සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම් ත්‍රිකුනාමලයේ වාර්ගික ප්‍රකෝප කිරීම් උසිගැන්වීමට උත්සාහ කරයි

වාර්ගික ආතතීන් ඇවිස්සීමට හිතාමතාම තැත් කරමින් බෞද්ධ භික්ෂූන් පිරිසක්, ප්‍රදේශයේ සිංහල පදිංචිකරුවන් කිහිප දෙනෙකුගේ ද සහාය ඇතිව, ඉරිදා, ත්‍රිකුනාමලයේ කොටුව පාරේ වෙරල තීරයේ බුදු පිලිමයක් සහිත සිද්ධස්ථානයක් ඉදිකිරීමට නීති විරෝධී ලෙස උත්සාහ කලහ.

බෞද්ධ විහාරස්ථානයක් වන සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ අනුග්‍රහයෙන් එයට යාබදව ඉදිකරන ලද ‘කොෆි ෂොප්’ පන්නයේ ආපන ශාලාවක් ආසන්නයේ මෙම ස්ථානය පිහිටා ඇත. ආපන ශාලාව ඉදි කර ඇත්තේ, එහි ආදායමෙන් කොටසක් විහාරස්ථානයට ලබා ගැනීම සඳහා ය. වෙරල සංරක්ෂන දෙපාර්තමේන්තුවේ (සීසීඩී) බලධාරීන් විසින්, එම ස්ථානය, වෙරලබඩ ප්‍රදේශයේ කොටසක් ලෙස ප්‍රදේශවාසීන්ගේ සහ සංචාරකයන්ගේ භාවිතය සඳහා වෙන් කර ඇති තතු යටතේ, ආපන ශාලාව පිහිටි ඉඩම මතභේදයට තුඩු දී ඇත.

නවතම තත්ත්වය මාධ්‍යයට පැහැදිලි කරමින් සීසීඩී ය පැවසුවේ පරිසර විද්‍යාත්මකව සංවේදී වෙරල තීරයට පාරිසරික තර්ජනයක් එල්ල වන බැවින් මෙම “අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අධිකරන නියෝගයක් ලබා ගෙන ඇති” බවයි. පොලිසියේ සහාය ඇතිව අධිකරන නියෝගය මත එය කඩා ඉවත් කිරීම සිදු කිරීමට සූදානම් වෙමින් සිටිය දී, බුද්ධ ප්‍රතිමාවක් සහිත නව තාවකාලික ආගමික ගොඩනැගිල්ලක් හදිසියේම එම ස්ථානයේ ස්ථාපනය කරන ලදී.  අධිකරන නියෝගයට “බාධා” කිරීම සඳහා එය හිතාමතා සිදුකල ක්‍රියාවක් බව නිලධාරීහු පැවසූහ. (Newswire, නොවැම්බර් 18)

ත්‍රිකුනාමලය දෙමල, මුස්ලිම් සහ සිංහල යන ජනතාව ජීවත් වන නැගෙනහිර පලාතේ ප්‍රධාන නගරවලින් එකකි. 2009 මැයි මාසයේ දී අවසන් වූ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි 26 වසරක වාර්ගික යුද්ධයෙන් උතුරු නැගෙනහිර විනාශයට පත් විය. දෙමල ජනතාවට එරෙහිව ක්‍රමානුකූලව වෙනස්කම් කිරීමේ කොටසක් ලෙස, බලයට පත් කොලඹ ආන්ඩු ජනවිකාස රටා වෙනස් කිරීම සඳහා සිංහල ජනපද, විශේෂයෙන් නැගෙනහිර ප්‍රදේශයන්හි ස්ථාපිත කලේ ය.

යුද්ධයෙන් පසු, බෞද්ධ සංස්ථාපිතය “තම උරුමය සොයා ගැනීමේ” නමින් ව්‍යාපාරයක් දියත් කල අතර, අමගින් වර්ගවාදී ආතතීන් තවත් තීව්‍ර කලේ ය. පලාත් දෙක ම තවමත් මිලිටර්ය් වාඩිලෑම යටතේ පවතින අතර, මිලිටරිය සිවිල් පරිපාලනයට බලපෑම් කරමින්, ජනතාව බිය ගන්වමින් සහ ඔවුන් පිළිබඳව තොරතුරු සෙවීමේ නිරතව සිටී.

