වෘත්තීය සමිති නිලධරය ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය ගැන මුනිවත රකී

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි ව ගෙන යන නීති විරෝධී සහ සාපරාධී යුද්ධයට මාස එක හමාරකට ආසන්න කාලයක් ගත වී ඇතත්, එමගින් ඉරානය තුල සහ ජාත්‍යන්තර ව නිර්මානය කෙරී ඇති කුරිරු ප්‍රතිවිපාක නොතකා හරිමින් ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නිලධරය ඒ සම්බන්ධයෙන් මුලුමනින් ම පාහේ මුනිවත රකියි.

යුද්ධයේ පලමු මාසය තුල පමනක් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල  කල ප්‍රහාර සංඛ්‍යාව 11,000 ට අධික ය. රෝහල් සහ වෛද්‍ය ආයතන 300 කට වැඩි ප්‍රමානයක් විනාශ කර ඇත. රටේ සංස්කෘතික උරුමයන්, දස දහස් ගනන් නේවාසික ගොඩනැගිලි, පාසල්, පාලම් සහ විදුලි සැපයුම් මධ්‍යස්ථාන සුන්බුන් බවට පත්කර තිබේ.  මිනාබ් හි බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් ලමුන් 170 ක් මිය ගියහ. ඉරාන සෞඛ්‍ය ඇමතිට අනුව, අප්‍රේල් 6 වෙනි දා වන විට මිය ගිය ඉරාන  සිවිල් වැසියන් ගනන ලමුන් 244 ඇතුලු ව 1900 කි. තම අභිලාෂයන් ට යටත් නොවුනොත්  ඉරානය “ගල් යුගයට ඇද දමන” බවට හා “අපායක්”  කරන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එලිපිට ම තර්ජනය කරමින් සිටී. 

අප්‍රේල් 7 වැනි දා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සති දෙකක “සටන් විරාමයක්” ප්‍රකාශයට පත් කල නමුත්, ඊට පසු දිනයේ ඔහු “සෝශල් ටෘත්” සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්, “කිසිවෙකු කිසිදා දැක නැති තරම් සුවිසල් සහ ශක්තිමත්” ප්‍රහාරයක් එල්ල කරන බවට ඉරානයට තර්ජනය කලේ ය. එ දින ම, ඊශ්‍රායලය ලෙබනනයට දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට අවම වශයෙන් පුද්ගලයින් 254 දෙනෙකු මරා දැමූ අතර ලමුන් 35 දෙනෙකු ඇතුලු ව 1,100 කට වැඩි පිරිසකට තුවාල කලේ ය. සෑම අතින් ම ප්‍රකාශයට පත් වනුයේ “සටන් විරාමයේ” බිඳෙනසුලු බවයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිරන්තර ව පැහැදිලි කරන පරිදි, ඉරානයට එරෙහි මෙම යුද්ධය, අවසාන වශයෙන් රුසියාව සහ චීනය ඉලක්ක කරගත් යුද්ධයක පූර්විකාවයි. සමස්ත පෘථිවි ගෝලය ම දවා හලු කරන න්‍යෂ්ටික ලෝක යුද්ධයක් දෙසට වන මෙම වේගවත් යුද ධාවනය සම්බන්ධයෙන් සමිති නිලධරය විසින් පවත්වාගෙන යන මුනිවත තුලින් වැදගත් කරුනු දෙකක් අනාවරනය වෙයි: 

වැඩෙන යුද ව්‍යසනය වසන් කිරීම හරහා කම්කරුවන් දේශපාලනික ව නිරායුධ කොට ඔවුන් එම ව්‍යසනයට ගොදුරු කිරීමේ ව්‍යායාමයක සමිති නිලධරය යෙදී සිටින බව ඉන් පලමුවැන්නයි. මුනිවත තුලින්, ඔවුන්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සමග ද, එයට බැලමෙහෙවර කරන ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව සමග වක්‍ර ව පෙල ගැසී ඇත යන්න දෙවැන්න යි.     

දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායලයේ ෆැසිසිට්වාදී නෙතන්යාහු පාලන තන්ත්‍රය සමග පෙල ගැසී සිටින්නේ, “මධ්‍යස්ථභාවය” නමැති කඩතුරාවට වසන් වෙමිනි. පහර දෙන එක්සත් ජනපදය සහ ඊශ්‍රායලයත්, පහර කන ඉරානයත්, ව්‍යාජ ලෙස සම තලයක පිහිටුවමින්, මෙම “මධ්‍යස්ථභාවය” සඳහා පදනම සකස් කරගෙන ඇත. 

