ඉදිරිදර්ශන

නිව්යෝර්ක් නගරයේ මම්දානිගේ ජයග්‍රහනයේ දේශපාලන හා පන්තිමය ගැටලු

[මෙය The political and class issues in Mamdani’s victory in New York City යන මැයෙන් 2025 නොවැම්බර් 06දා පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

සොහ්රාන් මම්දානි, 2025 නොවැම්බර් 4 වන අඟහරුවාදා රාත්‍රියේ, නිව්යෝර්ක් හි නගරාධිපති මැතිවරන ප්‍රතිඵල නැරඹූවන්ගේ සාදයක දී සිය ​​ජයග්‍රහනයේ සැමරුම් කථාව කරන අතරතුර [AP Photo/Yuki Iwamura]

නිව්යෝර්ක් නගරාධිපති මැතිවරනයෙන්—ඇමරිකානු සහ ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ කේන්ද්‍රස්ථානයත්, වෝල් වීදියේ නිජබිමත් වන නිව්යෝර්ක් හි නගරාධිපති මැතිවරනය ජය ගත්, “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකු” යයි තමා ම කියාගන්නා—ඇමරිකානු ඩිමොක්‍රටික් සෝෂලිස්ට් (ඩීඑස්ඒ) පක්ෂ සාමාජික සොහ්රාන් මම්දානිගේ ජයග්‍රහනය, ජාතික හා සැබවින්ම, ජාත්‍යන්තර වැදගත්කමක් දරන සිදුවීමකි.

කොමියුනිස්ට්-විරෝධී හා සමාජවාද-විරෝධී ක්‍රියාවලට ගොදුරු වූ ජනතාවකට, ධනවාදයට විකල්පයක් යනු තහනම් ප්‍රදේශයක් බවට, දශක ගනනාවක් තිස්සේ පැවති ආඛ්‍යානය, මෙම මැතිවරනයෙන් පුපුරවා හරියි. යථාර්ථයේ දී, කම්කරුවන් සහ තරුනයින්ගේ පුලුල් කොටස් තුල, ධනවාදයට එරෙහිව වර්ධනය වන සතුරුකම සහ සමාජවාදය කෙරෙහි වැඩිවන සහයෝගය සමඟ වමට නැඹුරු චලනයක් පවතී. මම්දානිට ලැබුනු ඡන්ද, පවතින දේශපාලන සංස්ථාපිතය කෙරෙහි කලකිරීමේ ප්‍රකාශනයක් පමනක් නොව, කුඩා ප්‍රභූ පැලැන්තියක් අත විශාල වශයෙන් සංකේන්ද්‍රනය වූ ධනය, නොඉවසිය හැකි ජීවන වියදම සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් ජරපත් වීම කෙරෙහි කෝපය ද ප්‍රකාශ කරයි.

දස ලක්ෂයකට අධික ජනතාවක් මම්දානිට ඡන්දය දී තිබේ; එය දශක ගනනාවක් තුල නගරාධිපති අපේක්ෂකයෙකු ලද වැඩි ම ඡන්ද ප්‍රතිශත අතර පවතී. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව මිලියන 2 කට අධික ය; එය වසර හතරකට පෙර ප්‍රකාශයට පත් මුලු චන්ද සංඛ්‍යාව මෙන් දෙගුනයකි; එමෙන්ම, 1969 සිට ප්‍රකාශිත වැඩිම ඡන්ද ප්‍රතිශතය ද වේ. ප්‍රාථමික මැතිවරනවල දී සිය මැතිවරන ව්‍යාපාරය ආරම්භ කරන විට සියයට 1 ක ඡන්දයක් පමනක් ලද මම්දානි, තුන්කොන් තරඟයේ දී පැහැදිලි බහුතරයක් දිනා ගනිමින්, තම ලඟම ප්‍රතිවාදියා වූ ඩිමොක්‍රටික් හිටපු ආන්ඩුකාර ඇන්ඩෲ කුවෝමෝ සියයට 9 කින් පරාජය කලේය.

