ඉදිරිදර්ශන

සිරගත කර සිටින යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය පුලුල් කරමු!

[මෙය Expand the campaign to free the imprisoned Ukrainian socialist Bogdan Syrotiuk!යන මැයෙන් 2025 ජූලි 24 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

බොග්ඩාන් සයිරොටියුක් 2024 අප්‍රේල් මැද දී

සිරගත කර සිටින යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක්ගේ නඩුව භාරගැනීමට යුරෝපීය මානව හිමිකම් අධිකරනය (ඊසීඑච්ආර්) ගත් තීරනය, ඔහු නිදහස් කර ගැනීම සඳහා වන සටනේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි.

බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජීබීඑල්) නමැති ට්‍රොට්ස්කිවාදී තරුන කන්ඩායමේ නිර්මාතෘ සහ නායකයා වන බොග්ඩාන්, 2024 අප්‍රේල් මාසයේ සිට “රාජ්‍ය ද්‍රෝහී” චෝදනා මත සිරගත කර ඇත. වරදකරු වුවහොත්, ඔහු වසර 15 සිට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් වේ. ඔහුගේ එක ම “අපරාධය” වන්නේ, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව එක්සත් ජනපදය හා නැටෝ බලයන් විසින් ගෙනියන වක්‍ර යුද්ධයට විරුද්ධ වීමයි. ඔහු තමන් අත්අඩංගුවට ගැනීමට දින කිහිපයකට පෙර, ජාත්‍යන්තර මැයි දින රැලියක දී ඉදිරිපත් කිරීමට අදහස් කරමින් ලියා තිබූ ප්‍රකාශයක මෙසේ සඳහන් කලේ ය:

ජාත්‍යන්තර කම්කරු පන්ති සහයෝගීතාවේ මෙම දිනයේ දී, බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල යුක්‍රේන ශාඛාවේ සාමාජිකයින් වන අපි සහ සමස්ත වයිජීබීඑල්, මෙම යුද්ධය අවසන් කිරීම සඳහා යුක්‍රේන සහ රුසියානු නිර්ධන පංතියට, අධිරාජ්‍යවාදී රටවල නිර්ධන පංතිය සමඟ එක්සත් වන ලෙස ඉල්ලා සිටිමු!

ධනේශ්වර පුටින් තන්ත්‍රය විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීමට විරුද්ධ වන අතර ම, බොග්ඩාන් සහ වයිජීබීඑල් අවධාරනය කර ඇත්තේ, කියෙව් තන්ත්‍රය එක්සත් ජනපද සහ යුරෝපීය අධිරාජ්‍යවාදයේ රූකඩයක් බවයි. යුක්‍රේනයේ ස්වයං-නිර්න අයිතිය ආරක්ෂා කරන බව වංචනික ලෙස කියා සිටින සෙලෙන්ස්කි ආන්ඩුව, රුසියාව දුර්වල කිරීමට සහ එය අවසානයේ කැබලි වලට කැඩීමට කොන්දේසි නිර්මානය කිරීම සඳහා නැටෝව විසින් අවුලුවන ලද වක්‍ර යුද්ධයක් දියත් කරමින් සිටී. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන්නේ නම්, යුක්‍රේනය තුල ක්‍රියාත්මක වන්නේ යුද නීතියයි. 2024 මැයි මාසයේ දී ජනාධිපති ධුරයේ නීත්‍යානුකූල කාලය අවසන් වූ සෙලෙන්ස්කි, යුක්‍රේන ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඒකාධිපතියෙකු ලෙස දිගට ම පාලන බලය හොබවයි.

යුද්ධය දිගට ම කර ගෙන යාම සඳහා, නිරන්තර “බලමුලු ගැන්වීමේ” මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන්නේ, වීදිවලින් මිනිසුන් පැහැර ගෙන යමිනි. නව-නාසි සංවිධාන සන්නද්ධ හමුදා තුල නිදහසේ ක්‍රියාත්මක වෙමින්, යුක්‍රේන ආන්ඩුවේ සහ රාජ්‍ය යාන්ත්‍රනයේ සෑම අංශයක් ම ආක්‍රමනය කර ඇත.

මෙම යුද්ධය සඳහා ඉදිරිපත් කරන සියලු සාධාරනීකරනයන් විහිදුවන්නේ, කුහකකමේ හා බොරුවේ දුර්ගන්ධය යි. යුද්ධය අවුලුවාලූ සියලු ම නැටෝ බලවත්හු එකාවන්ව, ගාසා තීරයේ ජනයාට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරක ප්‍රහාරයට සහාය දක්වති.

බොග්ඩාන් සහ පැරනි සෝවියට් සංගමය පුරා විසිර සිටින සාමාජිකයින් සහ ආධාරකරුවන් සිටින වයිජීබීඑල්, පුටින් සහ සෙලෙන්ස්කි තන්ත්‍ර දෙකට ම ස්ථිරසාරව විරුද්ධත්වය පල කල අතර, යුද්ධය නැවැත්විය හැක්කේ යුක්‍රේන සහ රුසියානු කම්කරු පන්තියේ එකමුතුවෙන් පමනක් ම බව අවධාරනය කරයි.

