මැයි දිනය 2026

තුර්කියේ, ඉරානයට එරෙහි යුද්ධය සහ පන්ති අරගලයේ පුනර්ජීවනය

මේ තුර්කියේ සමාජවාදී සමානතා පක්ෂයේ (සමාජවාදී සමානතා පක්ෂය-හතර වැනි ජාත්‍යන්තරය) සභාපති උලාශ් සෙවින්ච් 2026 ඔන්ලයින් ජාත්‍යන්තර මැයි දින රැලියට Türkiye, the war on Iran and the resurgence of the class struggle යන මැයෙන් සිදු කල කතාවේ පරිවර්තනයයි.

2026 මැයි දින රැලියට උලාශ් සෙවින්ච් සිදු කල කතාව

සමාජවාදී සමානතා පක්ෂය - හතරවන ජාත්‍යන්තරය වෙනුවෙන්, අපි ලොව පුරා සිටින කම්කරුවන් සමඟ මැයි දිනය සමරන අතර සැමට අපගේ විප්ලවවාදී සුබ පැතුම් පල කරමු. ඉරානයට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධය මධ්‍යයේ, තුර්කි කම්කරු පන්තිය දශක ගනනාවක මර්දනයන් බිඳ හෙලමින් දර්ශන පථයට පැමිනීමට, පාලක පන්තිය සහ එහි රාජ්‍ය යාන්ත්‍රනය ප්‍රචන්ඩකාරී ප්‍රහාරයකින් ප්‍රතිචාර දක්වන කොන්දේසි යටතේ අපි මෙම මැයි දිනය සමරන්නෙමු.

අප්‍රේල් 13 වන දින එස්කිසෙහිර් සිට පිටත් වී තම නොගෙවූ වැටුප් සහ සොරකම් කරන ලද අනෙකුත් අයිතිවාසිකම් සඳහා සටන් කිරීම සඳහා අන්කාරා වෙත කිලෝමීටර් 190 ක් පමන ඇවිද ගිය ඩොරුක් පතල් කම්කරුවන්ගේ ප්‍රතිරෝධය, පන්ති අරගලය රටේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛස්ථානයට ගෙන ආවේය. අන්කාරා ජනතාව මෙන්ම කලාකරුවන්, ශාස්ත්‍රඥයින් සහ අනෙකුත් කර්මාන්තශාලාවල කම්කරුවන් ස්වාධීන පතල් කම්කරු සංගමය විසින් මෙහෙයවන ලද ඩොරුක් පතල් කම්කරුවන් සමඟ ඔවුන්ගේ සහයෝගීතාවය ප්‍රකාශ කලහ. රජය කඳුලු ගෑස්, පොලිස් අවහිර කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් මඟින් ප්‍රතිචාර දැක්වීය.

2026 අප්‍රේල් 14 වන දින ඩොරුක් පතල් කම්කරුවන්ගේ පාගමනේ දර්ශනයක්

මෙම අරගලය වර්ධනය වන ස්වාධීන කම්කරු ව්‍යාපාරයක කොටසකි. රාජ්‍ය මර්දනය, වෘත්තීය සමිති නිලධරයන්ගේ පාවාදීම් සහ අනන්‍යතා දේශපාලනය මගින් වසර ගනනාවක් තිස්සේ මර්දනය කරන ලද පන්ති අරගලය නැවත මතුවෙමින් තිබේ. මෙම වසර මුලදී, ඉස්මීර් හි පොලියැක් පතල් කම්කරුවෝ ජෙන්ඩර්මරි බාධකයක් බිඳ දමා, පතලේ පාලනය අල්ලා ගත් අතර, “රටේ පාලනය අත් පත් කර ගැනීමට කම්කරුවන්ට ඇති අවශ්‍යතාවය” යන ප්‍රශ්නය මතු කලහ. මිග්‍රෝස් ගබඩා සේවකයින් 5,000 ක් පමන පොලිස් පීඩනය නොතකා ඔවුන්ගේ හදිසි වැඩ වර්ජනය දිගටම කරගෙන ගියහ.

මෙම වර්ධනය වන ව්‍යාපාරය අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වීමට සහ ජනතාවගේ හදිසි සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් සපුරාලීමට බලමුලු ගැන්විය යුතු සමාජ බලය වෙත එනම් ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත යොමු කරයි.

