ගින්නෝරු‍වේ ගොවියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති

නිෂ්පාදන වියදම ඉහල යාම සහ තම බෝග සඳහා සාධාරන මිලක් නොලැබීම හේතුවෙන්  වී, එලවලු, ලූනු, අල සහ අනෙකුත් බෝග වගාකරන ගම්බද දුගී ගොවීහු තම වගාවන් තවදුරටත් පවත්වා ගෙන යාමට සහ ජීවිකාව සරිකර ගැනීමට නොහැකි, අතිශය දුෂ්කර කොන්දේසිවලට මුහුන දී සිටිති. මෙම වසරේ සහ පසුගිය වසර කිහිපය තුල තම ගැටලු වලට විසඳුම් ඉල්ලා ගම්බද දුගී ගොවීහු  යලි යලිත් උද්ඝෝෂන වල නිරත වූහ.

2022 අප්‍රේල් මාසයේ ඇති වූ මහජන නැගිටීමට දස දහස් ගනනක් ගොවීහු ද සහභාගී වුහ.  ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කෙරුන ද,  වෘත්තීය සමිති, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම සංවිධාන සහ ජවිපෙ විසින් අවමංගත කොට එම නැගිටීම පාවා දීමේ ප්‍රතිපලයක් ලෙස, අධිරාජ්‍යවාදයේ සහ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ ගැත්තෙකු වූ රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජනාධිපති  ධුරයේ පිහිටුවාලීමට ධනපති  පන්තිය සමත් විය. වික්‍රමසිංහ ජාමූඅ කප්පාදු පිලිවෙත් නිර්දය ලෙස ක්‍රියාවට නඟමින් කම්කරුවන් සහ  ගම්බද දුගීන් ඇතුලු පිඩිත ජනයා  මත  ධනපති පාලක පන්තියේ අර්බුදයේ බර පැටවීමේ රුදුරු ප්‍රහාරයක් මුදාහලේ ය.

වර්තමාන  ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව පසුගිය වසරේ බලයට පත්  වූයේ සම්ප්‍රදායික ධනපති පක්ෂ කෙරෙහි අවශේෂ කම්කරු පිඩිත මහ ජනතාවගේ මෙන් ම, ගම්බද දුගී ගොවීන්ගේ වෛරය ගසා කමින් සහ ඔවුන්ගේ ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වෙමිනි. 

එහෙත් අන්ඩුව එම පොරොන්දු කුනු කූඩයට දමා ජාමූඅ  කප්පාදු වැඩපිලවෙල  අකුරට ම ක්‍රියාවට දමයි.  එම තතු  තුල  කෘෂි සැපයුම් මිල තව තවත් ඉහල යාමට, බෝග සඳහා පිරිවැයට සරිලන මිලක් නොලැබීමට සහ ජීවන තත්වයන් වඩ වඩා ඛාදනය වීමේ කොන්දේසිවලට ඔවුහු මුහුන දෙති.

එහෙත් ආන්ඩුවේ සහයෝගය සහිත ව, කෘෂි සමාගම් සහ වෙලඳපොල අධිකාරිය දරන්නෝ ගොවියන් සුරාකමින් ඔවුන්ගේ ලාභ මඩි තරකර ගනිති. 

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් කන්ඩායමක් නොවැම්බර් 2 වෙනිදා, ගම්බද දුගී ගොවින් මුහුන දෙන මෙම ගැටලු විමසා බැලීම සඳහා ගින්නෝ‍රුව ගොවි ජනපදයේ ගොවින් හමුවිය. මහියංගනය නගරයේ සිට කි.මී.20ක් පමන  උතුරින් පිහිටා ඇති  ගින්නෝරුව  ගොවි ජනපදයේ   ගොවි පවුල් සංඛ්‍යාව 325 ක් පමන වේ. ඔවුන්ගේ මුලික  ජීවනෝපාය වී ගොවිතැනයි. 