බොග්ඩාන්ගේ නීතිඥයින් විසින් නඩුව යුරෝපීය මානව හිමිකම් අධිකරනයට ඉදිරිපත් කරන ලද්දේ, ඔහු අත්අඩංගුවට ගැනීමේ නීති විරෝධී ස්වභාවය පදනම් කරගෙන ය. දැන් 26 හැවිරිදි වන බොග්ඩාන් රඳවා තබා සිරගත කරන ලද්දේ, ඔහුගේ දේශපාලන අදහස් නිසා ම ය; එය, ඔහුගේ නිදහස් භාෂනයේ සහ සිතීමේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

නමුත් යුරෝපීය මානව හිමිකම් සම්මුතිය උල්ලංඝනය කිරීම මෙතැනින් අවසන් වූයේ නැත. අධිකරන තීන්දුවලින් පෙනී යන්නේ, නිතිපතා කෙරෙන ආකාරයට, එය යුක්‍රේන රහස් ඔත්තු සේවයේ (එස්බීයූ) භාෂාව සරල ව පිටපත් කරමින්, නඩු පවරන්නා වන එස්බීයූවට පක්ෂව තීන්දුවක් ලබා දී ඇති බවයි. නීතිඥවරුන් කිහිප දෙනෙකු බිය ගැන්වීම හරහා, බොග්ඩාන්ගේ නීතිමය ආරක්ෂාව සඳහා ඇති අයිතිය දැඩි ලෙස අඩපන කෙරී ඇත. පසුගිය අධිකරන සැසි දෙකේ දී පමනක්, ඔහුගේ නීතිඥවරුන්ගෙන් එක් අයෙකුට නඩු පවරන්නාගේ සාක්ෂිකරුවන් පරීක්ෂා කිරීමේ අයිතිය අහිමි කරන ලද අතර, භාෂා පරිවර්තකයෙකු ලබා දෙන ලෙස බොග්ඩාන් සිදුකල ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුනි.

යුද්ධයට, කප්පාදුවට සහ ෆැසිස්ට්වාදයට විරුද්ධ වීම නිසා, සෙලෙන්ස්කි විසින් දහස් ගනනක් කම්කරුවන් සහ තරුනයින් ව්‍යාජ චෝදනා මත සිරගත කර ඇත. මැක්සිම් ගෝල්ඩාර්බ්ගේ නායකත්වයෙන් යුත් “නව සමාජවාදයක් සඳහා” පක්ෂය වැනි, යුද්ධයට විරුද්ධ දේශපාලන පක්ෂ දුසිමකට අධික සංඛ්‍යාවක් තහනම් කර, ඔවුන්ගේ කාර්යාල වටලා, නායකයින් අත්අඩංගුවට ගෙන හෝ පිටුවහල් කර ඇත.

බොග්ඩාන් අත්අඩංගුවට ගැනුනේ, යුද්ධයට එරෙහි ව වැඩෙන විරෝධය මධ්‍යයේ ය. මෑත මත විමසුමකට අනුව, යුක්‍රේනියානුවන්ගෙන් සියයට 70 ක් සිතන්නේ තම නායකයින් යුද්ධය භාවිතා කරන්නේ ඔවුන් පොහොසත් වීමට බවයි. ආසන්න වශයෙන් අඩක්, එනම් සියයට 47 ක් පැවසුවේ, වසර 10 කට පසු “යුක්‍රේනය විනාශ වූ ආර්ථිකයක් සහිත ජනශුන්‍ය රටක් වනු ඇති” බව තමන් විශ්වාස කරන බවයි.

රුසියාව තුල ද යුද්ධයට එරෙහි විරෝධය වර්ධනය වෙමින් පවතී. කතිපයාධිකාරී පුටින් තන්ත්‍රය, වාරනය පුලුල් කිරීම සහ යුද්ධයේ විවේචකයින් අත්අඩංගුවට ගැනීමත්, අන් කවර දාටත් වඩා විෂකුරු මහා-රුසියානු ස්වෝත්තමවාදය ඇවිස්සීමත් මගිනි, මෙම තත්වයට ප්‍රතිචාර දක්වා ඇත්තේ.

යුරෝපීය අධිරාජ්‍යවාදයේ ප්‍රධාන නීතිමය ආයතනයක් වන යුරෝපීය මානව හිමිකම් අධිකරනය විසින් පිලිගෙන ඇත්තේ, යුක්‍රේන ආන්ඩුවට එරෙහි ව ගොනු කර ඇති නඩු වලින් සුලු ප්‍රමානයක් පමනි. අධිකරනය තීන්දු ලබා දෙන්නේ, ඊටත් වඩා කුඩා නඩු ප්‍රමානයකට ය. කෙසේ වෙතත්, ඒ සියල්ලෙහිම පාහේ, යුක්‍රේන තන්ත්‍රය යුරෝපීය මානව හිමිකම් සම්මුතිය උල්ලංඝනය කර ඇති බව සොයා ගෙන ඇත. ඊසීඑච්ආර් දැන් නඩුව භාරගෙන තිබීම, බොග්ඩාන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ බරපතල ස්වභාවය සහ ඔහු නිදහස් කිරීම සඳහා හජාජාක විසින් දියත් කරන ලද ව්‍යාපාරයේ ඵලදායීතාව පැහැදිලි ව ම ප්‍රකාශයට පත්වීමකි.

