ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම) සේවකයන්, ආයතනය ප්‍රතිව්‍යුහකරනය නිසා එල්ලවන තර්ජනයන්ට එරෙහිව සති කිහිපයක් තිස්සේ ගෙනයන අරගලය මර්දනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංවිම මත, රුදුරු අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවූයේ ය.
කම්කරුවන් බුරුතු පිටින් එලියට දැමීමේ ප්‍රතිපාදන ඇති මෙම නියෝගය පැනවීම හෙලා දකින ලෙස ද ලංවිම සේවකයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත්වන ලෙස ද සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියේ සෑම කොටසකින් ම ඉල්ලා සිටී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුර්ග කප්පාදු වැඩපිලිවෙලේ ප්‍රධාන නියෝගයක් වන ලංවිම ප්‍රතිව්‍යුහකරනයට එරෙහි ව, 20,000කට අධික විදුලි කම්කරුවන් සැප්තැම්බර් 4දා සිට සීමිත අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගෙන ගියේ ය. ඉන් පසු, සැප්තැම්බර් 17-18 දෙදින, ලෙඩ නිවාඩු දමා කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරියේ පැවැත්වූ බලගතු උද්ඝෝෂනයන් නිසා දිසානායකගේ ආන්ඩුව කුපිත වී සිටී. තම රැකියා ඇතුලු අයිතීන් සුරක්ෂිත කර ගැනීම සඳහා ඉදිරිපත් කල ඉල්ලීම් ආන්ඩුව විසින් නොතකා හරිනු ලැබීමෙන් කම්කරුවන් අතර නැගී ඇති කෝපය නිසා විරෝධතා ක්‍රියාවන් තීව්‍ර කරන බව ප්‍රකාශ කිරීමට සමිති නායකයන්ට සිදුවී ඇත.
1979 අත්‍යවශ්‍ය මහජන සේව පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියමයෙන් සැප්තැම්බර් 21දා නිකුත් කල අති විශේෂ ගැසට් නිවේදනයට අනුව, විදුලි බලය, “සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින්...විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා” බවට පත් කර ඇත.
මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී නියෝග ප්‍රකාරව විදුලි කම්කරුවන්ගේ සියලු වෘත්තීය සමිති ක්‍රියා තහනම් කිරීමට ආන්ඩුවට හැකියාව ලැබේ. එමෙන්ම ඔවුන් ඊට අවනත නොවන්නේ නම්, “මහේස්ත්‍රාත් ඉදිරියේ කෙටි නඩුවිභාගයකින් පසු” වරදකරුවන් කල හැකිය. වරදකරුවන් වන ඕනෑම අයෙකු වසර 2 සිට 5දක්වා “ දැඩි සිරදඬුවම්වලට” හෝ රුපියල් 2,000 ත් 5,000ත් අතර දඩයකට හෝ ඒ දෙකට ම යටත් කල හැකිය. එම නියෝගවලට අනුව, විරෝධතා ක්‍රියාවන් සඳහා උද්ඝෝෂනය කිරීම ද වරදක් වන අතර එසේ කරන්නන් ද ඉහත කී ප්‍රකාර දඬුවම්වලට යටත් කල හැකිය.
පසුගිය සතියේ, විදුලිය හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි ප්‍රතිව්‍යුහකරනයට අකමැති සියල්ලන්ට ස්වෙච්ඡා විශ්‍රාම ක්‍රමය යටතේ අස්වීයාමට පුලුවන් යයි තර්ජනය කලේ ය. සැප්තැම්බර් 17 දා ජනාධිපති දිසානායක, ආන්ඩුවේ 'ප්‍රගතිශීලි ආර්ථික පරිවර්තයට' බාධා කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව කියමින්, ලංවිම අරගලයට එරෙහිව බුරා පැන්නේ ය.
තමන් බලයට පත්ව හරියටම වසරක් සැපිරෙන තැන දිසානායක වැඩ අල්ලා ඇත්තේ, විදුලිය කම්කරුවන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමකිනි. මෙය ලංවිම සේවකයන්ට එරෙහි ව පමනක් නොව, සමස්ත කම්කරු පන්තියට ම එරෙහි යුද ප්‍රකාශයක අනතුරු සංඥාවකි. මන්ද යත්, තමන් මතට කඩාපාත් කෙරෙමින් තිබෙන අයිඑම්එෆ් නියෝගවලට එරෙහි ව අනෙකුත් කම්කරුවන් ද අරගලවලට තල්ලු වෙමින් සිටින නිසා ඒවා ද තලා දමන බව මින් සංඥාකර ඇති හෙයිනි.
දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව බලයට ආවේ, මහජනයා පීඩාවට පත්කරන කොන්දේසි සමහන් කරන බවට ද, ප්‍රජාතන්ත්‍රවාදය සුරකින බවට හා අයිඑම්එෆ් කොන්දේසි ලිහිල් කරන බවට ද කප්පරක් පොරොන්දු දී යුඇන්පී, ශ්‍රීලනිප, පොදු පෙරමුනු ඇතුලු අපකීර්තියට පත් දුෂිත පක්ෂවලට හා නායකයන්ට එරෙහි මහජන විරෝධය ගසා කමිනි. එහෙත් දිසානායක, ව්‍යාපාරිකයන්ට හා විදේශ ආයෝජකයන්ට සැබෑ පොරොන්දු දුන්නේ ය. එනම්,අයිඑම්එෆ් නියෝග අකුරටම ක්‍රියාවට දමන බව යි.
දිසානායක ආන්ඩුව ලංවිම කම්කරුවන්ට මතට කඩාපැනීමට ප්‍රධාන හේතු දෙකක් ඇත: පලමුවැන්න, ජාමුඅ නියෝගවලට තිතටම බැඳී සිටින ආන්ඩුව, ඉන් දශමයක් හෝ ඉවතට ගියහොත්, ජාමුඅ නයේ ඉතිරිය නොලැබීමේ තර්ජනයට ඍජුවම මුහුන දී සිටී. දිසානායක බලයට ආවේ මහා ධනපතියන්ට හා අධිරාජ්‍යවාදී බැංකුකරුවන්ට දුන් පොරොන්දු ඉටු කිරීමට යි. විදේශ නය හිමියන්ට නය වාරික ආපසු ගෙවීමට ද ධනපති ආයෝජකයන්ගේ ලාභ තරකිරීමට ද දිසානායක ආන්ඩුව කැපවී සිටියි.
දෙවැන්න, ලංවිම අරගලය ඇදීයාමට ඉඩදුනහොත්, තම කප්පාදු ක්‍රියාමාර්ගයට එය අභියෝගයක් බව ද ඉන් අවශේෂ කම්කරු කොටස් අරගලයට ඒමට දිරිගැන්වෙනු වෙනු ඇති බව ද දිසානායක දනී. එනිසා ධනපති රාජ්‍යය සතු සියලු මර්දනකාරී ආයුධ එසැවීමට දිසානායක තීන්දු කර තිබේ.
තම වෘත්තීය සමිතිවල නිලධරයේ මැර යාන්ත්‍රනය ලංවිම සේවකයන්ට එරෙහිව මුදා හැරීමට ද ජවිපෙ තීන්දුකර ඇත. කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් නායකත්වය දෙන ලංකා විදුලි සේවක සංගමය අද (22) 'විදුලිබල මන්ඩලයට මොකද වෙන්නේ' යනුවෙන් පත්‍රිකාවක් බෙදා ඇත. එය නින්දිත ලෙස ලංවිම කම්කරුවන්ගේ අරගලය හඳුන්වා ඇත්තේ, 'පරාජිත දුෂිත දේශපාලන කල්ලි සිදුකරන කුමත්‍රනයක්' ලෙසයි. මන්ඩලය සමාගම් හතරකට බෙදා දුෂනය හා වංචාව නැති කිරීමට යන බව ද එහි සඳහන් කර ඇත. ජයලාල්, ලංවිම සේවකයෙකුට එල්ලකල මැර තර්ජනයක හඬ පටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරනය වේ.
ආන්ඩුව සිදුකරන්නේ, අයිඑම්එෆ් නියෝග අනුව ලංවිම අහෝසි කෙරෙන ප්‍රතිව්‍යුහකරනයක් බව එම මඩ පත්‍රිකාවෙන් වසන් කර ඇත. ලංවිම සමාගම් හතරකට බෙදූ පසුව, පෙර පැවති රැකියා හා වැටුප් කොන්ද්සි කපාහැරෙන බව ද පත්‍රිකාව වසන් කරයි. ආන්ඩුව හා එහි ගැත්තරයන් මොනා කීවත්, මේ සමාගම් දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ ලාභ මංකොල්ලයට විකිනීමෙන් කෙලවර වනු ඇත.
