ආන්ඩුව තැපැල් සේවක වර්ජනය මැඩීමත් සමග තැපෑල ප්‍රතිව්‍යූහකරන සැලසුම් සූදානම් කරයි

රාජ්‍ය  මර්දනය හා වෘත්තීය සමිති නායකයන්ගේ පීලිපැන්නවීම් උපයෝගි කරගනිමින් අගෝස්තු මාසයේ තැපැල් සේවකයන්ගේ දීපව්‍යාප්ත වැඩ වර්ජනය බිඳ දැමු ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, පසුගිය ආන්ඩුවලට කල් දැමීමට සිදු වූ තැපැල් දෙපාර්තමේන්තුව වානිජ ආයතනයක් ලෙස ප්‍රතිව්‍යූහකරනය සහ මුලුමනින් ම පුද්ගලීකරනය කිරීමේ සැලසුම් වේගවත් කරනු ඇත. එය ඩොලර් බිලියන 3 ක ඇපකර නය සඳහා පනවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජමූඅ) ක්‍රියාමාර්ගය අනුව නියමිත ව ඇති පියවරකි.

ඉල්ලීම් 19 ක් මත අගෝස්තු 17 වෙනි දා දියත් කෙරුනු මෙම වර්ජනය බිඳීමට ආන්ඩුව, තැපල් සේවක නිවාඩු අවලංගු කොට,  අගෝස්තු මාසයේ වැටුප් නොගෙවන බවට හා රැකියා වලින් නෙරපන බවට තර්ජනය කලේ ය. පසුව  ආන්ඩුව කැරලි  මර්දන පොලිසිය හා හමුදාව යොදවා කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මලු බලහත්කාරයෙන් රැගෙන ගියේ ය. 

තැපැල් සේවකයින්, අගෝස්තු 19 වන දින කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පෙලපාලි යමින්.

ඉන් පසු ව ආන්ඩුවේ මර්දනයට එරෙහි ව කම්කරුවන් මෙහෙයවීමට කිසිදු වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකර යටත් වූ සමිති නායකයෝ අගෝස්තු 24 වෙනිදා ඇමති ජයතිස්ස සමග කල සාකච්ඡාවෙන්  පසු කිසිදු ඉල්ලීමක් දිනා නොගෙන ම අරගලය  පාවාදුන්හ. 

එම  සාකච්ඡාවෙන් පසු තැපැල් ඇමති ජයතිස්ස තැපැල් සේවකයන්ට පමනක් නොව අවශේෂ කම්කරුවන්ට ද තර්ජනාත්මක වන ප්‍රකාශයක් කරමින් මෙසේ සඳහන් කලේ ය: “මේ වෙලාවෙ දී අසාධාරන වැඩවර්ජනවලට ජනතාව දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් මම හිතනවා තැපැල් වැඩවර්ජනයෙන් කවුරු කවුරුත් යම්කිසි ආකාරයක දෙයක් ඉගෙන ගන්න ඇති කියලා.” 

1977 බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධනගේ දක්ෂිනාංශික එක්සත් ජාතික  පක්ෂ ආන්ඩුව විසින් ක්‍රියාවට දැමුනු “විවෘත ආර්ථික පිලිවෙතට” අනුව රාජ්‍ය ව්‍යවසායන් වානිජකරනය හෝ පුද්ගලීකරනය කිරීම ආරම්භ  කෙරුනි. තැපෑලේ ඇතැම් අංශ ඒජන්සි තැපැල්හල්වල්ට පැවරීම එහි කොටසකි.

එහි කොටසක් ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මුලුමනින් පුද්ගලීකරනය කිරීමට අනුප්‍රාප්තික ධනපති ආන්ඩු යටතේ 1996 සිට දැරුනු උත්සාහයන් යලි යලිත්  මතු වූ සේවක විරෝධය නිසා කල් දැමුනි.

