. සැප්තැම්බර් 6 දා ද මෝර්නින් පුවත්පතේ වාර්තාවකට අනුව,  දිට්වා සුලි කුනාටුවෙන් පසු ආරම්භ කරන ලද දිවයින පුරා ගංවතුර අවදානම් සිතියම්ගත කිරීමේ කටයුතු වලින් මේ වන විට සම්පූර්න කර ඇත්තේ (වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යාව සහ ආපදා කලමනාකරන අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබන්ඩාරට අනුව) සියයට 20කට ආසන්න ප්‍රමානයක් පමනි.  

සම්පත්වල සීමිත බව සහ පුහුනුව ලැබූ කාර්ය මන්ඩල හිඟය මෙම ක්‍රියාවලිය මන්දගාමී කරන ප්‍රධාන අභියෝග ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන බව වාර්තාව තව දුරටත් පෙන්වා දුන්නේ ය.

අවදානම් සහිත පෙදෙස් වල ජීවත් වන පීඩිත ජනතාව ද ආන්ඩුව විසින් අතහැර දමා ඇති බව,  ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් පසුගිය මාසයේ අග දී මධ්‍යම පලාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ ද, නුවරඑලිය දිස්ත්‍රික්කයේ ද කරන ලද ගමන්වල දී දැන ගන්නට ලැබුනි. 

මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි බව්වාගම දී, අගෝස්තු මස ආපදාවන්ට මුහුන දීම හේතුවෙන් සති හතරක් පමන රැඳවුම් කඳවුරක ලැගුම් ගෙන සිටි පවුල් කීපයක් මුන ගැසිනි.

මෙහි දී ඉරේෂා නම් වූ කාන්තාවක් මෙ සේ අදහස් පල කලා ය.

“... පසුගිය දෙවතාවෙදි ම ආව ගංවතුරට අපි අසු උනා, දැන් ඉන්නෙ ඉඹුල්පිටිය ඉස්කෝලෙ. ආයෙමත් හදා ගත්තු බඩු-මුට්ටු වතුරට ගහ ගෙන ගියා. ආන්ඩුව පොරොන්දු දෙනවා ඉඩම්, ගෙවල් දෙනවා කියල. ඒත් ලැබෙන දෙයක් නම් නෑ. ඒජීඒ ඔෆිස් එකෙන් කෑම එහෙම නම් සපයනවා, ඒකෙන් වැඩක් නෑ” යැයි පැවසූ ඇය තමන්ගේ දැවෙන අවශ්‍යතාවය කුමක්දැයි පැහැදිලි කලා ය: “අපට අවශ්‍ය අනතුරක් නැති ව දරුවන් එක්ක ඉන්න තැනක් ලබා ගන්න එකයි.” 

රැඳවුම් කඳවුර ගැන පැහැදිලි කරමින් ඇය මෙසේ කීවා ය: “මෙතන පවුල් 8ක් ඉන්නවා. අපි මේ ප්‍රශ්න ගැන කතා කරාට වැඩක් නෑ, කිසි ම විසඳුමක් නෑ.” දිසානායක ආන්ඩුව කෙරෙහි ද තමන්ගේ පිලිකුල ප්‍රකාශ කරමින් ඇය පැවසුවේ “අපිත් ඡන්දෙ දුන්න මේ ආන්ඩුවට. පොඩි මිනිහගෙ ආන්ඩුවක් හදනවා කීවට, දැන් පේන්නෙ දුප්පත් මිනිහා ගැන බලන්නෙ නෑ … කොයි ආන්ඩුවත් එකයි. ...”යනුවෙනි.

මෙහි දී ම මුනගැසුනු චන්ද්‍රානි තමා මුහුන දී සිටින තත්වය පැහැදිලි කලේ මෙසේ ය: “ලමයින්ගේ පොත්-පත් ,ඇඳුම් පැලඳුම් ඔක්කොම ගහගෙන ගියා. අපට ගෙවල්වලට යන්න විදිහක් නෑ. මේ ගම්මාන කීපය ම වතුරට යට උනා. මෙතන ඉන්න අය අවුරුදු 30ක් 15ක් වාගේ කල් ඉඳල මේ ගඟ අද්දර පදිංචි අය. අපි වරින් වර අවුරුද්දේ මේ කාලෙට මේ විපත්තියට අහු වෙනවා. දැන් එය නො කඩවා සිදු වෙනවා. ජීවිත ගැන කිසිම විශ්වාසයක් නෑ. අපට මැටි ගහගෙන හරි ඉන්න තැනක් ලැබෙනවා නම් හොඳට ම ඇති.”

