දිට්වා සුලි කුනාටුවෙන් පීඩාවට පත් වතු කම්කරුවෝ ජීවත් වීමට ආරක්ෂිත ස්ථානයක් ඉල්ලා සිටිති

දිට්වා සුලි කුනාටුව හේතුවෙන්, පාර්ක් සහ කොන්කෝඩියා යන වතුවල, එස්ක්ඩේල් සහ පාර්ක් කොට්ඨාශවලින් අවතැන් වූ, කඳපොල නගරයේ සිති විනයාගර් කෝවිලේ දැනට රැඳී සිටින වතු කම්කරුවෝ තම නිවෙස් වෙත ආපසු යාම දිගින් දිගට ම ප්‍රතික්ෂේප කරමින්, ආරක්ෂිත ස්ථානයක නිවාස ඉල්ලා සිටිති. මෙම වතු කලමනාකරනය කරනු ලැබෙන්නේ, උඩුපුස්සැල්ලාව වතු සමාගම යටතේ, බ්‍රවුන්ස් සමාගම විසිනි.

දිත්වා සුලි කුනාටුව හේතුවෙන් ප්‍රධාන නායයාම් සහ මරන වාර්තා වූ කඳපොල එස්කඩාල් වත්තේ නායයාම්වල අන්තරාය යටතේ ජීවත් වන කම්කරුවෝ

අවතැන් වූ පවුල් අතරින් කිහිපයක් පමනක් වෙනත් ස්ථානවල නැවත පදිංචි කරන ලෙස නිර්දේශ කල ආන්ඩුව සෙසු පවුල්වලට කීවේ, ඔවුන්ගේ හානියට පත් නිවාස වෙත ආපසු යන ලෙසයි. පවුල් 110 ක් තවමත් රැඳී සිටින්නේ කෝවිලේ ය. නාය යෑම් හේතුවෙන් එස්ක්ඩේල් වතුයායේ ප්‍රාථමික පාසල වසා දමා ඇති බැවින්, ඔවුන්ගේ දරුවන් පාසල් යන්නේ කඳපොල නගරයට ය.

එස්ක්ඩේල් වතුයායේ සේවකයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූ ආකාරයට: “පවුල් 25 ක නිවාස පමනක් ජීවත් වීමට සුදුසු තත්වයේ නොපවතින බවත්, අනෙක් අයට නැවත තම නිවෙස් කරා යා හැකි බවත් ආන්ඩුවේ නිලධාරීහු නිර්දේශ කලහ. කෙසේ වෙතත්, පවුල් 135 කට වැඩි ප්‍රමානයක් ආසන්න අනතුරකට මුහුන දී සිටිති. සමස්තයක් වශයෙන්, වතුයායේ ජීවත් වෙන පවුල් සංඛ්‍යාව 280 ක් වුව ද, ජීවත් වීමට මුලු එස්ක්ඩේල් කොට්ඨාශය ම අනාරක්ෂිත ය. තවත් නායයෑමක් හෝ ගංවතුරක් ඇති වුවහොත්, මුලු මහත් පවුල් පිටින් ගසාගෙන යා හැකි ය.”

කොන්කෝඩියා වතුයායේ පවුල් 29 ක් නායයෑම්වලින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. සුලි කුනාටුවෙන් මාර්ග සම්පූර්නයෙන් ම හානි වී ඇති අතර, බලපෑමට ලක් වූ පවුල්වලට තම නිවෙස්වලට ප්‍රවේශ විය නොහැක. ජල සැපයුම් පද්ධතිය සම්පූර්නයෙන් ම බිඳ වැටී තිබේ. මෙම කොන්දේසි නොසලකා ආපසු යන ලෙස ඉල්ලා සිටීම ගැන පවුල් කෝපයට පත් ව සිටියි. වතු කලමනාකාරිත්වය හෝ ආන්ඩුව මාර්ග අලුත්වැඩියා කටයුතු සිදු කර නොමැත.

මෙම ව්‍යසනය හේතුවෙන් එස්ක්ඩේල් වතුයායේ දරුවන් දෙදෙනෙකු ඇතුලු හය දෙනෙක් මරනයට පත්ව ඇත. වතුයායේ ජීවත් වූ ගුරුවරියක් වන ක්‍රිනවේනි, ඇගේ දරුවන් දෙදෙනා සහ ඇගේ මව යන සියල්ලෝම මිය ගියහ. ඇගේ සැමියා දිවි ගලවා ගත්තේ, ඒ වන විට නිවසේ නොසිටි නිසා පමනි. සොයා ගැනීමට හැකිව ඇත්තේ එක් දරුවෙකුගේ මල සිරුරක් පමනි; අනෙක් අය සම්බන්ධයෙන් තවමත් සැලකෙන්නේ, අතුරුදහන් වී ඇති බව පමනි.