ස්වාධීන කම්කරු ව්‍යාපාරයේ නායකයින් ඉලක්ක කිරීම සමස්ත කම්කරු පන්තියම බිය ගැන්වීමේ ක්‍රමයකි. ස්වාධීන පතල් කම්කරු සංගමයේ නායකයින්ගෙන් එක් අයෙකු වන බසරන් අක්සු, ඩොරුක් පතල් කම්කරුවන්ගේ පාගමනට එක්වීමට උත්සාහ කරන අතරතුර අත්අඩංගුවට ගන්නා ලදී. ස්වාධීන රෙදිපිලි සංගමයේ එනම් බර්ටෙක් සෙන්හි සභාපති මෙහ්මෙට් ටර්ක්මන් සති හයක් තිස්සේ සිරගතව සිටින්නේ වැඩ වර්ජිත කම්කරුවන්ට සත්‍යය පැහැදිලි කරමින් කල කතාවක් හේතුවෙනි. අක්බෙලන් වනාන්තරය සහ ගම්වැසියන්ගේ ඉඩම් ආරක්ෂා කල එස්‍රා ඉෂික් තවමත් සිරගතව සිටී. මෙම මර්දනය විපක්ෂ මාධ්‍යවේදීන්, නීතිඥයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් ඉලක්ක කරගත් පුලුල් අත්අඩංගුවට ගැනීමේ රැල්ලක කොටසකි.

වමේ සිට දකුනට, බසරන් අක්සු, ඩොකුකන් අකාන්, එස්‍රා ඉෂික් සහ මෙහ්මෙට් ටර්ක්මන්; 2026 අප්‍රේල් මාසයේදී තුර්කියේ පන්ති යුද සිරකරුවන්.

විශේෂයෙන් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද්ධය දියත් කිරීමෙන් පසුව මෙම පීඩනය උත්සන්න වීම අහම්බයක් නොවේ. යුද්ධයට ද සූදානම් වෙමින් සිටින තුර්කි පාලක පන්තියට, යුද්ධයේ සම්පූර්න පිරිවැය දැරීමට අපේක්ෂා කරන කම්කරු පන්තිය තමන්ගේම අවශ්‍යතා සඳහා ස්වාධීනව ක්‍රියා කිරීම ඉවසිය නොහැක.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කර ඒකාධිපතිත්වයක් ගොඩනැගීමේ ප්‍රධාන ඉලක්කය වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම මුල් බැස ගැනීමටත් පෙර එය මර්දනය කිරීමයි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මැතිවරනයට ඉදිරිපත් වීමේ අයිතිය, විරෝධතා දැක්වීමේ අයිතිය සහ වැඩ වර්ජනය කිරීමේ අයිතිය වැනි මූලික ව්‍යවස්ථාමය අයිතිවාසිකම් පවා අහෝසි කරන මෙම ප්‍රහාරයට කම්කරු පන්තිය තමන්ගේම ප්‍රති-ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්විය යුතුය.

මේ සඳහා ඩොරුක් පතල් කර්මාන්තයේ ප්‍රතිරෝධය නොසලකා හරින සහ පන්ති අරගලයේ සිරකරුවන් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරන DİSK නිලධරය ඇතුලු සමස්ත වෘත්තීය සමිති යාන්ත්‍රනයෙන් ස්වාධීන සංවිධානයක් අවශ්‍ය වේ. සෑම කර්මාන්ත ශාලාවකම, සෑම පතලකම, සෑම අසල්වැසි ප්‍රදේශයකම සහ සෑම පාසලකම ස්වාධීන බිම් මට්ටමේ කමිටු ස්ථාපිත කල යුතුය. මෙම බිම් මට්ටමේ කමිටු ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) හරහා දේශසීමා හරහා එක්සත් කල යුතුය. මන්ද, කම්කරුවන් ගෝලීය උපාය මාර්ගයකින් පමනක් ප්‍රතිරෝධය දැක්විය හැකි ගෝලීය ධනේශ්වර ප්‍රහාරයකට මුහුන දී සිටින බැවිනි.