සමාජවාදී සමානතා පක්ෂය, ත්‍රිකුණාමල ප්‍රදේශයේ සිදුකෙරෙන වාර්ගික ප්‍රකෝප කිරීම ප්‍රතික්ෂේප කරන ලෙස කම්කරු පන්තියෙන් සහ පීඩිත ජනතාවගෙන්,  ඉල්ලා සිටී. කම්කරු පන්තිය ජාත්‍යන්තරවාදී පන්ති එකමුතුව සඳහා සටන් කල යුතු ය.

ඉලංගෛ තමිල් ඇරසු කච්චි (අයිටීඒකේ) ත්‍රිකුනාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් ප්‍රදේශයේ සිද්ධස්ථානයක් පිහිටුවීමේ පියවර පිලිබඳව බලධාරීන්ට දැනුම් දීමෙන් පසු, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මුලින් එම ස්ථානයේ තබා ඇති ප්‍රතිමාව ඉවත් කරන ලෙස ප්‍රදේශයේ පොලිසියට උපදෙස් දුන්නේ ය.

කෙසේ වෙතත්, අන්ත දක්ෂිනාංශික සිංහල-බෞද්ධ කොටස්වල විරෝධයට හිස නමමින්, අමාත්‍ය විජයපාල පසුදා පොලිසියට උපදෙස් දුන්නේ ප්‍රතිමාව ප්‍රතිස්ථාපනය කරන ලෙසයි. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා පැවසුවේ ප්‍රතිමාව විනාශ කිරීමට ලක්විය හැකි බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බැවින්, එය රැගෙන ගොස් ආරක්ෂා කල බවයි. ප්‍රතිමාව විනාශ කල හැක්කේ කවුරුන් විසින්දැයි ඔහු කීවේ නැත.

නැවතත් අදාල ස්ථානයට ප්‍රතිමාව වැඩමවා ගෙන එන පොලිසිය [Photo: Varadan Kirusna (Facebook)]

බෞද්ධ භික්ෂූන්ගෙන් කොටසක් ප්‍රතිමාව ඉවත් කිරීම බුද්ධාගමේ උත්තරීතරභාවයට එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙස හෙලා දැකීමට පටන් ගත්හ. බෞද්ධ නිකායක් වන අමරපුර නිකායේ ප්‍රධාන භික්ෂූ උයන්ගොඩ මෛත්‍රීමූර්ති පැවසුවේ 1951 සිට පන්සල එම ඉඩමේ පැවති බවයි. ඔහු එම ප්‍රදේශය පන්සලට අයත් බවට තීන්දුවක් ඉල්ලා අභියාචනාධිකරනයේ නඩුවක් ගොනු කර ඇත.

මුස්ලිම්වරුන්ට, දෙමල සුලු ජාතීන්ට සහ ක්‍රිස්තියානි ප්‍රජාවට එරෙහිව ප්‍රකෝප කිරීම් සිදු කර ඇති අන්තවාදී කන්ඩායමක් වන බොදු බල සේනාවේ ප්‍රධාන ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර, බදාදා එම ස්ථානයට පැමින, “පොලිසියට කිසිදු ස්ථානයකින් බුද්ධ ප්‍රතිමා ඉවත් කිරීමට බලයක් නැත” යි ද කිසිවෙකුට “බුද්ධාගමේ උත්තරීතරභාවය” ප්‍රශ්න කල නොහැකි යයි ද ප්‍රකාශ කලේ ය. මෙම සිද්ධියෙන්, නවදිල්ලි නගරයේ සිදු වූ බෝම්බ පිපිරීම් වලට සමාන බෝම්බ පිපිරීම් පවා ඇති කල හැකි බවට, නොවැම්බර් 10 වැනි දා එම නගරයේ සිදු වූ බෝම්බ පිපිරීමක් ගැන සඳහන් කරමින් ඔහු අනතුරු ඇඟවීය. හින්දු ආධිපත්‍යවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව, ඉන්දියාව තුල සහ පාකිස්තානය සමඟ ද මුස්ලිම් විරෝධී ආතතීන් අවුලුවාලමින්, කියා සිටින්නේ එය මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවයි.