දශක හතරකට පෙර මෙම ජනපදය ඇරැඹි සමයේ දී ගොවියකු සතුව පැවැති මඩින් අක්කර දෙක හමාරක් සහ ගොඩින් අක්කරයක් ඇතුලු අක්කර හතරක පමන වූ ඔවුන්ගේ ඉඩම්, මේ වන විට ස්වකීය දරු -මුනුපුරන් අතර බෙදී යාම හේතුවෙන් අක්කර භාග‌යක පමන කුඩා ඉඩම් කැබැල්ලකට සීමා වී ඇත. එහෙයින්  වගා කටයුතු ද ඉතා පටු බිම් කඩකට සිමා වී තිබේ.  

ගින්නෝරුවේ පදිංචි ගොවියකු වන 49 හැවිරිදි  නීල් සුරංග වී ගොවිතැන සඳහා වියදම පසුගිය වසර දෙකට සාපක්ෂව දෙගුන වී ඇති බව පැවසීය. 

ගින්නෝරුවේ පදිංචි ගොවියකු වන 49 හැවිරිදි  නීල් සුරංග

“එදා හෙක්ටෙයාරයකට වැය වුනේ රුපියල් ලක්ෂයක් පමන.  දැන් ලක්ෂ තුනකට කිට්ටුව යනවා. බිත්තර වී වලට ම 25000ක් අඩු තරමින් යනවා. සී සෑම ට 90, 000 යි. මිනිස් ශ්‍රමයට 25000ක් විතර යනවා. පොහොර, වල්නාශක, කෘමිනාශක, ප්‍රවාහනය යනාදි වශයෙන් ගත්තම ලක්ෂ තුනටත් වැඩියි.”

ජනපදයේ ගොවීන් බහුතරයක් ජවිපෙ/ජාජබ ආන්ඩුවට ඡන්දය දුන් නමුත් ආන්ඩුව ගොවීන් රැවටූ බව ඔහු පැවසී ය. “ගොවීන්ට සහන සපයනවා කියලා නාමල් කරුනාරත්නලා (නියෝජ්‍ය කෘෂිකර්ම ඇමති) කීවට, අද ඒ අය ඉන්න තැනක් සොයා ගන්නත් නෑ. ජල ප්‍රශ්නය අනික, වගාව පටන් ගන්න දවසක් දෙකක් තියල ජලය ලබා දෙන බව කියනවා. එහෙම කොහොමද කුඹුරු සකසන්නෙ. නිසි කලට වතුර නොලැබුනොත් වගා කරලත් ඉවරයි. අපිත් ඉවරයි.”

වගා පාලුවට  වන්දි දෙන බව කිව්වට එය ලැබෙන්නේ රක්ෂනය වූ ගොවීන්ට පමනක් බවත් ඒ සඳහා කන්නයකට රුපියල්  10,000ක් අවශ්‍ය බවත්  බහුතරයකට එය කල නොහැකි බවත් ඔහු පැවසී ය. “ඡන්දෙ  දවස් වල ජනාධිපති ඇතුලු කන්ඩායම කතා කලේ ජනතාවගෙ සදාකාලික හිතවතුන් වගේ. දිනපු ගමන් කරන පලමු වැඩේ ගොවීන්ගේ සියලු ප්‍රශ්න විසඳන එක කිව්වා.  ඔක්කොම පච. වැඩක් නෑ” ඔහු දැඩි කෝපයෙන් කියා සිටියේ ය.

පසුගිය කන්නේ ඔහුගේ අස්වැන්න වී කිලෝ 3000කි. ආදායම රුපියල් ලක්ෂ 3 කි. ඒ අනුව මාසයකට පවුලේ වියදම සඳහා වෙන් කල  හැක්කේ රුපියල් 50,000 ක් බවත් ඔහු සඳහන් කලේ ය. “පවුලේ පස් දෙනෙක් ඉන්නව. දරුවෝ තුන් දෙනෙක් ඉස්කෝලේ යනවා. පාසල් උපකරන සහ අමතර පන්ති ගාස්තුත් එක්ක එක් කෙනෙකුට අඩුම තරමින් මාසෙකට 25,000 ක් ඕන. ගෙදර වියදමටත් එක්ක අඩුම තරමින් මාසෙකට ලක්ෂයක් වත් ඕන. ආන්ඩුවෙන් ඒ ගැටලුවලට විසඳුමක් නැහැ” ඔහු කීවේ ය.

තුෂාර ධම්මික ද, සුරංග ගේ සමවයසේ ගොවියෙකි.  පොහොර ප්‍රශ්නය වගේ ම කෘමීන්ගෙන් ගොයමට වැලඳෙන රෝග ද බරපතල ප්‍රශ්නයක් බව ඔහු පැවසී ය: “කීඩෑ සහ මයිටාවන්ගෙන් ලොකු විනාශයක් වෙනවා. මයිටාවන් නිසා මගෙ කුඹුරත් පාලු වුනා. කෘෂි උපදේශ වලින් පලක් වුනෙත් නැහැ. හෙක්ටයාර් දෙකක් මම වගා  කරනවා. මේ උවදුරට රුපියල් 60000ක බේත් දැම්මා.  පලක් වුනේ නැහැ. හෙක්ටයාර්  දෙකෙන්ම ලැබුනෙ වී කිලෝ 6000 යි. වෙනදා හෙක්ටයාර් එකකින්  කිලෝ 5000ක් ගත්තා. මේ ප්‍රශ්න දැන් අපිට කියන්න කෙනෙකුත් නැහැ. අහන්න කෙනෙකුත් නැහැ. අපි හොඳට ම අමාරුවේ වැටිලා.  අපිට ජීවත් වෙන්න ගොවිතැන හැර  වෙනත් මාර්ගයක් නැහැ. මේ ආන්ඩුවට තමයි අපිත් ඡන්දෙ දුන්නේ.  නමුත් කිසි ම සෙතක් පේන තෙක් මානයක නැති” බව ඔහු කිවේ ය. 

ගොවීන්ට අවශ්‍යව ඇත්තේ ජීවනාධාර නොව පොහොර සහනාධාරය බවත් අඩු තරමින් විවෘත වෙලඳපොලෙන් රුපියල් 4000-5000කට පොහොර මිටියක් (කිලෝ 50) මිල දී ගැනීමට හැකි නම් එය වැඩදායී බව ඔහු පැවසී ය. හෙක්ටෙයාරයකින් අඩු තරමින් කිලෝ 7000ක් වත් ගත යුතු බවත්, එවන් අස්වැන්නකට අනිවාර්යෙන් ම පොහොර ප්‍රධාන සාධකයක්  බව ද ධම්මික ඇතුලු තවත් ගොවීහු පැවසූහ. 

ඒ සඳහා පොහොර මිටි 10ක් වත්  වගාවට යෙදිය යුතු බව ද  යූරියා පොහොර මිටියක් වෙලඳ පොලේ රුපියල් 9,000 ඉක්මවා ඇති බවත් අනෙක් ඒවා ඊටත් වඩා මිල අධික බව ද ධම්මික  ප්‍රකාශ කලේ ය. ඒ අනුව සාර්ථක වගාවකට දැන් පවත්නා තත්ත්වය තුල රුපියල්100,000 ක් ද ඉක්මවා පොහොර දැමිය යුතු බවත් පොහොර සහනාධාරය වශයෙන් ආන්ඩුවෙන්  ලැබෙන රුපියල් 25,000 ප්‍රමානවත්  නැති බව ද, පොහොර මිල ඉහල දැමීම  හිතා මතා ගොවීන්ට එල්ල කල බලවත් ප්‍රහාරයක් බවද ඔහු පැවසී ය.

මෙම ආන්ඩුව  ඇතුලු  සියලු ම අනුප්‍රාප්තික ධනපති ආන්ඩුවලට කම්කරුවන් හා  දුගී ගොවීන් ඇතුලු  පීඩිත මහජනතාව  ගැන කිසිදු තැකීමක් නැති බවත් ඔවුන් අතලොස්සක් වන බිලියනපති ධනපති පන්තියේ ලාභ පොට්ටනි තර කිරීම සඳහා ක්‍රියා කිරීම, ඔවුන්ගේ  ඒකායන අරමුන බවත් ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන්හ. 

ගම්බද දුගී ගොවින් කම්කරු  පන්තිය සමග එක් වෙමින් ජාමූඅ සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහි ව ඒකාබද්ධ අරගලයක්  කල යුතු බවත් ඒ සඳහා ධනපති පක්ෂ සහ වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ක්‍රියාකාරී කමිටු  පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවයත් අප වාර්තාකරුවෝ පැහැදිලි කලහ. ඒ පිලිබඳ ව වැඩිදුර සාකච්ඡා කිරීමට ධම්මික එකඟ විය.

