ඉදිරිදර්ශන

සසප හා කම්කරු ක්‍රියාකාරී කමිටු සාමුහිකය පවත්වන ලංවිම ප්‍රතිව්‍යූහකරනයට එරෙහි රැස්වීමට සහභාගි වන්න

ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි ව එහි සේවකයන් ගෙන යන අරගලය, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් සමස්ත කම්කරු පංතියට සහ අනෙකුත් පීඩිත මහජනතාවන්ට එල්ල කෙරෙමින් පවතින, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු ප්‍රහාරවලට එරෙහි සටනේ කේන්ද්‍රීය ලක්ෂ්‍යයක් බවට පත් ව ඇත.

රටෙහි ආර්ථිකයේ මර්මස්ථානයක් වන ලංවිම පුද්ගලීකරනය සඳහා, දශක ගනනාවක් පුරා, අනුප්‍රාප්තික ආන්ඩු විසින් දරන ලද ප්‍රයත්නයන්, ලංවිම සහ අනෙකුත් කම්කරුවන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ අසාර්ථක වූ නමුදු, වත්මන් ආන්ඩුව එය නිශ්චිත ව ක්‍රියාත්මක කිරීමේ වැඩ අරඹා ඇත. ලංවිම සමාගම් හතරකට බෙදා පසු ව එම සමාගම් පුද්ගලීකරනය කිරීම ආන්ඩුවේ සැලැස්මයි. 

මේ හරහා, අතීතයේ දී සටන් වැද දිනා ගත් තම රැකියා, වැටුප් සහ සේවා කොන්දේසිවලට එල්ල කිරීමට යන රුදුරු ප්‍රහාරයට එරෙහි ව, 20,000 කට අධික ලංවිම සේවකයන් සැප්තැම්බර් 04 දා සිට “අකුරට වැඩ කිරීමේ” ක්‍රියාමාර්ගයක යෙදෙන අතර, ඉන් දස දහසක් පමන, සැප්තැම්බර් 17 -18 දිනවල අසනීප නිවාඩු දමා උද්ඝෝෂනයක යෙදුනෝ ය.

ඉන් කෝපාවිෂ්ඨ වූ ජනාධිපති දිසානායක, සැප්තැම්බර් 17 දින ම, ආන්ඩුවේ “ප්‍රගතිශීලි ආර්ථික පරිවර්තනයට” බාධා කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව කියමින් ලංවිම සේවකයන්ට එරෙහි ව කඩා පැන්නේ ය. ඔහුගේ පූච්චානම කෙසේ වෙතත්, දිසානායක යෙදී සිටින්නේ, ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් ඉටු කෙරෙන ප්‍රතිගාමී කර්තව්‍යයකයි. මේ යටතේ රාජ්‍ය ව්‍යවසායන් සිය ගනනක්, වසා දමා, නැතහොත් පුද්ගලීකරනය කොට, ලක්ෂ පහකට අධික කම්කරුවන්ගේ රැකියා ද, මහජන සෞඛ්‍යයේ සහ අධ්‍යාපනයේ ඉතිරි පහදු ද විනාශ කිරීමට නියමිත ය. 

ලංවිම සේවකයන්ගේ අරගලයට ප්‍රතිචාර වශයෙන්, සැප්තැම්බර් 21 දා, ජනාධිපති දිසානායක ඔවුන් සිරගත කිරීමේ තර්ජනය සහිත “අත්‍යවශ්‍ය සේවා” නියෝග පනවමින් ලංවිම සේවකයන්ගේ නිවාඩු ද අවලංගු කර ඇත. සේවකයන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් 12 ආන්ඩුව හා ලංවිම පාලකයන් විසින් මුලුමනින් ම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. 

වත්මන් තත්වය කරා ලංවිම සේවකයන් ඇද ගෙන ආවේ වෘත්තීය සමිති නායකත්වයයි. දැන් අකුරට වැඩකිරීමේ ක්‍රියාවලට කැදවා ඇති,  ඉංජිනේරු සංගමය, තාක්ෂනික ඉංජිනේරු හා අධිකාරි සංගමය, නිදහස් සේවක සංගමය, ස්වාධීන ඉංජිනේරු සංගමය, ලංවිම කාර්මික ශිල්පීන්ගේ සංගමය, ජාතික සේවක සංගමය යන සමිතිවල නායකත්වයන් ගිය අවුරුද්දේ සිට කරමින් සිටියේ වික්‍රමසිංහ ආන්ඩුවට හා දැන් බලයේ සිටින දිසානායක පාලනයට බලපෑම් දමා කම්කරු අයිතීන් දිනා ගත හැකි ය යන බේගලය වැපිරීමයි. ගිය අවුරුද්දේ මේ මිථ්‍යාව වැපිරීමේ නායකත්වය ගත්, ලංකා විදුලි සේවක සංගමයේ නායක රන්ජන් ජයලාල්, කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති ධුරයට පත් ව, ලංවිම සේවකයන්ගේ මාරක සතුරෙකු වී සිටි. 