පාර්ලිමේන්තුවේ සියලුම විපක්ෂ වහාම සටනට එක් විය. විපක්ෂ නායක සමගි ජන බලවේගයේ (සජබ) සජිත් ප්‍රේමදාස පොලිසියේ ක්‍රියාව හෙලා දුටු අතර, බුද්ධාගමේ ප්‍රමුඛතාවය සහ එය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍යයේ වගකීම ඇතුලත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ආන්ඩුව විසින් ආරක්ෂා කල යුතු බව පැවසීය. ශ්‍රී ලංකාවේ ප්‍රතිගාමී ඒකීය රාජය් ව්‍යවස්ථාව බුද්ධාගමේ සහ සිංහල භාෂාවේ ප්‍රමුඛතාවය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) මන්ත්‍රී දයාසිරි ජයසේකර “බෞද්ධයන්ට එරෙහිව” ආන්ඩුවේ ක්‍රියාවන්ට එරෙහිව පාර්ලිමේන්තුවේදී කෑ ගැසී ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඇසුවේ, “ආරක්ෂාව සඳහා ප්‍රතිමාව ඉවත් කලානම් පොලිස් පහරදීම හේතුවෙන් භික්ෂූන් දෙදෙනා රෝහල් ගත කලේ ඇයි?” යනුවෙනි. සිකුරාදා නුගේගොඩ පැවැත්වෙන ආන්ඩුවට එරෙහි විපක්ෂ රැලියේදී මෙම “ප්‍රශ්නය” සාකච්ඡා කරන බව ඔහු ඊයේ මාධ්‍ය වෙත පැවසී ය. එයින් ඇඟවෙන්නේ පක්ෂය වර්ගවාදී ප්‍රකෝප කිරීම උපරිමයෙන් භාවිතා කරනු ඇති බවයි.

දිවයින පුවත්පත, “ත්‍රිකුනාමල බෞද්ධ උරුමය සහ එය විනාශ කිරීමට දැරූ නීච උත්සාහය” යන මැයෙන් ගිනි අවුලුවන කතුවැකියක් පල කලේ ය.

මෙම ප්‍රකෝපකාරී ව්‍යාපාරය මධ්‍යයේ, අයිටීඒකේ ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් පාලක ජනතා විමුක්ති පෙරමුනේ/ජාතික ජන බලවේගයේ (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ සියලුම දෙමල සාමාජිකයින්ගෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියේ, බෞද්ධ ඉදිකිරීම් සඳහා ආන්ඩුව දක්වන සහයෝගය එහි සැබෑ වාර්ගික දිශානතිය හෙලි කල බවට තර්ක කරමිනි.

ඒ සමඟම, පලමුව ප්‍රතිමාව ඉවත් කර ඊලඟ දිනයේ එය ප්‍රතිස්ථාපනය කිරීම ගැන සඳහන් කරමින්, රාසමානික්කම් ආන්ඩුවේ ආපසු හැරීම විවේචනය කලේය.

මෙම දෙමල පක්ෂ සිංහල පාලක ප්‍රභූවේ වාර්ගික දේශපාලනයම අනුගමනය කරයි. දෙමල කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන ඔවුන්ට කිසිදු තැකීමක් නැත. ඔවුහු, දෙමල ප්‍රභූවේ වරප්‍රසාද සඳහා කොලඹ පාලන තන්ත්‍රයන් සමඟ කේවල් කිරීමක යෙදී සිටින අතර, වොෂින්ටනයේ මූලෝපායික අවශ්‍යතා සඳහා තම සහාය සහතික කරමින්, එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලවතුන්ගෙන් ඒ සඳහා සහාය ඉල්ලා සිටිති.

