ආන්ඩුව, දුම්රිය සේවයට මිලිටරි භටයන් යොදා ගැනීමේ වැඩපිලිවෙල අරඹයි

2023 සැප්තැම්බර් 13 දුම්රිය රියදුරන්ගේ වර්ජනය අතරතුර කොලඹ මරදාන දුම්රිය ස්ථානයේ ශ්‍රී ලංකා හමුදාව යොදවා තිබූ අයුරු

ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, දුම්රිය දෙපාර්තමේන්තුවට අලුතින් බඳවාගත් දුම්රිය රියැදුරන් පුහුනු කිරීමේ වැඩපිලිවෙලට මිලිටරි භටයන් 20 දෙනෙකු ඇතුලත් කිරීමට පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) විෂඝෝර කප්පාදු පිලිවෙත් වලට එරෙහි ව පැන නැගෙමින් පවතින කම්කරු පන්තියේ හා පීඩිත මහජනයාගේ විරුද්ධත්වය මඩිනු වස්, රාජ්‍ය ආයතන මිලිටරීකරනය කිරීම සඳහා ආන්ඩුව ගෙනයන වැඩකටයුතුවල කොටසක් වන මෙම පියවර, දුම්රිය කම්කරුවන්ට ද අවශේෂ කම්කරු පන්තියට ද එරෙහි අනතුරු ඇඟවීමකි.

ඉහත සඳහන් කල මිලිටරි නිලධාරීන් 20 දෙනා ද ඇතුලත් ව ආධුනික රියැදුරන් පුහුනු කිරීම පෙබරවාරි 17දා සිට ආරම්භ කිරීමට නියමිත ව පැවතුනි. එයට විරුද්ධ ව, දුම්රිය එන්ජින් රියැදුරු සංගමය (දුඑරිස) එදින මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් දියත් කරන බව නිවේදනය කලේ ය.

සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින ලමුන්ට වැඩවර්ජනය බාධාවක් වන බැවින්, මිලිටරි නිලධාරීන් 20 දෙනා පුහුනුවට යෙදවීම “තාවකාලික ව” අත්හිටුවන බව පවසමින්, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුනසේන එයට ප්‍රතිචාර දැක්වී ය. ගුනසේන ඇතුලු ආන්ඩුවේ සැබෑ උත්සුකය විභාගයට පෙනී සිටින සිසුන්ට ඇතිවන බාධාව නොව, වර්ජනය මගින් අනෙකුත් ක්ෂේත්‍රයන් හි කම්කරුවන් ද උත්තේජනය ලබනු ඇත යන්නයි.   

පසුගිය නොවැම්බරයේ දී හටගත් දිත්වා සුලි කුනාටුව සමයේ, දුම්රිය මාර්ග අලුත්වැඩියාව, රත්මලාන වැඩපොලේ එන්ජින් නඩත්තු කටයුතු හා පාලම් යලි ඉදිකිරීමේ දී, සන්නද්ධ හමුදා දුන් සහයෝගය අගය කල ගුනසේන, එවන් තත්වයක් තුල මිලිටරි භටයන්ට දුම්රිය රියැදුරු පුහුනුව ලබා දීමට එරෙහි ව වැඩ වර්ජනය කිරීමට වෘත්තීය සමිතිය ගත් තීන්දුව “නින්දා සහගත” බව කියමින් නියෝජ්‍ය ඇමති ගුනසේන වර්ජනය හෙලා දැක්කේ ය.

පුහුනුව “තාවකාලික ව” අත්හිටුවීමට ආන්ඩුව යෙදූ මෙම උපාමාරුව, වැඩ වර්ජනය ආපසු කැඳවීම සඳහා දුඑරිස නායකත්වයට කඩතුරාවක් සම්පාදනය කලේ ය. වෘත්තීය සමිතියේ අරමුන කරා ලඟා වුනු බව කියාපාමින්, දුඑරිස ලේකම් දිමුතු එදිරිසිංහ තම කාර්මික ක්‍රියාව අත්හිටුවන බව ක්ෂනික ව නිවේදනය කලේ ය.