අර්ධ වශයෙන් හානියට පත් නාවලපිටිය චන්ද්‍රානිගේ නිවස

සෑම ආන්ඩුවක් විසින් ම තමන් රවටනු ලබන බව ඇය  කෝපයෙන් සඳහන් කලා ය. “නිලධාරීන් දැන් ඇවිත් උපදෙස් දෙනවා; ඉවත් වෙලා ඉන්න කියනවා. අපි කොහෙ කියලා යන්න ද?  මේ තත්ත්වය ඉවර වුනා ම වැස්ස වගේ ම මේ කතාත් ඉවර වෙනවා. අපි තනි වෙනවා. එච්චරයි...” ඈ පැවසුවා ය.

ආන්ඩුවේ ජාම බේරා ගැනීමේ වැඩ ගැන කතා කරමින් සුරේනි මෙසේ කියා සිටියා ය: “... ඒජීඒ ඔෆීස් එකෙන් ටෙන්ට් එකක් දුන්නා. එච්චරයි. මේ වගේ කුනාටු ඇති වෙන කොට අපි සූදානමින් ඉන්න ඕනැ, ගෙදරින් පැන ගන්න. හරියට සත්තු වගේ, … අපිත් හැමදා ම මේ  දේශපාලකයින්ට රැවටෙනවා. අන්තිමේට අපි මහමඟ එච්චරයි වෙන්නෙ.” 

පැවැති ආන්ඩු මෙන් ම දිසානායක ආන්ඩුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් මත සමාජ සුභසාධනය කප්පාදු කිරීමෙන් දුගී ජනතාවන් අත්හැර දමන ලද බව වාර්තාකරුවන් විසින් පැහැදිලි කල විට ඇය මෙසේ කීවා ය: “ඔබ කියන විදිහට මේ හැම ආන්ඩුවක් ම, මූල්‍ය අරමුදලට ඕනෑ විදිහට තමයි කටයුතු කරන්නෙ. ඒවා අපටත් පේනවා. දැන් විදුලිබල මන්ඩලය විකුනලා. ඒවගෙ නීති වැඩි වෙලා. තිබ්බට වඩා අමාරුයි. පොඩ්ඩක් (විදුලි බිල) ගෙවන්න පරක්කු උනොත් විසංධි කරනවා. ඔය කියන ආකාරයට ලාභය සඳහා තමා ඒවා කටයුතු කරන්නෙ.”  

වර්ධනය වන ලෝක යුද තත්ත්වය ගැන කතා කරමින් ඇය කීවේ, “යුද්ධයටත් අපි එකඟ නෑ, ලෝකය ම විනාශ වේවි. මේ හැම දේ ම කම්කරුවන් එක්සත් ව විසඳිය හැකි නම් හොඳයි. ...” යනුවෙනි.

නාය යෑමේ බලපෑමට හසු වූ මස්කෙලිය ගාට්මෝර් තේ වතු යායට ගිය වාර්තාකරුවෝ, සැප්තැම්බර් 20 වැනි දා, එම වත්තේ ගල්කන්ද කොටසේ නාය යෑමේ අවදානමක් හේතුවෙන්, වතු කම්කරු පවුල් හයකට අයත් පුද්ගලයන් 24 දෙනෙක් එම ප්‍රදේශයෙන් ඉවත් කර වතු වෛද්‍යවරයාගේ නිල නිවසේ තාවකාලික ව රඳවනු ලැබ ඇති බව දැක ගත්හ.

ගාට්මෝර් වත්තේ අවතැන් වූවෝ - 2026 සැප්තැම්බර්

මෙහි දී මුනගැසුනු ඊ. යෝගරත්නම් සහ ඔහුගේ බිරිඳ වන එස්. සෙල්වකුමාරි පැවසුවේ, 2014 වසරේ සිට නාය යෑම් අවදානම ගැන පෙර ආන්ඩුවල ඇමති ධූර හොබවමින් සිටි ලංකා වතු කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) සහ ජාතික කම්කරු සංගමය (එන්ඩබ්ලිව්සී) යනාදියෙහි දේශපාලකයින්ට පැමිනිලි කල ද පල රහිත වූ බවයි.

