විපක්ෂයේ නොවැම්බර් 21 රැලිය-දේශපාලනිකව පාරාජිකාවට පත් පක්ෂ තමන් පුම්බා ගැනීමේ වෑයමක්

වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ මහජන විරෝධී ප්‍රතිපත්තිවලට එරෙහිව වැඩෙන විරුද්ධත්වය මධ්‍යයේ, පසුගිය වසරේ මැතිවරනවල දී අන්ත පරාජයට පත් වූ පක්ෂ කිහිපයක් මහජන අවධානය  තමන් වෙත දිනා ගැනීමේ මංමුලා සහගත වෑයමක නිරත ව සිටී. සිකුරාදා (21) නුගේගොඩ දී “ජනතා හඬ” නමින් පැවැත්වීමට නියමිත “ඒකාබද්ධ විපක්ෂයේ' රැලිය, මේ වෑයමේ කොටසකි. මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ), එක්සත් ජාතික පක්ෂය (එජාප), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් කන්ඩායම් සහභාගී වන බව නිවේදනය කර තිබේ. 

රැස්වීමේ ප්‍රධාන සංවිධාකයෙකු  වන ශ්‍රීලංපොපෙ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍යයට පවසා සිටියේ, ජවිපෙ/ජාජබ ආන්ඩුවට “මැතිවරනයේදී දුන් පොරොන්දු මතක්කර දීම” තම රැස්වීමේ අරමුන බවයි. 

ගිය අවුරුද්දේ මැතිවරනයට පෙර ආන්ඩු පක්ෂය, මහජනයාගේ ජීවන බර අඩු කරන බවට දුන් බොරු පොරොන්දු සියල්ල කුනු කූඩයට දමා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) ගහල වැඩපිලිවෙල ඉදිරියට ගෙනියන නිසා, ඊට එරෙහිව වැඩෙන මහජන කෝපයේ ගිනි රස්නය විරුද්ධ පක්ෂවලට දැනේ. ඒවාට උවමනාවී ඇත්තේ, ආන්ඩුව ලවා බොරු පොරොන්දු ඉටු කරවා ගැනීම නොව, මේ මහජන කෝපය ගසා කා යටපත් කිරීම යි. 

අගෝස්තු 22දා, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ඊනියා දූෂන විරෝධී ව්‍යාපාරය යටතේ, එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොලිස් අත්අඩංගුවට ගත් දිනයේ සිට, එය නිමිත්ත කර ගෙන විපක්ෂයේ සංවිධාන, ආන්ඩුවට එරෙහිව එකමුතුවක් අටවා ගැනීමේ වෑයමක යෙදුනි. අගෝස්තු 24දා, විපක්ෂයේ සංවිධාන “ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය පරදවමු” යන තේමාවෙන් මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර, අගෝස්තු 25දා මෙම සංවිධානවල නායකයන්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් රැස් වී, ආන්ඩුව “ඒකාධිපතිත්වය දෙසට යන ගමන වැලැක්වීමේ” පොදු වැඩපිලිවෙලක් ඇති කර ගත යුතු බවට සාකච්ඡා කල බව වාර්තා විය. 

නොවැම්බර් 21දා රැලිය සූදානම් කිරීම  ගැන යූඇන්පී හා ශ්‍රීලංපොපෙ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවක්  [Photo: Namal Rajapakse's Facebook handle]

ගත වූ මාස තුන තුල, මේ එකතුව විසිරී ගොස් ශ්‍රීලංපොපෙ, එජාප සහ ශ්‍රීලංනිප ඇතුලු සංවිධාන කිහිපයක් ඉතිරි වී ඇත. මේ පක්ෂ අතර, ආර්ථික හා දේශපාලනික වැඩපිලිවෙල පිලිබඳ අතිමුලික වූ කිසිදු මතභේදයක් නැත. එමෙන් ම, ඒවා හා ආන්ඩුව අතර ද අතිමූලික වෙනස්කම් නැත. මේ සියලු අධිරාජ්‍ය ගැති පක්ෂ අතර ඇත්තේ, උපායාත්මක මතභේද කිහිපයකි. සියලු විපක්ෂ පක්ෂ අතීතයේ පාලන බලයේ සිටි ඒවා ය. මේ පක්ෂ තමන් ප්‍රජාතන්ත්‍රවාදී, ඒකාධිපති විරෝධී හා මහජන හිතැති පක්ෂ ලෙස පුම්බා ගැනීමට දරන තැත, හිතන මතන ජනයා පිලිකුලෙන් බැහැර කරනු ඇත. 

