[මෙය A letter from afar by A. Lincoln මැයෙන් 2026 මැයි 19 දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]
පහත සඳහන් ලිපිය අද උදෑසන “ඒ.ලින්කන්” යන අස්සන සහිත ව, එහෙත් ආපසු යවන ලිපිනයක් හෝ හෙඩිමක් නොමැති ව මගේ විද්‍යුත් තැපැල් පෙට්ටියේ දිස් විය. මම එහි පිටපතක් ලබා ගතිමි. පසුව බලන විට ලිපිය අතුරුදන් ව ගොස් තිබුනි. එම ලිපියේ ආපසු හරවා යවන ලිපිනයක් සඳහන් නොවූවත්, එම අස්සන අපේ අවධානය ඉල්ලන එකක් නිසා එය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගේ දැන ගැනීම සඳහා පහත ඉදිරිපත් කරමි.
***
මා අකාලයේ මියගොස් ගත වූ සියවස් එකහමාර තුල, මා සම්මුති විරහිත, එහෙත් වැරදීම් ද සිදුවන දේශපාලනඥයකුගේ සිට නිරාගමික සාන්තුවරයකු බවට පරිවර්තනය කරන ආකාරය, අඩු නොවූ විස්මයෙන් යුතු ව බලා සිටි මම, වර්තමාන ඇමරිකාවේ ඒ හෝ මේ ප්‍රශ්නය හෝ අර්බුද සම්බන්ධයෙන් මා විසින් පවසනු ඇතැයි සිතන දේ අනුමාන කිරීමට නොයෙක් දෙනා දරන උත්සාහයන් ගැනත් දැනුවත් වීමි.
එවැනි අනුමාන කිරීම්වලට විරුද්ධ ව ප්‍රසිද්ධියේ විරෝධය පලකිරීමට පවතින තත්වය යටතේ නොහැකි ය. එසේ හැකි උනත්, මගේ ජීවිත කාලයේ දී පැවති තත්වයට වඩා සපුරා වෙනස් යුගයක පවතින ගැටලුවලට විසඳුම් යෝජනා කිරීමට මම අකමැත්තෙමි. එහෙත්, මම අවුරුදු හතරකට මඳක් වැඩි කාලයක් වාසය කල නිවසේ, සාධාරන ලෝකයක නම් මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් සිරගත කල යුතු ව සිටින ගර්හිත මනුෂ්‍යයෙක් වර්තමානයේ වාසය කරන බව සලකන විට, වර්තමානයේ පවතින තත්වය පිලිබඳව මගේ අදහස් ප්‍රකාශ කිරීමට මම සර්ව බලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලූ අවසරය මට ලැබී තිබේ.
එකල දී මම, අපේ ශ්‍රේෂ්ඨ සිවිල් යුද්ධය පිලිබඳ ව මගේ අදහස් කෙලින් ම කීවෙමි. එය සිදුවූයේ කිසියම් වරදවා වටහා ගැනීමක් නිසා යයි මා කීවේ නැත. එය ඇති වූයේ සහෝදරයන් අතර හදිසි කෝපය නිසා ඇති වූ සැර වචන හුවමාරුවක් නිසා යයි මා කීවේ නැත. තීරුබදු නිසා යයි හෝ ප්‍රාන්ත රාජ්‍ය ඇති කිරීම නිසා හෝ ඒවායේ උසස් පදවි දරන්නන් නිසා එය සිදු වුනා යයි ද මම නොකීවෙමි. එය ඇති වූයේ වහල් ක්‍රමය නිසා බව මම කීවෙමි. එය එසේ බව, කෙසේ හෝ, කවුරුත් දැන සිටියහ. වැරදි දේවල් ඒවාට හේතු වූ දේ මේ යයි කෙලින්ම නම් කිරීමට අකැමැති ය. එසේ හඳුනා ගෙන නම් කිරීම ඒවා පරාජය කිරීමේ සටනින් අඩක්ම නිම කිරීම හා සමාන වේ.