දැන් කම්කරු අයිතීන් රැකීමට උද්ඝෝෂනයේ යෙදෙන බව කියන ඉහත සඳහන් සමිතිවල නායකයන්, ඔක්තතෝබර් 1 දා රැස් වී, අලුත් සමාගම්වලට අන්තර්ග්‍රහනය කරගැනීමට ලංවිම බලාධිකාරින් නිකුත් කර ඇති ලිපිය පුරවන ආකාරය ගැන සේවකයන්ට උපදෙස් දෙන ලිපියක් නිකුත්කර ඇත. එය තමන්ගේ අදාල සමිති හරහා භාර දෙන ලෙස ද දැනුම් දී ඇත. ඔවුහු දැන් ආන්ඩුව හා ලංවිම වෙනුවෙන් අතරමැදි වෙලෙන්දන් ලෙස ක්‍රියාකරති. 

මේ සමිති නායකයන් ක්‍රියා කරන්නේ ජාමූඅ වැඩපිලිවෙල හා ඒ අනුව ක්‍රියාත්මක ප්‍රතිව්‍යූහකරන වැඩපිලිවෙල මුලුමනින් පිලිගත්තවුන් ලෙසයි. තමන්, ලංවිම ප්‍රතිව්‍යූහකරනයට පක්ෂ බව පුනපුනා කියන, ශ්‍රී ලංකා නිදහස සේවක සංගමයේ නායක ප්‍රභාත් ප්‍රියන්ත ගේ වචනවලින් ඒ මෙසේ ය: “අපි තාම දුප්පත් රටක්. අයිඑම්එෆ් (ජාමූඅ) හරහා ආධාර ලබාගෙන ඉස්සරහට යන්නේ. විශාල විදුලි ව්‍යාපෘතිවලට පිටරට ආයෝජන අවශ්‍යයි.” 

ආන්ඩුව සම්බන්ධයෙන් ගත හොත්, කම්කරුවන්ගේ ප්‍රධාන කොටසක් වන ලංවිම සේවක අරගලය මැඩලා ප්‍රතිව්‍යූහකරන වැඩපිලිවෙල ක්‍රියාවට දමා ගැනීම, අනෙකුත් ප්‍රධාන ආයතනවල ද ඒ හා සමාන ව සේවක අයිතීන් පාගා දමා ප්‍රතිව්‍යූහකරනය ක්‍රියාව දමා ගැනීම සදහා තීරනාත්මක ය. 

දැන් කුමක් කරමු ද? 

කම්කරු පන්තිය සම්බන්ධයෙන් ගතහොත්, ලංවිම පිලිබඳ ආන්ඩුවේ වැඩපිලිවෙල පරාජය කිරීම, අනෙකුත් තැන්වල ප්‍රතිව්‍යූහකරන වැඩපිලිවෙල ද ජීවන හා සමාජ අයිතීන් කපා දමමින් ඉදිරියට ගෙනයන ප්‍රහාරය ද පරාජය කිරීම සම්බන්ධයෙන් තීරනාත්මක ය. හදිසි භාවයකින් යුතුව, ජාමූඅ/ආන්ඩුවේ වැඩපිලිවෙල පරාජය කිරීමට කම්කරු පන්තියේ ස්වාධීන ඒකාබද්ධ ප්‍රහාරයක් වර්ධනය කල යුතු බව අප අවධාරනය කරන්නේ මේ නිසාය.

වික්‍රමසිංහ ආන්ඩුව ඉවත ලා, ජවිපෙ නායකත්වය ගත් ජාජබ ආන්ඩුවක් බලයට ගෙන ඒමට ලංකාවේ පාලක පන්තියේ ප්‍රමුඛ කන්ඩායමක් තීරනය කලේ, එහි රුදුරු කම්කරු විරෝධී අතීත වාර්තාව ද සැලකිල්ලට ගැනීමෙනි. කලින් ආන්ඩුවල සහායක බලකායක් ලෙස ක්‍රියාකල ජවිපෙ දැන් කෙලින් ම ආන්ඩු බලය ගෙන ඇත. ලෝක ධනපති ක්‍රමයේ අර්බුදයෙන් බැටකන ලංකාවේ ආන්ඩුවට හා පාලක පන්තියට වෙනත් මාර්ගයක් නැත.

ආන්ඩුව 2022 දී නතර කල විදේශ නය ආපසු ගෙවීම ආරම්භ කල යුතු ය. මේ සඳහා දිසානායක පාලනයට කම්කරුවන් හා දුගී ජනයා මිරිකා සූරා ගෙන භාන්ඩාගාරය පුරවා ගැනීම අවශ්‍ය ය. මේ තත්වය සහතික කර ගැනීමට ජාමූඅ දරන ප්‍රයත්නය, ලංවිම ප්‍රතිව්‍යූහකරනය සහ එහි ගාස්තු ඉහල දමා ගැනීම සඳහා ලුහුබඳිමින් ක්‍රියාකරන ආකාරයෙන් ප්‍රකාශයට පත් වේ.   