සියලුම පන්ති යුද සිරකරුවන්ට නිදහස සඳහා වන ඉල්ලීම කම්කරුවන් තම ධජවල සටහන් කල යුතුය. මෙය ලොව පුරා සිටින සියලුම දේශපාලන සිරකරුවන්ට, විශේෂයෙන් 2024 අප්‍රේල් මාසයේදී යුද්ධයට එරෙහි ජාත්‍යන්තරවාදී ස්ථාවරය නිසා සිරගත කරන ලද යුක්‍රේන සමාජවාදියෙකු වන බොග්ඩන් සයිරොටියුක් සහෝදරයාට නිදහස ලබා දීම සඳහා වන ඉල්ලීමේ අනිවාර්ය අංගයක් විය යුතුය.

අධිකරනය හරහා පීඩනයට ලක්ව ඇති රිපබ්ලිකන් මහජන පක්ෂයේ (CHP), “කම්කරු-හිතවාදී” වාචාල කතාවලට රැවටිය යුතු නැත. තම පාලනය යටතේ පවතින නගර සභා වල කම්කරුවන් මත දරිද්‍රතා වැටුප් පටවන සහ වැඩ වර්ජන තලා දමන මෙම පක්ෂය, 2025 සැප්තැම්බර් මාසයේ නේටෝවට ඉදිරිපත් කල වාර්තාවේ ඉරානය අස්ථාවරත්වයේ මූලාශ්‍රයක් ලෙස ප්‍රකාශ කල අතර නේටෝව මැද පෙරදිගට ව්‍යාප්ත කිරීම වෙනුවෙන් පෙනී සිටියේය. ජර්මනිය, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යන රටවල CHP හි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහචරයින්ගේ අතීත වාර්තාව අධිරාජ්‍යවාදී යුද්ධය, සමාජ කප්පාදු සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පැහැර ගැනීමෙන් පිරී පවතී.

ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුද්ධය නේටෝවේ පිටුබලය ලත් අධිරාජ්‍යවාදී ආක්‍රමනශීලී යුද්ධයකි. මෙම යුද්ධයේදී ඉරානයේ අවම වශයෙන් පුද්ගලයින් 3,375 ක් මිය ගිය අතර, ඒ අතර අවම වශයෙන් ලමුන් 376 ක් ද වූහ. ඉරානයේ මිලියන 3 කට අධික ජනතාවක් අභ්‍යන්තරව අවතැන් වී ඇත. පාසල්, රෝහල් සහ අනෙකුත් සිවිල් යටිතල පහසුකම් විනාශ වීමත් සමඟ දරිද්‍රතාවය සහ විරැකියාව අතිවිශාල අනුපාතයන්ට ලඟා විය. යුද්ධය කලාපය පුරා ආහාර අනාරක්ෂිත භාවය උග්‍ර කර ඇති අතර ජල අර්බුදයකට ද හේතු වී තිබේ. ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයට ආධාර කිරීම සම්බන්ධයෙන් ඉරාන පලිගැනීම්වලට මුහුන දුන් අරාබි පාලන තන්ත්‍රවල ආර්ථිකයන් බරපතල හැකිලීමක් අපේක්ෂා කරයි. කම්කරුවන්ට යුද්ධයේ මිල මෙන්ම ඉහල ජීවන වියදම ගෙවීමට බල කෙරී ඇත.

ඉරානයේ ශිෂ්ටාචාරය විනාශ කර රට නැවත ගල් යුගයට යවන බවට ට්‍රම්ප් කල තර්ජන හමුවේ ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගාන්ගේ ආන්ඩුව නිහඬව සිටියේ නැත. එක්සත් ජනපදයේ නම පවා සඳහන් නොකරන සහ ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉරානය හෙලා දකින රියාද් ප්‍රකාශයට අත්සන් කිරීමෙන්, යුද්ධයේදී එහි ස්ථාවරය පැහැදිලිව පෙන්නුම් කර ඇත. තුර්කියේ කඳවුරු යුද්ධයේ යටිතල පහසුකම් සඳහා දිගටම සේවය කරයි. අසර්බයිජානියානු තෙල් තවමත් තුර්කිය හරහා ඊශ්‍රායලයට යයි. ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වීමෙන් පසුව, නේටෝව ඉන්සර්ලික් සහ කුරෙසික් කඳවුරු වෙත පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධති යෙදවීය. තවද, මෙම වසරේ නේටෝ සමුලුව ජූලි මාසයේදී අන්කාරා හිදී පැවැත්වේ.

