[මෙම ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය Workers protest against Electricity Board restructuring in Sri Lanka
යන මැයෙන් පල කෙරුනි.]
ජූලි 22දා දිවයින පුරා ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) විවිධ සේවා ස්ථානවල 22,000 ක් වන මුලු සේවකයිනගෙන් 16,000 ක් පමන ලෙඩ නිවාඩු දමා, ආන්ඩුව ඉදිරිපත් කර ඇති විදුලිබල (සංශෝධන) පනතට එරෙහි ව දිනක විරෝධතාවකට සහභාගි වූහ.
සේවාස්ථාන වලින් කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාල ඉදිරිපිටට පැමිනි සේවකයන් 1,500 ක් පමන, දහවල් 11.30 සිට පැය දෙකකට වැඩි කාලයක් උද්ඝෝෂනයක නිරත වෙමින්, නව පනතින් ලංවිම සමාගම්වලට කැඩීමේ ආන්ඩුවේ යෝජනාවලින් තම රැකියා හා සේවා කොන්දේසිවලට එල්ල වන තර්ජනයට ද සංස්ථාව පුද්ගලිකරනය දක්වා යන සැලසුම්වලට ද විරුද්ධත්වය දැක්වූහ.
මෙම උද්ඝෝෂනය කැඳවා තිබුනේ, ලංකා විදුලිබල මන්ඩල නිදහස් සේවක සංගමය (ලංවිමනිසේසං), ලංකා විදුලිබල මන්ඩල කාර්මික නිලධාරින්ගේ සංගමය (ලංවිමකානිසං), පාරිභෝගික සම්බන්ධීකාරක සංගමය (පාසසං), තාක්ෂනික ඉංජිනේරු සහ අධිකාරී සංගමය, ඉංජිනේරු සංගමය ඇතුලු ලංවිම සමිති 28ක් ඇතුලත්, “ලංකා විදුලිබල මන්ඩලයේ සියලු වෘත්තීය සමිති” සන්ධානය විසිනි.
පාලක ජානතා විමුක්ති පෙරමුනට (ජවිපෙ)ට අනුබද්ධිත, සමස්ත ලංකා විදුලි සේවක සංගමයේ (සලංවිසේසං) නායකයන්ගේ විරුද්ධත්වය නොතකා එහි සාමාජිකයෝ විරෝධතාවට සහභාගි වූහ.
පනත් කෙටුම්පත අනුව, සංස්ථාව මුල් අදියරේ දී රජයේ පාලනය යටතේ පවතින සමාගම් පහකට කඩනු ලබයි. එම සමාගම්වල පාලනය පැවරෙන්නේ බලශක්ති ඇමති විසින් පත් කෙරෙන අධ්‍යක්ෂක මන්ඩලවලට ය. මාස හයකට පසු, ඒවා තවත් සමාගම් 12කට බෙදෙන බව ද පනත් කෙටුම්පතේ සඳහන් ය.
නව සංශෝධන පනතේ අලුත් සමාගම්වලට අනියුක්ත කෙරෙන සේවකයින්ගේ කිසිදු අයිතිවාසිකමක් පිලිබඳව සටහනක් නැත: එනම්, මෙම කෙටුම්පතේ කිසිදු වගන්තියක වැටුප, දීමනාව, අයිතිවාසිකම්, නය පහසුකම්, වෛද්‍ය පහසුකම් පිලිබඳව සඳහනක් නැත. එහි සරල තේරුම නම් සමාගමට අවශ්‍ය ආකාරයට එම අයිතීන් හා සේවා කොන්දේසීන් තීරන කිරීමට ඉඩ ලබා දීමයි. මෙනයින්, ආන්ඩුව කම්කරු අයිතීන්ට අතිශය රුදුරු පහරක් එල්ල කිරීමට සුදානම් කර ඇත.
පනතේ සඳහන් ව නැතත්, මෙම සමාගම් ඉදිරියේ දී රාජ්‍ය-පුද්ගලික සමාගම් බවට හෝ සම්පුර්න පුද්ගලික සමාගම් බවට පත් කෙරෙනු ඇත. රාජ්‍ය ව්‍යවසායන් “ප්‍රතිව්‍යූහගතකිරීම” සඳහා වන ජාමුඅ නිර්දේශයේ එක අරමුනක් වන්නේ, ලාභ ගැරීම සඳහා ආයෝජකයන්ට ඒවා මුදා හැරීම යි.
විදුලිය සේවකයන්ගේ මෙම විරෝධතාව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග අනුව ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව වේගවත් කරන ප්‍රහාරවලට එරෙහි ව කම්කරු පන්තිය තුල කැකෑරෙන විරුද්ධත්වයේ ප්‍රකාශනයකි. එසේවුව ද, වෘත්තීය සමිති සන්ධානය උද්ඝෝෂනය කැඳවූයේ එය සීමිත ඉල්ලීම් කිහිපයකට කොටු කරමිනි.