අරගලයේ යෙදෙන කම්කරුවන්ට එරෙහිව මහජනයා කුපිත කිරීමේ, මේ තුච්ඡ උත්සාහයට විරුද්ධවන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලන සමාජවාදී සමානතා පක්ෂය, ලංවිම සේවකයන් තම අයිතීන් සඳහා කරන සටන, තමන්ගේ අරගලයන්ට ද ධෛර්යක් ලෙස ගන්නා ලෙස ඉල්ලා සිටී. ආන්ඩුවට හෝ මේ වෘත්තීය සමිති නායකයන්ට මහජනයා ගැන කැක්කුමක් නැත. ආන්ඩුව දැන් යලි වතාවක් අයිඑම්එෆ් නියෝග යටතේ විදුලිබිල තවත් සියයට 7කින් ඉහල දැමීමට ද තීන්දු කර තිබේ.
ජවිපෙ නායකතවය දෙන ආන්ඩුව මර්දනයට කඩාපැනීම සහ එහි වෘත්තිය සමිතියේ හොරිකඩ ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට ඉතිහාසයක් ඇත. ජවිපෙට ඇත්තේ, කම්කරු පන්තියට සතුරු ඉතිහාසයකි. 1970 ගනන්වල එය කම්කරුවන්ගේ පඩි සටන් හැඳින්වුයේ 'කැඳ කෝප්ප සටන්' ලෙස ය. 1980 රාජ්‍ය අංශයේ මහා වර්ජනයට හොරිකඩකම් කිරීමට තම සමිති මෙහෙයවූ ජවිපෙ, ජේආර් ජයවර්ධනගේ ආන්ඩුවට ලක්ෂයක් පමන රාජ්‍ය සේවකයන් දොට්ට දැමීමට ආධාර කලේ ය. ලංකා ගුරු සංගමය වැනි සමිති ජවිපෙ හොරිකඩකම් නිසා එම පක්ෂයට සහාය දීමෙන් ඉවත් විය. 1987-1990 කාලයේදී, ජවිපෙ ෆැසිස්ට් ප්‍රහාර කම්කරුවන්ට හා දේශපාලන විරුද්ධවාදීන්ට එල්ල විය.
1996 ලංවිම සේවකයන්ගේ වර්ජනය කැඩීමට එවක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හදිසි නීති හා අත්‍යවශ්‍ය සේවා නියෝග යෝදාගෙන මිලිටරිය මෙහෙයවූ අතර, ජවිපෙ ලංවිම සමිති නායකයන් වර්ජනයට හොරිකඩකම් කලේය. එහි බොහෝ සාමාජිකයන්, නායකයන් නොතකා වර්ජනයට සහභාගී වූහ. ජවිපෙ සමිති නිලධරයේ පාවාදීම් ලැයිස්තුව මුලුමනින් මෙහි සඳහන් කිරීමට තරම් දිග වැඩි ය.
ජවිපෙ හා එහි සමිති නායකයන් ඇතැම් අවස්තාවල අත්‍යවශ්‍ය සේවා නියෝග හා අනෙකුත් ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති වලට විරුද්ධ බව කියා තිබෙන බව සැබෑ ය. ඔවුන්ගේ එම මවාපෑම්, කම්කරුවන්ගේ අතර ආන්ඩුවල මර්දනයට එරෙහි විරුද්ධත්වය, තමන්ගේ පක්ෂ පදනම් ශක්තිමත් කරගැනීම සදහා ගසකෑමේ උත්සාහයක් විය.
ආන්ඩුවේ කඩාපැනීම් ඉදිරියේ කම්කරුවන්ට සටන් කිරීමට ඇති තවත් ලොකු ම බාධාවක් වන්නේ, විරෝධතා ක්‍රියාමාර්ග කැඳවා ඇති වෘත්තීය සමිතිවල නායකයින් ම ය. ඔවුහු ලංවිම ප්‍රතිව්‍යහකරනය ඇතුලු අයිඑම්එෆ් වැඩපිලිවෙලට පක්ෂපාතී බව ප්‍රසිද්ධියේ පිලිගෙන ක්‍රියාකරති. මේ සමිතිවලින් කිහිපයක් අපකීර්තියට පත්ව තිබෙන යූඇන්පිය, සමගි ජන බලවේගය හා ශ්‍රීලනිපයට සම්බන්ධ වී සිටී. ආන්ඩුව ගැන බොරු විවේචන දමන මේ පක්ෂ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගවලට මුලුමනින් ම එකඟ අතර ම, බලයේ සිටි අවස්ථාවල ඒවා නිර්දයලෙස ක්‍රියාවට දැමූ පක්ෂ වෙති.
