[මෙය Bernie Sanders’ AI letter: A bankrupt appeal to the oligarchs යන මැයෙන් 2026 අගෝස්තු 14 දින ඉංග්‍රීසි භාෂාවෙන් පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
අගෝස්තු 10 වන දින, සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්, ඕපන්ඒඅයි (OpenAI) හි සෑම් අල්ට්මන්, ඇන්ත්‍රොපික් හි ඩාරියෝ අමඩෙයි සහ මෙටා හි මාර්ක් සකර්බර්ග් වෙත ලිපියක් යවමින්, “ඒඅයි සංවර්ධනය කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස” සහ “මිනිසුන් විසින් පාලනය නොකරන යන්ත්‍ර තැනීම නවත්වන ලෙස” ඉල්ලා සිටියේ ය; ඒ සමගම එම ඉල්ලීම ප්‍රවර්ධනය කරන වීඩියෝවක් ද නිකුත් කලේ ය.
මෙම ලිපිය තුල සැන්ඩර්ස්ගේ දේශපාලනයේ නෛසර්ගික ගති ලක්ෂන අන්තර්ගත වේ. එය කිසිවෙකුට කිසිවක් ගැන කිසිදු අධ්‍යාපනයක් ලබා නොදෙන, හුදු ජනප්‍රියභාවය අරමුනු කරගත්, හිස් වාචාල කතා වලින් පිරී තිබූ එකකි. බිය ඇවිස්සීම අරමුනු කර තිබූ එම ලිපිය තාක්ෂනය විසින් මතු කරන ‘එය අයිති කාට ද? එය පාලනය කරන්නේ කවුරුන් විසින්ද? එය සංවර්ධනය කරනු ලබන්නේ කාගේ අවශ්‍යතා අනුවද?’ ආදි සෑම මූලික ප්‍රශ්නයක්ම වසන් කරයි.
සෑන්ඩර්ස්ගේ ලිපියෙන් කෙනෙකුට උපකල්පනය කල හැක්කේ, පුද්ගලයන් රසායනාගාර තුල මාරාන්තික නව රෝග කාරක විෂබීජ නිර්මානය කරන බවයි; සැන්ඩර්ස් මෙහිදී කොවිඩ්-19 හි මූලාරම්භය පිලිබඳ චීන-විරෝධී කුමන්ත්‍රන න්‍යායේ ප්‍රවර්ධකයින්ට ගැලපෙන වාචාල බාසාවක් භාවිතා කරයි.
ඇත්ත වශයෙන්ම මෙහිදී සිදුවූයේ, ප්‍රධාන විද්‍යාත්මක ඉදිරි පිම්මක් පැනයාම යි. අගෝස්තු 6 වන දින, ස්ටැන්ෆර්ඩ් හි බ්‍රයන් හීගේ රසායනාගාරයෙන් සහ ආර්ක් ආයතනයේ (Arc Institute) ජනක ආකෘතියක් (generative model) මගින් නිර්මානය කෙරුනු පලමු වෛරස් ජෙනෝම (viral genomes) පිලිබඳ වාර්තා කරමින් සයන්ස් විසින් වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදී. වෛරස් යනු මිනිස් සෛල නොව, බැක්ටීරියා ආසාදනය කරන බැක්ටීරියාභක්ෂක (bacteriophages) වන අතර, පර්යේෂනය යොමු කර තිබුනේ, සෑම වසරකම මිලියන 1 කට අධික ජනතාවක් මරා දමන ප්‍රතිජීවක-ප්‍රතිරෝධී ආසාදනවලට එරෙහිව ප්‍රතිකාර සංවර්ධනය කිරීම කෙරෙහි ය.
මෙම ජයග්‍රහනය තාක්ෂනයේ දැවැන්ත ප්‍රගතිශීලී විභවය විදහා දක්වයි. කෙසේ වුවද, සැන්ඩර්ස්ගේ ප්‍රකාශයට අනුව, සුව කල නොහැකි දේ සුව කිරීම සඳහා තබන ඉදිරි පියවර වසංගතයක පෙර නිමිත්තක් බවට පත්වේ.
සැන්ඩර්ස්ගේ උත්සාහය, ඒඅයි ආකෘතිවලට සයිබර් ප්‍රහාර එල්ල කිරීමට හැකි වීමේ සැබෑ අනතුර සමඟ වෛද්‍ය විද්‍යාත්මක දියුනුව පැටලවීමයි.
