“ප්‍රතිව්‍යුහකරනයට සහ ආන්ඩුවේ මර්දනයට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍යයි” යැයි ලංවිම කම්කරුවෝ පවසති

ප්‍රතිව්‍යුහකරනයට එරෙහි ව තම රැකියා සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) කම්කරුවන් යෙදී ගෙන සිටින අරගලය මේ වන විට සති තුනක් ඉක්මවා ඇත. 20,000ක් පමන කම්කරුවෝ අරගලයට සම්බන්ධ වී සිටිති. සැප්තැම්බර් 4 වෙනිදා සිට අකුරට වැඩ කිරීමේ විරෝධතා උද්ඝෝෂනයක අඛන්ඩ ව නිරතව සිටින ඔවුන් අතරින් 10,000ක් පමන, සැප්තැම්බර් 17 සහ 18 දින වල අසනීප නිවාඩු වාර්තා කොට කොලඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට බලගතු උද්ඝෝෂනයක් කලහ. 

සැප්තැම්බර් 17දා ප්‍රතිව්‍යුහකරන පනතට එරෙහිව කොලඹ ලංවිම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයේ නිරත කම්කරුවන්ගෙන් කොටසක්

උද්ඝෝෂනයෙන් කුපිත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ලංවිම කම්කරුවන්ගේ විරෝධතා ව්‍යාපාරය ට එරෙහි ව සැප්තැම්බර් 21 වෙනි දා මධ්‍යම රාත්‍රියේ සිට බලපාන පරිදි අත්‍යාවශ්‍ය සේවා නියෝග පැන වූ  අතර පසු දින ලංවිම සභාපති විසින් නැවත දැනුම් දෙන තුරු ඔවුන්ගේ නිවාඩු අවලංගු කලේ ය. ලංවිම කම්කරුවන්ගේ අරගලය කෙරෙහි ආන්ඩුවේ මෙන් ම,  විපක්ෂයේ ධනපති පක්ෂවල සතුරුකම ප්‍රදර්ශනය කරමින් ජනාධිපති දිසානායක ගේ අත්‍යාවශ්‍ය සේවා නියෝග ගැසට්ටුව සැප්තැම්බර් 24 වෙනිදා පාර්ලිමේන්තුව තුල විවාදයකින් තොර ව ඒකමතික ව සම්මත කෙරුනි.

ජනාධිපති දිසානායක ගේ ජාතික ජන බලවේග ආන්ඩුව ලංවිම කම්කරුවන් ගේ  අරගලයට අත්‍යාවශ්‍ය සේවා  නියෝග පැනවීම සමස්ත  කම්කරු  පන්තිය සම්බන්ධයෙන් ම බරපතල අනතුරු ඇඟවීමකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු (ජාමූඅ) වැඩපිලිවෙල යටතේ ක්‍රියාවට දමන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය/පුද්ගලිකරනයට එරෙහි ව මතු වන කවර විරෝධතාවක් හෝ ඉවසීමට  ආන්ඩුව සුදානම් නැති බවට එය පැහැදිලි සංඥාවකි.

එහෙත්, අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවා ලංවිම කම්කරුවන් ගේ අරගලය දඬු ගැසීමේ  ජාජබ ආන්ඩුවේ රුදුරු මර්දනය අවතක්සේරු කරමින් එහි අන්තරාය වසන් කරන  ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුනේ නායකයෝ  ප්‍රතිව්‍යූහකරනයට එරෙහි ව ලංවිම කම්කරුවන්ගේ අයිතීන්  රැකීමට සහ ආන්ඩුවේ මර්දනය පරාජය කිරීමට අවශේෂ කම්කරුවන්ගේ සහාය ගොනුකර ගත් අව්‍යාජ  අරගලයක් සංවිධානය කිරීම මුළුමනින් ම ප්‍රතික්ෂේප කරති.

ඒ වෙනුවට ආන්ඩුවේ මර්දනය ඉදිරියේ යටත් වී ඇති  ඔවුන් ප්‍රතිව්‍යූහකරනය තුලින් සේවකයන්ගේ අයිතීන් සම්බන්ධ ව මතු වී ඇති ගැටළු විසඳීම ට මැදිහත් වන ලෙස ජාත්‍යන්තර  කම්කරු සංවිධානයට (ජාකස) ආයාචනා කර ඇත. 

