[මෙය 6 months of the Trump administration: The stench of fascism and political crisis යන මැයෙන් 2025 ජූලි 22දා පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
එහි අසමසම සාර්ථකත්වය පිලිබඳ ධවල මන්දිරයේ සුපුරුදු පුරසාරම් දෙඩීම් සහ ඒ හා සමානව සංගත මාධ්‍ය තුල, ට්‍රම්ප්, ඇමරිකානු දේශපාලන ජීවිතය ප්‍රතිනිර්මානය කල යෝධයෙකු ලෙස නිරූපනය කරන බංකොලොත් තක්සේරු කිරීම් ද සමඟින්, ට්‍රම්ප් පාලනය, පසුගිය ඉරිදා (20) එහි මාස හයක සන්ධිස්ථානයට ලඟා විය. සත්‍යය වන්නේ, මෙය ආඥාදායක විධි, මිලිටරිවාදී ප්‍රකෝප කිරීම් සහ දැඩි අපකීර්තිමත් බවින් සංලක්ෂිත ආන්ඩුවක් ය යන්නයි. තවද, එය, එහි බිඳවැටීමට හේතු විය හැකි දේශපාලන අර්බුදයක ගිලෙමින් පවතී.
බිලියනපති සමපේක්ෂකයෙකු සහ නීතිය ඉදිරියේ වරදකරු වූ ලිංගික ජාවාරම්කරුවෙකු වන ජෙෆ්‍රි එප්ස්ටයින් -- මෑන්හැටන් බන්ධනාගාර කුටියක සියදිවි නසා ගත්තේ යයි කියා වසර හයකට පසු-- සමඟ ට්‍රම්ප්ගේ සම්බන්ධතා හිතාමතාම වසන් කිරීම සම්බන්ධයෙන් ඇති වූ අපකීර්තිය පුපුරා යාම සුලුපටු කාරනයක් නොවේ. ආන්ඩු උඩු යටිකුරු කර, සෑම රටකම දේශපාලන ජීවිතයේ බලගතු වෙනස්කම් ඇති කල, 20 වන සියවසේ ප්‍රංශයේ ස්ටැවිස්කි සිද්ධිය (1933-34) සහ බ්‍රිතාන්‍යයේ ප්‍රොෆුමෝ සිද්ධිය (1963) වැනි ලෝකාපවාදයන්ට සමාන තරමේ එකකි, එප්ස්ටයින් සිදුවීම.
ලිංගික කාරනාවක් වේවා, නොඑසේ නම් මූල්‍යමය කාරනයක් වේවා, මේවා පුද්ගල විෂමාචාරයේ කාරනා නොවන බව සැමවිටම තේරුම් ගනිමින්, ප්‍රංශයේ සමස්ත ධනේශ්වර දේශපාලන පර්යාය අපකීර්තියට පත් කිරීමට සහ බ්‍රිතාන්‍යයේ ටෝරි ආන්ඩුවේ බිඳවැටීමට තුඩු දුන්, සමස්ත පාලක පන්තියේ ගැඹුරු දූෂන හෙලිදරව් කල මෙම ඓතිහාසික අත්දැකීම් සමාලෝචනය කිරීම වටී. එප්ස්ටයින් සෝලිය මගින් ලෝක ධනවාදයේ කේන්ද්‍රස්ථානය වන එක්සත් ජනපදයේ පාලක පන්තියේ සාපරාධීත්වය හෙලිදරව් කරන බැවින්, එයට ඊටත් වඩා දුරදිග යන ඇඟවුම් තිබේ.
මහා අවපාතයේ බලපෑම සහ 1933 දී ජර්මනියේ හිට්ලර් බලයට පත්වීම හේතුවෙන් ප්‍රංශය එකතැන පල්වෙමින් සිටියදී, ස්ටැවිස්කි සිද්ධිය සිදුවිය. ප්‍රංශයේ හැදී වැඩුනු රුසියානු යුදෙව්වෙකු වූ ඇලෙක්සැන්ඩ්‍රේ ස්ටැවිස්කි, ව්‍යාජ ආභරන ඇතුලු වංචනික ඇපකර මත පදනම් වූ වටිනාකමක් නැති, ප්‍රාදේශිය බැඳුම්කර නිකුත් කිරීම ඇතුලත් මූල්‍ය වංචා කිරීමේ ක්‍රමයක් නිර්මානය කලේය.