මම වර්තමාන යුගයේ පවතින ගැටලුවට හේතුව නම් නොකර සඟවා තැබීම මගින්, එම යුගයට ප්‍රශංසා කිරීමට අදහස් නොකරමි. එසේ ම ගැටලුවට හේතුව, හුදෙක් මා එකල වාසය කල පැරනි මන්දිරයේ දැන් වාසය කරන පුද්ගලයාගේ නපුරුකම ද නොවේ. ඔහු රෝග නිධානය ද නොවේ. රෝග ලක්ෂනය පමනකි. වසංගත රෝගයට නොව, එය නිසා ඇති වූ උනට සාප කිරීම හොඳ චිකිත්සාවක් නොවේ.
කාරනය මෙයයි : මගේ යුගයේ දී එක් මිනිසෙකුට තවත් මිනිසෙකුගේ ශරීරය අයිති කර ගන්නටත් එය දම්වැලකින් බැඳ, එහි ශ්‍රමයෙන් නිපදවන මුලු අස්වැන්න ම තමන්ට අයිති කර ගන්නටත් අවසර තිබුනි. අපි, විය යුතු පරිද්දෙන් ම, එම ක්‍රමය අහෝසි කලෙමු. මා මිය ගියේ එම කාර්යය සෑහෙන දුරට අවසාන වී ඇතැයි විශ්වාස කරගෙන ය. මා විසින් දැක තිබුනේ වඩා පැරනි දෙයක ගොරහැඬි ම ස්වරූපයක් පමනකි. මන්ද යත්, වහල් හිමියා මිය ගියත් ඔහුට පසුවත් පවතින චංචල දේපල හිමිකාරත්වයේ අලුත් ක්‍රමයක් දැන් වර්ධනය වී තිබෙන බැවිනි. වහලාගේ ශරීරය අයිති කර ගැනීම දැන් අවශ්‍ය නැත; ඔහු වැඩ කරන ඉඩම, ඔහු වැඩ කරන පට්ටලය, ඔහු වැඩ කරන දුම්රිය පාර, ඔහු වැඩ කරන පතල, ඔහුගේ අතේ තිබෙන මෙවලම් සහ ඔහු වාසය කරන නිවස අයිතිකර ගැනීම සෑහේ. දැන් ඔහු, තමන්ගේ දවස් ඔවුන්ට විකිනුවේ නැත්නම් ඔහුට කෑමට දෙයක් ලැබෙන්නේ නැත. ඔහු නිපදවන දෙය සහ එයින් ඔහුට දීමට ඔවුන් කැමති වන ප්‍රමානය අතර වෙනස ලාභය නමින් හඳුන්වා ඔවුන් තමන් ලඟ ම තබා ගනිති. එම වැඩ පිලිවෙල නිදහස යයි හඳුන්වනු ලැබී ය. දැන් කසයට නිවාඩු දී ඇත; කසයේ කාර්යය වැටුප විසින් ඉටු කරනු ලැබේ; එයින් කසයෙන් මෙන් ඇසට පෙනෙන්නට ලේ නොගලන නිසා එය වඩා මෘදු ක්‍රමයක් යයි සිතනු ලැබේ. මගේ කාලයේ දී අර්බුදයට හේතුව වහල් ක්‍රමය වූවා සේ ම, වර්තමාන අර්බුදයට හේතුව නීත්‍යානුකූල සහ වැදගත් යයි පෙන්වනු ලබන, ධනයේ සෑම ආරක්ෂක දේශකයකු විසින්ම රකිනු ලබන, එකී ලාභය නම් වූ දෙයයි. ඊට ලබා දී ඇති ව්‍යාජ වැදගත්කම නිසා එය එහි නියම නමින් හැඳින්වීම පවා දුෂ්කර වී තිබේ.