ජාකස ශ්‍රී ලංකා නියෝජිතයන් සහ කම්කරු කොමසාරිස් ජනරාල් සමග 25 වෙනිදා පැවති සාකච්ඡාවේ දී “සාධනීය ප්‍රතිචාරයක්”  ලැබුන බවත්,  ජාමූඅ සමග ලංවිම කම්කරුවන්ගේ ගැටලුව සාකච්ඡා කරන බවට ජාකස සංවිධානයේ නියෝජිතයන්  පොරොන්දු වූ බවත් සමිති නායකයෝ  මාධ්‍යයට සහ සාමාජිකයන්ට ප්‍රකාශ කලහ. එයින් විසඳුමක් නො ලැබුනොත් ජාත්‍යන්තර  මානව හිමිකම් සංවිධානයට (ජාමාහිස) පැමිනිලි කරන බව ද ඔවුන් වැඩි දුරටත් සඳහන් කර ඇත. 

සමිති නායකයන් උත්සාහ කරන්නේ ඉහත සංවිධානවලට ආයාචනා කිරීමෙන් ලංවිම කම්කරුවන් ගේ ගැටුලුවලට විසඳුමක් ලබා ගත හැකි ය යන බරපතල මිථ්‍යාවකට ඔවුන් කොටු කර ඔවුන්ගේ අරගලය විසුරුවා හැරීමටයි.  

ජාකස අධිරාජ්‍යවාදී බලයන්ගේ පිටුබලය ලබන සංවිධානයක් වන අතර එය ක්‍රියාත්මක වන්නේ වෘත්තීය සමිති වල සහයෝගය ඇති ව ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ, ධනේශ්වර ආන්ඩුවල සහ හාම්පුන්ගේ අවශ්‍යතාවලට කම්කරුවන් යටත් කිරීමේ උපකරනයක් ලෙසයි. ජාකස හෝ ජාමාහිස තුලින් ඔවුන් ගේ රැකියා සහ සේවා කොන්දේසි සම්බන්ධ ගැටළු වලට විසඳුමක් සම්පාදනය කර ගත නොහැකිය. ලංවිම කම්කරුවන්  සමිති නායකයන් ගේ මෙම උගුල ප්‍රතික්ෂේප කල යුතු ය. 

ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට සහ දිසානායක ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව සටන් කිරීම සඳහා ලංවිම කම්කරුවන් සහ ශ්‍රී ලංකාවේ අවශේෂ කම්කරුවන් හැරිය  යුත්තේ තම ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් වෙතට ය. වඩාත් සංයුක්ත ව කිව හොත්, මුල්‍ය ප්‍රාග්ධනයේ සහ ධනපති පාලක පන්තීන්ගේ ප්‍රහාරයන්ට  එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් කරන “කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය” වෙතට ය. 

කම්කරු පන්තිය, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත, ජාමූඅ සහ දිසානායක ආන්ඩුවේ ප්‍රහාරවලට විරුද්ධ ව ඒකාබද්ධ අරගලයක් සංවිධානය කල යුතු ය. එවන් අරගලයක් සංවිධානය කිරීම සඳහා වෘත්තීය සමිති නිලධරයෙන් සහ ධනපති පක්ෂවලින් ස්වාධීන ව සෑම වැඩපලක ම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම අවශ්‍ය වේ. 

මෙම ක්‍රියාමාර්ගය පැහැදිලි කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් ලංවිම සහ අවශේෂ කම්කරුවන්  අතර කරන ලද මැදිහත්වීම් වල දී, දිසානායක  ආන්ඩුවේ ප්‍රහාරයන් සහ සමිති නායකයන්ගේ ද්‍රෝහී ක්‍රියාකලාපය හෙලා දුටු කම්කරුවෝ, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට සහ රාජ්‍ය මර්දනයට එරෙහි ව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක අවශ්‍යතාවය පිලිබඳව අදහස් ප්‍රකාශ කලහ.

පුත්තලම දිස්ත්‍රික්කයේ විදුලි බල සේවකයෙකු වන චන්දන, වෘත්තීය සමිති විසින් ලංවිම කම්කරුවන් ශ්‍රේනිවලට බෙදා කම්කරු පන්තියේ ශක්තිය දුර්වල කිරීම හෙලා දුටුවේ ය. “ශ්‍රේනි භේදය උඩ අපිට ඉස්සරහට යන්න බැහැ. ඒකාබද්ධ වර්ජනයකට යන්න නම් සියලු කම්කරුවන් එකමුතු විය යුතුයි. ගිය අවුරුද්දේ විරෝධතාවලට අපි සියලු දෙනා සම්බන්ධ වුනා. එහිදී අපේ 62 කගේ වැඩ තහනම් කලා. ඔවුන් සාමාන්‍ය සේවකයෝ. ඔවුන්ව නැවත සේවයේ පිහිටුවන්න කිසිම සමිතියක් සටන් කලේ නැහැ.  සාමාන්‍ය කම්කරුවන්  අධෛර්යමත් වූනා.”