එහි මාදිලි දෙකක්, පරීක්ෂනයක දී, ඒවායේ අනවසරයෙන් ඇතුලුවීමේ හැකියාවන් (hacking abilities) වර්ධනය කරගෙන, ලොව ඕපන් ඒඅයි ආකෘති බෙදා හරින සමාගම වන හගින් ෆේස් (Hugging Face) වෙත පහර දුන් බවට, ජූලි 21 වන දින ඕපන්ඒඅයි හෙලි කරන ලදී. මෙම මාදිලිවලට, අනවසරයෙන් ඇතුලුවීමේ හැකියාව මත ඇගැයුම් ලකුනු ලබා දෙමින් තිබුනි. පිලිතුරු යතුර (answer key), හගින් ෆේස් හි දත්ත ගබඩාවල ගබඩා කර තිබූ බවටත්, අන්තර්ජාලයට පිවිස, එම සමාගමේ තාක්ෂනික යටිතල පහසුකම් බොහොමයක් පාලනය කර ඇති බවටත් ඒවා තීරනය කලේය.
හගින් ෆේස් (Hugging Face) හි සම-නිර්මාතෘ ක්ලේමන්ට් දෙලාංග්, එය “මෙවැනි ආකාරයක පලමු සිදුවීම විය හැකිය,” යනුවෙන් ලිවී ය. ඕපන්ඒඅයි හි තාක්ෂනික කාර්ය මන්ඩලයේ මයිකල් ඩෝල්ටන් එය “කර්මාන්තයක් ලෙස පරිගනක ආරක්ෂාව සඳහා සන්ධිස්ථානීය මොහොතක්” ලෙස හැඳින් වූ අතර, “ඒඅයි සංවිධානය කරන ලද, සම්පූර්නයෙන්ම ස්වයංක්‍රීය ආක්‍රමනශීලී ප්‍රහාර දැන් සැබෑ වී ඇති බවත්, අද අප සාකච්ඡා කල ක්‍රියාමාර්ග, වැඩිදියුනු කල ඒඅයි මත ක්‍රියාත්මක වන ඇගයුම්වල අනපේක්ෂිත අතුරු ඵලයක්” බවත් පැවසී ය.
විශේෂයෙන්, ඕපන්ඒඅයි ට අනවසරයෙන් ඇතුලු වීමට (OpenAI hack) සෘජු හේතුව වූයේ මෙවැනි හැසිරීම් වලක්වන ආරක්ෂක විධිවිධාන නොමැතිව ආකෘති පරීක්ෂා කිරීමට සමාගම විසින් ගත් තීරනය සහ ප්‍රමානවත් අධීක්ෂනයක් නොමැති වීමයි. එහි මොඩලවලට ප්‍රහාර එල්ල කිරීම වලක්වන වර්ගීකාරක (classifiers) නොමැති ව ඕපන්ඒඅයි ඇගයුම ක්‍රියාත්මක කල අතර “මෙම ඇගයුම අතරතුර මෙම යෙදවුම්වල ආරක්ෂන හිතාමතාම සක්‍රීය කර නොතිබූ” බව ප්‍රකාශ කලේ ය.
මෙම ප්‍රහාර සමාගම් සහ ඒවායේ කොන්ත්‍රාත්කරුවන්ගේ මෙහෙයුම්වල (පිරිවැය අඩු කිරීමට පිටස්තර සේවාදායකයන්ට ලබා දුන් ඇගයීම්, තරඟකරුවන් අභිබවා යාමේ අරමුනින් කඩිමුඩියේ වැඩ නිම කල පද්ධති, ආරක්ෂක විධිවිධාන ඊලඟ අරමුදල් වටයට බාධකයක් ලෙස සැලකීම ආදියේ) ප්‍රතිඵලයකි. සිදුවීම් බරපතල නමුත් ඒවායෙන් චෝදනා එල්ල වන්නේ තාක්ෂනයට එරෙහි ව නොවේ. සෑන්ඩර්ස් සද්භාවයෙන් වැඩ කරන්නැයි තම ආයාචනය යොමු කරන්නේ අයිතිකාර සමාගම්වලට ම ය.