මම්දානි, නිව් යෝර්ක් නගරයේ උප-නගර පහ පුරා කම්කරු පන්තියේ ප්‍රදේශ බොහොමයක් ද ඇතුලුව, අසමානතාවෙන් හා ජීවන වියදමෙන් දැඩි ලෙස පීඩාවට පත් දිස්ත්‍රික්කවල අති දැවැන්ත පරතරයකින් ජයග්‍රහනය කලේය. ඔහු හාර්ලම් හි දී සියයට 45 කින් ද ජැමෙයිකාවේ දී ක්වීන්ස් සියයට 28 කින් ද නැගෙනහිර නිව් යෝර්ක් හිදී බෘක්ලින් සියයට 28 කින් සහ—නගරයේ වඩාත්ම දුප්පත් හා වාර්ගික විවිධත්වයක් සහිත අසල්වැසි ප්‍රදේශවලින් එකක් වන—පාර්ක්චෙස්ටර් හිදී බ්‍රොන්ක්ස් සියයට 27 කින්  ප්‍රතිවාදී කුවෝමෝ පරාජයට පත් කලේ ය.

සීඑන්එන් මත විමසුමකට අනුව, කුවෝමෝට ලැබී තිබූ සියයට 25ක ඡන්ද හා සසඳන විට, වයස අවුරුදු 45 ට අඩු ඡන්දදායකයින්ගෙන් සියයට හැත්තෑවක් ඔහුට සහාය දක්වා තිබේ;. තම පවුලේ මූල්‍ය තත්වය, සාමාන්‍ය ජීවන තත්වයක් පවත්වා ගන්නා අයට වඩා “පිටුපසින් පවතින” බව විස්තර කල සහ ට්‍රම්ප්ට සහ ඔහුගේ ෆැසිස්ට් න්‍යාය පත්‍රයට දැඩි ලෙස විරුද්ධ වූ අය අතර ඔහුගේ ජයග්‍රහනය අති විශාල විය.

මෙම මැතිවරනය, කුවෝමෝට සහාය දුන් සහ ඔහුගේ මැතිවරන ව්‍යාපාරයට ඩොලර් මිලියන 50 කට වඩා කලු සල්ලි පොම්ප කල—අන්ත දක්ෂිනාංශික රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ යාන්ත්‍රනයේ—දේශපාලන සංස්ථාපිතය පැහැදිලිව ම ප්‍රතික්ෂේප කිරීමකි. ගෙවල් කුලී, ලමා ආරක්ෂනය සහ සිල්ලර බඩු මිල ගනන් ඇතුලු ඉහල යන ජීවන වියදම කෙරෙහි මම්දානිගේ යොමුව, දේශපාලන හා ආර්ථික ජීවිතයේ ආධිපත්‍යය දරන සහ ට්‍රම්ප්ගේ වර්ධනය වන ආඥාදායකත්වය පිටුපස පෙල ගැසෙන කතිපයාධිකාරීන් පිලිබඳ ඔහුගේ වාචාල හෙලා දැකීම් මෙන්ම, මහජන මනෝගතීන්ට ආයාචනා කලේ ය.

මම්දානිගේ මැතිවරනය එක්සත් ජනපදය තුල පමනක් නොව ජාත්‍යන්තර ව ද උද්‍යෝගයක් ජනිත කර ඇති බව නිසැක ය. දූෂනයෙන් පිරුනු ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ උරුමක්කරු වන ඇන්ඩෲ කුවෝමෝ සහ පීඩිතයන්ගේ වීරයෙකු ලෙස පෙනී සිටින මම්දානි අතර විසමතාව, අතිමූලික වෙනසක් සිදු වෙමින් පවතින බවට බලාපොරොත්තු දල්වනු ඇත. එහෙත් මායාවන්ට හසු නොවී, දේශපාලන හා සමාජ යථාර්ථයේ තර්කනයෙන් ඉදිරියට යන ඇතැම් මූලික සත්‍යයන් ප්‍රකාශ කිරීම අවශ්‍ය වේ.

