ඉදිරිදර්ශන

ගාසා තීරය තුල උත්සන්න කෙරෙන ජන සංහාරය නවත්වනු!

[Stop the escalating genocide in Gaza! යන මැයෙන් 2025 ජූලි 21 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

සිකිම් හරස් මාර්ගය තුලින් ඊශ්‍රායලය හරහා උතුරු ගාසා තීරයට ඇතුලු වන ආධාර ට්‍රක් රථ වෙත ලඟා වීමට උත්සාහ කරමින් සිටියදී මරා දැමුනු පලස්තීන ජාතිකයන්ගේ සිරුරු 2025 ජූලි 20 වන ඉරිදා ගාසා නගරයේ ෂිෆා රෝහලට ගෙන එනු ලැබුනි. [AP Photo/Jehad Alshrafi]

ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරය උත්සන්න කරමින්, අනාරක්ෂිත ජනතාවකට එරෙහි ව දිනපතා ඝාතන ප්‍රහාරයක් මුදා හරිමින් සිටී. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පූර්න සහාය ඇති ව, නෙතන්යාහු ආන්ඩුව පලස්තීන ජනතාව කුසගින්නේ තැබීමට, ත්‍රස්ත කිරීමට සහ සමූල ඝාතනය කිරීමට දරන උත්සාහයන් වේගවත් කෙරෙමින්, එකක් පසුපස තවෙකක් ලෙස බිහිසුනු අපරාධ සිදු කෙරෙමින් පවතී.

ඉරිදා (20), අවම වශයෙන් පලස්තීනුවන් 115 දෙනෙකු මිය ගිය අතර, ඉන් 92 දෙනෙකු මිය ගියේ මානුෂීය ආධාර පතා පැමිනි ජනකායක් ඉලක්ක කරගත් වෙන ම සංහාර දෙකකිනි. යුරෝ-මෙඩ් මානව හිමිකම් නිරීක්ෂනය (Euro-Med Human Rights Monitor) වාර්තා කලේ මෙම සංහාරවලින් එකක දී උතුරු ගාසා තීරයේ පුද්ගලයින් 67 දෙනෙකු මිය ගිය බවයි. එහි වාර්තාවට අනුව, “යටත් වීමේ පැහැදිලි සලකුනක් ලෙස අත් ඔසවා ගෙන ආධාර ට්‍රක් රථ වෙත ලඟා වන ලෙස සිවිල් වැසියන්ට අන කල වාඩිලා ගැනීමේ හමුදාව, පසුව කිසිදු ප්‍රකෝප කිරීමකින් තොර ව ඔවුන්ට වෙඩි තැබූහ.”

“සටන් විරාමයක්” පිලිබඳ කතා මධ්‍යයේ, නොනවත්වා ම සංහාරයන් සිදුවෙමින් පවතී. පසුගිය දින 10 තුල සිදු වූ එවන් සංහාරයන්ට පහත සිද්ධීන් ඇතුලත් වෙයි:

• ජූලි 10 වන දින, ඩෙයර් අල් බාලා හි ප්‍රොජෙක්ට් හෝප් සෞඛ්‍ය සායනයෙන් පිටත සිවිල් ප්‍රදේශයකට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වූ අතර, එයින් ලමුන් නව දෙනෙකු සහ කාන්තාවන් හතර දෙනෙකු ඇතුලු 15 දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු තුවාල ලැබූහ.

• ජූලි 11 වන දින ගාසා තීරයේ ඇති එක ම කතෝලික පල්ලියට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලැබූහ.

• ජූලි 11 වන දින, වයඹදිග රෆාහි ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් අසල පලස්තීන ජාතිකයින් 10 දෙනෙකු මිය ගොස් 60 දෙනෙකු තුවාල ලැබූහ; ඊට පසුදා, රතු කුරුස ක්ෂේත්‍ර රෝහලට ඇතුලත් කරන ලද තුවාල ලැබූ 132 දෙනෙකුගෙන් 31 දෙනෙකු තුවාල හේතුවෙන් මිය ගියහ.