1948 නාමික නිදහසින් පසු ගෙවුනු දශක ගනනාව පුරා විටින් විට පාලනය හෙබ වූ මෙම පක්ෂවලට ඇත්තේ, කම්කරු-දුගී මහජනතාවන්ගේ හෝ දෙමල ජනයා ඇතුලු සුලුතර පීඩිතයන්ගේ, තරුනයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා ජීවන අයිතීන් රැකීමේ වාර්තාවක් නොව, එම අයිතීන් ලෙයින් මැඩීම දක්වා ගිය කුරිරුකම්වල ඉතිහාසයකි. එය, හෙලත්තාඩු ධනේශ්වර ක්‍රමය පවත්වා ගැනීම සඳහා දෙමල විරෝධී වර්ගවාදය හා යුද්ධය අවුලුවා ලක්ෂයකට අධික දෙමල හා මුස්ලිම් ජනයා ඝාතනය කිරීම සහ ගම්බද ජන ඝාතන ආදී ගනන් නැති මර්දන ප්‍රහාර පිලිබඳ නින්දිත ඉතිහාසයකි.  

ජවිපෙ ද එය පිහිටවූ තැන් පටන්, මෙම පක්ෂවල ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට හවුල්වී ඇත. විශේෂයෙන් 1994 පටන් ධනේශ්වර සංස්ථාවේ පක්ෂයක් බවට පත් වී, පසුගිය දශක තුනේ ධනපතියන් සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගනිමින්, සම්ප්‍රදායික ධනපති පක්ෂවලට කෙලින්ම හෝ වක්‍රව හවුල් වෙමින්, ඒවායේ මර්දනකාරී වාර්තාවේ කොටස්කාරයෙකු  ලෙස ජවිපෙ ක්‍රියාකර ඇත. 

එසේ වුව ද, ආන්ඩු බලය කෙලින්ම අතට නොගත් පක්ෂයක් ලෙස, ප්‍රභූන්ගේ පක්ෂ කෙරෙහි මහජනයා අතර පැවති කෝපය, බොරු පොරොන්දු ගොන්නක් ද පතුරුවා හරිමින් ගසකා, ධනපති පන්තියේ සැලකිය යුතු කොටසකගේ ද ආධාරයෙන් පසුගිය අවුරුද්දේ බලයට ඒමට ජවිපෙ/ජාජබට  හැකි විය. 

2022 මහජන නැගිටිමේ දී පුපුරා ආවේ, පැරනි පක්ෂ කෙරෙහි පුලුල්ව හා ගැඹුරට පැතිර ගොස් ඇති විරුද්ධත්වය යි. එය යටපත් කිරීමට ධනපති පක්ෂ, වෘත්තීය සමිති නායකයන් හා ව්‍යාජ-වාම පෙරටුගාමි සමාජවාදී පක්ෂය (පෙසප) සමග ක්‍රියාකල ජවිපෙ, පලමුව වික්‍රමසිංහට බලයට ඒමට පාර කපා, ඉන් පසු බලයට පැමින, වික්‍රමසිංහ පෙරට දැමූ අයිඑම්එෆ් වැඩපිලිවෙල ම ඉදිරියට ගෙන යමින් සිටී. මේ ආන්ඩුව, ඇමරිකානු ගැති වැඩපිලිවෙල කරපින්නාගෙන ඇත්තේ, තමන්ගේ පැරනි අධිරාජ්‍ය විරෝධි වාචාල කතා කුනුකානුවට දමමිනි. 

ආන්ඩුවට එරෙහිව වැඩෙන විරුද්ධත්වය ඇඟවුම් කරමින්, මෙම වසරේ මැයි 6දා පැවැති පලාත් පාලන මැතිවරනයේ දී ජවිපෙ/ජාජබ ඡන්ද පංගුව, සියයට 61 සිට සියයට 43දක්වා, සියයට 18කින් හෙවත් මහමැතිවරනයේ දී ලැබූ ඡන්දවලට වඩා මිලියන 2.3ක් අඩුවීමක් අත්දැක්කේ ය.