බොග්ඩාන්ගේ නඩුව ඊසීඑච්ආර් විසින් භාරගැනීම වැදගත් ආරම්භක ජයග්‍රහනයක් බව සැබෑ ය; නමුත්, එමගින් බොග්ඩාන්ට පක්ෂ ව තීන්දුවක් ලැබුනත්, එම ක්‍රියාවලියට වසර ගනනාවක් ගත විය හැකි ය. බොග්ඩාන්ට එසේ  ගත කිරීමට කාලයක් ඇත්තේ නැත. ඔහු අසනීපයෙන් පෙලෙන අතර, බන්ධනාගාරය තුල ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර දුර්වල මෙන්ම ප්‍රමාද ය.

බොග්ඩාන්ගේ ඉරනම රඳා පවතින්නේ කම්කරු පන්තිය, තරුනයින් සහ ප්‍රගතිශීලී මනසක් ඇති බුද්ධිමතුන් සහ කලාකරුවන් තුල හැකි තරම් පුලුල් සහයෝගයක් අධිෂ්ඨානශීලී ව බලමුලු ගැන්වීම මත ය. පරදුවට තබා ඇත්තේ බොග්ඩාන්ගේ ජීවිතය පමනක් නොව, ලොව පුරා කම්කරු පන්තියේ වඩාත්ම වැදගත් අවශ්‍යතා ය.

බොග්ඩාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ගත වූ මාස 15 තුල වඩාත් පැහැදිලි වී ඇත්තේ, අධිරාජ්‍යවාදී බලවතුන් සම්බන්ධයෙන් ගත් කල, යුක්‍රේනය තුල යුද්ධය මුලු ලෝකයේ ම අධිරාජ්‍යවාදී යලි බෙදා ගැනීමක ආරම්භක වෙඩි මුරය බව යි. මැද පෙරදිග දී  ඔවුහු  පලස්තීන ජනගහනය සමූල ඝාතනය කිරීමට ඊස්රායලයට  අරමුදල් සපයමින් හා සන්නද්ධ කරමින් සිටිති. ජුනි මාසයේ දී ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ඉරානයට බෝම්බ හෙලීය. චීනය සමඟ ඊටත් වඩා විශාල ගැටුමක් සඳහා දැඩි සූදානමක් ක්‍රියාත්මක වෙමින් පවතී. යුක්‍රේනයේ සමූහ ඝාතන සහ ගාසා තීරයේ ජන සංහාරය යනු, අධිරාජ්‍යවාදය සෑම තැනකම කම්කරු පන්තිය මත ඇති කිරීමට සූදානම් වන භීෂනයන් සඳහා පරීක්ෂන භූමි වේ.

බටහිර යුරෝපයේ අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයන් යුද්ධය උත්සන්න කරමින් සිටින අතර, මිලිටරි වියදම් දැවැන්ත ලෙස ඉහල නැංවීම, රුසියාව සමඟ එලැඹෙන යුද්ධයකට සූදානම් වීමක් බව විවෘතව ප්‍රකාශ කරයි.

පාලක පන්තිය සම්බන්ධයෙන් ගත් විට, බොග්ඩාන් අත්අඩංගුවට ගැනීම, එහි සාහසික මිලිටරිවාදයේ සහ වැඩෙන විරුද්ධත්වය දේශපාලනික ව මර්දනය කිරීමේ අංගයකි. කම්කරු පන්තිය සම්බන්ධයෙන් ගත් විට, බොග්ඩාන් නිදහස් කර ගැනීමේ සටන, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ෆැසිස්ට්වාදයට විරුද්ධ වීමට ඇති අරගලයේ අත්‍යවශ්‍ය අංගයකි.

එබැවින්, බොග්ඩාන් නිදහස් කර ගැනීම සඳහා වන ව්‍යාපාරය පුලුල් කරන ලෙස, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ආධාරකරුවන් සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ විරුද්ධවාදීන් වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලුම පාඨකයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.

  • බොග්ඩාන්ගේ නඩුව සමාලෝචනය කිරීම කඩිනම් කරන ලෙස ඊසීඑච්ආර් වෙතින් ඉල්ලා සිටිනු!

  • සමාජවාදී යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් කරමු!

***
බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කර ගැනීමේ අරගලයට සම්බන්ධ ලිපිවලට මෙතැනින් පිවිසෙන්න.

පෙත්සමට අත්සන් කරන්න

Loading