2026 මාර්තු 18 වැනි දා, සවුදි අරාබියේ රියාද්හි රැස්වීමකට සහභාගී වන තුර්කියේ, අසර්බයිජානයේ, කටාරයේ, බහරේනයේ, ඊජිප්තුවේ, ජෝර්දානයේ, කුවේටයේ, ලෙබනනයේ, පාකිස්ථානයේ, සවුදි අරාබියේ, සිරියාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමතිවරු [ඡායාරූපය: TC_Disisleri/X] [Photo: TC_Disisleri/X]

පාලක පන්තිය අධිරාජ්‍යවාදය මත මිලිටරි-මූලෝපායික සහ මූල්‍යමය යැපීමේ ප්‍රතිඵලයක් වන මෙම සහයෝගිතා ආකල්පය, කම්කරු පන්තියේ ආකල්පයට සම්පූර්නයෙන්ම ප්‍රතිවිරුද්ධ ය. මත විමසුම්වලට අනුව, තුර්කි ජනගහනයෙන් සියයට 90 කට වැඩි පිරිසක් ඉරානයට සහ තුර්කියේ ඇමරිකානු කඳවුරුවලට එරෙහිය; අසාධාරන යුද්ධයට විරුද්ධ වෙති

යුද්ධයේ වරද ඊශ්‍රායලය මත පමනක් පටවමින් එර්ඩෝගන් ආන්ඩුව මෙම විරුද්ධත්වය අපසරනය කිරීමට උත්සාහ කරයි. යථාර්ථය නම්, ඊශ්‍රායල සියොන්වාදය යනු කලාපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දඩ බල්ලා ය. ඇමරිකානු ප්‍රතිපත්තිය ඊශ්‍රායලය විසින් නියම කරනු නොලැබේ. ඉරානයට එරෙහි ප්‍රහාරය හුදෙක් ඊශ්‍රායල යුද්ධයක් ලෙස ඉදිරිපත් කිරීම ඇමරිකානු අධිරාජ්‍යවාදයට ආවරනයක් සැපයීමට සහ ට්‍රම්ප් පරිපාලනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට වඩා වැඩි දෙයක් නොවේ.

තුර්කිය සහ ඊශ්‍රායලය අතර ආතතිය දේශීය මහජන මතය හැසිරවීමට පමනක් සීමා නොවේ. මෙය මැද පෙරදිග පූර්න ආධිපත්‍යය සඳහා ක්‍රියාකරන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සහචරයින් දෙදෙනෙකු අතර වැඩෙන එදිරිවාදිකම්වල ප්‍රතිඵලයකි. ගාසා තීරයේ ට්‍රම්ප්ගේ ඊනියා සාම කමිටුවට සම්බන්ධවූ සහ ඉරාන තන්ත්‍රයට සටනකින් තොරව යටත් වන ලෙස උපදෙස් දෙන අන්කාරාවේ ස්ථාවරය, පලස්තීන සහ ඉරාන ජනතාව සමඟ සිටින සහ අධිරාජ්‍යවාදයට සහ සියොන්වාදයට වෛර කරන තුර්කි ජනතාවගේ ස්ථාවරය සමඟ අශමනීය ලෙස නොපෑහේ.

මෙම තත්වයන් යටතේ, “සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය” සඳහා පියවර ගන්නා ලෙසත් කුර්දි ප්‍රශ්නය විසඳන ලෙසත් එර්ඩෝගන් ආන්ඩුවෙන් ඉල්ලා සිටීම සත්‍යය කම්කරුවන්ගෙන් වසන් කිරීමට සැලසුම් කරන ලද රැවටීමක් බව කවරදාටත් වඩා පැහැදිලි වී තිබේ. අන්කාරා සහ පීකේකේ අතර සාකච්ඡාවල අරමුන කුර්දි ජනතාවගේ නීත්‍යානුකූල ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සපුරාලීම නොවේ. තුර්කි සහ කුර්දි ධනේශ්වරය එක්සත් ජනපදයට අනුකූලව එකඟතාවයකට පැමිනීම සහ කම්කරු පන්තිය දේශීය වශයෙන් පාලනය යටතට ගැනීම සහතික කිරීම මෙහි අරමුනයි.