ගසක කඳෙන් අතු විහිදෙන්නාක් මෙන් අනෙක් සියලු දේ මෙම මූලයෙන් විහිද එයි. සමුච්චනය කරගත් ලාභයට නිශ්චල ව පැවතිය නොහැකිය. එය පාලනය කිරීම සඳහා ස්ථාපිත කල ආන්ඩුව තමන් අතට ගැනීමට ඊට අවශ්‍යය: තමන් විසින් පාලනය කරනු නොලබන ආන්ඩුවක් ඉවසිය නොහැකි අනතුරක් වන බැවිනි. එම ධනය තම දේශසීමාවලින් එහා ව්‍යාප්ත කිරීම සඳහා වෙලඳපොලවල් සොයා ගත යුතු ය; ලෝකය තමන්ට වර්ධනය වීම සඳහා ආරක්ෂා සහිත තැනක් බවට පත් කිරීමට ජාතියේ දූ පුතුන් ජාතික ධජයේ නාමයෙන් සටන් බිමට යවා, ජාතික ආරක්ෂාව යන නාමය යටතේ ලෝකයේ වෙනත් ප්‍රදේශ යටත් කර ගැනීම අවශ්‍ය ය. පුරවැසියන්ට සෑම සන්ධ්‍යාවක ම, ධනය හිමි අයට අයත් උපකරන හරහා තමන් ස්වාධීන පුරවැසියන් යයි මතක් කර දෙනු ලැබේ. ඔවුන්ට කිසියම් අසහනකාරී බවක් දැනේ නම්, එය ඔවුන්ගේ ම වරද නිසා ය. පුරවැසියා ඊට හුරු වී එය සාමය යයි සිතයි. කෝටිපති කතිපයා, මා එකල සිටි මන්දිරයේ දැන් සිටින තුච්ඡ පුද්ගලයා, විදේශ වලට යවා සිටින හමුදා සහ තමන්ගේම අතෘප්මත් බව ගැන සැක පහල කිරීමට උගන්වා ඇති පුරවැසියන් යනු එකිනෙකින් වෙන්වූ කරුනු හතරක් නොවේ ; ඒවා එක ම වෘක්ෂය සහ එහි ශාඛාවන් ය.
යුද්ධයේ අඳුරු ශීත කාලයේ දී මා කොන්ග්‍රසයට යැවූ පනිවිඩයක, නිසල අතීතයේ දී සාදාගත් ලබ්ධීන් ප්‍රචන්ඩ වර්තමානයට නොගැලපෙන බවත්, දුෂ්කර තත්වයන් අහස උසට ගොඩ ගැසී ඇති බවත්, අප අප්‍රමුදිත විය යුතු බවත් එවිට අපට අපේ රට බේරා ගත හැකි බවත් සඳහන් කලෙමි.
මම එම කැඳවුම අදත් කරමි; අප අද ඉවත දැමිය යුතු ලබ්ධිය වන්නේ, පුද්ගලික ලාභ චේතනාව හා නිෂ්පාදන බලවේගවල පුද්ගලික අයිතිය මත පදනම් වූ ආර්ථික පර්යාය, ලොව තිබිය හැකි එක ම පිලිගත හැකි ආර්ථික ක්‍රමය බවය යන ලබ්ධියයි.
1861 දී ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පෙරලා දැමීමට ප්‍රයත්න දැරුවේ වහල්වාදය විසින් ය. අද එම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ යුද්ධය කරනු ලබන්නේ, මගේ කාලයේ සිටි වහල් හිමියන් පවා පුදුම කරවන තරම් ධනස්කන්ධයක් ගොඩ ගසාගෙන සිටින කතිපයාධිකාරී පාලක පෙලැන්තියයි. මගේ කාලයේ දී වහල් ක්‍රමය දැරිය නොහැකි තරමේ ප්‍රශ්නයක් වූවා සේ ම, අද කාලයේ දී ධනපති ක්‍රමය දැරිය නොහැකි තරමේ ප්‍රශ්නයක් වී තිබේ. මා විසින් එකල දී හැරුනේ නැති අදහසකට, දැන් මා අනුගත වීමැයි ව්‍යාජ ලෙස කියන්නට මට නොහැක. 1860 දී මා සමාජවාදියකු විය හැකි ව තිබුනේ නැත. එයත්, සමාජවාදියා යන එම වචනයත්, එකල මා ඉදිරියේ තිබුනේ නොපැහැදිලි ඡායාවක් ලෙස ය. 1864 වසරේ, මගේ දෙවන පදවි ප්‍රාප්තියේ දී ඔවුන් මට ලිපියක් මගින් අමතන තුරු ම, මම මාක්ස් මහතාගේ කාර්යභාරය සහ ඔහුගේ ලෝක කම්කරු සංගමය ගැන දැන සිටියේ නැත. එතෙකුදු වුවත්, මම එකල දී පවා ශ්‍රමය, ප්‍රාග්ධනයට වඩා පූර්වගාමී බවත්, ශ්‍රමය ප්‍රාග්ධනයෙන් ස්වාධීන බවත්, ප්‍රාග්ධනය ශ්‍රමය විසින් නිෂ්පාදිතය කරන ලද්දක් බවත්, මුලින් ශ්‍රමය තිබුනේ නැත්නම් කවදාවත් ප්‍රාග්ධනයක් බිහි නොවන බවත්, මේ දෙකෙන් වඩා උච්චස්ථානයේ පවතින්නේ ශ්‍රමය බවත්, ඒ නිසා ඊට වැඩි සැලකිලි ලැබිය යුතු බවත් එකල කියා සිටියෙමි. මම ඕක් බීජය ඉල්ලා සිටියෙමි; දැන් මා ඕක් වෘක්ෂයක හිමිකරුවෙක් වී සිටිමි. අද මා ජීවත්ව සිටියා නම්, ඔබට මා දකින්නට ලැබෙන්නේ සමාජවාදීන් අතරේ ය. මා එසේ කියන්නේ ඔබ පුදුම කරවන්නට නොව, ජීවත් ව සිටිය දී මා දැරූ තර්කය මරනින් පසු සම්පූර්න ව තිබෙන බව ඔප්පු කරන්නට ය.
මම දැන්, කියන්නට අමාරු දෙය කියමි. කසයෙන් පහර දී හෙලන ලද සෑම ලේ බින්දුවක් වෙනුවෙන් ම, අසිපතින් පහර දී හෙලන ලෙයින් වන්දි ගෙවා අවසන් වන තෙක් සිවිල් යුද්ධය පවතිනු ඇතැයි මම එකල තීන්දු කලෙමි. මුදල් නොගෙවා ලබා ගත් අනුන්ගේ ශ්‍රමයෙන් තමන්ගේ සුඛ විහරනය සදහට ම තබා ගන්නා අතරේ ම තම නිදහසත් භුක්ති විඳීමට යමෙකුට ඉඩ දිය යුතු යයි මම විශ්වාස නොකරමි.
මිනිසුන් පිලිගත්තත් නැතත්, ඒ පැරනි ගනුදෙනුවල ගනන් හිලව් ගිනුම් පොත්වල වාර්තාගත වී තිබේ. එදා ගත් ශ්‍රමය, සුලුතරය විසින් බහුතරයෙන් ලබා ගත්, කවදා හෝ ආපසු ගෙවිය යුතු නයකි; ජාතීන්ගේ ඉතිහාසය දෙස බලන විට මේ වර්ගයේ නය, සෑම විට ම සාධාරන නඩු විභාගයක් තිබුනත් නැතත්, රන් කාසිවලින් ම, නය ගැතියා විසින් නොව නය හිමියා විසින් තීන්දු කල මොහොතක දී, සෑම විට ම ආපසු අය කරගනු ලැබ ඇත.