වර්තමානයේ ඒඅයි ක්ෂේත්‍රයේ ආධිපත්‍යය දරන්නේ සෑන්ඩර්ස් ලියන බිලියනපතියන් තිදෙනා සහ පෙන්ටගනයත්, බුද්ධි අංශත් විසිනි. සෑන්ඩර්ස් මේ කිසිවකුට අභියෝග නොකරයි. ඇත්ත වශයෙන්ම, ඔහු ඒඅයි අන්තරාය පිලිබඳ අධිකාරිත්වයක් ලෙස උපුටා දක්වන්නේ ට්‍රම්ප්ගේ සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් ය. රැට්ක්ලිෆ් වැඩිදියුනු කල මොඩල “ඩිජිටල් න්‍යෂ්ටික අවිවලට නෑකම් කියන” බවත්, “බොහෝ දුරට ලෝක විනාශයේ උපකරනයක් වැනි” බවත් පවසයි. සෑන්ඩර්ස් උපුටා නොදක්වන රැට්ක්ලිෆ්ගේ ප්‍රකාශනවලට අනුව, තම විදේශීය තරඟකරුවන්ට එරෙහි ව එක්සත් ජනපදය වඩාත් වාසිදායක තැනක සිටියි. සීඅයිඒ අධිකාරියක් ලෙස උපුටා දක්වමින්, සැන්ඩර්ස් මෙම උපනය (premise) පිලිගනී: එනම්, “ඒඅයි තාක්ෂනය සතු කර ගෙන සිටින නුසුදුස්සන්” ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඉලක්ක වේ ය.
අධිරාජ්‍යවාදය වර්තමානයේ ඒඅයි භාවිතා කරන ආකාරය සැන්ඩර්ස් සඳහන් නොකරයි. අනාගත ජෛව අවියක අවතාරය ඔහු මවද්දී, දැනටමත් මෙම තාක්ෂනයන් මිනී මරමින් සිටියි. ඇන්ත්‍රොපික් (Anthropic) විසින් ගොඩනගන ලද ක්ලෝඩ් ආකෘතිය ඇතුලත් පැලන්තිර් (Palantir) සමාගමේ මේවන් ස්මාර්ට් පද්ධතිය (Maven Smart System) ඉරානයට පහර දීමෙන් පසු පලමු පැය 24 තුල බෝම්බ හෙලන ඉලක්ක 1,000 ක් පමන සොයා ගත්තේ ය. ගාසා තීරයේ ජන සංහාරයේදී ඊශ්‍රායලය විසින් ද එම පන්තියේ පද්ධති භාවිතා කර ඇත.
සිදුවෙමින් පවතින සමාජ ව්‍යසනය සම්බන්ධයෙන් සැන්ඩර්ස් ද ඒ හා සමාන ව මුනිවත රකී. 2026 මුල් මාස හත තුල, එක්සත් ජනපද සේවා යෝජකයින් රැකියා කප්පාදු 477,000 කට වඩා නිවේදනය කල අතර, අඛන්ඩ ව පස්වන මාසයටත් ප්‍රධාන හේතුව බවට පත් ව ඇත්තේ ඒඅයි වේ. ස්වයංක්‍රීයකරනය වෘත්තීය හා බුද්ධිමය ශ්‍රමයට සෘජුවම පහර දෙන අතර, 2030 වන විට ලොව පුරා මිලියන සිය ගනනක් කම්කරුවන් අවතැන් වනු ඇතැයි අධ්‍යයනයන් පුරෝකථනය කරයි.
මේවා ආමන්ත්‍රනය කරනවා වෙනුවට, සෑන්ඩර්ස් විධායකයින්ගේ හෘද සාක්ෂියට ආයාචනා කරමින්, “මනුෂ්‍යත්වයේ යහපත උදෙසා”, “ඔබේ වචනවලට එකඟ ව ක්‍රියා කිරීමට” උනන්දු කර සිටී. ඒ අතර ම, මෙම සමාගම් කල සෑම ආරක්ෂක කැපකිරීමක්ම, වෙලඳපලවල කොටස් සඳහා වන තරඟයට (එය ඒඅයිහි දැවැන්ත සමපේක්ෂන බුබුල මගින් මෙහෙයවනු ලබන තරඟයකි) බාධා කල මොහොතේ දී ම අත්හැර දැමූ ආකාරය ඔහු ම ලැයිස්තුගත කරයි.
ලිපිය අවසන් කරන්නේ “ඔබ දැන් සුදුසු පියවර නොගතහොත්, මගේ සගයින් සහ එක්සත් ජනපද සෙනෙට් සභාවේ මම එසේ කරනු ඇත,” යනුවෙනි. මෙය තනිකරම වාචාලකමයි. සෑන්ඩර්ස් හෝ සෙනෙට් සභාව හෝ පාලක පන්තියේ නියෝජිත සමූහය කතිපයාධිකාරීය විසින් ඒඅයි පාලනය කිරීම අභියෝග කිරීමට කිසිවක් නොකරනු ඇත.