හදිසි අනතුරුවලට සූදානම් වීමේ අවශ්‍යතාව මගින් මිලිටරි රියැදුරන් පුහුනු කිරීමට ප්‍රේරනය ලද බවට ආන්ඩුව කරන කියා පෑමේ ප්‍රෝඩාකාරී ස්වභාවය මෑත සිද්ධීන් මගින් අනාවරනය කරයි.

2025 අගෝස්තුවේ දී, වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධයෙන් තැපැල් කම්කරුවන් වැඩ වර්ජනයක් දියත් කල විට, එම වර්ජනය බිඳීම සදහා තැපැල් මලු ප්‍රවාහනය කිරීමේ කටයුත්තට මිලිටරිය දිගේලි කිරීමට ආන්ඩුව පියවර ගත්තේ ය. දුම්රිය රියැදුරන් ලෙස මිලිටරි නිලධාරීන් පුහුනු කිරීමේ ඉලක්කය වන්නේ, දුම්රිය ක්ෂේත්‍රය තුල පැන නගින වැඩ වර්ජන බිඳීමේ මෙහෙයුම් සඳහා සූදානම් වීම යි.

කම්කරු-පන්තික ප්‍රතිරෝධය තලා දැමීමට යොදා ගැනීමේ ලේවැකි ඉතිහාසයක් සහිත නීතීයක් වන, කුප්‍රකට අත්‍යවශ්‍ය මහජන සේවා පනත බලාත්මක කරමින්, 2026 ජනවාරි 28දා ආන්ඩුව නිකුත් කල අති විශේෂ ගැසට් නිවේදනය මගින්, මෙම මර්දනීය දිශානතිය වැඩිදුර අවධාරනය කරයි. 

“අත්‍යවශ්‍ය සේවාවන්” උල්ලංඝනය කරන බවට සැලකෙන කම්කරුවන් සිර ගෙට යැවීම ඇතුලු දරුනු දන්ඩනයන් පැනවීමටත්, කම්කරුවන්ට සේවයට වාර්තා කරන ලෙස බලකිරීමටත්, වැඩ වර්ජන තහනම් කිරීමටත්, මෙම විෂඝෝර නීතිය දුර දිග යන බලතල ආන්ඩුවට ලබා දෙයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බව පවසමින්, ජවිපෙ/ජාජබ ආන්ඩුව සම්මත කිරීමට යන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත යටතේ, ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහි වැඩ වර්ජන, විරෝධතා සහ විසම්මුතිය ආදිය ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නිර්වචනය කොට දඬුවම් දිය හැක.

අයිඑම්එෆ් නියෝග මත ක්‍රියාවට නැගෙන ප්‍රතිව්‍යූහකරන හා පුද්ගලීකරන වැඩකටයුතු වලට එරෙහි ව පුපුරා යමින් පවතින අරගල මර්දනය කරනු වස්, ආන්ඩුව ක්‍රමානුකූල ව සන්නද්ධ වෙමින් සිටින බව, මෙම පියවරයන් මගින් සංඥා කරයි. 

දුම්රිය රියැදුරන් ලෙස මිලිටරි භටයන් පුහුනු කිරීමේ තීරනය ක්ෂනික ව පැනනැගුනු එකක් නො වේ. වසර ගනනක් තිස්සේ, ධනපති මාධ්‍ය, දුම්රිය පරිපාලනයන් හා ධනපති කොටස්, දුම්රිය රියැදුරන් කාර්මික ක්‍රියාවන්ට එලඹෙන සෑම අවස්ථාවකම පාහේ එම මෙහෙයුම් කටයුතු අඛන්ඩ ව පවත්වාගෙන යාමට සොල්දාදුවන් දුම්රිය රියැදුරන් ලෙස පුහුනු කරන ලෙස ධනපති ආන්ඩු වලට උපදෙස් දී ඇත. 

ගැඹුරු වන ආර්ථික අර්බුදයේ හා තීව්‍ර වන සමාජ විරුද්ධත්වයේ කොන්දේසි යටතේ, මෙම උපදෙස් ක්‍රමානුකූල ව ක්‍රියාවට දැමීමක්, වර්තමාන ආරම්භකත්වයන් මගින් නියෝජනය කරයි.

