[මෙය, A poem from a worker for Bogdan Syrotiuk: “When Truth Becomes Inconvenient” යන මැයෙන්, 2026 අගෝස්තු 25 දා ඉංග්‍රිසියෙන් පල වූ ලිපියේ පරිවර්තනයි.]
මීට සති දෙකකට පෙර, සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් රාජධානිය) විසින් උතුරු ලන්ඩනයේ වුඩ් ග්‍රීන් හි සිදු කල උද්ඝෝෂනයක් අතරතුර, බල්ගේරියාවේ කම්කරු කාන්තාවක වන නාගීස්, බොග්ඩාන් සයිරොටියුක්ගේ නඩුව පිලිබඳව පක්ෂ සාමාජිකයන් සමඟ කතා කිරීමට නතර වූවා ය.
ජාතිකවාදයට හා යුද්ධයට එරෙහි ව රුසියානු සහ යුක්‍රේන කම්කරු පන්තියේ එකමුතු ව ඉල්ලා සිටින ලිපි ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහා ලිවීම හේතුවෙන් බොග්ඩාන්ට වසර 15ක සිර දඬුවමක් නියම කර ඇත.
නාගීස් පත්‍රිකා මිල දී ගෙන, සෙලෙන්ස්කි පාලනය විසින් බොග්ඩාන් සිරගත කිරීම පිලිබඳ වැඩිදුර කියවීමට පත්‍රිකා රැගෙන ගියා ය. කම්කරු පන්තිය ජාත්‍යන්තර ව එක්සත් කිරීම සඳහා බොග්ඩාන්ගේ ධෛර්ය සම්පන්න සටනට ඇය උනුසුම් ලෙස ප්‍රතිචාර දැක්වූවා ය.
ඩේවිඩ් නෝර්ත් විසින් රචිත 'සියොන්වාදයේ තර්කනය' සහ 'ලොව පුරා තරුනයිනි, යුක්‍රේන යුද්ධය නැවැත්වීමට මහජන ව්‍යාපාරයක් ගොඩනඟන්න!' යන කෘති ඇය මිල දී ගත්තා ය. ස්ටැලින්වාදයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අරගලය පිලිබඳ සහෝදරවරුන්ගේ විස්තර කිරීමට ඇය මහත් උනන්දුවෙන් සවන් දුන්නා ය.
සතියකටත් අඩු කාලයකට පසු, නාගීස් බොග්ඩාන් සයිරොටියුක් වෙනුවෙන් පහත කවිය එවන ලදී. ඇය තරුන වියේ දී අන්තර්ජාලයේ ඇගේ ලියවිලි පල කලා ය. ලන්ඩනයේදී, ඇය ජීවත්වීම සඳහා, වැඩ ලැබෙන පැය ගනනට පමනක් වැටුප් ලබන රැකියාවල (zero-hours contract jobs) නිරත වේ.
සත්‍යය අපහසුතාවයක් වන විට
දේශපාලකයෝ ජනතාව ගැන කතා කරන්නේ ඔවුන්ට ඡන්ද අවශ්‍ය වූ විටය.
මාධ්‍යය ජනතා අවශ්‍යතා නාමයෙන් කතා කරන්නේ ජනතාවගේ විශ්වාසය අවශ්‍ය වූ විට ය.
නමුත් සාමාන්‍ය ජනතාව අපහසු ප්‍රශ්න ඇසීමට පටන් ගත් විට, ඔවුන් බොහෝ විට 'බොලඳ,' 'භයානක,' 'රුසියානු ගැති,' 'අන්තවාදී,' හෝ හුදෙක් 'දේශපාලනයේ සංකීර්නත්වය නොතේරෙන' අය ලෙස ලේබල් ගසනු ලැබේ.
සමහර විට සාමාන්‍ය ජනතාවගේ දැනුම පිලිබඳව තක්සේරු කෙරෙන ප්‍රමානයට වඩා වැඩියෙන් ඔවුන් දේවල් තේරුම් ගනී.
යුද්ධයක් ආරම්භ වූ විට, ධනවතුන් තම දරුවන් යුද පිටියේ මිය යාමට නොයවන බව සමහර විට ඔවුහු තේරුම් ගනිති.