පලමුවෙන්ම කිව යුත්තේ, ඔහු “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකු” ලෙස පෙනී සිටිය ද, මම්දානි සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිපත් නොකරන බව යි. ඔහුගේ යෝජනා—කෝටිපතියන්ට සුලු බදු වැඩි කිරීම්, සීමිත කුලී ආරක්ෂන සහ රාජ්‍ය සේවාවේ යම් තරමක පුලුල් කිරීම්—පූර්ව යුගයක සිදු වූ ලිබරල් ප්‍රතිසංස්කරනවාදයේ අංශුමාත්‍ර පුනර්කරනයකට වඩා වැඩි යමක් නොවේ.

මූල්‍ය කතිපයාධිකාරයේ දේශපාලන නියෝජිතයා ලෙස කටයුතු කරන ට්‍රම්ප් පරිපාලනය, මම්දානිගේ ජයග්‍රහනයට ප්‍රතිචාර දක්වමින්, එහි තර්ජන තීව්‍ර කිරීමටත්, නිව්යෝර්ක් නගරයට සෘජුවම මැදිහත් වීමටත් පවතින සූදානමක් ගැන ඇඟවුම් කර ඇත. මම්දානි ජයගත් පසුව සිය ස්තුති කතාවේ දී, ට්‍රම්ප්ට එරෙහිව “හඬ වැඩි කරන” ලෙස, කල ඉල්ලීමෙන් පසුව, ෆොක්ස් නිව්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවක දී ජනාධිපති අනතුරු ඇඟවූයේ, “එය ඔහුට කල හැකිව තිබූ ඉතා අනතුරුදායක ම ප්‍රකාශයක්. ඔබ අන්තරාය ගැන කතා කරනවා—මම හිතන්නේ, එය ඔහුට කල හැකිව තිබූ ඉතා අනතුරුදායක ම ප්‍රකාශයක්. ඔහු යන්තමට හෝ වොෂින්ටනයට ගරු කල යුතුයි.”

ට්‍රම්ප්ගේ ෆැසිස්ට් උපදේශක ස්ටීව් බැනන් ද පොලිටිකෝ වෙත පැවසුවේ මම්දානිගේ තේරීපත්වීම “බරපතල අනතුරු ඇඟවීමක්” බවත්, “සෑම තැනකම අනතුරු සංඥා දල්වා තිබිය යුතු” බවත් ය. උගන්ඩාවේ උපන් එක්සත් ජනපද පුරවැසියෙකු වන මම්දානි පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටීමට පෙර බැනන් ප්‍රකාශ කලේ, “මොවුන් ඉතා බැරෑරුම් පුද්ගලයන්; ඔවුන් නොතකා නොහැරිය යුතු ය” යනුවෙනි.

සමාජවාදී සමානතා පක්ෂය මෙම ප්‍රහාරවලටත්, නිව්යෝර්ක් නගරයට ජාතික ආරක්ෂක බලකාය හෝ වෙනත් හමුදාවන් යෙදවීමට ඇති ඉඩකඩ වැනි අනෙකුත් සියලු ම ප්‍රහාරවලටත් විරුද්ධ වේ. කෙසේ වෙතත්, අපි අපගේ දේශපාලනය මම්දානිට හෝ ඩිමොක්‍රටික් පක්ෂයට යටත් නොකරන්නෙමු.

මම්දානි සාමාජිකයෙකු ව සිටින ඩිමොක්‍රටික් පක්ෂය, මූල්‍ය ප්‍රභූවේ ධනයට සහ ආධිපත්‍යයට එරෙහි ඕනෑම අභියෝගයකට සම්පූර්නයෙන්ම විරුද්ධ ය. ප්‍රමුඛ ඩිමොක්‍රටිකයෝ කොටස් දෙකකට බෙදී සිටිති: ඒ, මහජනයාට  පුලුල් ආයාචනයක් ඉදිරිපත් කල හැකි අපේක්ෂකයෙකුගේ අවශ්‍යතාව හඳුනාගනිමින්, මම්දානි සමඟ වැඩ කිරීමට කැමැත්තෙන් සිටින්නන් සහ සංස්ථාපිත විරෝධී හැඟීම් වගාදිගා කිරීම ඉක්මනින් එහි පාලනය ගිලිහී යාමට හේතු වනු ඇතැයි බිය වන්නන්  වසයෙනි.