ඔහුගේ කුමන්ත්‍රනය හෙලිදරව් වීමට පටන් ගත් විට, එවකට ප්‍රංශයේ බලයේ සිටි ධනේශ්වර පක්ෂයවූ රැඩිකල් සමාජවාදී පක්ෂයේ බොහෝ නිලධාරීන් ඊට සම්බන්ධ බව හෙලි විය. වර්ධනය වෙමින් පවතින මහජන කෝපය මධ්‍යයේ වුවද, දැවැන්ත අල්ලස් සහ නීතිමය උපාමාරු හරහා, වසර හයක් තුල වංචාව සම්බන්ධයෙන් ඔහුගේ නඩු විභාගය 19 වතාවක් කල් දැමීමට ස්ටැවිස්කි සමත් විය. 1934 ජනවාරි මාසයේදී, ඔහු වෙඩි වැදීමකින් මිය ගිය බව සොයා ගන්නා ලද අතර, ඔහුගේ මරනය, සියදිවි නසා ගැනීමක් ලෙස තීරනය කෙරුනි. වෙඩි උන්ඩය දුර සිට පැමිනි එකක් බවත්, එය තමා විසින්ම සිදු කරගත් තුවාලයක් ය යන නිගමනයට එදිරිව පිහිටා තිබෙන ආකාරයත් පැරිස් පුවත්පත් කිහිපයක් පෙන්වා දුන් විට, එය කම්පනය සහ මවිතය ජනනය කලේ ය.
මාසයකට පසු, ස්ටැවිස්කි සිද්ධිය මුල් කර ගනිමින් යුදෙව් විරෝධී උද්ඝෝෂනයකින් ආලෝලනය වූ ෆැසිස්ට්වාදීන්ගේ කල්ලියක් ප්‍රංශ පාර්ලිමේන්තුවට පහර දුන් අතර, ඔවුන් පලවා හැරීම සඳහා වෙඩි තැබීමට පොලිසියට බලකෙරුනි. ප්‍රංශ අගමැති ඉල්ලා අස් වූ අතර දක්ෂිනාංශික සන්ධානයක් බලයට පත් විය; එය, 1940 ජුනි මාසයේදී නාසි ආක්‍රමනය හමුවේ ප්‍රංශයේ නින්දිත බිඳවැටීම පෙර ඇඟවුම් කල ආන්ඩු වෙනසක් විය.
ෆැසිස්ට් කුමන්ත්‍රන උත්සාහය ගැන ලියොන් ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:
ප්‍රංශ ජනතාව දිගු කලක් සිතුවේ ෆැසිස්ට්වාදය සමඟ ඔවුන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. ඔවුන්ට තිබුනේ, සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම හරහා ස්වෛරී ජනතාව විසින් සියලු ප්‍රශ්නවලට මුහුන දෙන සමූහාන්ඩුවකි. නමුත් 1934 පෙබරවාරි 6දා, රිවෝල්වර, මුගුරු සහ දැලි පිහියා වලින් සන්නද්ධ වූ ෆැසිස්ට්වාදීන් සහ රාජපාක්ෂිකයින් දහස් ගනනක්, රට මත ඩූමර්ගේ ප්‍රතිගාමී ආන්ඩුව පැටවූ අතර, එහි ආරක්ෂාව යටතේ ෆැසිස්ට් කන්ඩායම් දිගටම වර්ධනය වෙමින් ද සන්නද්ධ වෙමින් ද සිටිති. (ප්‍රංශය කොයිබට ද?, පිටුව 3).