රාජ්‍යයන් හමුදා වියදම් වැඩි කරන විට, යමෙකුට එහි බිල ගෙවීමට සිදුවන බව සමහර විට ඔවුහු තේරුම් ගනිති.
එක් ප්‍රචාරක ආකාරයක් තවත් එකකින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් අප සත්‍යය සොයාගත් බව අදහස් නොවන බව සමහර විට ඔවුහු තේරුම් ගනිති.
සියල්ලට ම වඩා, එක් රටක කම්කරුවකුට තවත් රටක කම්කරුවකුට වෛර කිරීමට ස්වාභාවික උනන්දුවක් නොමැති බව සමහර විට ඔවුහු තේරුම් ගනිති.
මම බොග්ඩාන් සයිරොටියුක් සමඟ සිටින්නේ එබැවිනි
…
යුක්‍රේන කම්කරුවන් ආරක්ෂා කිරීම යනු රුසියානු කම්කරුවන්ට වෛර කිරීම නොවේ.
රුසියානු කම්කරුවන් ආරක්ෂා කිරීම යනු පුටින්ට සහාය දැක්වීම නොවේ.
නේටෝවට විරුද්ධ වීම යනු ස්වයංක්‍රීය ව රුසියානු රාජ්‍යයට සහාය දැක්වීම නොවේ.
යුක්‍රේන ආන්ඩුව විවේචනය කිරීම යනු යුක්‍රේන ජනතාවට හානියක් ප්‍රාර්ථනා කිරීම නොවේ.
අප මෙම වෙනස හඳුනා ගැනීමට සමත් විය යුතු ය.
මක් නිසා ද යම් පුද්ගලයකුට දේශපාලන අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කල හැකි නම්, එය සිදු කෙරෙනුයේ බලයේ සිටින්නන්ට අපහසුතාවයක් වන නිසා පමනක් නම්, එවිට ගැටලුව තවදුරටත් එක් පුද්ගලයකු ගැන පමනක් නොවේ.
ගැටලුව අප සියලු දෙනාගේ සිතීමේ, ප්‍රශ්න ඇසීමේ සහ සිද්ධීන් පිලිබඳ නිල අනුවාදය විවේචනයෙන් තොර ව පිලිගැනීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ගැන සැලකිලිමත් වේ.
කම්කරුවෝ සතුරන් නොවෙති
ඔවුන් පාලනය කරන කෝටිපතියන්, කතිපයාධිකාරීන් සහ දේශපාලන ප්‍රභූන් සමඟ ඇති පොදු බවට වඩා බොහෝ වැඩියෙන්, යුක්‍රේන සහ රුසියානු කම්කරුවන්ට එකිනෙකා සමඟ පොදු බවක් ඇති බව මම විශ්වාස කරමි.
එක් කම්කරුවෙක් තම වැටුප ගැන කරදර වෙයි.
තවත් කෙනෙක් ගෙවල් කුලිය ගෙවිය හැකිදැයි කරදර වෙයි.
තවත් කෙනෙක් තම රැකියාව අහිමි වේ යැයි බිය වෙයි.
තවත් කෙනෙක් තම දරුවන් පාසලට යවා ඔවුන් යුද්ධයෙන් දිවි බේරා ගෙන ආපසු එනු ඇතැයි යාච්ඤා කරයි.
මේවා සාමාන්‍ය ජනතාවගේ සැබෑ ගැටලු ය.
බලයේ සිටින්නන්ගේ ජාතික සටන් පාඨ නොවේ.
ආයුධ සමාගම්වල ලාභ නොවේ.
මහා බලවතුන්ගේ භූ දේශපාලනික ක්‍රීඩා නොවේ.
මිනිස් ජීවිතය කේවල් කිරීමේ භාන්ඩයක් ලෙස නොසැලකිය යුතු ය.
බොග්ඩාන් සයිරොටියුක් වැනි තරුනයෙක්, පාලක ප්‍රභූන්ගේ අවශ්‍යතා සඳහා පෙරමුන දෙපස සිටින කම්කරුවන් එකිනෙකා මරා නොදැමිය යුතු බව පැවසීමට උත්සාහ කරන විට, මට උදාසීන ව සිටිය නොහැක.
ඊට සපුරා ප්‍රතිවිරුද්ධ ව මම ඔහු සමඟ සිට ගනිමි.