මාරාන්තික වකුගඩු රෝගය උතුරු මැද පලාතේ  ගොවීන් මුහුන දෙන බරපතල සෞඛ්‍ය ගැටලුවකි. ගොවියෙකු වන  ගින්නොරුවේ 58 හැවිරිදි  ආර්.එම්.ජයසේන ඉන් පිඩාවට පත්වුවෙකි. “මේ අසනීපෙ හැදිලා දැන් අවුරුදු 5ක් වෙනවා. මසෙකට වරක් ඩයලිසිස් කරන්න නුවර යන්න ඕන. දින තුනකට වරක්  මහියංගනය රෝහලට යන්න ඕන. අවුරුදු 15,20 අයටත් මේ ලෙඩේ තියෙනවා. ඒත් මොන ආන්ඩුවක් වත් අප ගැන බැලුවෙ නැහැ.”

ගොවියෙකු වන  ගින්නොරුවේ 58 හැවිරිදි  ආර්.එම්.ජයසේන

තම ප්‍රදේශයේ  රෝගීන් 3000ක් විතර සිටින බවත්, රෝහල් වලින් ලැබෙන්නේ බෙහෙත් වලින් කොටසක් පමනක් බවත් ඔහු පැවසී ය. අනෙක්වා ඔසුහලෙන් ගන්න ඕන. ඒකට රැපියල් 4000ක් විතර ඕන. ඒක ගන්න සල්ලි නැහැ. මැරෙන්න ඇරල ඉන්නවා. අනෙක රෝහලින් දෙන බෙහෙත්  හුලං වැදිලා  බාල බෙහෙත් බව විශේෂඥ වෛද්‍ය වරයෙක් කිව්වා. සම්පූර්න  බෙහෙත් ටික පිටින් ගන්නව නම් රුපියල් 25,000ක් ඕන. ඒ නිසා බෙහෙත් ගැනීම නතර කර ඇති” බව ඔහු පැවසී ය. 

මේ අයුරින් දුගී ගොවීන් දරිද්‍රතාවයට හා රෝගාබාධයන්ට ගොදුරු වෙද්දී මහා කෘෂි සමාගම් දැවැන්ත ලාභ පොදි ගසා ගනියි. 2023-2024 වාර්ෂික වාර්තාවන්ට අනුව, සීඅයිසී සහ හේලීස් කෘෂි සමාගම් දෙක පමනක් ලබා ගෙන ඇති ශුද්ධ ලාභය පිලිවෙලින් රුපියල් බිලියන 11 ක් සහ බිලියන 2.09 ක් වේ.

මෙම තතු යටතේ, පසුගිය සිවු වසර තුල ශ්‍රී ලංකාවේ  ජීවන වියදම දෙගුන වී  ඇත. ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුවේ වාර්තාවකට අනුව 2021දී එක් පුද්ගලයකුට මූලික අවශ්‍යතා සඳහා රුපියල් 7,913ක් අවශ්‍ය වූ අතර 2025දී එම අගය රුපියල් 16,302ක් දක්වා වැඩි වී ඇත.  

ගම්බද දුගී ගොවීන් මුහුන දෙන ගැටලු  ශ්‍රී ලංකාවේ ධනපති ආන්ඩු වලට සහ ධනේශ්වර ලාබ පද්ධතියට එරෙහි අරගලයකින් තොරව විසඳිය නොහැකි ය. පොහොර, කෘෂි රසායන, ඉන්ධන, බෝග සඳහා සහතික මිලක් සහ සියලු නය අවලංගු කිරීම ඇතුලු ව වගා කිරීමට අවශ්‍ය සියලු ම දෑ ගොවීන්ට ලබා දිය යුතු ය. 

එම අවශ්‍යතාවයන් ගොවීන්ට සම්පාදනය කල හැක්කේ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු, විශාල වතු සහ ප්‍රධාන සමාගම් ජනසතු කිරීම සහ විදේශ නය ප්‍රතික්ෂේප කිරීම තුලින් පමනි. එවන් සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට දමන  කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස මෙම ඉල්ලීම් සඳහා සටන් කිරීමට කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ.

Loading