මෙම හඬ තැලීම් මධ්‍යයේ, ආරක්ෂක අයවැය සාකච්ඡාව අතරතුර, ජවිපෙ/ජාජබ නායක සහ ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමින, ප්‍රතිමාව එම ස්ථානයේ “ප්‍රතිස්ථාපනය” කර ඇති බවත්, “මෙම ප්‍රශ්නයට අදාල සියල්ල දැන් විසඳා ඇති” බවත් ප්‍රකාශ කලේ ය.

දෙසැම්බර් 26 වන දින මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අභියාචනාධිකරන තීන්දුවට අනුව ආන්ඩුව කටයුතු කරන බව ඔහු පැවසූ අතර, “අපි ජාතිවාදයට ඉඩ නොදෙමු... යමෙකු පැරනි ජාතිවාදය නැවත ඇති කිරීමට උත්සාහ කරන්නේ නම්, ඔවුන්ට වර්තමානයේ හෝ අනාගතයේ දී ඉඩ නොදෙනු ඇත” යනුවෙන් ද පැවසී ය.

මේවා ජනතාව රැවටීමේ හිස් ප්‍රකාශයන් ය. දිසානායක සහ ජවිපෙ ආණ්ඩුව සුලු ජාතීන්ගේ අයිතිවාසිකම් මර්දනය කිරීම සඳහා ක්‍රමානුකූලව භාවිතා කර ඇති ප්‍රතිගාමී ඒකීය ව්‍යවස්ථාවේ දැඩි ආධාරකරුවන් වේ. තම පාලන තන්ත්‍රය සැමවිටම බෞද්ධ උරුමය සහ වටිනාකම් ආරක්ෂා කරන බවට දිසානායක නැවත නැවතත් බෞද්ධ ධුරාවලියට සහතික කර ඇත.

සිංහල දේශප්‍රේමය ප්‍රවර්ධනය කිරීමේ රුදුරු ඉතිහාසයක් සතු ජවිපෙ, දශක තුනක වාර්ගික යුද්ධයේ දෘඪතර ආධාර කරුවෙකි. 1987-1989 දී, එය ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ෆැසිස්ට් ප්‍රහාර දියත් කල අතර එය “මව්බිම” පාවාදීමක් ලෙස ප්‍රකාශ කලේය. මෙම ව්‍යාපාරයේ දී ඔවුහු දේශපාලන විරුද්ධවාදීන්, කම්කරුවන් සහ වෘත්තීය සමිති නායකයින් ඝාතනය කලහ. දිසානායක හෝ ජනතා විමුක්ති පෙරමුන මෙම කිසිදු ප්‍රහාරයක් හෙලා දැක නැත, එමෙන්ම1987-1989 සමයේ ඔවුන්ගේ මැරයන් වීරයන් ලෙස වාර්ෂිකව සමරති.

මාස හතරක මහජන නැගිටීමකට තුඩු දෙමින් 2022 දී පුපුරා ගිය දේශපාලන හා ආර්ථික අර්බුදයේ ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව අඛන්ඩව ගිලී සිටී. ජවිපෙ/ජාජබ, සජබ, වෘත්තීය සමිති නිලධරය සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමඟ එක්ව, මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහභාගී වූ බලගතු මහජන ව්‍යාපාරය පාර්ලිමේන්තු මාවතට දේශපාලනිකව හසුරුවමින් “පාර්ලිමේන්තු පක්ෂවල අන්තර්කාලීන පාලනයක්” සඳහා උද්ඝෝෂනය කලේ ය.

2022 පැනනැගුනු මහජන නැගිටීම මගින් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කෙරුනු නමුත් එම මහජන අරගලය පාවා දීම, අපකීර්තිමත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කොට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ආරම්භ කිරීමට හේතු විය. පසුගිය වසරේ මැතිවරනයේ දී දිසානායකට සහ ජවිපෙ/ජාජබට බලය ලබා ගැනීම සඳහා ධනේශ්වර ප්‍රභූවේ සැලකිය යුතු කොටසක් විසින් සහාය දක්වන ලදී. දිසානායක ආන්ඩුවේ, අඛන්ඩ හා තීව්‍ර කරන ලද ජාමූඅ හි ප්‍රහාරවලට එරෙහිව, කම්කරුවෝ, ග්‍රාමීය දුප්පත්තු සහ සිසුන් ඇතුලු තරුනයෝ දැඩි කෝපයෙන් පසුවෙති.