වසර 30 කට පසු, ප්‍රොෆුමෝ සිද්ධිය, ලිංගික-සෝලියක සහ සීතල යුද්ධ දේශපාලනයක අන්තර්ඡේදනයක් විය. ටෝරි මන්ත්‍රීවරයෙකු වූ ජෝන් ප්‍රොෆුමෝ, ආරක්ෂක අමාත්‍යවරයාට සමාන වූ බලතල සහිත, යුද කටයුතු සඳහා රාජ්‍ය ලේකම් තනතුර දරමින්, හමුදාව අධීක්ෂනය කරන ඉහලම සිවිල් නිලධාරියා විය. ඔහු නිරූපිකාවක සහ අභිසරුලියකවූ ක්‍රිස්ටීන් කීලර් සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගත්තේ ය. ඇය ඔහුට හඳුන්වා දී තිබුනේ, ඇගේ ගනිකා-තැරැව්කාරයා ලෙස ක්‍රියා කල, ඉහල සමාජයේ අස්ථි චිකිත්සකවරවයෙකු වූ ස්ටීවන් වෝඩ් විසිනි (වෝඩ්ගේ රෝගීන් අතර වින්ස්ටන් චර්චිල් සහ ජේ. පෝල් ගෙටි මෙන්ම රාජකීයයන් ගනනාවක් ද සිටියහ). කීලර්, ඒ සමඟ ම ලන්ඩනයේ සෝවියට් තානාපති කාර්යාලයේ නාවික-ආරක්ෂක නිලධාරියෙකු වූ යෙව්ගනි ඉවානොව්ගේ පෙම්වතිය ද වූවා ය.
1963 මාර්තු මාසයේදී මෙම සම්බන්ධය පිලිබඳ පලමු කටකතා මතු වූ අවස්ථාවේදී, ප්‍රොෆුමෝ පාර්ලිමේන්තුවේදී කල කතාවකදී එය ප්‍රතික්ෂේප කලේ ය. අගමැති හැරල්ඩ් මැක්මිලන් ඇතුලු ටෝරි පක්ෂ නායකත්වයේ සහාය ඔහුට හිමි විය. මාස තුනකට පසු, කීලර් සමග ඔහුගේ සම්බන්ධය ගැන පිලිගැනීමට ඔහුට බලකෙරුනි. මේත් සමගම, පාර්ලිමේන්තුවට බොරු කීම සහ බ්‍රිතාන්‍ය හමුදා ආරක්ෂාව අවදානමට ලක් කිරීම සම්බන්ධයෙන්, ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රොෆුමෝට සිදුවිය.
එවකට සෝෂලිස්ට් ලේබර් ලීගය (එස්එල්එල්) ලෙස සංවිධානය වූ බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදීහු, ප්‍රොෆුමෝ සිද්ධිය අතිශය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත්හ. එස්එල්එල් නායක ජෙරී හීලි, ප්‍රොෆුමෝගේ ඉල්ලා අස්වීම පිලිබඳව, පක්ෂ පුවත්පතක් වන දි නිව්ස්ලෙටර් හි මුල් පිටුවේ, “ටෝරිවාදය පිලිබඳ සත්‍යය නම් බොරුව සහ දූෂනයයි” යන මාතෘකාව යටතේ, මෙසේ ලිවී ය:
මේ සියලු කම්පන සහගත සිදුවීම් හරහා වඩවඩාත් එලිමහනට එමින් ඇත්තේ, පාලක පන්තිය සහ සාපරාධී පාතාලය එක ම කවයන් තුල කරට කර සිටින බවට නිශ්චිත ව ම ඔප්පු කරන සාක්ෂීන් ය.
හැරල්ඩ් විල්සන් වැනි කම්කරු නායකයින් අපට පවසන්නේ, ප්‍රොෆුමෝ සෝලිය සදාචාරාත්මක ප්‍රශ්නයක් නොවන බවයි. මෙය වංචාකාරයින්ගේ සහ කුහකයින්ගේ භාෂාවයි. එය සදාචාරාත්මක —එනම් පන්ති සදාචාරය පිලිබඳ ප්‍රශ්නයකි.
ප්‍රොෆුමෝ සිද්ධිය අගමැති මැක්මිලන් පිලිබඳ විශ්වසනීයත්වය කීතුකල අතර, වසර අවසන් වන විට, භාරකාර ආන්ඩුවකට මග පාදමින්, ඉල්ලා අස් වීමට ඔහුට සිදුවිය; එම භාරකාර තන්ත්‍රය 1964 මැතිවරනයෙන් කම්කරු පක්ෂය විසින් විස්ථාපනය කරන ලද අතර, වසර 13 ක ටෝරි පාලනය එසේ අවසන් විය. මෙම සිද්ධියේ ප්‍රධාන භූමිකාව සම්බන්ධයෙන් නඩු විභාගයට ලක්වූ ස්ටීවන් වෝඩ් නඩු තීන්දුවට මත්තෙන් (එප්ස්ටයින්ට සිදුවූ ආකාරයට ම) තවත් නම් සඳහන් කිරීමට පෙර, ඉතාම සැකකටයුතු ආකාරයක සියදිවි නසා ගැනීමකට ගොදුරු විය.