තවද, අධිරාජ්‍යවාදය යටතේ “ප්‍රජාතන්ත්‍රවාදී සාමයක්” පිලිබඳ ප්‍රකාශය මහා රැවටීමකි. ව්ලැඩිමීර් ලෙනින්, 1915 පලමු ලෝක යුද්ධ සමයේදී මෙම විෂය පිලිබඳව පහත සඳහන් දේ ලිවීය: “සාමවාදය, එනම් වියුක්ත සාම ප්‍රචාරනය, කම්කරු පන්තිය උදාසීනත්වයට ඇද දැමීමේ ක්‍රමයකි. ධනවාදය තුල, විශේෂයෙන් අධිරාජ්‍යවාදී අවධියේදී යුද්ධ නොවැලැක්විය හැකිය. විප්ලව මාලාවකින් තොරව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී සාමයක් සාක්ෂාත් කරගත හැකිය යන අදහස ප්‍රගාඨ වශයෙන් වැරදිය.”

ව්ලැඩිමීර් ලෙනින් 1919 දී මොස්කව්හි ක්‍රෙම්ලිනයේ ඔහුගේ කාර්යාලයේ. [AP ඡායාරූපය] [AP Photo]

තුර්කියේ, ඉරානයේ, සිරියාවේ සහ ඉරාකයේ, කුර්දි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා අරගලයේ විෂය වන්නේ මේ හෝ ඒ අධිරාජ්‍යවාදී බලය හෝ ධනේශ්වර ආන්ඩුව නොව කම්කරු පන්තියයි. පීඩිත ජාතීන්ගෙන් තම සහෝදර සහෝදරියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා නොකර කම්කරුවන්ට සමාජවාදය සඳහා අරගලය ඉදිරියට ගෙන යා නොහැක.

මෙම අරගලයේදී, ඇමරිකානු, යුරෝපීය සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය කුර්දි, තුර්කි, අරාබි, පර්සියානු, යුදෙව් සහ අනෙකුත් ජාතීන්ට අයත් කම්කරුවන්ගේ සගයෙකි. ලියොන් ට්‍රොට්ස්කි සිය නොනවතින විප්ලවයේ න්‍යාය තුල පැහැදිලි කල පරිදි, සියලු නිම නොකල ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සහ අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය සාක්ෂාත් කරගත හැක්කේ කම්කරු පන්තියේ නායකත්වය යටතේ පමනි. මෙහි තේරුම මැද පෙරදිග සමාජවාදී ෆෙඩරේෂනයක් සඳහා සටන් කිරීමයි. ලෝක සමාජවාදී විප්ලවය සඳහා වන සටනේ කොටසක් වන මෙම අරගලයේ සාර්ථකත්වය රඳා පවතින්නේ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම මත ය.

2025 ජුනි මාසයේදී සමාජවාදී සමානතා පක්ෂය ජාත්‍යන්තර කමිටුවේ තුර්කි ශාඛාව පිහිටුවීම මෙම අරගලයේ වැදගත් ඉදිරි පියවරක් නියෝජනය කරයි. මෙය ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙල සහ ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම මත පදනම්ව තුර්කියේ පක්ෂයක් ස්ථාපිත කල පලමු අවස්ථාව සනිටුහන් කරයි. ගෝලීය භූ දේශපාලනයේ සහ පන්ති අරගලයේ තුර්කියේ තීරනාත්මක ස්ථානය සහ ධනවාදයට සහ අධිරාජ්‍යවාදයට එරෙහි ගෝලීය අරගලයේදී එහි බහුජාතික නිර්ධන පන්තියේ විභවය කෙරෙහි අවධාරනය සනාථ කරමින් වසරකට ආසන්න කාලයක් ගත වී ඇත.

මෙම මැයි දිනයේදී, කලාපය පුරා සිටින කම්කරුවන්, බුද්ධිමතුන් සහ තරුනයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙම අරගලයට අප හා එක්වන ලෙසත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නව ශාඛා ගොඩනැගීමට පියවර ගන්නා ලෙසත් ය.

Loading