ක්‍රිනවේනිගේ නිවස අසල ජීවත් වන ග්ලෝරියා මෙසේ කීවා ය: “ක්‍රිනවේනි සහ ඇගේ දරුවන් ගංගා ජලයෙන් ගසාගෙන යනු දුටු විට, මම ක්ලාන්ත වෙලා වැටුනා. ඒ නිසා මගේ කකුල කැඩුනා. මගේ නිවසටත් ගංවතුරෙන් දරුනු විදියට හානි සිද්ද වුනා.”

දිත්වා සුලි කුනාටුවෙන් බරපතල ලෙස බලපෑමට ලක් වූ කඳපොල ප්‍රදේශයේ එස්කාඩල් වත්තේ, පවුලක අතුරුදන් වූවන්ගේ සිරුරු තවමත් සොයා නොගත් නිවස

දැනට තම සහෝදරයා වන ප්‍රභාකරන්ගේ නිවසේ ජීවත් වන විජේකුමාර් මෙසේ පැවසීය: “අපේ නිවස කඩා වැටෙන කොට, මගේ සහෝදරයා සහ ඔහුගේ දරුවන් දෙදෙනාත් මාත් එකක් ගෙදර ඉදියා. අපි මරනයෙන් බේරුනේ අනූනවයෙන්. ගෙදරින් පිටත්වෙන්න විනාඩි පහක් පරක්කු වුනා නම්, අතුරුදහන් වෙලා යන්න ඉඩ තිබුනා. ගොඩාක් අමාරුවෙන් තමයි දරුවන් දෙදෙනා බේරා ගන්න පුලුවන් වුනෙත්.”

ඔහු තවදුරටත් මෙසේ පැහැදිලි කලේය: “දැන් අපි ජීවත් වෙන්නෙ, අපේ වත්තෙන් කිලෝමීටර් හතක් ඈත තැනක; එතනට කුලිය රුපියල් 15,000 ක් ගෙවනවා. මට වත්තේ වැඩ කරන්න, එතැන ඉඳල සෑහෙන දුරක් එන්න වෙනවා. අපේ පාඩු ගැන සියලු විස්තර අපි ආන්ඩුවේ නිලධාරීන්ට ලබා දී තිබෙනවා; නමුත් මාස දෙකකට පසුවත්, ඔවුන් අපේ කුලී වියදම් ආපසු ගෙවල වත්, ඉඩම් සඳහා කිසිදු සහතිකයක් ලබා දීල වත් නැහැ.”

තවත් සේවකයින් කිහිප දෙනෙකු ද ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගත්හ:

'නායයෑම් සහ ගංවතුර හේතුවෙන් එස්ක්ඩේල් වතුයායට බරපතල හානි සිදු වුනා. අපට සිද්ධ වෙච්ච හානිය බලන්න මොනම වතු වෘත්තීය සමිතියක්වත්, දේශපාලන පක්ෂයක්වත් ආවේ නැහැ. මාධ්‍ය පවා අපේ දුක්ඛිත තත්ත්වය පිලිබඳ වාර්තාවක් වත් පල කලේ නැහැ. මෙම වෘත්තීය සමිති නායකයින් අපගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහින්, සුවපහසු ජීවිත භුක්ති විඳිමින්, ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. ඒ අතරේ අපේ හැම දේම අහිමි කරලා පාරට ඇදලා දමලා.'

කඳපොල සිති විනයාගර් කෝවිලේ රැඳී සිටින පීඩාවට පත් ජනතාවගෙන් කිහිප දෙනෙකු කොලඹට ගෙනැවිත්, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා, ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මුනගැස්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) උත්සාහ කර තිබේ. ජනාධිපතිවරයා විරෝධතාකරුවන් හමුවීම ප්‍රතික්ෂේප කලේය. ඒ වෙනුවට, කම්කරුවන් කෙරෙහි ආන්ඩුවේ ආකල්පය පෙන්නුම් කරමින්, විරෝධතාව බිය ගන්වා මර්දනය කිරීමට සන්නද්ධ පොලිසිය යොදවන ලදි. ලේකම් කාර්යාලයේ සමහර නිලධාරීන්, නියෝජිතයින් හමුවී පැවසුවේ, හානිය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයෙන් වාර්තාවක් ලැබුනු පසු, ආන්ඩුව ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන බවයි.

විරෝධතාවයට සහභාගී වූ එස්ක්ඩේල් වතුයායේ අනන්තරාජා මෙසේ පැවසීය: “අපි පැරනි වතු වෘත්තීය සමිති—ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කම්කරු සංගමය සහ කඳුරට ජනතා පෙරමුන—ප්‍රතික්ෂේප කරලා, පෙර තිබුනු මැතිවරනවලදී ඡන්දය දුන්නේ ජාජබට. වෙනසක් අපේක්ෂා කලාට අපගේ කොන්දේසි කිසිවක් වෙනස් වෙලා නැහැ. වතුකරයෙන් තේරී පත් වූ ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සුලි කුනාටුවෙන් විපතට පත් වූවන්ගේ තත්වයන් ගැන හෝ නිවාස හා ඉඩම් ගැටලු ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් වැඩි කාලයක් ගත කලේ තොන්ඩමන්ගේ නාම පුවරුව වෙනස් කිරීමට.”