සමිති නායකයන්ගේ පාවාදීම්වලින් අත ශක්තිමත් කරගත් හා ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල අකුරට ම ක්‍රියාවට දැමීමට දිවුරා කැප වී සිටින ජවිපෙ/ජාජබ දක්ෂිනාංශික ධනපති ආන්ඩුව  “රාජ්‍ය-පුද්ගලික හවුල් කාරිත්වය” සහිත ව තැපැල් දෙපාර්තමේන්තුව ලාභ උත්පාදක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම ආරම්භ කර ඇත. ආන්ඩුව අතේ ඇත්තේ, කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සුදානම් කල සැලසුමකි. 

ඒ සඳහා දෙපාර්තමේන්තුව තුල කෙරෙන වෙනස්කම් වලට තැපැල් සේවය ඩිජිටල්කරනය හා බහුවිධකරනය,  දේශීය සහ විදේශීය තැපැල් හා භාන්ඩ ප්‍රවාහන සේවාවන් පුලුල් කිරීම, කුරියර් සේවය ඩිජිටල්කරනය  කිරීම  දෙපාර්තමේන්තුවේ ආදායම් වියදම් සම තත්වයට ගෙන ඒම, නව අලෙවිකරන සංකල්ප සහ තාක්ෂනික ක්‍රමෝපායන් යොදා ගැනීම, පසු ගෙවීම් භාන්ඩ බෙදා හැරීමේ ක්‍රමය වර්ධනය කිරීම ඇතුලත් වෙයි. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වැය කිරීමට කලින් ආන්ඩුව ඇස්තමේන්තු කර තිබේ.   

මෙම ක්‍රියාවලිය අවසානයේ තැපැල් දෙපාර්තමේන්තුව සහනදායී මහජන සේවයක් ලෙස පැවතීම මුලුමනින් අහෝසි කෙරී පුද්ගලික ධනපතියන්ගේ ලාබය සඳහා වන පුද්ගලික වානිජ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කෙරෙනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස දහස් ගනනනක් සේවකයන්ගේ රැකියා, වැටුප් හා සේවා අයිතීන් කප්පාදු කර ලාභ උපයා ගැනීම සඳහා රුදුරු  සේවා කොන්දේසි වලට තැපැල් සේවකයන් මුහුන දෙනු ඇත. 

තැපැල් සේවකයන්ට දැනටත් වැඩ කිරීමට සිදු වී ඇත්තේ නිසි පහසුකම් නොමැති ව, වැටුප් කප්පාදුව, කාර්යමන්ඩල හිඟය නිසා මුහුන දෙන අධික වැඩ බර හා  නියමිත උසස්වීම් නොලැබීම  ඇතුලු දුෂ්කර කොන්දේසි යටතේ ය.

2000 වසරේ චන්ද්‍රිකා කුමාරතුංග ගේ පොදු පෙරමුනු ආන්ඩුවේ යෝජිත සැලස්මට අනුව වසර 10 ක් තුල තැපැල් දෙපාර්තම්නේතුවේ එවකට 20,000 වූ සේවක සංඛ්‍යාව 5000 දක්වා අඩුකිරීමට ද, වසර 10 ට අඩු සේවාකලයක් සහිත සේවකයන්ට විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීමට ද යෝජනා කර තිබුනි. ජවිපෙ/ජාජබ අන්ඩුවේ ප්‍රතිව්‍යූහකරන සැලසුම යටතේ ඒ යෝජනාවන් ක්‍රියාවට දමනු ඇත.

ජාමූඅ නියමයන් මත රාජ්‍ය වියදම් කැපීමේ කොටසක් ලෙස  පුරප්පාඩු නොපිරවීම නිසා 2019 දී 27,000 ක් වූ තැපැල් දෙපාර්තමේන්තුවේ  සේවක සංඛ්‍යාව මේ වනවිට 22,000 ක් දක්වා අඩු වී තිබේ.