• ජූලි 10 සහ 13 අතර කාලය තුල, වෙන් වෙන් ඊශ්‍රායල ප්‍රහාරවලින්, අවම වශයෙන් මාධ්‍යවේදීන් හතර දෙනෙකු වත් මිය ගොස් ඇත; ඉන් එක් ප්‍රහාරයක් මාධ්‍යවේදියෙකු ගේ නිවස පරීක්ෂා කරද්දී සිදු ව ඇති අතර අනෙක එල්ල වී ඇත්තේ, අවතැන් වූවන්ගේ අභ්‍යන්තර කූඩාරමක ඔහුගේ ගැබිනි බිරිඳ සහ දරුවන් තිදෙනා සමඟ සිටිය දී ය.

• ජූලි 14 වන දින, තල් අල් හවා හි අවතැන් වූවන්ට නවාතැන් සපයන නේවාසික ගොඩනැගිල්ලකට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වූ අතර, බොහෝ දුරට කාන්තාවන් සහ ලමයින් සමග පලස්තීන ජාතිකයින් 12 දෙනෙකු මිය ගිය අතර තවත් 30 දෙනෙකු තුවාල ලැබූහ.

• ජූලි 16 වන දින, 21 දෙනෙකු මිය ගිය අතර ඉන් 15 දෙනෙකු මිය ගියේ, දකුනු ඛාන් යුනිස් හි හමුදාකරනය කල ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක හුස්ම හිරවීමකින් සහ තෙරපීමකිනි.

ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් “ගාසා මානුෂීය පදනම” (ජීඑච්එෆ්) නමින් හැඳින්වෙන ආයතනයක් නිර්මානය කර ඇත; එය “ආධාර කොරිඩෝ” ඉදිකර ඇති අතර ඒවා යථාර්ථයේ දී ඝාතන භූමි වේ—මේවා, හිතාමතා ම ඉදිකරන ලද උගුල් කලාප වන අතර, ඒවා ඊශ්‍රායල ඩ්‍රෝන යානා සහ ස්නයිපර් ප්‍රහාරකයින් විසින් නිරීක්ෂනය කර ඉලක්ක කර ඇත. මැයි මස අග සිට ආධාර පතන්නන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් 6,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

ආධාර පතන්නන් සමූලඝාතනය කිරීම හිතාමතාම සාගතය ඇති කිරීමේ ව්‍යාපාරයකට සෘජු ව ම සම්බන්ධ වේ. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කලේ පැය 24 ක කාලයක් තුල පුද්ගලයින් 18 දෙනෙකු කුසගින්නෙන් මිය ගිය බවයි. එය ඊශ්‍රායලයේ ආහාර, ජලය සහ විදුලිය සම්පූර්නයෙන් ම අවහිර කිරීම යටතේ කුසගින්න තියුනු ලෙස තීව්‍ර වීමක් පිලිබිඹු කරයි.

සති අන්තයේ දී, ඊශ්‍රායලය, මධ්‍යම ගාසා තීරයේ නව ගොඩබිම් ප්‍රහාරයක් ද නිවේදනය කල අතර නව ඉවත් කිරීමේ නියෝග නිකුත් කලේ ය. ඊශ්‍රායල ආන්ඩුව ගාසා තීරයේ ජනගහනය, නටබුන් ව ගිය රෆාහි ගාල් කඳවුරකට බලහත්කාරයෙන් යැවීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටී; අවසානයේ ඔවුන් වෙනත් රටවලට පිටුවහල් කරනු ඇත.

ඊශ්‍රායල රාජ්‍යය සාපරාධී ව්‍යාපාරයකි—ලොව පුරා කම්කරුවන් සහ තරුනයින් විසින් වැඩි වැඩියෙන් එය දකින ආකාරය එයයි. ජන සංහාරය යනු සියොන්වාදයේ ප්‍රතිගාමී තර්කනයේ කූටප්‍රාප්තියයි. පලස්තීන ජනගහනය අවතැන් කිරීම හරහා සුවිශේෂී-ආගමික රාජ්‍යයක් නිර්මානය කිරීමේ පදනම මත ආරම්භ කරන ලද සියොන්වාදය එහි අවසාන අදියරට පැමින ඇත: “පලස්තීන ගැටලුවට අවසාන විසඳුමක්.”