ලංවිම ද, 400ක් පමන වන අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් ද, පුද්ගලීකරනය සඳහා ගෙන යන වැඩපිලිවෙල මගින් ඒවායේ සේවය කරන 500,000 සේවකයන්ගේ රැකියා, වැටුප් හා සේවා කොන්දේසි අවදානමට ලක් ව තිබේ. මෙය සිදු වන්නේ, කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන කොන්දේසි මිරිකා දමන තත්වයක ය. ධනපති ක්‍රමය තුල කම්කරුවන්ගේ හා දුගීන්ගේ කිසිදු අයිතියක් රැක ගත නොහැකි බව සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ මේ නිසා ය. 

අප මේ සඳහා ක්‍රියාමාර්ගයක් විස්තාරනය කර ඇත.  “බලශක්ති ඇමතිගේ තර්ජනයට විරුද්ධ වෙනු! ආන්ඩුවේ ප්‍රතිව්‍යූහකරන වැඩපිලිවෙලට එරෙහි ව සටන් වැදීමට ලංවිම ක්‍රියාකාරී කමිටු පිහිටුවනු!” මැයෙන්, 2025 සැප්තැම්බර් 17 දා, ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය, ලෝසවෙඅ හි පලකල ප්‍රකාශයක එම වැඩපිලිවල මෙසේ සඳහන් කෙරුනි:

“ලංවිම සේවකයන් තම අයිතීන් සඳහා අරගලය තමන් අතට ගත යුතු ය. එය කල හැක්කේ කෙසේ ද? පලමු පියවර වන්නේ, විදුලිබල මන්ඩලයේ සේවකයන් තමන්ගේ සෑම සේවා ස්ථානයක ම කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම යි. වෘත්තිය සමිති නිලධරය මෙම කමිටු තුලට වැද්ද නොගත යුතු ය. කම්කරුවෝ තම ඉල්ලීම් ද ඒවා සඳහා අරගලය ද ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකින් තීන්දු කල යුතු වෙති. 

“එවන් කමිටු ගොඩනගා ගැනීමෙන් තමන් මෙන් ම ආන්ඩුවේ ප්‍රහාරයට ලක් ව සිටින කම්කරුවන් වෙත අවතීර්න වී පොදු පලල් අරගලයක් සංවිධනය කරගැනීම අවශ්‍ය ය. එවන් අරගලයක් සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ගය අපි යෝජනා කරමු:

“ප්‍රතිව්‍යූහකරනය/ පුද්ගලීකරනය නතර කරනු! ප්‍රතිව්‍යූහකරනයට නම නියමකර ඇති හා නැති සියලු රාජ්‍ය ආයතන කම්කරු පාලනය යටතට ගමු. 

“රැකියා සුරක්ෂිතභාවය, ඉහල යන ජීවන වියදමට සරිලන වැටුපක්, විශ්‍රාම වැටුපක් සහ යහපත් සේවා කොන්දේසි!

 විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරනු! 

මෙය සාක්ෂාත් කල හැක්කේ, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදීමෙන් පමනි. 

ශ්‍රී ලංකාවේ කම්කරු පංතිය, තමා මෙන්ම, ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ සහ ධනපති පාලක පන්තීන්ගේ ඒකාබද්ධ ප්‍රහාරයකට ලක් ව සිටින ගෝලීය කම්කරු පංතිය සමග ඒකාබද්ධතාව ගොඩනගා ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය ය.

ඒ අනුව, ජාත්‍යන්තර කම්කරු සංවිධානයට කන්නලවු කිරීමේ ලංවිම සමිති වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කරමින්, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය සමග ඒකාබද්ධතාව ගොඩනගා ගන්නා ලෙස, අපි ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට යෝජනා කරන්නෙමු. 

මේ වැඩපිලිවෙල සාකච්චා කිරීම සඳහා “ලංවිම ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි වනු! ලංවිම සේවකයින්ගේ අරගලය ආරක්ෂා කරනු!” මැයෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය ඔක්තෝබර් 04 සෙනසුරාදා රාත්‍රී 7:00ට සූම් තාක්ෂනය මගින් රැස්වීමක් කැඳවා ඇත. එම රැස්වීමට සහභාගී වී, සාකච්ඡාවට සම්බන්ධ වන ලෙස සියලු ම කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.

රැස්වීමේ දිනය සහ වේලාව: ඔක්තෝබර් 04 සෙනසුරාදා, රාත්‍රී 7.00ට

පහත සබැඳිය භාවිතා කර රැස්වීමට සම්බන්ධ වන්න:

https://us06web.zoom.us/meeting/register/BEO9NOTVTwq6E6ft7gP8Yg

Loading