සත්‍යය භීතියට වඩා ශක්තිමත් විය යුතු ය
අපට සෑම දෙයක් ගැන ම එකිනෙකා සමඟ එකඟ නොවිය හැකි ය.
අපට විවිධ දේශපාලන විශ්වාස තිබිය හැකි ය.
අප විවිධ ආර්ථික ක්‍රම, ආගම් සහ දර්ශන විශ්වාස කල හැකි ය.
නමුත් අපට අවම වශයෙන් එක් පොදු ප්‍රතිපත්තියක් තිබිය යුතු ය:
බලයේ සිටින්නන් අප්‍රිය කරන දේශපාලන අදහසක් ප්‍රකාශ කිරීම නිසා පමනක් කිසිදු පුද්ගලයකුට දඬුවම් නොකල යුතු ය.
ඔබට කතා කිරීමට අවසර ඇත්තේ බලයේ සිටින්නන් ඔබ සමඟ එකඟ වන විට පමනක් නම භාෂනයේ නිදහස සැබෑ නිදහසක් නොවේ.
සත්‍යයට ප්‍රශ්න තහනම් කිරීමට අවශ්‍ය නොවේ.
සත්‍යය විවේචනයට බිය නොවේ.
සත්‍යයට වාරනය අවශ්‍ය නොවේ.
බොග්ඩාන් සයිරොටියුක්ගේ නඩුව වැදගත් වන්නේ එබැවිනි—එය වැදගත් වනුයේ ඔහුට පමනක් නොවේ. එය මිනිස් ජීවිතයට වටිනාකමක් ඇතැයි විශ්වාස කරන සෑම පුද්ගලයකුට ම වැදගත් වේ.
ප්‍රභූන්ගේ අවශ්‍යතා සඳහා යුද්ධයෙන් මිය යාමට අකමැති සෑම කම්කරුවකුටම, අපහසු ප්‍රශ්න ඇසීමට අවශ්‍ය සෑම මාධ්‍යවේදියකුට ම.
දේශපාලනය වෙනුවෙන් සමාජය කැප කරනු ලැබීම වෙනුවට, දේශපාලනය සමාජයට සේවය කල යුතු බව විශ්වාස කරන සෑම පුද්ගලයකුට ම, එම නඩුව වැදගත් ය.
නිහඬතාවයට කාලයක් නැත.
එක් පුද්ගලයකුට ලෝකය වෙනස් කල හැකි දැයි මම නොදනිමි.
නමුත් සෑම පුද්ගලයකුට ම තේරීමක් කල හැකි බව මම දනිමි.
නිහඬ ව සිටීම හෝ කතා කිරීම,
බිය වීම හෝ හඬක් නොමැති ව අත් හරින ලද කෙනෙකු ආරක්ෂා කිරීම,
සිදුවීම්වල පහසු අනුවාදය පිලිගැනීම හෝ සත්‍යය සෙවීම,
අතරින් මම දෙවැන්න තෝරා ගනිමි.
මම බොග්ඩාන් සයිරොටියුක්ට සහාය දක්වන්නේ එබැවිනි.
යුක්‍රේන සහ රුසියානු කම්කරුවන් සතුරන් නොවිය යුතු බව මම විශ්වාස කරන්නේ එබැවිනි.
යුද්ධය සාධාරනීකරනය කරන්නේ කවුරුන් ද යන්න නොතකා එයට විරුද්ධ වීමේ අයිතිය ජනතාවට තිබිය යුතු බව මම විශ්වාස කරන්නේ එබැවිනි. එය අපහසුතාවයක් වන විට පවා, සත්‍යය පැවසිය යුතු බව මම විශ්වාස කරන්නේ එබැවිනි.
බොරු සඳහා තවත් කාලයක් නැත.
නිහඬතාවය සඳහා තවත් කාලයක් නැත.
සෑම පුද්ගලයෙකු ම වැදගත් ය. සෑම ජීවිතයක් ම අනර්ඝ ය.
සත්‍යය පරීක්ෂාවට ලක් කරන විට, අප සෑම කෙනෙක්ම අප සිටින්නේ කුමන පැත්තේදැයි තීරනය කල යුතු ය.
කුබ්රත්හි නාගීස්
බල්ගේරියාව