සමිති නායකයන් පිලිබඳව කිසිදු විශ්වාසයක් නැතැයි කී චන්දන ප්‍රකාශ කලේ ඔවුන් ආන්ඩුවේ වරදාන වරප්‍රසාදවලට යට වී සිටින බවයි. “අරගලය සංවිධානය කිරීම සම්බන්ධයෙන් සාමාජිකයන් සමග කිසිම සාකච්ඡාවක් කරන්නේ නැහැ. අපේ මුදල් සමිතියට කැපෙනවා විතරයි,” යැයි ඔහු පැවසී ය.

ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම තුලින් කම්කරු පන්තියේ ඒකාබද්ධ මහ වැඩවර්ජනයක් සූදානම් කිරීම සහ එමගින් ධනපති ජවිපෙ/ජාජබ ධනපති ආන්ඩුව හෙලා, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම පිලිබඳ ව එකඟතාවය පලකල චන්දන  ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි තවත් අයට බෙදා හැර ලංවිම කම්කරුවන් සමග සාකච්ඡාවක් සංවිධානය කිරීමට එකඟ විය. 

කොන්ත්‍රාත් කම්කරුවෙකු ලෙස 2005 රැකියාවට බැඳුනු මාතර ලංවිම කම්කරුවෙක් දවස් දෙකේ අසනීප නිවාඩු උද්ඝෝෂනයට සහ කොලඹ පැවති විරෝධතා උද්ඝෝෂනයට සම්බන්ධ වූ බව පැවසී ය. “කලින් මම ජවිපෙ වෘත්තීය සමිතියේ සාමාජිකයෙක්.  දැන් මම ඒකෙන්  අයින් වෙලා.  රන්ජන් ජයලාල්ගේ ප්‍රකාශය මම දැක්ක. කලින් කියපු දෙවල්වට වඩා දැන් කියන කතා මුලුමනින් ම වෙනස්. ලංවිම  පෞද්ගලික අංශයට දෙන්නෙ නැහැ කියන එක බොරුවක්.  කෑලි හතරකට කඩලා   විකුනන්න හදන්නේ. ජවිපෙ සමිතිය සම්බන්ධ වුනේ නැහැ වර්ජනයට.  සාමාජිකයෝ සම්බන්ධ  වුනා” යැයි ඔහු සඳහන් කලේ ය. 

ආන්ඩුවේ කතා විශ්වාස කල නොහැකි බැවින් අරගලයට සම්බන්ධ වූ නමුත් සමිති නායකයන්ගේ වැඩපිලිවෙල මත අරගලය ජයග්‍රහනය කල හැකි වෙතැයි  විශ්වාසයක් නැති බව ද ඔහු පැවසී ය. “විදුලි බල ඇමති කිවුවනේ අපිට වෙන රස්සාවල් හොයාගන්න කියලා.  ආන්ඩුව වන්දියක් දෙන්නේ මන්ඩලයට තියෙන නය කපාගෙන. අතට ලැබෙන්නේ  පොඩි ගනනක්. ඒකෙන් කොහොමද ජීවිතේ ඉතුරු කාලය ගෙවන්නෙ. මට ඉස්කෝලෙ යන වයසේ ලමයි දෙන්නෙක් ඉන්නවා. ඒක නිසා අපට මේ රස්සාව ආරක්ෂා කරගන්න ඕනේ.”

අත්‍යවශ්‍ය සේවා නියෝග යොදා ආන්ඩුව ඔවුන්ගේ අරගලය මර්දනය කිරීමට යත්න දරන බව පැවසූ ඔහු මෙසේ ද පැවසීය: “අපි ඒවට මුහුන දෙන්න ඕනේ. රස්සාව ආරක්ෂා කර ගන්නත් ඕනේ. ආයතනය ආරක්ෂා කර ගන්නත් ඕන. මේක ලොකු ප්‍රශ්නයක්.  ඒ සඳහා වෘත්තීය සමිති වලට වැඩපිලිවෙලක් නැහැ කියන එක මම පිලිගන්නවා. ඔබ කියනවා වගේ ක්‍රියාකාරී කමිටු හදාගෙන අලුත් විදිහකට සංවිධානය වීම අවශ්‍යයි.”