මෙම ප්‍රතිව්‍යූහකරන කටයුතුවලට සම්බන්ධිත ව, තැපල් ආඥා පනත අහෝසි කොට නව තැපැල් පනතක් හඳුන්වා දීමට නියමිත ය. එමෙන් ම, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය ව්‍යාවසායන් “රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වයට” යටත් කෙරෙන පනතක් ගෙන ඒමට ද ආන්ඩුව කටයුතු කරමින් සිටි.  

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යූහකරනය සහ පුද්ගලීකරනය හේතු කොට ගෙන  ලක්ෂ පහකට අධික කම්කරුවන්ට රැකියා අහිමි වේ. ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) කොටස් හතරකට කඩා එය පුද්ගලිකරනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර තවදුරටත් පවත්වාගෙන යාමට “අවශ්‍ය නැතැ” යි ආන්ඩුව විසින් තීරනය කරනු ලැබ ඇති මිහින් ලංකා, මහවැලි අධිකාරිය ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් 33 අදියර දෙකකින් ඈවර කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කල යෝජනාවකට අමාත්‍ය මන්ඩල අනුමැතිය  ලැබී ඇත.

තැපැල් අරගලය මැඩීමට ආන්ඩුව කඩා පැන්නේ, සේවකයන් පසුබස්වා ඉහත කී වැඩපිලිවෙල ඔවුන් මත පැටවීමට කොන්දේසි සකස් කර ගැනීමේ එල්ලය ඇති ව ය.  දිසානයක පාලනය විසින් ප්‍රතිව්‍යූහකරනයට ලක්කරමින් පවතින ලංවිම මේ සම්බන්ධයෙන් උදාහරනීය ය. 

පසුගිය අවුරුද්දේ වික්‍රමසිංහ ආන්ඩුව ලංවිම සමාගම් 11කට කඩා ප්‍රතිව්‍යූහකරනයට පනතක් ඉදිරිපත් කිරීමත් සමග ඊට එරෙහි ව පැන නැගුනු අරගල යටපත් කිරීමට වෘත්තීය සමිති නායකයෝ ක්‍රියා කලහ. දැන් එම වැඩපිලිවෙල ම ජවිපෙ/ජාජබ ආන්ඩුව  සමාගම් 4ක් යටතේ ක්‍රියාවට දැමීමට යයි. කම්කරුවන්ගෙන් පැන නැගුනු විරෝධය නිසා සමිති නායකයන් විසින් අකුරට වැඩ කිරීමක් හා දෙදිනක අසනීප නිවාඩු වාර්තා කිරීම ඇතුලු උද්ඝෝෂන කැඳවන ලදී. 

ආන්ඩුව ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති තත්වයේ දී, ඒවා ලබාගැනීම සඳහා ලංවිම සේවකයන් වර්ජනයකට යාම වැලැක්වීමට ජනාධිපති දිසානායක, අරගලයේ යෙදෙන අය සිරගත කිරීමේ තර්ජනය සහිත රුදුරු අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා ඇත. 

තැපෑලේ හා ලංවිම අරගලවල දී පෙන්නුම් කෙරී ඇත්තේ, ආන්ඩුවේ ජාමූඅ වැඩපිලිවෙල පරාජය නොකර කම්කරුවන්ට තම රැකියා, වැටුප් සේවා කොන්දේසි රැක ගත නොහැකි බවයි. කම්කරු පන්තියේ කවර කොටසක වුව අරගල ආන්ඩුවේ මෙම පිලිවෙත සමග ඍජු ව ම ගැටේ. 

ජාමූඅ වැඩපිලිවෙලට මුලුමනින් ම පක්ෂපාත වෘත්තීය සමිති නායකයෝ එවන් අරගලයකට සපුරා ම විරුද්ධ ව සිටිති. ආන්ඩුවට බලපෑම් දමා ඉල්ලීම් දිනාගත හැකි ය යන මිථ්‍යාවක හා නිරර්ථක වැඩපිලිවෙලකට කම්කරුවන් කොටු කර දමා අවසානයේ, පාලකයන්ගේ වැඩපිලිවෙල ක්‍රියාවට දමා ගැනීමට ඔවුහු කොන්දේසි සකස් කරති. 