සිදුවීමට යන අනෙක් දෙය මට පෙනෙන නිසා, මම සාප කරන්නට යන්නේ නැත. තම දෑතේ සවියත්, දවසේ කාලයත් හැර වෙනත් කිසිවක් හිමි නැති, (සෙමින් සෙමින් වුවත්, ස්ථිර වශයෙන් ම ඔවුන් ඒ බව අවබෝධ කර ගනිමින් සිටිති) කම්හල්වල, ගුදම්වල, පතල්වල, වගාබිම් වල වැඩ කරන මිනිසුන් සහ ගැහැනුන් තුල කිසියම් පිබිදීමක් — එය තවමත් මහා ගංවතුරක් මෙන් ව්‍යාප්ත ව නැතත් — පවතින බව මම දකිමි. ඉහත කී අවබෝධය, මගේ කාලයේ දී, දම්වැලින් ගැට ගැසී දවස තිස්සේ වැඩකිරීම තමන්ට සොබාදහමින් නියම කර ඇති එක ම දෙය යයි අසා සිටි මිනිසුන් තුල ක්‍රමයෙන් වැඩී ආ අවබෝධය ම ය. 1776 දී නිදහස වෙනුවෙන් තම ජීවිත පරදුවට තැබූ වැඩකරන මිනිසුන්, එදා එසේ කලේ ශක්තිමත් කීප දෙනෙකුට සීමාවකින් තොරව ධනය ගොඩගසා ගැනීමටත් දුබලයාට එය අනුමත කිරීමටත් තිබෙන නිදහස වෙනුවෙන් නොවන බව, වැඩ කරන ජනයා අවබෝධ කර ගැනීමට දැන් පටන් ගෙන තිබේ. මෙම කාර්යය, 1776 දී හෝ ඇපෝමැටොක්ස් හි දී අවසන් වූයේ නැත. (ඇපෝමැටොක්ස් යනු ඇමරිකානු සිවිල් යුද්ධයේ අවසාන සටන් කීපය සිදු වූ ස්ථානයයි - පරිවර්තක) කාර්යයේ ඉතිරිය තමන්ටත් මෙය කියවන ඔබටත් පවරනු ලැබ ඇති බව ඔවුහු අවබෝධ කර ගනිමින් සිටිති.
මේ මාතෘකාව යටතේ මා කියන්නේ තවත් එක් දෙයක් ගැන පමනකි — මා ජීවත් ව සිටිය දී ඡායාවක් මෙන් යම්තමින් පෙනුනු, නමුත් මගේ මරනයෙන් පසු ඉතා පැහැදිලි ව පෙනෙන්නට තිබෙන එක් දෙයක් — ගැන පමනකි : මා විස්තර කල එකී දෙය, (එකී අරගලය) එක් දේශයකට සීමා වූවක් නොවේ. වහල් හිමියන්ට විරුද්ධ ව එක්සත් ජනපද හමුදාවන්ට මා නායකත්වය දුන් අවස්ථාවේ දී, මුහුදෙන් එතෙර කම්කරු ජනයා අපේ අරගලය නිරීක්ෂනය කරමින් සිටි බවත්, අපට ඔවුන්ගේ සහයෝගය ශපථ කල බවත් මම දැන සිටියෙමි. එංගලන්තයේ කම්කරුවන්, අප විසින් වරායවල් අවහිර කොට, කපු පුලුන් එංගලන්තයට යැවීම නැවැත්වීම නිසා තම ජීවනෝපාය අහිමි වන බව දැන දැන ම, තමන්ගේ ආන්ඩුවට වහල් හිමියන්ගේ පැත්ත ගැනීමට ඉඩ දුන්නේ නැත. මාක්ස් මහතා මට එවූ ලිපියේ දී ඔහු කතා කලේ, තමන්ගේ නිවසේ කෑම මේසයට පාන් ලබා ගැනීමට වඩා, ඇමරිකානු වහලුන් සමග සහෝදරත්වය ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨ කොට සැලකූ මේ කම්කරුවන් වෙනුවෙනි. එම ක්‍රියාව මට අමතක නොවන පාඩමක් කියා දුන්නේ ය: එනම්, ප්‍රාග්ධනයේ වියගසට බැඳී එක් රටක් තුල වැඩකරන මෙම ස්ත්‍රීන් සහ පුරුෂයන් තවත් රටක එසේ බැඳී වැඩ කරන ජනයාගේ සහෝදරයන් සහ සහෝදරියන් බවත් ඔවුන් සියල්ලන් ම පෙලන බලවේගය වන ප්‍රාග්ධනය ද ජාතික දේශසීමාවන් නොතකන එකක් බවත් ය. ජාත්‍යන්තර නොවන ව්‍යාපාරයක් අවසාන විග්‍රහයේ දී ව්‍යාපාරයක් නොව හුදු කන්ඩායමක් පමනකි.