තම ආන්ඩුවට එරෙහිව නැගෙන මහජන විරෝධය අවමංගත කිරීමේ උපායක් ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක, අතීතයේ වංචා හා දූෂනවල යෙදුනු විපක්ෂ දේශපාලකයන් අත්අඩංගුවට ගැනීම් උත්සන්න කිරීමට පොලීසිය උසිගැන්වුයේ ය. ප්‍රභූ පැලැන්තියේ සුරුවමක් වන, දීර්ඝකාලීන ඇමරිකානු ගැත්තෙකු හා මර්දනකාරී ක්‍රියා නිසා අපකීර්තියට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම මගින්, ආන්ඩුව දූෂිතයන්ට එරෙහි රුදුරු යුද්ධයක් දියත්කර ඇති බවක් පෙන්වීමට උත්සාහ කලේ ය. 

ආන්ඩුව ඔහු අත්අඩංගුවට ගැනීම උසිගැන්වුයේ, ජවිපෙ පාක්ෂිකයන් වදහිංසා පමුනුවා මරනයට පත්කල බටලන්ද වධකාගාරය ඇතුලු මර්දන පිලිබඳ චෝදනා මත නොව, අනෙක් දැවැන්ත දූෂන සමග අලගු තැබීමට වත් තරම් නැති චෝදනාවක් මත ය. වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම, ධනපති පන්තියේ හා මධ්‍යම පන්තියේ ඇතම් කොටස්වල තෘප්තියට හේතුවුවත්, ආන්ඩුවට එරෙහිව මහජනයා අතර වැඩෙන විරුද්ධත්වය යට කිරීමට නම් එය ප්‍රමානවත් වී නැත. 

වසර ගනනක් දේශපාලනිකව එක පතේ කෑ, තමන් තුරුලුවී සිටින ධනපති පන්තියේ ම නියෝජිතයෙකු සම්බන්ධයෙන් දිසානායක ආන්ඩුව මෙසේ ක්‍රියාකරන්නේ නම්, කම්කරු පන්තිය හා දුගීන් මතට කෙතරම් දරුනු ලෙස කඩා පනින්ට සුදානම් වන්නේ ද යන්න ගැන ආන්ඩුව රතු එලියක් දල්වා ඇත.     

නුගේගොඩ රැලියට සම්බන්ධ නොවන පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සජබට, එහි මව් පක්ෂය වන එජාපයේ අයිඑම්එෆ් ගැති, එක්සත් ජනපද අධිරාජ්‍ය ගැති වැඩපිලිවෙලට වෙනස් වැඩපිලිවෙලක් ඇත්තේ නැත. එජාපයෙන් කැඩී සජබ පිහිටුවූයේ, මහජනයා අතර එම පක්ෂය ආන්තිකව ම අපකීර්තියට පත්වී ඇති තතු තුල ය. 

සන්ඩේ ටයිම්ස් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් කීවේ, පක්ෂයේ “අනන්‍යතාව රැක ගැනීම” සඳහා නොවැම්බර් 21 රැලියට කිසිවෙකුත් සහභාගී නොවන බව ය. අනෙකුත් ධනපති පක්ෂවල වැඩපිලිවෙල ම අනුමත කරන සජබයේ මේ ඊනියා අනන්‍යතාව කුමක්දැයි, ටයිම්ස් කතුවරයා ප්‍රශ්න කර නැත. 

සජබ නායකයන්ට, වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුවේ අයිඑම්එෆ් ගැති පිලිවෙත් සමග මොනම මූලධර්මාත්මක විරුද්ධත්වයක් ඇත්තේ නැත. නොවැම්බර් 21දා රැලියට සජබ සහභාගී නොවීම ගැන සතුටට පත් දිසානායක, නොවැම්බර් 7දා අයවැය කතාවේ දී සජබ නායක ප්‍රේමදාසට ස්තුති කරමින්, ඔහු (ප්‍රේමදාස) “දූෂිතයන් දෙස බලන්නේ වත්” නැති බව කීවේ ය. වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රී කන්ඩායමක් සිටින සජබ නුගේගොඩ රැස්වීමට සහභාගී නොවීමේ ඇත්ත හේතුව, අනෙකුත් පක්ෂවලින් දුරස්ථ වීමෙන් තමන්ට මහජන විරෝධය ගසාකෑමේ හැකියාවක් ලැබේයැයි ගනන් බැලීම යි. 