තව ද දුම්රිය සේවය මිලිටරීකරනය කිරීම, රියැදුරන් පුහුනු කිරීමෙන් බොහෝ ඔබ්බට යයි. “පුහුනුව” ලබා දීමේ කඩතුරාව යටතේ, රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු වැඩපොලේ කර්මාන්තශාලා කිහිපයකට, කුඩා කන්ඩායම් ලෙස මිලිටරි භටයන් අනුයුක්ත කෙරී ඇත. හමුදා භටයන් මෙසේ සිටීම හුදෙක් තාක්ෂනික කටයුත්තක් පමනක් නො ව දේශපාලනික අදාලත්වයන් ද සහිත එකකි: එනම්, සටන්කාමී කම්කරුවන් ගැන ඔත්තු බැලීම, ඔවුන් බියවැද්දීම හා ප්‍රතිව්‍යූහකරනය සූදානම් කිරීමයි.

අයිඑම්එෆ් නියෝගවලට අනුව, “ප්‍රතිසංස්කරනය” හෙවත් ප්‍රතිව්‍යූහකරනය හා අවසානයේ පුද්ගලීකරනය සඳහා වන ආයතන ලැයිස්තුවේ දුම්රිය සේවය ඉහලින් ම පවතී. ශ්‍රම බලකා කප්පාදුව, කලමනාකාරී සුපරීක්ෂාවන් හා පිරිවැය කප්පාදු පිලිවෙත්, මෙම න්‍යාය පත්‍රයේ කේන්ද්‍රීය සංරචකයන් වේ. මෙම සන්දර්භය යටතේ, මිලිටරි භටයන් දිගේලි කිරීම බහුවිධ අභිප්‍රායයන්ට සේවය කරයි: අඩු කරන ලද සිවිල් කාර්ය මන්ඩල සහිත ව මෙහෙයුම් පවත්වා ගැනීම, සටන්කාමී කම්කරුවන් බියවැද්දීම, වැඩපොල විරුද්ධත්වය ගැන තොරතුරු එකතු කිරීම සහ පුද්ගලීකරනයට හා රැකියා කප්පාදුවට විරුද්ධ ව පැන නගින වැඩ වර්ජන තලා දැමීමට සූදානම් වීම ඒවාට අයත් වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව තුල වෘත්තීය සමිති 110ක් පමන ඇතත්, ඒ එකදු සමිතියක් වත් මිලිටරීකරන ධාවනයට බැරෑරුම් විරෝධයක් පල කර නැත. දුඑරිස කැඳවූ කෙටි හා සංකේත වැඩ වර්ජන ආරක්ෂක කපාටයන් ලෙස ක්‍රියාත්මක වූවා මිස, අව්‍යාජ අරගලයක කොටස් නො වී ය. ඉහල යන ජීවන වියදම, දුෂ්කර සේවා කොන්දේසි හා පුද්ගලීකරනයේ තර්ජනයට එරෙහි ව සාමාන්‍ය දුම්රිය රියැදුරන් අතර වර්ධනය වන කෝපයට මුහුන දුන් දුඑරිස නිලධරය, තත්ත්වය තමන්ගේ පාලනයෙන් පිට පනිනු ඇතැයි යන භීතියෙන් එම වර්ජන කැඳවුව ද ඒවා ක්ෂනික ව හකුලා ගැනීම මගින් යලි වතාවක් පෙන්වා දෙන්නේ, වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ කම්කරුවන්ගේ අරගල සීමා කරන හා මර්දනය කරන උපකරන ලෙස මිස, එම අරගල ඉදිරියට ගෙන යන ඒවා ලෙස නො වන බව යි.

මිලිටරි භටයන් රියැදුරන් ලෙස පුහුනු කිරීමේ ආන්ඩුවේ සැලසුම අවසන් මොහොත වන තෙක් දැන නො සිටි බවට වෘත්තීය සමිති නායකත්වය කරන කියාපෑම පිලිගත නොහැක. දුම්රිය කලමනාකාරීත්වය හා ප්‍රවාහන අමාත්‍යාංශය සමග සමීප සබඳතා පවත්වාගෙන යන දුඑරිසට, තීරනාත්මක අවස්ථාවල දී වැඩ වර්ජන ආපසු කැඳවීම හා හුදකලා කිරීම ගැන දීර්ඝ ඉතිහාසයක් ඇත. මෙම නිලධාරිවාදී උපාමාරු කෙරෙහි කම්කරුවන් කිසිදු විශ්වාසයක් නො තැබිය යුතු ය.