සෙනෙට් සභාවේ සුලුතර නායක චක් ෂුමර් ඇතුලු බොහෝ ප්‍රමුඛ ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ, ඔහුගේ ප්‍රාථමික ජයග්‍රහනයෙන් පසුව පවා මම්දානිට සහාය දැක්වීම ප්‍රතික්ෂේප කලහ. ඩිමොක්‍රටික් පක්ෂයේ මාධ්‍ය හොරනෑව වන නිව්යෝර්ක් ටයිම්ස්, නව නගරාධිපතිවරයා සඳහා පරාමිතීන් නියම කරමින් බදාදා දීර්ඝ කතුවැකියක් ප්‍රකාශයට පත් කලේ ය. එහි කතුවරු සැබැවින්ම බලකර සිටියේ, ඔහුට සිය මැතිවරන පොරොන්දු අතහැර දමා, මම්දානි විසින්ම අසාර්ථක ලෙස නඩු පැවරීමට උත්සාහ කල හිටපු නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග් සමග පෙල ගැසී පාලනය ගෙන යන ලෙසට ය.

කතුවැකිය, මම්දානි විසින් වෝල් වීදියට සහ දේපල වෙලඳාම් කර්මාන්තයට පිලිගත හැකි කැබිනට් මන්ඩලයක් රැස් කිරීමේ අවශ්‍යතාව අවධාරනය කල අතර, ඔහු එම නියෝගය වහා පිලිගත්තේ ය. බදාදා (05), ඔහු පසුගිය නගරාධිපතිවරුන් තිදෙනාගේ පරිපාලනයේ ප්‍රවීන ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් සමන්විත අන්තර්වාර කන්ඩායමක් නිවේදනය කලේය: එයට, මයිකල් බ්ලූම්බර්ග්, බිල් ඩි බ්ලැසියෝ සහ එරික් ඇඩම්ස් ඇතුලත් වේ.

පාලක පන්තිය තුලින් එල්ල වන තර්ජනවලට මම්දානිගේ ප්‍රතිචාරය, ඇමරිකානු ඩිමොක්‍රටික සමාජවාදීන්ගේ දේශපාලනය ප්‍රකාශ කරයි. ඔහුගේ සමස්ත ඉදිරිදර්ශනයම පදනම් වී ඇත්තේ, සම්පූර්නයෙන්ම ප්‍රතිවිරුද්ධ පන්ති අවශ්‍යතා සමථයකට පත් කල හැකි බවට—එනම්, සූරාකන්නන් සහ සූරාකෑමට ලක්වන්නන් අතර සහයෝගීතාවෙන් සැබෑ සමාජ වෙනසක් සාක්ෂාත් කරගත හැකි බවටත්, එය ඩිමොක්‍රටික් පක්ෂයේ අනුග්‍රහය යටතේ සිදු කල හැකි බවටත්‍—වන ප්‍රකාශය මත ය. මෙය දේශපාලන හෝ සමාජ යථාර්ථයේ කිසිදු පදනමක් නොමැති මායාවකි.

බදාදා (05) පැවති මාධ්‍ය හමුවේ දී, මම්දානි ට්‍රම්ප් සහ වෝල් වීදිය යන දෙක ම සමඟ “වැඩ කිරීමට” ඇති කැමැත්ත නැවත නැවතත් අවධාරනය කලේය. ට්‍රම්ප්ට දේශපාලනිකව විරුද්ධ වුව ද නිව්යෝර්ක් වැසියන්ට සේවය කිරීම සඳහා එක්ව වැඩ කල හැකි ක්‍රමවේදයන් පිලිබඳව ජනාධිපති ට්‍රම්ප් සමඟ සංවාදයක් පැවැත්වීමට තමා උනන්දු වන බව ප්‍රකාශ කල ඔහු, නගරයට යහපතක්  වන්නේ නම්, “ඕනෑම අයෙකු සමඟ කතා කිරීමට සූදානමින් සහ කැමැත්තෙන් සිටින” බව පැවසී ය.