මේ අතර, නොවැම්බර් 5දා ඩේලිමිරර් ප්‍රධාන කතුවරිය වන ජමිලා හුසේන්, කතුවැකියකින් විපක්ෂය ආමන්ත්‍රනය කරමින්, “ඇත්තටම අපිට මේ මෙහොතේදී විපක්ෂයේ විරෝධතා දැක්වීම අවශ්‍යය ද?” යනුවෙන් ප්‍රශ්න කලා ය. “2021/2022 දේශපාලන හා ආර්ථික පසුකම්පන තුල අපි  තවමත් බොහෝදුරට ජීවත්වන” බවත්, රටේ දේශපාලන අස්ථාවරත්වය, “ලෝකය අපේ රට දෙස බලන ආකාරය කෙරෙහි බලපාන” බවත් කතුවැකිය සඳහන් කලේ ය. ආයෝජකයන් “ප්‍රවේශම් සහගතව” රට දෙස බලා සිටී;“මන්දගාමී ව වුවත් නැවත ගොඩ ඒමට රට වෑයම් කරමින්” සිටියි; “මෙම සංවේදී මොහොතේ, අනවශ්‍ය විරෝධතා ජාත්‍යන්තර ප්‍රජාවට (ආර්ථික අස්ථාවරත්වය පිලිබඳ) මිශ්‍ර හා හානිකර සංඥා යවන” බව හුසේන් තවදුරටත් පවසා ඇත. “… අවම වසයෙන් දැනට අපි වීදිවලින් ඉවත්විය යුතුයි. 2024 දී ජනතාවගේ තේරීම  නිවැරැදි බව ඔප්පු කිරීමට ජාජබ ආන්ඩුවට අවකාශය දිය යුතුයි.”

කතුවරිය “අපි”  ලෙස හඳුන්වන්නේ, ධනපති පන්ති කොටස් සහ ඒවා සමග කරේ අත දමාගෙන සිටින ඇය වැනි මාධ්‍යවේදීන් ඇතුලු කොටස් ගැන ය. ආන්ඩුවේ වැඩපිලිවෙලින් බැටකන කම්කරුවන් දුගීන් හා තරුනයන් ඊට අයත් නැත. එකාවන් ව “අපි” ධනපති පන්තියේ දේශපාලන ස්ථාවරත්වය රැකගනිමින්, අයිඑම්එෆ් වැඩපිලිවෙලට බැකිම දෙමු! 

ඔක්තෝබර් 29දා දි අයිලන්ඩ් පුවත්පතේ කතුවැකියක් ද,  “ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය කෙරෙහි මහජන විස්වාසය නැවත ගොඩනැගීමට ආන්ඩුව හා විපක්ෂය එක්ව කටයුතු කල යුතු” බව සිහිපත් කලේ, “එසේ නොවුවහොත්, මෑතක දී මහජන නැගිටීමක් මධ්‍යයේ සිවිල් පාලනයක් බිඳ වැටුනු මැඩගස්කරයේ මෙන්, දෙපාර්ශ්වය ම පරාජිතයින් වනු ඇත” යනුවෙන් අවධාරනය කරමිනි. 

ජවිපෙ, සජබ, පෙසප, වෘත්තිය සමිති නායකයන් හා ඒකාබද්ධ වී ධනපති අන්තර්වාර පාලනයක උගුල වෙතට වැඩකරන ජනතාව හා තරුනයන් තල්ලු කර, 2022 මහජන නැගිටීමෙන් තම පන බේරා ගැනීමට හැකි වුව ද, එම නැගිටීම පාලක පන්තියේ සෑම කොටසක් ඉදිරියේ ම අවතාරයක් සේ හොල්මන් කරයි.  

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් සර්වජන බලය (සබ) සහ  සිංහල ස්වෝත්තමවාදී පක්ෂයක් වන, හිටපු ඇමැති  විමල් වීරවංසගේ ජාතික නිදහස් පෙරමුන (ජානිපෙ) ද නුගේගොඩ රැලියට සහභාගී නොවන බව දන්වා ඇත.  ජවිපෙ නායකයෙකු ලෙස ක්‍රියාකර ඇති වීරවංස මාධ්‍ය හමුවක දී කීවේ, වේදිකාවට යාමට පෙර, පක්ෂ මුලින් ම ‘ප්‍රමුඛ කාරනා’ සම්බන්ධයෙන් එකඟ විය යුතු බව යි. 

ඒවා නම්, ආන්ඩුව විසින් අනුගමනය කරන ලද අයිඑම්එෆ් ඇනවූ ආර්ථික වැඩසටහනට විකල්ප ප්‍රතිපත්තියක්; එල්ජීබීටීකියු (LGBTQ) ප්‍රවර්ධනය සහ දේශීය වටිනාකම්වලට එල්ල කෙරෙන ‘සංස්කෘතික ප්‍රහාරය’; සහ “රනවිරුවන් දඩයම් කිරීමට”  එරෙහි වීම යනාදියයි. වීරවංසගේ “අයිඑම්එෆ්වලට විකල්ප ප්‍රතිපත්තිය” යන්න පචයකි. ඔහු යෝජනා කරන්නේ, සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය අවුස්සමින් මහජන විරෝධය තලා දැමීමට සියලු පක්ෂ එක්සත් වියයුතු බවයි.  