කැලනි තිස්ස විදුලි බලාගාරයේ කම්කරුවෙක් මෙසේ කීවේපය: “රන්ජන්  ජයලාල්ගේ පාවාදීම නිසා  ලංවිම කම්කරුවන් බොහෝ දෙනෙක් සමිති ගැන කලකිරිල ඉන්නෙ. මේ ආන්ඩුව බලයට ගෙන ඒම සම්බන්ධයෙන් ලංවිම  සමිතිත් වගකියන්න ඕන. … පසුගිය මැතිවරනවල දී කාටවත් ඡන්දය දුන්නෙ නෑ.”

විපක්ෂයේ සියලු ධනපති පක්ෂ ආන්ඩුව සමග එක් වී අත්‍යවශ්‍ය සේවා නියෝග ගැසට්ටුව පාර්ලිමේන්තුවේ සම්මත කිරීම ඔහු හෙලා දුටුවේය. “මේ පක්ෂවලට සම්බන්ධ වෘත්තිය සමිතිවලට ඕන ඒගොල්ලන්ගෙ දේශපාලන පක්ෂයේ ප්‍රතිරූපය ගොඩනඟා ගන්න. අපිට ආදරයක් තිබුනනම් මුල ඉඳලම ප්‍රතිව්‍යූහගතකරනය විරුද්ධ වෙන්න තිබුන.  ආන්ඩුව ප්‍රතිව්‍යුහකරනය ක්‍රියාවට දමද්දී සමිති ඊට විරුද්ධයි කියල බොරු මවාපෑමක්  කරනවා” යැයි ඔහු පැවසී ය.  

තැපැල් කම්කරුවන්ගේ අරගලයේ දී හමුදා පොලිසි යොදවමින් ආන්ඩුව මර්දනය දියත් කරන විට ලංවිම වෘත්තිය සමිති ඇතුලු කිසිම වෘත්තීය සමිතියක් තම අරගලය  ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවීම ගැන ඔහු මෙසේ කීවේ ය:  “කම්කරුවො ඔක්කොම එකට ඉන්න ඕනා. දැන් එහෙම එකමුතුවක් නැහැ. අනෙකුත් කම්කරුවන් හේ සහෝගය ලබා ගනියි කියල මට විශ්වාසයක් නැහැ.' 

සැප්තැම්බර් 17 දා කොලඹ උද්ඝෝෂනයට සහභාගී වූ කම්කරුවෙක් මෙසේ පැවසී ය: “ප්‍රතිව්‍යූහකරනය කියලා මේ ආන්ඩුව කරන්නෙ අයිඑම්එෆ් වැඩපිලිවෙල ක්‍රියාවට දමන එක. වික්‍රමසිංහ ආන්ඩුව ගෙනාපු පනත ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා.”

“අපිට රස්සාව බේර ගන්න ආන්ඩුව එක්ක උපරිම සටනක් කරන්න වෙනවා. වර්ජනයකට යන්න වුනොත් අපි ඒක කරනවා. සමිති නායකයෝ  මේක අත ඇරලා දාල හිටියේ. බිම් මට්ටමෙන් එන ප්‍රෙෂර් එකට මේක කරන්නේ.”

ලංවිම  අරගලයට අත්‍යාවශ්‍ය සේවා නියෝග පැනවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරක් බව කිලිනොච්චිය රෝහලේ සෞඛ්‍ය සේවිකාවක වන කේ.බවානි  පැවසුවාය. “සෞඛ්‍ය සේවකයෝ  විදිහට අපි බොහෝ ගැටලු වලට මුහුන දෙනවා.  ඒ සඳහා  සටන් කලහොත්  ආන්ඩුව අපටත් සලකන්නේ ඒ විදිහට බව අපි දන්නවා.   අද විදුලිබල මන්ඩලයේ  සේවකයින් ඉලක්ක කරගන්නවා නම්  හෙට අප ඉලක්ක කර ගන්න පුලුවන්” බව ඇය පැවසුවා ය.

'ලංවිම ප්‍රතිවුහකරනයට එරෙහි වනු! ලංවිම කම්කරුවන්ගේ අරගලය ආරක්ෂා කරනු!' මැයෙන් ඔක්තෝබර් 4 සෙනසුරාදා සවස 7 ට පැවැත්වෙන සූම් රැස්වීමට සහභාගී වන්න. මෙම සබැඳියෙන් රැස්වීමට ලියාපදිංචි වන්න.

Loading