නිව්යෝර්ක්හි “ඉමහත් උනන්දුවකින් ආයෝජනය කරන” ඩිමොන් සහ අනෙකුත් බිලියනපතියන්ට ප්‍රශංසා කරමින්, ජේපී මෝර්ගන් චේස් හි ප්‍රධාන විධායක නිලධාරී ජේමි ඩිමොන් සහ “අපේ නගරයේ අනාගතය ගැන සැලකිලිමත් වන ඕනෑ ම අයෙකු” හමුවීමට තමා බලාපොරොත්තු වන බව මම්දානි නිවේදනය කලේ ය. මේවා, මූල්‍ය ප්‍රභූවට ඔවුන්ගේ ධනය, බලය සහ වරප්‍රසාදවලට කිසිදු හානියක් සිදු නොවන බවට සහතික කරන දේශපාලනඥයෙකුගේ වචන මිස, සමාජවාදියෙකුගේ වචන නොවේ.

ජුනි මස ප්‍රාථමික මැතිවරනයේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කල පරිදි, “මැතිවරන කථිකයන්ගේ පීඩනයට වෝල් වීදියේ බලකොටු බිඳ නොවැටෙනු ඇත.” මම්දානිගේ මැතිවරනයට, වෙලඳපොලවල ප්‍රතිචාරය මෙම කාරනය අවධාරනය කලේය. කනස්සල්ල පෙන්වීම වෙනුවට, මූල්‍ය කතිපයාධිකාරය කලේ, ප්‍රතිඵලය සන්සුන්ව පිලිගැනීම යි. වෝල් වීදියේ ප්‍රධාන දර්ශක සියල්ල ම බදාදා (05) ඉහල ගියේ ය.

ජයග්‍රහනයෙන් පසුව ඔහු කල කතාවේදී, මම්දානි, ශ්‍රේෂ්ඨ ඇමරිකානු සමාජවාදී ඉයුජින් වී. ඩෙබ්ස්ගේ නම සඳහන් කලේ ය. එහෙත් ඔහු ඩෙබ්ස්ගේ මෙම අත්‍යවශ්‍ය නිගමනය මඟ හැරියේය: “ධනේශ්වර පන්තියේ කරුනාවට කිසි විටෙකත් කම්කරු පන්තියේ විමුක්තිය උදා කල නොහැක, එය කල හැකිවන්නේ, ධනපති පන්තිය පෙරලා දැමීමෙන් පමනි.”

දේශපාලන සංස්ථාපිතයෙන් රැඩිකල් ලෙස බිඳී යාමක් නියෝජනය කරන බවට කියාපෑ පක්ෂ සහ පුද්ගලයින්, ධනේශ්වර පාලනයේ යථාර්ථයන් මත සුනු විසුනු වී ගිය ආකාරය ගැන උදාහරන, පසුගිය දශකයේ අත්දැකීම් තුල  අඩුවක් නැත. කප්පාදුව අවසන් කරන බවට පොරොන්දු වෙමින්, ග්‍රීසියේ, රැඩිකල් වාමාංශික සන්ධානය (සිරිසා) 2015 දී බලයට පත් වූයේ, බැංකු සහ යුරෝපීය සංගමයේ නියෝග මත වඩාත් ම්ලේච්ඡ සමාජ කප්පාදු පැනවීමට පමනි. ජර්මනියේ, ඩයි ලින්කේ (වාම පක්ෂය) සරනාගතයින් පිටුවහල් කරන සහ කප්පාදු ක්‍රියාත්මක කරන ප්‍රාන්ත ආන්ඩු වලට සහභාගී වී ඇත. බ්‍රිතාන්‍යයේ, කම්කරු පක්ෂය තුල කෝබින් ව්‍යාපාරය දක්ෂිනාංශික සංස්ථාපිතයට යටත් වූ අතර, විවෘත ප්‍රතිගාමීත්වය නැවත පැමිනීමට ඉඩහසර සලසා දුනි.