එක්සත් ජනපදයේ එප්ස්ටයින් සෝලියට, ඒ හා සමාන නින්දාසහගත අංග බොහොමයක් එකට වෙලී තිබේ: ඒවා නම්, ලිංගික සූරාකෑම, මූල්‍ය උපාමාරු, සැක සහිත තත්වයන් යටතේ “සියදිවි නසා ගැනීම”, පොලිසියේ සහ බුද්ධි අංශවල අඳුරු භූමිකාව යනාදිය යි. දූෂනය, “ඇමරිකානු” පරිමානයකිනි—එනම්, එහි ප්‍රමානය අදහා ගත නොහැකි තරම් ය. එප්ස්ටයින්ගේ ලිංගික ජාවාරමට ගොදුරු වූ තරුන ගැහැනු ලමයින් දහසකට වැඩි පිරිසක් එෆ්බීඅයි විසින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ, එය අතිවිශාල සංඛ්‍යාවකි. කෙසේ වෙතත්, ඒ හා සමානව, පාලක කතිපයාධිකාරයේ උරුමක්කාරයන් වන ධනවත් සහ බලවත් පිරිමින් එකෙකුටවත් චෝදනා එල්ල නොවීම ද එ ලෙස ම අදහා ගත නොහැකි ය.
ප්‍රසිද්ධියට පත් කල යුතු “සේවාදායක ලැයිස්තුවක්” තිබේද යන්න තවමත් තීරනය කල නොහැක. නමුත් එප්ස්ටයින්ට නිසැක ව ම ඔහුගේ ගනුදෙනුකරුවන් සහ අනුග්‍රාහකයින් සම්බන්ධ කර ගැනීමට, යම් යම් ක්‍රම සහ මුදල්, දේශපාලනික හෝ වෙනත් ආකාරයකින් ඔහුට අනුග්‍රහය දැක්විය යුතු අය පිලිබඳ ව සොයා බැලීමේ ක්‍රම තිබුනි. එක් වාර්තාවක සඳහන් කල පරිදි, එප්ස්ටයින්ගේ එක් බැංකු ගිනුමක ලැයිස්තුගත මුදල් හුවමාරු 4,000 කට වඩා තිබූ අතර, ඔහුට විවිධ බැංකුවල එවැනි ගිනුම් රාශියක් තිබී ඇත.
එප්ස්ටයින් සිදුවීමේ අපකීර්තිය අතිමහත් ය- සත්‍යය එළියට ආවොත් බොහෝ බලවත් පුද්ගලයින් අවදානමේ ය. ට්‍රම්ප් පමණක් නොව, එප්ස්ටයින්ට සම්බන්ධ සමස්ත ප්‍රභූ ජාලයම ආරක්ෂා කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ කරුණු සැඟවීමට විශාල උත්සාහයක් දැරුවේ එබැවිනි. එප්ස්ටයින්ගේ සේවාදායකයින් අතර නිසැකවම බොහෝ ප්‍රමුඛ ඩිමොක්‍රටිකයින් ඇතුලත් වූ බැවින්, බයිඩන් පාලනයේ වසර හතරක් තුල කිසිවක් කලේ නැත. එබැවිනි, විමර්ශනය ඉදිරියට ගෙන යාමේ දී, අධිකරන දෙපාර්තමේන්තුව සහ ආයතනික මාධ්‍ය යන දෙ අංශය ම නොසන්සුන්තාවට පත්ව ඇත්තේ.
වෝල් ස්ට්‍රීට් ජර්නලයට එරෙහි ව ට්‍රම්ප් විසින් සිකුරාදා (18) ගොනු කරන ලද නඩුව, තමාට ම කර ගන්නා හානියක් විය හැකි ය; මන්ද, එහි දී දිගුකාලීන මිතුරෙකු සහ සහකරුවෙකු වන එප්ස්ටයින් සමඟ ඔහුගේ සබඳතා පිලිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීමට ඔහුට සිදුවිය හැකි නිසා ය. ට්‍රම්ප් පසුව තම කම්කරු ලේකම් ලෙස පත් කර ගත්, එවකට දකුනු ෆ්ලොරිඩාවේ ප්‍රධාන අභිචෝදකවූ ඇලෙක්සැන්ඩර් ඇකොස්ටාගෙන් එප්ස්ටයින්ට අනුග්‍රාහක සැලකිලි ලැබිනි.