පෙසප, විකල්පයක් ඉදිරිපත් කරන බව පවසමින් කම්කරුවන් සහ තරුනයන් අතර ඇති කෝපය ගසාකමින් විරෝධතා සංවිධානය කරයි. එය, ආන්ඩුවට පීඩනය යෙදිය හැකි බවටත්, කම්කරුවන්ගේ ඉල්ලීම් ලබා දීමට බල කල හැකි බවටත් මිත්‍යාවන් වපුරයි. පක්ෂය කලින් දක්ෂිනාංශික ජවිපෙ/ජාජබ ආන්ඩුව උත්කර්ෂයට නැංවූ අතර, එය 'ජනතා අපේක්ෂාවන්ගේ' ප්‍රකාශනයක් ලෙස විස්තර කලේය. පෙසප යනු ධනේශ්වර ක්‍රමය තුල විසඳුම් සොයන සහ ඒ තුල ප්‍රතිසංස්කරන වෙනුවෙන් පෙනී සිටින තවත් පක්ෂයක් පමනි.

ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ පෙබරවාරි 4දා වාර්තාවට අනුව, පවුල් 48,000 කට වැඩි ගනනක පුද්ගලයින් 166,000 කට ආසන්න සංඛ්‍යාවක් තවමත් රජයේ මධ්‍යස්ථානවල, මිතුරන් සමඟ හෝ කුලී නවාතැන් වල රැඳී සිටිති. මෙම පවුල්වලින් බහුතරයක්, තාවකාලික ලයින් කාමරවල ජීවත් වන, වතු කම්කරුවන් ඇතුලු සමාජයේ දුප්පත් කොටස්වල අය වෙති. කඳපොල සහ අනෙකුත් ප්‍රදේශවල වතු කම්කරුවන් ද ඒ අතර වෙති.

විශාල සමාගම්වලට සහ ආන්ඩුවට බලපෑම් දැමීමෙන් තම බරපතල ගැටලු විසඳා ගත හැකි බව පවසන පෙසප සහ ඒ ආශ්‍රිත කන්ඩායම්වල දේශපාලනය සහ වැඩපිලිවල ප්‍රතික්ෂේප කරන ලෙස අපි වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. දිට්වා සුලි කුනාටුව මෙම ගැටලු තවත් ගැඹුරු කර ඇතිවා පමනි.

වතු සේවකයින්ට අප කැඳවුම් කර සිටින්නේ මෙසේ ඉල්ලා සිටින ලෙසයි:

  • දිට්වා සුලි කුනාටු ව්‍යසනයට සම්පූර්න වන්දි!
  • බලපෑමට ලක් වූ පවුල් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහිත ආරක්ෂිත නිවාස!

මෙම ඉල්ලීම් සඳහා වන අරගලය අනෙකුත් පුලුල් ඉල්ලීම් සමඟ ඒකාබද්ධ කල යුතුය:

  • යහපත් මාසික වැටුප්, වැටුප් සහිත වෛද්‍ය නිවාඩු; ගුනාත්මක අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා දිනා ගැනීම.
  • බැරැක්ක වැනි ලයින් කාමර අහෝසි කිරීම සහ මූලික පහසුකම් සහිත නිසි ලෙස ඉදිකෙරුනු නිවාස සැපයීම.
  • වතු කම්කරුවන්ට එරෙහි සියලු නීතිමය, සමාජීය සහ වෙනත් ආකාරයේ වෙනස්කම් කිරීම් අවසන් කල යුතුය.

මෙම ඉල්ලීම් සඳහා සටන් කිරීමට නම්, වතු කම්කරුවන් තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතුය. සීඩබ්ලියුසී, යූපීඩබ්ලියු, එන්යූඩබ්ලියු, ඩීඩබ්ලියුසී සහ අනෙකුත් වෘත්තීය සමිතිවල නිලධරයන්ට එරෙහි ඔවුන්ගේ කෝපය යුක්තිසහගත වේ. මෙම වෘත්තීය සමිතිවලට හෝ ධනේශ්වර පක්ෂවල අනෙකුත් නියෝජිතයින්ට කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු පාලනය කිරීමට ඉඩ නොදිය යුතු ය.

මෙම අයිතිවාසිකම් සඳහා වතු කම්කරුවන්ගේ අරගලය සමස්තයක් ලෙස කම්කරු පන්තියේ පුලුල් අරගලයෙන් වෙන් කල නොහැකිය. සියලුම කම්කරුවෝ අයිඑම්එෆ් විසින් පැනවූ කුරිරු කප්පාදු පියවරවල ස්වරූපයෙන් ධනේශ්වර ආර්ථික අර්බුදයේ බරට මුහුන දී සිටිති.

වතු කම්කරුවන්ගේ ඉල්ලීම් සපුරා ගත හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන සටනේ කොටසක් ලෙස, සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන කම්කරු පන්තියේ පුලුල් අරගලයක් හරහා පමනි.

Loading