පන්තිමය අර්ථයෙන් ගත් කල, මෙම ප්‍රවනතා ප්‍රකාශ කරන්නේ, කම්කරු පන්තියේ නොව, සමාජයේ මූලික ප්‍රතිව්‍යුහගත කිරීමක් වෙනුවට, තමන්ට වඩාත් සුවපහසු ස්ථානයක් සොයන වරප්‍රසාදිත සමාජ ස්ථරයක් වන ඉහල මධ්‍යම පන්තියේ අවශ්‍යතාවන් ය.

සමාජවාදියෙකුට ඡන්දය දුන් බොහෝ කම්කරුවන්, මම්දානිගේ ජයග්‍රහනය, වැඩ පටන් ගැනීමට සහ තමන්ගේම ඉල්ලීම් ඉදිරියට ගෙන යාමට සංඥාවක් ලෙස දකින බවට සැකයක් නැත. නමුත් කම්කරුවන් අරගලයට පිවිසෙන විට මම්දානි කරනු ඇත්තේ කුමක් ද? නොවැලැක්විය හැකි ලෙස ම, පන්ති අවශ්‍යතාවල තර්කනය තහවුරු වනු ඇත. මම්දානි, මූල්‍ය හා දේශපාලන සංස්ථාපිතයේ ඉල්ලීම්වලට හිස නමනු ඇත. ඔහු කුමක් කියා සිටියත්, ඔහුගේ මැතිවරන ව්‍යාපාරයේ අවසාන අරමුන වන්නේ, කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරය පූර්වභංග කොට අවහිර කිරීම යි.

නිව්යෝර්ක්හි සහ රට පුරා කම්කරුවන් සඳහා ඉදිරි මාවත පවතින්නේ, ඩිමොක්‍රටික් පක්ෂයට බලපෑම් කිරීම මත වත්, මම්දානිගේ පරිපාලනය කෙරෙහි බලාපොරොත්තු තැබීම මත වත් නොව, අරගලය තුල කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම තුල ය.

සමාජවාදී සමානතා පක්ෂය සෑම සේවා ස්ථානයකම, අසල්වැසි ප්‍රදේශයකම සහ පාසලකම, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) හරහා සම්බන්ධ වන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කැඳවුම් කර සිටී. මෙම කමිටු, කම්කරුවන්ට තම අරගල සංවිධානය කිරීමටත්, සම්බන්ධීකරනය කිරීමට සහ තීව්‍ර කිරීමටත් මාධ්‍යයක් ලෙස සේවය කල යුතු ය—ප්‍රතිසංස්කරන ඉල්ලා පවතින පරිපාලනයට වැඳවැටීමට නොව, රැකියා, වැටුප් සහ ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීම; යුද්ධයට සහ ආඥාදායකත්වයට විරුද්ධ වීම; සහ කම්කරු බලය සහ සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා සටන් කිරීම යන තමන්ගේම වැඩපිලිවෙල ප්‍රකාශ කිරීමටත්, ඒ සඳහා සටන් කිරීමටත් සේවය කල යුතු ය.

පාලක පන්තියේ ධනයට එල්ල කෙරෙන සෘජු ප්‍රහාරයකින් මිස, කිසිවක් සාක්ෂාත් කරගත නොහැකි වනු ඇත. බැංකු, සංස්ථා සහ දේපල වෙලඳාම් ඒකාධිකාරයන් පාලනය කිරීම තුල මුල් බැස ඇති ප්‍රකෝටිපතියන් සතු ධනය අත්පත් කර ගත යුතු අතර, ඔවුන්ගේ ඒකාධිකාරයන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ, පොදු අයිතිය ඇති උපයෝගිතා බවට පරිවර්තනය කල යුතු ය.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ නායකත්වය සහ ඉදිරිදර්ශනයයි. මෙම සිදුවීම් තුලින් විප්ලවීය නිගමනවලට එලඹෙන සියලු දෙනාගෙන් අප ඉල්ලා සිටින්නේ, සමාජවාදී සමානතා පක්ෂයට බැඳී, වර්ධනය වන සමාජ කෝපය සමාජවාදය සඳහා සවිඥානික අරගලයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය නායකත්වය ගොඩනැගීමට සහාය වන ලෙසයි. 

Loading