එප්ස්ටයින් නඩුව නැවත මතුවීම, ට්‍රම්ප්ගේ සැලෙන්නේ නැතයි කියාපාන “පදනම” තුල ගැඹුරු ඉරිතැලීම් හෙලි කරයි; ස්ටීව් බැනන් සහ ඇලෙක්ස් ජෝන්ස් වැනි ෆැසිස්ට්වාදීන් විසින් පලමුව නීතිපති පෑම් බොන්ඩි ව හෙලා දැක ඇති මුත්, පසු ව ට්‍රම්ප්ගේ අන පරිදි හදිසියේ ම ආපසු හැරී ඇත. බයිඩන් පරිපාලනයේ ව්‍යාපාරික ගැති ප්‍රතිපත්ති නිසා ඇති වූ ආර්ථික දුෂ්කරතා කෙරෙහි කෝපයෙන්, ට්‍රම්ප්ට ඡන්දය දුන් මිලියන සංඛ්‍යාත ජනතාව අතර මුලු මහත් ධනේශ්වර දේශපාලනය කෙරෙහි ම පිලිකුල , එප්ස්ටයින් සිද්ධිය මගින් ගැඹුරු කර ඇතිවා පමනි.
මෙම මාරුවීම් පෙන්නුම් කරන්නේ, ට්‍රම්ප්ගේ දේශපාලන අපරාජිතභාවය පිලිබඳ සංගත මාධ්‍ය සහ ඩිමොක්‍රටික් පක්ෂය විසින් ගොතන කතාන්දරය කෙතරම් ව්‍යාජයක් ද යන්න යි. සත්‍යය නම්, ට්‍රම්ප් පුලුල් ලෙස වෛරයට පාත්‍ර වී සිටීම යි. විශේෂයෙන් සංක්‍රමනිකයින්ට අඩත්තේට්ටම් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ සමාජ දීමනාවන්ට පහර දීම සම්බන්ධයෙන් මිලියන ගනනක් ඔහුගේ ප්‍රතිපත්ති හෙලා දකිති. ඇමරිකානු ඉතිහාසයේ විශාලත ම විරෝධතා කිහිපයකින් ඔවුන් තම හැඟීම් ප්‍රකාශයට පත් කර ඇත. මෑත කාලීන මහජන මත විමසුමේ දී ඔහු අනුමත කරන්නන්ගේ ප්‍රතිශතය, සියයට 42 ක් පමනි.
ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලන නපුංසකයන් හා සසඳන විටදී පමනක් නම්, ට්‍රම්ප් “ශක්තිමත්” බව පෙනේ. මොවුන්ගේ මෙම බියගුලුකම, ට්‍රම්ප්ට සහ ෆැසිස්ට්වාදයට ඒරෙහිව සටන් කිරීමට අදිටන් සගගතව සිටින කොටස්වල කෝපයට හේතුවී තිබේ. ට්‍රම්ප් විරෝධී මහජන මනෝභාවයට, ඩිමොක්‍රටික් පක්ෂය තුල කිසිදු ප්‍රකාශනයක් සොයාගත නොහැක. ඊට පටහැනි ව, ට්‍රම්ප්ගේ ප්‍රධාන ආරක්ෂකයයන් වන්නේ, ඩිමොක්‍රටික් පක්ෂය සහ එයට මුක්කු ගසන වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම දේශපාලන චරිත ය.
ස්ටැවිස්කි සහ ප්‍රොෆුමෝ පිලිබඳ සිදුවීම් සහ ජෙෆ්‍රි එප්ස්ටයින් සම්බන්ධ වත්මන් සෝලිය අතර තවත් සමානකමක් තිබේ. මෙම සිදුවීම්වලින් පෙනී යන්නේ සමාජය යටින් ගොජදමන ගැටුම්වලින් පිරී ඇති බවයි. පෙර මෙන්, එම ගැටුම් - 1930 ගණන්වල පන්ති සටන් සහ 1960 ගනන්වල දැවැන්ත රැඩිකලීකරනය මෙන්- 2020 දශකයේ දෙවන භාගයේදී ධනවාදයේ අර්බුදය ගැඹුරු වන විට ඒවා ඉතා ඉක්මනින් නැවත පුපුරා යනු ඇත.