ගාසා සංහාරය ගෝලීය වශයෙන් දැවැන්ත විරෝධයක් අවුලුවා තිබේ. මේ දක්වා මාස 21 ක් පුරා මිලියන ගනනක් මහජන විරෝධතාවලට සහභාගී වී ඇත. කෙසේ වෙතත්, මෙම විරෝධතා—ගැඹුරින් ම දැනෙන යුක්තියුක්ත සදාචාරාත්මක කෝපය ප්‍රකාශ කරන මුත්—ඒවාට පැහැදිලි දේශපාලන ඉදිරිදර්ශනයක් නොමැත. ඇතැම් තීරනාත්මක නිගමනවලට දැන් එලැඹිය යුතු ය.

පලමු ව, ජන සංහාරයට එරෙහි සටන අධිරාජ්‍යවාදයට එරෙහි සටනෙන් වෙන් කල නොහැකි ය. ගාසා තීරයේ ජන සංහාරය හුදකලා ලෙස තේරුම් ගත නොහැක. එය පුලුල් වන ගෝලීය අධිරාජ්‍යවාදී යුද්ධයක සහ නිමක් නැති ව රතු සීමා කපාගෙන යාමේ අංගයකි.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ජුනි මාසයේ දී ඉරානයට බෝම්බ හෙලූ අතර, ඊශ්‍රායලය පසුගිය සතියේ, මැදපෙරදිග තුල, සිරියාවට නව මිසයිල ප්‍රහාර එල්ල කලේ ය. එසේ ම පසුගිය සතියේ ට්‍රම්ප් පරිපාලනය නිවේදනය කලේ, රුසියාවට එරෙහි ව දැන් වසර තුනක් ගත ව ඇති එක්සත් ජනපද-නැටෝ යුද්ධය ගැඹුරු කරමින්, යුක්‍රේනයට දැවැන්ත අවි නැව්ගත කිරීම් නැවත ආරම්භ කරන බවයි. පැසිෆික් සාගරයේ, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් 17 කින් භටයින් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් සමග ඕස්ට්‍රේලියානු මහාද්වීපය පුරා මෙතෙක් සිදු කර නොමැති තරමේ විශාලත ම ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස දියත් කර ඇත්තේ චීනයට එරෙහි යුද්ධය සඳහා අවසන් පෙරහුරුවක් ලෙස ය.

ජනවාර්ගික ශුද්ධ කර දැමීම හෝ ජන සංහාරක අවි පිලිබඳ ව්‍යාජ සහ බොරු ප්‍රකාශ මත පදනම් ව ඉරාකය, යුගෝස්ලාවියාව සහ අනෙකුත් රටවලට එරෙහි ව යුද්ධ දියත් කල එම අධිරාජ්‍යවාදී බලවතුන් ම, දැන් ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරය සහ ජනවාර්ගික ශුද්ධකරනය විවෘත ව සිදු කරන විට, එයට සම්පූර්නයෙන් ම සහාය දක්වයි.

අධිරාජ්‍යවාදීන් සෑම යුද අපරාධයක් ම නීත්‍යානුකූල කරන්නේ එය අනාගතයේ දී න්‍යෂ්ටික අවි භාවිතය ඇතුලු තවත් විශාල අපරාධ සඳහා පූර්වාදර්ශයක් සපයන බැවිනි. ගෝලීය යුද්ධය සඳහා ඔවුන්ගේ පුලුල් සැලසුම්වල තීරනාත්මක රංග භූමියක් ලෙස මැද පෙරදිග නැවත සකස් කිරීමේ ඔවුන්ගේ උපාය මාර්ගයේ කේන්ද්‍රීය අංගයක් ලෙස ඔවුන් ජන සංහාරයට සහාය දක්වයි. ඉරානයට බෝම්බ හෙලීම සම්බන්ධයෙන් ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්‍රික් මර්ස් පසුගිය මාසයේ සෘජුව ම පිලිගත් පරිදි, ඊශ්‍රායලය තම “නීච ක්‍රියා” දිගට ම සිදු කරමින් සිටී.

දෙවනු ව, අධිරාජ්‍යවාදයට එරෙහි සටන සමාජයේ මාහැඟි විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතු ය. අධිරාජ්‍යවාදී බලවතුන් විසින් දියත් කරනු ලබන ගෝලීය යුද්ධය, සෑම රටක ම කම්කරු පන්තියට එරෙහි යුද්ධයකට වෙන් කල නොහැකි ලෙස සම්බන්ධ වී තිබේ. මෙම ආන්ඩු ම වැටුප් කප්පාදුව, රාජ්‍ය සේවා කප්පාදුව, සමාජ වැඩසටහන් විසුරුවා හැරීම සහ දොට්ට දැමීම් සහ කප්පාදු නැවත නැවත පැනවීම තුලින්—රට තුල කම්කරුවන්ගේ සමාජ අයිතිවාසිකම් සහ ජීවන තත්වයන්ට දරුනු ප්‍රහාරයක් එල්ල කරමින් සිටී.