“පසු ගිය ආන්ඩු වලට වගේ ම මේ ආන්ඩුවටත් අපි මේ පිලිබඳ ව අවස්ථා කිහිපයක දී ම කරුනු ඉදිරිපත් කර තියෙනවා. අවුරුදු 12ක් ගියත්, වතු පාලනාධිකාරියවත් බලයට පත් වෙච්ච කිසි ම ආන්ඩුවක්වත් ආරක්ෂිත ප්‍රදේශයක නිවාස හදල දෙන්න කිසි ම පියවරක් අරගෙන නැහැ” යැයි යෝගරත්නම් පැවසී ය.

නිවසක් සපයා නොදීම සඳහා කූඨ උපක්‍රම භාවිතා කරන ආකාරය ගැන ඔහු තවදුරටත් පැහැදිලි කලේ ය: “අපි මේ ගැන ග්‍රාම නිලධාරීවරයාටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් දැනුම් දුන්න. එතොකට, ඒගොල්ල කියන්නේ අපි පෞද්ගලික වත්තක පදිංචි වෙලා ඉන්න නිසා ඒ සම්බන්ධයෙන් මොනවත් කරන්න බැහැ කියල.”

එස්. සතියා කීවේ ඔවුන් අවුරුදු 12ක් තිස්සේ පවුල් 24කට ආරක්ෂිත ස්ථානයක නිවාස ඉදි කර දෙන ලෙස ඉල්ලා සටන් කලත් කිසිදු විසඳුමක් නොලැබුනු බවයි.  “2016 අවුරුද්දේ ඒගොල්ල (රජයේ නිලධාරීන්) වත්තේ තිබිච්ච කැලෑබද ප්‍රදේශයක කූඩාරම් හදලා ඒවායේ පදිංචි වෙන්න කියල අපට කිව්ව. අපි ඒවාට ගියාට ප්සසෙ කරන්ට් එකවත් අනෙක්  මූලික පහසුකම් නැති නිසාත් තද ශීතල දරා ගන්න බැරි නිසාත් අපිට ආයෙ ම මේ අනතුරුදායක ලයින් කාමරවලට එන්න සිද්ධ වුනා” යැයි සතියා කීවා ය. 

මස්කෙලිය අප්කොට් හි තේ වතු නිවාසවල ජීවත් වන පවුල් වලට ද  සෑම වැසි තත්ත්වයක දී ම ඇති වන ගංවතුර හේතුවෙන් තාවකාලික කඳවුරුවල ජීවත් වීමට සිදු වී ඇත. ඔවුහු නැවත වතාවක් තම නිවෙස් වෙත පැමිනෙන විට දැක ගන්නට ලැබෙන්නේ තමා සතු ව තිබූ සියලු ම දෑ විනාශ වී ඇති ආකාරයයි. 

එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, පසුගිය දිට්වා ව්‍යසනයෙන් පුද්ගල මරන 646ක් සහ අතුරුදහන් වීම් 173ක් සිදු ව ඇත. මිලියන 2.2කට අධික පිරිසක් පීඩාවට ලක් ව ඇත. නිවාස 129,435ක් අර්ධ හෝ පූර්න හානියට පත් ව ඇත. එය රටේ සමස්ත නිවාස තොගයෙන් සියයට 2.1 ක ප්‍රතිශතයකි. නිවාස සම්පූර්නයෙන් ම තනා දෙන බවට ජනාධිපති දිසානායක ඇතුලු ජවිපෙ/ජාජබ නායකයින් කයිවාරු ගැසුව ද ව්‍යසනයෙන් වසරකට ආසන්න කාලයක් ගත වී ඇතත් දහස් සංඛ්‍යාත ජනයාට කිසිදු හව්හරනක් ලැබී නැත.

ධනේශ්වර ලාභ පද්ධතියෙන් පැන නංවන දේශගුන විපර්යාස සහ එමගින් ජනනය වන ආපදා තත්ත්වයන් ධනේශ්වර ජාතික රාජ්‍ය රාමුව තුල විසඳාගත නොහැක. ලංකාවේ මෙන්ම අනෙකුත් රටවල ද ධනපති පන්තීන් ද, ඔවුන්ගේ ශාස්ත්‍රාලිකයින් ද වෙර දරන්නේ මෙවැනි ආපදාවන් හුදෙක් ස්වභාවධර්මය විසින් ඇති කරන විපත් බවට ලඝු කරමින් ඒවා ධනවාදයේ නිර්මිතයන් බව වසන් කිරීමට ය.

Loading