දිසානායක සහ ඔහුගේ ආන්ඩුව මෙම ඊනියා මධ්‍යස්ථභාවය තොරොම්බල් කරමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික කලාපය තුල ඉරානයේ අයිරිස් ඩේනා නෞකාවට එක්සත් ජනපදය විසින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කර නාවිකයින් 100 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම සහ බෝම්බ ප්‍රහාරවලින් ලමුන් ඇතුලු 2000 ආසන්න ඉරාන සිවිල් වැසියන් සංඛ්‍ය‌ාවක් ඝාතනය කිරීම ඇතුලු යුද අපරාධ හෙලාදැකීම ප්‍රතික්ෂේප කරයි.  

දිසානායක ආන්ඩුව, ඒ සමග ම යුද්ධය විසින් ගැඹුරු කරනු ලැබ ඇති ආර්ථික අර්බුදයේ බර සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු වැඩපිලිවෙල කම්කරු-පිඩිත ජනතාව මත පැටවීම තීව්‍ර කර ඇත. යුද්ධය ආරම්භ වීමෙන් පසු ආන්ඩුව තෙල් මිල සියයට 26-30 කින්,  ගෑස් මිල  සියයට 8-23 කින් සහ  විදුලි ගාස්තු සියයට 10 කින් ඉහල දැමී ය. මෙය, ප්‍රවාහන ගාස්තු සහ අත්‍යවශ්‍ය භාන්ඩ මිල ඉහල නැගීමට තුඩු දී ඇත.

සමිති නිලධරය, දිසානායක ආන්ඩුවේ අධිරාජ්‍ය ගැති පිලිවෙත සමග පෙලගැසෙන අතරේ යුද්ධයෙන් ගැඹුරු කෙරෙන ප්‍රහාර ක්‍රියාවට නැංවීමට ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහයෝගය දෙන ආකාරය, ලංකා විදුලිබල මංඩලයේ (ලංවිම) ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නායකයන්ගේ භාවිතයෙන් විශද ව ප්‍රකාශයට පත් වේ.

මාර්තු 13 වෙනි දා ජනාධිපති දිසානායක සමග පැවති සාකච්ඡාවකින් පසුව මෙම සමිති නායකයන් මාධ්‍යයට ප්‍රකාශ කලේ, “මැදපෙරදිග ගැටුමෙන් පැන නගින අභියෝග සහ එම තත්ත්වයට රජයේ ප්‍රතිචාරය අවබෝධ කරගත්” බව සහ රජයේ උත්සාහයන්ට “බාධා වියහැකි කිසිදු ක්‍රියාමාර්ගයක්” මෙම අදියරේ දී නොගන්නා බව යි. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය “ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට” ආන්ඩුවට සහයෝගය දෙන බවට ද ඔවුන් ජනාධිපතිට පොරොන්දු වූ බව ඩේලි නිව්ස් පුවත්පත වාර්තා කලේ ය. 

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නායකයන් මාර්තු 13 වෙනි දා ජනාධිපති දිසානායක සමග පැවති සාකච්ඡාව

ලංවිම සමිති නායකයන් පවසන අයුරු කම්කරු පන්තිය යුද්ධයේ බරට කර ගැසිය යුතු නැත. කම්කරු පන්තියේ පිලිවෙත් විය යුත්තේ අධිරාජ්‍යවාදී යුද්ධයට, ඒ සමග පෙල ගැසී සිටින දිසානායක ආන්ඩුව ප්‍රමුඛ ධනපති පාලක පන්තියට සහ යුද්ධය ඇතුලු සමාජ-ප්‍රතිවිප්ලවීය ප්‍රහාරයන්ගේ මූලය වන ගෝලීය ධනවාදයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීමයි. 

දෙවන ලෝක යුද්ධයට සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනය විසින් මුදාහැරුන සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී  අයිතීන්ට එරෙහි ප්‍රහාරයන්ට විරුද්ධව ලංකා සම සමාජ පක්ෂය (ලසසප) සහ පසුව ට්‍රොට්ස්කිවාදී ඉන්දීය බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) විසින් නායකත්වය දුන් අරගලවල  පොහොසත් අත්දැකීම් සහ සම්ප්‍රදායන් ශ්‍රී ලංකවේ කම්කරු පන්ති ව්‍යාපාරය තුල ඇත. 

1939 සැප්තැම්බරයේ දෙවන ලෝක යුද්ධය පුපුරා යාමෙන් පසුව එයින් නිර්මිත ආර්ථික අර්බුදයේ බර පැටවීම සඳහා වැටුප් කප්පාදු කිරීම, දුෂ්කර සේවා කොන්දේසි වලට සහ සංවිධානයවීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මර්දනය කිරීමට එරෙහි ව 1939-1940 ලංකාවේ වතු කම්කරුවන්ගේ දැවැන්ත අරගල මාලාවක් පුපුරා ගියේ ය. 