මා අධිෂ්ඨාන කරගත් දෙය, මා ඉල්ලා සිටි දෙය, යලි මතක් කරමින් මෙම ලිපිය අවසන් කිරීමට ඉඩ දෙන්න. දේවල් එලිපිට, ඒවායේ නියම නමින් හැඳින්විය යුත්තේ ය; අප බියගැන්වී කට පියාගත යුතු නොවේ. බහුතරයේ ශ්‍රමය සදාකාලයට ම සුලුතරය විසින් ලබා ගන්නා - එය කවර නෛතික හා වැදගත් නම්වලින් හැඳින්වූවත් - කප්පම නැත්නම් පඬුර විය යුතු නොවේ. මේ රටේ සහ අනිකුත් සියලු රටවල වැඩ කරන ස්ත්‍රීන් හා පුරුෂයන් තමන්ගේ පොදු ඕනෑ එපාකම් හඳුනා ගෙන ඒ මත ඒකාබද්ධ ව ක්‍රියාත්මක වනු ඇත. සිවිල් යුද්ධයක් සිදු වුනත් තවමත් පවතින මේ රට, නොසැලකිලිමත්කමට, බියගුලුකමට, සහ හොඳින් බඩකට පුරවා ගත් තරබාරු මිනිසුන් යදමින් බැඳී සිටීම සාමය යයි කියමින් දෙන මෘදු අවවාද වලට, යටත් නොවනු ඇත.
ගනුදෙනු බේරා ගන්නා දවසක් එනු ඇත - කලින් සිදුවූවා සේ ම - එය එනු ඇත, ආ යුතු ය. සූරා කෑම නම් මේ මහා වසංගතයත් එය විසින් අපේ හිසට ඉහලින් ඔසොවා තැබූ පුද්ගලයනුත් ඉක්මනින් පහ ව යනු ඇතැයි අපි ලබැඳි ව බලාපොරොත්තු වෙමු, උද්‍යෝගයෙන් යාඥා කරමු; එය සාධාරන නඩු ඇසීමකින් සිදු වුනත් ලේ වැකි අරගලයකින් සිදු වුනත් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ තීන්දුව සැබෑ ය, හැම විට ම සාධාරනය.
තවත් වචනයක් එකතු කල යුතු ය, ඉන්පසු මෙය අවසන් කරමි. '76 ආභාෂයෙන් මා පුබුදුවා ලූ සේ, සියලු මිනිසුන් සමාන සේ මවා ඇත, ආන්ඩු වලට බලය තිබෙන්නේ ජනයා ඊට අනුමැතිය දෙන තාක් කල් පමනක් ය, යන ජෙෆර්සන්ගේ සර්ව කාලීන වචන මත බලපෑ දේශපාලන දර්ශනය ගොඩනගා ගත්තා සේ, මේ ධජය ඔබ අත තබමි. දැන් පලමු විප්ලවයේ දෙසිය පනස්වන සංවත්සරය එලඹ තිබේ. මිනිසුන් සොහොන් කොත්වල මල්දම් එල්ලා අමතක කර දමන වෙනත් සංවත්සර මෙන් නොව, මෙම සංවත්සරය ඊලඟ පරපුරට උරුම කිරීම සඳහා නිවී යා නොදී රැක ගත යුතු ගිනිහුලක් සේ සැලකිය යුතු සංවත්සරයක් වේ. එම සංවත්සර උත්සවය, ඇමරිකා එක්සත් ජනපදය තුල පමනක් නොව — ලොව සියලු තැන්වල ම, අනෙකුන්ගේ වියගසට බැඳී දහදිය හෙලන, ඊට ‘නිදහස’ යයි කීමට උගන්වා ඇති ස්ත්‍රීන් සහ පුරුෂයන් සිටින ලොව සියලු තැන්වල ම — ජනතාව විසින්, ජනතාව උදෙසා, ජනතාවගේ ආන්ඩුවක් යන සංකල්පය මහ පොලොවෙන් අතුරුදන් නොවන පරිද්දෙන්, නිදහසට අලුත් උත්පත්තියක් ලබා දිය යුත්තේය.
මෙයට,
ඔහුගේ ම අවසර පරිදි,
සහ තම දිගු නිහඬතාවට එරෙහි ව,
ඒ.ලින්කන්