මෙම අරගල ඉදිරියට ධාවනය කරන්නේ, මහජන කෝපයට හේතු වී ඇති, ට්‍රම්ප් සහ සමස්ත පාලක ප්‍රභූවේ දූෂනයන්ට වඩා, බොහෝ ගැඹුරු ගැටලු ප්‍රශ්න මගිනි. වොෂින්ටනයේ අයවැය කප්පාදු සහ සමූහ දොට්ට දැමීම් මගින්, සමාජ යටිතල පහසුකම් ක්‍රමානුකූල ව බිඳ දමනු ලබමින් තිබෙන අතර, උද්ධමනය ජනතාවගේ ජීවන තත්වයන් විනාශ කර දමමින් පවතී. අතිමහත් බහුතරයකගේ ජීවන තත්වයන් වඩ වඩාත් නරක අතට හැරෙමින් තිබේ.
2024 මැතිවරනයේ දී ඩිමොක්‍රටික් පක්ෂයේ අත්‍යවශ්‍ය සහාය ඇතිව නැවත බලයට පත්වීම සඳහා ට්‍රම්ප්, මිත්‍යාවන් සහ අතෘප්තිය ගසා කෑවේ ය. නමුත්, ඕනෑ ම වංචාකාරයෙකුට මෙන්, ඉක්මනින් හෝ ප්‍රමාද වී ගනුදෙනු බේරා ගන්නා දිනය පැමිනෙනු ඇත. දැන් ඔහු, යුක්‍රේනයට ආයුධ නැව්ගත කිරීම නැවත ආරම්භ කිරීම වැනි, විදේශ ප්‍රතිපත්ති මුල පිරීම් හරහා පාලක ප්‍රභූවේ ඔහුගේ විරුද්ධවාදීන්ගේ සහයෝගය ලබා ගනිමින් අර්බුදයෙන් මිදීමට වලිකයි.
කම්කරු පන්තියට අර්බුදය වර්ධනය වීමට ඉඩ දී නිකම් ම බලා සිටිය නොහැක. මෙහි තේරුම වනු ඇත්‌තේ, ට්‍රම්ප් ඇතිව හෝ නැතිව පාලක පන්තියට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන ආකාරයෙන් දේවල් විසඳා ගැනීමට ඉඩ දී සිටීම යි. ඩිමොක්‍රටික් පක්ෂය සහ එහි සහචරයින් සහ ක්ෂමාලාපකයින් විසින් පෙන්වන මාවත එයයි.
තීරනාත්මක පලමු පියවර වන්නේ, පන්ති අරගලය වර්ධනය කිරීම සහ එය කම්කරු පන්තිය දේශපාලන ජීවිතයට ස්වාධීන ව මැදිහත් වීම සඳහා පදනම බවට පත් කිරීමයි. මෙහි අර්ථය නම්, වැඩ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කිරීමේ ක්ෂනික කාර්යයන් භාර ගන්නා, ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම හරහා වෘත්තීය සමිතිවල යකඩ සැට්ටයෙන් එලියට ඒම යි.
පන්ති අරගලයේ වර්ධනය, සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර දේශපාලන අරගලයකට සම්බන්ධ කල යුතුය. ට්‍රම්ප් සාපරාධී කතිපයාධිකාරයේ ප්‍රතිමූර්තිය සහ දැන් බලයේ සිටින දේශපාලන පාතාලයේ මූනත්තහඩුව නම්, මූල්‍ය වංශාධිපතිත්වයට සහ එහි ආරක්ෂකයින්ට එරෙහිව, ඉදිරියේ දී එන කම්කරු පන්තියේ දැවැන්ත අරගල සහ පහලින් එන මහජන විරෝධය, අනාගතයේ මුහුනුවර යි. මෙම අරගලවල ජයග්‍රහනය සඳහා කම්කරු පන්තියේ සවිඥානික විප්ලවවාදී නායකත්වයක්, එනම්, සමාජවාදී සමානතා පක්ෂය වර්ධනය කිරීම අවශ්‍ය වේ.