ව්‍යාජ වාම කන්ඩායම්වල සහාය ඇතිව වෘත්තීය සමිති නිලධරයන් මහජන විරෝධය මැඬ පැවැත්වීමට සහ මර්දනය කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරන නමුත්, පාලක පන්තිය සහ එහි ආන්ඩුව 2022 වැනි මහජන අරගලයක් පැන නැගීමේ භීතියෙන් තැති ගෙන සිටිති.

අර්බුදයේ තීරනාත්මක අවස්ථාවක, කම්කරු පන්තිය බෙදීමට සහ මර්දනය කිරීමට ඔවුන් විෂ සහිත දෙමල විරෝධී සහ මුස්ලිම් විරෝධී වර්ගවාදය භාවිතා කරනු ඇත. ත්‍රිකුනාමලයේ ප්‍රකෝප කිරීම ඒ පිලිබඳ සංඥාවක් වන අතර කම්කරු පන්තියට තියුනු අනතුරු ඇඟවීමකි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරන්නේ, කම්කරු පන්තිය, සියලුම ආකාරයන්හි වාර්ගවාදයට එරෙහිව, ග්‍රාමීය දුප්පතුන් සහ දෙමල සහ මුස්ලිම් සුලුතරයන් රැලිකර ගනිමින්, ධනපති පන්තියේ සෑම කොටසකින්ම ස්වාධීනව, ජනවාර්ගික බෙදීම් රේඛා කපාගෙන එක්සත් විය යුතු බවයි.

ලොව පුරා පාලක පන්ති, කම්කරු පන්තියේ එකමුතුව බිඳ දැමීම සඳහා වාර්ගික හා ආගමික වෛරය වපුරයි; මෙම භේදකාරී න්‍යාය පත්‍ර පරාජය කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්ති සහයෝගීතාවයට පමනි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහිත සියලු ප්‍රජාවන්ගේ සමානාත්මතාවය සහතික කිරීමේ කාර්යයන් මෙම කාර්යයන් ප්‍රමුඛ වේ: ප්‍රතිගාමී ව්‍යවස්ථාව සහ සියලු මර්දනකාරී හා වෙනස් කොට සැලකීමේ නීති අහෝසි කිරීම; උතුරෙන් හා නැගෙනහිරින් ශ්‍රී ලංකා හමුදාව ඉවත් කර ගැනීම; සියලු යුද අපරාධකරුවන්ට දඬුවම් කිරීම.

ධනේශ්වර රාජ්‍යය හෝ වාර්ගික පක්ෂ හරහා සැබෑ සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සාක්ෂාත් කරගත නොහැක. ධනවාදය පෙරලා දමා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා ග්‍රාමීය වැඩ කරන ජනතාවගේ සහාය ඇතිව සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍ය වේ. දකුනු ආසියාවේ සහ ලෝකයේ එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ඉදිරිදර්ශනය සසප ඉදිරිපත් කරයි.

මෙම වැඩපිලිවෙල සඳහා සටන් කිරීමට, සෑම වැඩබිමකම සහ ග්‍රාමීය ප්‍රදේශයකම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙසත්, මෙම කමිටුවල නියෝජිතයින්ගෙන් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ස්ථාපිත කරන ලෙසත් සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

මේ වනාහි, කම්කරු පන්තියේ නායකත්වය යටතේ කම්කරුවන්, පීඩිත ජාතීන් සහ ප්‍රජාවන් එක්සත් කරන ලද සහ 1917 ඔක්තෝබර් විප්ලවය සඳහා ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් ජයග්‍රාහීව නායකත්වය දෙන ලද, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය මත පාදක වූ වැඩපිලිවෙලයි.

මෙම වැඩපිලිවෙලට සටන් කිරීම සඳහා සසපට එක්වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Loading