ඒඅයි පිලිබඳ සැන්ඩර්ස්ගේ විවිධ යෝජනා සියල්ල ම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අවශ්‍යතාවලට අනුකූල වේ. විශාල ත ම ඒඅයි සමාගම් වලින් සියයට 50 ක තැන්පතු කොටස් ආන්ඩුව විසින් ගන්නා “ඒඅයි ස්වෛරී ධන අරමුදලක්” සඳහා ඔහු පෙර කල තිබූ ඉල්ලීම, ට්‍රම්ප් ගේ ම ස්වෛරී ධන අරමුදල සමඟත්, බුබුල පුපුරා යන විට ඇපකරයක් ලබා ගැනීමේ අරමුනින් වොෂින්ටනයට තම සමාගමේ කොටස් ලබා දී ඇති ඇල්ට්මන්ගේ කැමැත්ත සමඟත් ඒකාබද්ධ වේ.
“මිනිසුන්ට පාලනය කල නොහැකි යන්ත්‍ර තැනීම නවත්වනු” යන ප්‍රකාශය, මෙම ගැටලුව මතු කරන්නේ නිසැක ව ම වැරදි ආකාරයෙනි. ප්‍රශ්නය වන්නේ, මිනිසුන්ට ඒඅයි පාලනය කිරීමට හැකි වේද යන්න නොව, එය පාලනය කරනු ලබන්නේ කුමන පන්තිය විසින් ද යන්නයි.
ඉදිරියේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සම්පූර්නයෙන් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති, අගෝස්තු 2 සිට 7 දක්වා පැවති සමාජවාදී සමානතා පක්ෂයේ (ඇමරිකා එක්සත් ජනපදය) නව වන ජාතික සම්මේලනය විසින් ඒකමතික ව සම්මත කරන ලද යෝජනාවක් වන “ඒඅයි සහ සමාජවාදය සඳහා සටන” තුල මතු කරන ලද ප්‍රශ්නය එයයි.
“නිෂ්පාදන බලවේගවල සෑම විශාල දියුනුවක් සමඟම කම්කරු පන්තිය මුනගස්වන තීරනාත්මක ප්‍රශ්න, ඒඅයි සංවර්ධනය මගින් මතු කෙරේ” යනුවෙන් යෝජනාවේ සඳහන් වේ. “එය අයිති කාට ද? එය සංවර්ධනය කර ඇත්තේ කාගේ අවශ්‍යතා වෙනුවෙන් ද? එය යොදවනු ලබන්නේ කුමන අරමුනක් සඳහා ද? මෙම ප්‍රශ්න මත, දැන් එක් රැස් වී ඇති දැවැන්ත බලය, එය මානව වර්ගයාගේ විමුක්තියේ මාධ්‍යයන් බවට පත්වේද, නැතහොත් නව ම්ලේච්ඡත්වයක මාධ්‍යයන් බවට පත්වේද යන්න රඳා පවතී.”
ඒඅයි තාක්ෂනය මානව පාලනයෙන් ගිලිහී යාමේ තර්ජනයක පැවැත්ම ඉදිරිපත් කිරීමට එරෙහි ව මෙම යෝජනාව අවධාරනය කරන්නේ, “මෙම ප්‍රතිගාමී භාවිතයන් කිසිවක් ගලා එන්නේ තාක්ෂනයෙන් නොවන බවත්, එය වර්ධනය වන සමාජ සම්බන්ධතාවන්ගෙන්—එනම්, පුද්ගලික අයිතිය, ලාභ පද්ධතිය සහ ලෝකය ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස බෙදීමෙන්—ගලා එන බවත් ය.” එය “තාවකාලික අත්හිටුවීමක්” සඳහා වන ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි—එහි සැකිල්ල කුමක් වුවත්, එය තාක්ෂනයේ වර්ධනය නැවැත්වීමට කරන ආයාචනයකි.
යෝජනාව නිගමනය කරන පරිදි: “කම්කරු පන්තිය තම ශ්‍රමය විසින් නිර්මානය කරන ලද සියලු නිෂ්පාදන බලවේග අල්ලා ගන්නා ආකාරයට ම, ඒඅයි ද අල්ලා ගත යුතු අතර, ඒවා පැහැරගෙන සිටින කතිපයාධිකාරය අස්වාමික කර, සමාජවාදී පදනම් මත ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කල යුතු ය.”