මෙම සමාජ ප්‍රතිවිප්ලවය දැන් නව අවධියකට පිවිස ඇත. එක්සත් ජනපදය තුල, ට්‍රම්ප් පරිපාලනය ක්‍රමානුකූල ව මහජන අධ්‍යාපනය බිඳ දැමීමට සහ මෙඩිකෙයාර්, මෙඩිකේඩ් සහ සමාජ ආරක්ෂනයේ ඉතිරි ව ඇති දේ විනාශ කිරීමට පියවර ගනිමින් සිටී. සෑම ප්‍රධාන ධනේශ්වර බලවතෙක් ම ඒ හා සමාන ක්‍රියාමාර්ග අනුගමනය කරමින්, පද්ධතියේ ගැඹුරු වන අර්බුදයට ප්‍රතිචාර දක්වන්නේ, මිලිටරිවාදයේ සහ ආර්ථික බිඳවැටීමේ සම්පූර්න බර කම්කරු පන්තියේ උර මත පැටවීමට උත්සාහ කරමිනි.

ජන සංහාරය සහ එය කොටසක් වන පුලුල් යුද්ධය අවසන් කිරීමට ඇති එක ම මාර්ගය වන්නේ සෑම රටක ම පන්ති අරගලයේ දැවැන්ත ප්‍රසාරනයයි. යුද්ධයට එරෙහි සටන තමන්ගේම පාලක පන්තියට එරෙහි යුද්ධයක් විය යුතු බව මාක්ස්වාදයේ පදනම් පූර්වාවයවයකි. පෙර නොවූ විරූ මට්ටමේ සමාජ අසමානතාවයක් මධ්‍යයේ, මිලියන සංඛ්‍යාත කම්කරුවන් අරගලයට අවතීර්න වී, සංගතවාදී, ජාතිකවාදී සහ යුද ගැති වෘත්තීය සමිති නිලධරයන්ගේ පාලනයෙන් මිදීමට උත්සාහ කරති.

තෙවනුව, යුද්ධයට එරෙහි සටන ධනවාදයට එරෙහිව සහ සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපාරයක් ලෙස වර්ධනය කල යුතුය. ගාසා තීරයේ ජන සංහාරය යනු, සියලු මිනිස් අවශ්‍යතා මූල්‍ය කතිපයාධිකාරයේ ලාභ අවශ්‍යතාවලට යටත් කරන ගෝලීය පද්ධතියක නිෂ්පාදනයකි.

ගාසා සංහාරයට එරෙහි සටන සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන බලමුලු ගැන්වීම මත පදනම් වූ නව මූලෝපායක් අවශ්‍ය වේ. ගාසා තීරයේ සමූහ ඝාතනවලට එකා මෙන් අනුග්‍රහය දක්වන පාලක පන්තියට එරෙහි ව ලොව පුරා කම්කරුවෝ අරගලයට ඇද ගනිමින් සිටිති.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ඊට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ නව යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කැඳවුම් කරයි. එය, මූල්‍ය ප්‍රාග්ධනයේ ආඥාදායකත්වය අහෝසි කිරීමට සහ යුද්ධයට මූලික හේතුව වන ලාභ පද්ධතියට තිත තැබීමට සටන් කරන, ධනවාදී විරෝධී සහ සමාජවාදී ව්‍යාපාරයක් විය යුතු ය. එය, සියලු ධනේශ්වර පක්ෂවලින් සහ ඒවායේ දේශපාලන නියෝජිතයන්ගෙන් සම්පූර්නයෙන්ම ස්වාධීන විය යුතු ය.

අධිරාජ්‍යවාදී ක්‍රමයට තිත තැබීමට නම්, සෑම රටකම කම්කරුවන් පොදු අරගලයකට එක්සත් කල යුතුවාක් මෙන් ම එය ජාත්‍යන්තර විය යුතුය. මෙම වැඩපිලිවලට එකඟ වන සියලුම කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙම සටන භාර ගන්නා ලෙසයි.

Loading