අප පෙර සඳහන් කල පරිදි, ජනාධිපති දිසානායක හා ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුවත්, විපක්ෂ අතරත් අධිරාජ්‍ය ගැති පිලිවෙත් සහ අයිඑම්එෆ් වැඩපිලිවෙල ගෙන යාම පිලිබඳව කිසිදු අතිමූලික මතභේදයක් නැත. මෙම වැඩපිලිවෙල, එනම් ජීවන තත්වයන්, රැකියා හා වැටුප් කප්පාදුව සාමකාමීව සිදුකල නොහැක. අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් දිසානායක, ආන්ඩුවේ සේවකයන්ට “තවත් ඉල්ලන්න එපා, වීදිවල හිටගෙන හිටියාට වැඩක් නෑ” යනුවෙන් තර්ජනය කලේ ය. වීදිවල විරෝධතා අකුලා ගෙන ගෙදර ගිහින් විභාගයට පාඩම් කරන ලෙස, ඔහු රැකියා විරහිතයන්ට අනතුරු ඇඟවූයේ ය. 

විදුලිය සේවකයන් ප්‍රතිව්‍යුහකරනයට එරෙහිව උද්ඝෝෂනය කරන විට, දිසානායක රුදුරු අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවූයේ ය. මන්නාරමේ උද්ඝෝෂන කල මහජනයාට හා විශ්ව විද්‍යාල සිසුන්ට පොලිස් ප්‍රහාර එල්ල කෙරුනි. ආන්ඩුව මර්දනකාරී ඒකාධිපති පාලනයකට හැරී සිටී. එවන් පාලනයන් අතීතයේ ගෙනගිය විපක්ෂයේ සියලු පක්ෂ හා ධනපති පන්තියේ කොටස, ජවිපෙ නායකත්වය දෙන පාලනයකින් බලාපොරොත්තු වන්නේ එය යි. 

ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් රකින කිසිදු කොටසක් ධනපති පන්තිය තුල නැත. 

ධනපති ක්‍රමය තුල තවදුරටත් මෙම අයිතීන් රැකගත නොහැක. සෑම රටක ම, කම්කරුවන් හා දුගීන් තරුනයන් මුහුන දී සිටින්නේ මේ තත්වයට යි. 

ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ මූලික ප්‍රස්තුතයක් වන, කල්පසු වූ ධනේශ්වර වර්ධනයක් ඇති රටවල පාලක පන්තිය, මහජනයාගේ එකදු ප්‍රජාතන්ත්‍රිය ඉල්ලීමක් හෝ ඉටු කිරීමට සපුරා ම අසමත් ය යන්න, නාමික නිදහසින් පසු ගෙවුනු සෑම දිනයක් ම ඛේදජනක ලෙස ලංකාවේ තහවුරු කර තිබේ. 

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව සටන් කල හැකිවන්නේ, සියලු ධනපති පක්ෂ සහ ඒවායේ පන්දම්කාර පක්ෂවලින් කැඩී, කම්කරු පන්තිය දේශපාලනික ව ස්වාධීනව සංවිධානය වීමෙනි. කම්කරු පන්තිය, සියලු වාර්ගික වෙනස්කම් කපාගෙන එකමුතු වීම සහ ගම්බද දුගීන් හා පීඩනයට ලක්ව සිටින දෙමල හා අනෙකුත් සුලුතර ජනයාගේ නායකත්වය ගැනීම අවශ්‍ය ය.  

අරගලය මෙලෙස තමන් අතට ගැනීම සඳහා, සෑම වැඩපොලක ම වතුකරයේ හා තම නිවහන් පෙදෙස්වල කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු සාදා ගන්නා ලෙස, සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී. ගම්බද ජනයා මේ අරගලයට එක්වීමට, තමන්ගේ ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම අපි යෝජනා කරමු. 

ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී අයිතීන් රැකගැනීමට, ජාත්‍යන්තර සමාජවාදය මත පාදක වූ, සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා ද කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා ද සටන් කිරීමට, සමාජවාදී සමානතා පක්ෂය මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට  එක්වන්න.

Loading