1942 බීඑල්පීඅයි පිහිටුවීමෙන් පසුව යුද්ධයට විරුද්ධ ව ලංකාවේත්, ඉන්දියාවේත් කම්කරුවන් බලමුලු ගැන්වීමේ බලගතු අරගලයක එය නිමග්න විය. එමෙන් ම, ශ්‍රී ලංකාවේ  අධිරාජ්‍ය ගැති ධනපති පාලක පන්තීන් විසින් ලෝක ආර්ථික අවපාතයන්ගෙන් නිර්මිත ආර්ථික අර්බුදයන් ගේ බර පැටවීම ලංකාවේ කම්කරුවන් සාමකාමී ව පිලිගත්තේ නැත. ඔවුහු ඊට එරෙහිව සටන් කලහ.

1950-1953 කොරියන් යුද්ධය කාල පරිච්ඡේදය තුල රබර් අපනයනයෙන් ලංකාවේ ආර්ථිකයේ ඇති වූ උත්පාතය බිඳ වැටීමත් සමග ඩඩ්ලි සේනානායක ගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව දෙවන ලෝක යුද්ධය තුල ලබා දුන් ආහාර සලාකය, විශේෂයෙන් ම සහල් සලාකය අහෝසි කර සහල් මිල වැඩි කිරීමට එරෙහි ව  ලංකාවේ කම්කරුවෝ  1953 අගෝස්තු 12 වෙනිදා හර්තාලයකින් නැගී  සිටියහ. ලසසපය  කැඳවුම් කල මහවර්ජනයක් සහිත මෙම හර්තාලයට  සිංහල-දෙමල කම්කරුවන් සහ ගම්බද සහ නාගරික දුගීන් දස දහස් ගනනක් සහභාගි වූහ.

කෝවිඩ්-19 වසංගතය සහ රුසියාවට එරෙහි යුක්‍රේනයේ ඇමරිකා එක්සත් ජනපද-නේටෝ යුද්ධය හේතුවෙන් තීව්‍ර වූ ලෝක ධනවාදී අර්බුදයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැඹුරුවීම තුල, තෙල්, ගෑස් සහ ආහාර මිල ඉහල යාම මධ්‍යයේ ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට එරෙහි ව මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ ගම්බද දුගීන්ගේ සහභාගීත්වයෙන් 2022  පැන නැගි මහජන නැගිටීමෙන්, ජනාධිපති රාජපක්ෂට රටින් පලා ගොස් පසු ව ඉල්ලා අස්වීමට බල කෙරුනි.

මෙම මහජන අරගලය පාර්ලිමේන්තු මාවත් ඔස්සේ හරවා යවා, එක්සත් ජනපද අධිරාජ්‍ය ගැත්තෙකු සහ ජාමූඅ ඒජන්තයෙකු වන රනිල් වික්‍රමසිංහට ජනාධිපති තනතුරට පත්වීමට සහ ජාමූඅ කප්පාදු ක්‍රියාවට දැමීමට කොන්දේසි සැකසුවේ වෘත්තීය සමිති නිලධරය සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසිනි.

වෘත්තීය සමිති අද ඍජු ව ම අධිරාජ්‍යවාදයේ, ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ සහ ධනපති පාලක පන්තීන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් තම සාමාජිකයන්ගේ  සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාවා දෙන මෙවලම් බවට පරිවර්තනය වී ඇත. හුදෙක් ශ්‍රී ලංකාව තුල පමනක් නොව, ජාත්‍යන්තර ව ම වෘත්තීය සමිතිවල භූමිකාව එයයි.  කම්කරුවන් තව දුරටත් මෙම සංවිධාන තුල සිර වී නොසිටිය යුතු ය. ඒවායින් බිඳිය යුතු ය.  

තම අයිතීන් සඳහා අරගලයේ නව සංවිධාන ලෙස  සේවා ස්ථාන, කම්හල්, වතු, පාසැල් තුල සහ අසල්වැසි ප්‍රදේශවල සාමාන්‍ය සාමාජිකයින්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම අවශ්‍ය වේ.  ඒවා වෘත්තීය සමිතිවලින් සහ ධනපති දේශපාලන පක්ෂවලින් ස්වාධීන වූ සහ කම්කරුවන් විසින් ම ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය කරනු ලබන සංවිධාන විය යුතු ය.  

සියල්ලටත් වඩා, මෙම කමිටු, ජාතික දේශසීමා හරහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව තහවුරු කරන, අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදුවට, සහ ආඥාදායකත්වයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කරන සංවිධාන විය යුතු ය. ඒ සඳහා  ජාත්‍යන්තර ව කම්කරුවන් එක්සත් කල හැකි යාන්ත්‍රනය ලෙස, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගීමට එක්වන්න.  

Loading