මෙම වර්ධනයන්ගේ පලල් දේශපාලනික අර්ථභාරය පැහැදිලි ය. පීඩිත දෙමල සුලුතරයට එරෙහි ව දශක ගනනක් තිස්සේ ගෙන ගිය යුද්ධයේ දී වර්ධනය කර ගත් මිලිටරිවාදී විධික්‍රම, දැන් සමස්ත කම්කරු පන්තියට එරෙහි ව ක්‍රමානුකූල ව යොදා ගැනෙමින් පවතී. මූලික පරිපාලන තනතුරුවලට මිලිටරි නිලධාරීන් යොදවා ඇති අනුප්‍රාප්තික ධනපති ආන්ඩු, වැඩ වර්ජන හා සිවිල් අතෘප්තීයන් මැඩීමට සන්නද්ධ හමුදා දිගේලි කර ඇත. ජවිපෙ/ජාජබ ආන්ඩුව මූල්‍ය ප්‍රාග්ධනය ආරක්ෂා කිරීමේ මෙම ගමන් මාවත අඛන්ඩ ව පවත්වාගෙන යමින් ගැඹුරු කරයි.

මිලිටරීකරනය අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලින් වෙන් කල නො හැක. දුර දිග යන පිරිවැය කප්පාදු, රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහකරනය හා පුද්ගලීකරනය වේගවත් කිරීම ක්‍රියාවට දැමීම ආන්ඩුව මුලුමනින් කැප වී සිටී. සමාජ අසමානතාව පලල් වන හා ජීවන තත්ත්වයන් ඛාදනය වන තතු තුල, පුපුරනසුලු වර්ධනයක් එය අපේක්ෂා කරයි. සිවිල් වැඩපොලවලට මිලිටරිය ඒකාග්‍ර කිරීම සමග අත්‍යවශ්‍ය මහජන සේවා පනති වැනි මර්දනීය නීති යොදා ගැනීම සංඥා කරන්නේ, රාජ්‍යයේ සියලු මර්දනීය උපකරන යොදා ගනිමින් වැඩෙන විරුද්ධත්වය තලා දැමීමට ආන්ඩුවේ සූදානමයි.

ආන්ඩුවට කරන ආයාචනා හෝ වෘත්තීය සමිති යාන්ත්‍රනය මත විශ්වාසය තැබීම හරහා, දුම්රිය කම්කරුවන්ට රැකියා, වැටුප් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගත නොහැක. තීරනාත්මක ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම යි.

සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන මගපෙන්වීම යටතේ පිහිටුවා ඇති දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව (දුකක්‍රික), වෘත්තීය සමිති හා ධනපති පක්ෂවලින් ස්වාධීන අව්‍යාජ ක්‍රියාකාරී සංවිධානයක් ලෙස ගොඩනැගීමට හා විස්තාරනය කිරීමට දුම්රිය කම්කරුවන් පියවර ගත යුතු ය. සියලු රැකියාවල ආරක්ෂාව, සිවිල් වැඩපොලවලින් මිලිටරි භටයන් ඉවත් කිරීම, මර්දනීය හදිසි නීති අහෝසි කිරීම හා අයිඑම්එෆ් වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කිරීමට සටන් වදින, තමන් හා සමාන ප්‍රහාරවලට මුහුන දෙන තැපැල්, සෞඛ්‍ය, වතු හා අනෙකුත් කම්කරුවන් සමග එම කමිටු හරහා දුම්රිය කම්කරුවන් එකමුතු කල යුතු ය.

මෙම අරගලය අවශ්‍යයෙන් ම දේශපාලන බලය පිලිබඳ ප්‍රශ්නය ඉස්මතු කරයි. ධනවාදී ලාභ පද්ධතිය හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ විධානයන් සමග කම්කරුවන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ආරක්ෂාව නො පෑහේ. සමාජය සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප්‍රතිසංවිධානය කිරීමට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකින් ධනපති පාලනය විස්ථාපනය කිරීම ඉලක්ක කරගන්නා කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් මේ සඳහා අවශ්‍ය කරයි. 

Loading