අනකුත් තැන්වල මෙන් ම, තැපෑලේ කම්කරුවන්ට විකල්ප වැඩපිලිවෙලක් අවශ්‍ය ය. එවැනි විකල්ප වැඩපිලිවෙලක් තිබේ. එහි පලමු පියවර, වෘත්තීය සමිති නායකයන් ජාමූඅ හා ධනපති ආන්ඩුවලින් ප්‍රතිසංස්කරන ඉල්ලීමට තමන් කොටු කිරීමට ඉඩ නොදී, තම අයිතීන් සඳහා අරගලය තමන් අතට ම ගැනීමට සෑම වැඩපොලක ම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමයි. 

සමිති නිලධරයන් කරන්නේ ඒ ඒ ආයතනයට වැඩපොලට කම්කරුවන් කොටු කරන හුදකලා විරෝධතා කැඳවීමයි. ඉන් ආන්ඩුවේ මර්දනයට දොර ඇරේ. මෙය නතර කල යුතු ය. විවිධ ආයතනවල ප්‍රශ්න වෙනස් බවක් පෙනුනත්, ඒවා පැන නැගී ඇත්තේ ආන්ඩුව ක්‍රියාවට දමන ජාමූඅ කප්පාදුව හේතු කොට ගෙන ය. එය පරාජය කිරීමට සමස්ත කම්කරු පන්තියේ ම ස්වාධීන ශක්තිය මෙහෙයවා ගත යුතු ය.  

සෑම ආයතනයක ම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමෙන් එවන් ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීමට කම්කරුවන්ට අවස්ථාව සැලසෙනු ඇත. කම්කරුවන්ගේ අයිතීන් දිනාගැනීමේ හා රැක ගැනීමේ ඒකාබද්ධ අරගලයකට එරෙහි ව සිටින, එමෙන් ම ධනපති ගැති සමිති නායකයන් මේ කමිටුවලට වැද්ද නොගත යුතු ය.  

මෙ ලෙස කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීම අභූතයක් හෝ කල නොහැක්කක් නොවේ. එවන් ව්‍යාපාරයක් ගොඩනැගීම, තමන්ගේ රැකියා, වැටුප්, සේවා කොන්දේසි හා ජීවන තත්වයන් රැක ගැනීමට අත්‍යවශ්‍ය බව කම්කරුවන් වටහා ගැනීම අද දින දැවෙන අවශ්‍යතාවකි. වෘත්තීය සමිති නායකයන්ගෙන් හෝ ධනපති පක්ෂවලින් හෝ ඒවා වටා කැරකෙන ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය බඳු සංවිධානවලින් තම අයිතීන් සඳහා සටන් කිරීමක් බලාපොරොත්තු වීම මිරිඟුවකින් දිය දෝතක් ලැබේ යැයි අපේක්ෂා කිරීම තරම් ම අනුවන ක්‍රියාවක් වේ. 

ලෝක අර්බුදයෙන් නිතිපතා උග්‍රවන අර්බුදයක ගිලී ඇති බංකොලොත් ධනපති ක්‍රමය තුල හා ජාතික රාමුව තුල කම්කරුවන්ට හා දුගීන්ට තමන් මුහුන දෙන කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් නැති බව සමාජවාදී සමානතා පක්ෂය කියා සිටී. තම අයිතීන් සඳහා කම්කරුවන්ගේ අරගලය  ජවිපෙ/ ජාජබ ආන්ඩුවට හා ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයකි. 

එනම් සියලු නිෂ්පාදන මාධ්‍ය කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතුකරන හා සමාජවාදී සැලසුම්ගත ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන  කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනක් වර්ධනය කිරීම හා එවන් අරගලයක් සඳහා ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතු වීම අවශ්‍ය වේ. 

Loading