දිසානායක ලංවිමට අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීම යලිත් වරක් පෙන්නුම්කර ඇත්තේ, විදුලිය හෝ ඕනෑම කම්කරු කොටසකගේ අයිතීන් දිනා ගැනීමේ අරගලය දේශපාලන සටනක් බවට පත්ව ඇති බවයි: එනම්, ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල පරාජය නොකර විදුලිය හෝ වෙනත් කිසිදු කම්කරු කොටසකට තමන්ගේ ඉල්ලීම් දිනාගත නොහැකි බවයි. ආන්ඩුව සමග හැප්පෙන තැනට ලංවිම අරගලය පත්ව ඇති තත්වය තුල, විරෝධතා කැඳවා ඇති සමිති නායකයන් ම එය නතර කිරීමට මාන බැලීමේ අනතුර පවතී.
ලංවිම කම්කරුවන්ට තමන්ගේ අයිතීන් සඳහා අරගලය තමන්ගේ අතට ගෙන සංවිධානය කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) යලිත් කියා සිටි. ඔවුන්ට දැන් අවශේෂ කම්කරු පන්තියේ සහාය හා ආරක්ෂාව අවශ්‍ය ය. අනෙකුත් කම්කරු කොටස් ද ලංවිම සේවකයන් මෙන්ම, වික්‍රමසිංහ පාලනය විසින් අරඹනු ලදුව, දැන් මේ ආන්ඩුව විසින් උත්සන්න කෙරන කප්පාදු ප්‍රහාරවලට මුහුන දී සිටිති. ඔවුන්, තම පන්ති සගයන්වන විදුලිය සේවකයන් සමග එක්ව ඒකාබද්ධ අරගලයකට සූදානම් විය යුතුය.
ඔවුන්ට බාධකයක් වී ඇත්තේ, ඒ තැන්වල වෘත්තීය සමිති නායකත්වයන් ය. ඔවුන් ද ලංවිම සමිති නායකයන් මෙන් ම අයිඑම්එෆ් වැඩපිලිවෙලට පක්ෂපාතී බව නැවත නැවතත් පෙන්නුම් කර ඇත. සෑම වැඩපොලකම කම්කරුවන් තම අයිතීන් රැකගැනීමට, ධනපති-ගැති වෘත්තීය සමිති නායකයන් වැද්ද නොගත්, ක්‍රියාකාරි කමිටු ගොඩනැගීමට මූලිකත්වය ගතයුත්තේ මේ නිසා ය.
ධනපති ක්‍රමයේ රාමුව තුල කම්කරුවන්ගේ හා දුගීන්ගේ අයිතීන් රැකගත නොහැකි ය. දිසානායක ආන්ඩුව ලංවිම කම්කරුවන්ට එරෙහිව යුද ප්‍රකාශ කිරීම, කම්කරු පන්තිය සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, වැටුප්, රැකියා, සේවා කොන්දේසි රැකගැනීමට හා කප්පාදු වැඩපිලිවෙල පරාජය කිරීම සඳහා, සියලු වාර්ගික රේඛා කපා හරිමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශාපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ඉස්මතු කරයි. කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම එහි අත්‍යවශ්‍ය පදනමකි.
කම්කරු පන්තියේ මෙම ස්වාධීන ව්‍යාපාරයේ කර්තව්‍ය විය යුත්තේ, විශාල වතු, බැංකු, හා මහා සමාගම් කම්කරු පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී වැඩපිලිවෙලකට සටන් කිරීම හා එම වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමයි.
ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව ගොඩනගා ගනිමින් මෙම වැඩපිලිවෙල සඳහා අරගලය කිරීමට පෙරට එන ලෙස කම්කරුවන්ගෙන් තරුනයන් ගෙන් සසප ඉල්ලා සිටී.