එක් ඉල්ලීමක් වුයේ, ආන්ඩුව කෙටුම්පත් පනත ගැන අධිකරනයේ තීරන අනුව ක්‍රියාකල යුතු බවයි. පනතේ සමහර වගන්තිවලින් සේවක මුලික අයිතීන් උල්ලංඝනය වන බවට ප්‍රකාශ කිරීමක් සිදුවන බව වෘත්තීය සමිති ශ්‍රේෂ්ඨාධිකරනයට පැමිනිලිකර තිබුනි. පැමිනිල්ල සලකා බැලූ ඉහල උසාවිය, ලංවිම සමාගම්වලට බිඳීමේ දී සේවකයින් මාරු කිරීම සහ සේවකයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් පනතට අන්තර්ගත නොවන බවයි. ඇමති පත්කරන සමාගම් පාලනය කරන අධ්‍යක්ෂක මන්ඩල සාමාජිකයන්, දූෂන විරෝධී පනත යටතේ වගකිවයුතු බව ද පනතට ඇතුලත් වියයුතු යයි අධිකරනය ප්‍රකාශ කලේය.
පනතේ මෙම කොටස් වලින් මූලික අයිතීන් උල්ලංඝනය වන බැවින් ඒවා වෙනස් කරන ලෙසට හෝ, එය නොතකා ක්‍රියාකරන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ අවශ්‍ය වුවහොත්, ජනමත විචාරයකින් පනත සම්මත කල යුතු බවට තීන්දු කලේ ය.
ආන්ඩුව, ජූලි 24 දිනට පනතේ දෙවන වර කියවීම නියම කර ගෙන තිබුනත්, එහි ශිල්පීය දෝෂ නිසා කල් දමා පසු ව ඉදිරිපත් කරන බව සඳහන් කර ඇත. එහෙත්, සමිති නායකයන් විදුලිබල සේවකයන්ගේ අයිතීන්, අධිකරන තීන්දුවෙන් ආරක්ෂාවේ යැයි කරන ප්‍රචාරය මිත්‍යාවකි. අධිකරනය අයිඑම්එෆ් ප්‍රතිව්‍යූහකරනයේ රාමුව තුල තීන්දු ප්‍රකාශ කර ඇති අතර ම, මෙතරම් නග්න ලෙස කම්කරු අයිතීන් නොතකා හැරීම ප්‍රකාශවීමෙන් ඇතිවිය හැකි නොසන්සුන්තාව ගැන, ආන්ඩුවේ අවධානය යොමුකර ඇතුවා පමනි.
සමිති නායකයන් පවසන්නේ, ආන්ඩුව නව වෙනස්කම් ඇති කිරීමේදී, 1969 ලංවිම පිහිටු වන විට වෘත්තීය සමිති සමග ඇතිකරගත් සාමූහික ගිවිසුම වැනි ගිවිසුමකට, ආන්ඩුව තමන් සමග එලඹිය යුතු බවයි. සමිති නිලධරයන් සියල්ල අයිඑම්එෆ් නියෝග අනුව ප්‍රතිව්‍යූහකරනයට විරුද්ධ නැත. ඔවුන්ට අවශ්‍යවන්නේ, සාමුහික ගිවිසුමක් ඇති කර ගැනීම මගින් සමාගම් අධ්‍යක්ෂකවරුන් සමග හවුල් වී කටයුතු කිරීමට අවස්ථාව සලසා ගැනීම යි.
පසුගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, ලංවිම සමාගම් 11කට කැඩීමේ පනතක් ගිය වසරේ පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත්තේ ය. ලංවිම ඇතුලු 400ක් පමන වන සියලු රාජ්‍ය ව්‍යවසායයන් මෙලෙස ප්‍රතිව්‍යූහගත කිරීම, අයිඑම්එෆ් ඩොලර් බිලියන 3ක ඇපකර නයක් ලබාදීමේ දී පැන වූ මුලික කොන්දේසියකි. ඉනුත් වහා “ප්‍රතිසංස්කරනය” කල යුතු ලෙස නියම කර ඇති සංස්ථා 12න් පලමුවැන්න ලංවිම යි.
ජවිපෙ සහ එහි වෘත්තීය සමිතියේ නායකයෝ, ගිය අවුද්දේ ජනාධිපතිවරනයට හා මහ මැතිවරනයට පෙර චන්ද කඩා ගැනීමට දුන් පච පොරොන්දු අතර එකක් වූයේ, වික්‍රමසිංහ ආන්ඩුවේ මේ පනතට විරුද්ධ බව ද තම ආන්ඩුවක් යටතේ එය අහෝසි කර, සේවක අයිතීන් රැකෙන අලුත් පනතක් ගෙන එන බව ද ප්‍රචාරය කිරීමයි. අනෙකුත් පොරොන්දු මෙන්ම, එය ද කුනු කුඩයට දමා ඇති ජවිපෙ/ජාජබ ආන්ඩුව, තමන් පාලනය කරන වෘත්තීය සමිතිවලට වර්ජන හා විරෝධතා පැවැත්වීමට නොනිල තහනමක් ද පනවා ඇත. එය ලංවීමට පමනක් සීමා වූ තහනමක් නොවේ.
එවක, ලංවිම සියලු සමිතිවල ප්‍රධානත්වය පවරා තිබුනේ ජවිපෙ පාලනය කරන ලංකා විදුලි සේවක සංගමයට යි. පසුගිය දශකයකට අධික කාලයක් විදුලිබල සේවක අරගල සීමා කරමින් හා යටපත් කිරීමට ජවිපෙ සමිතියේ නායකයා ලෙස ක්‍රියා කලේ රංජන් ජයලාල් නැමැත්තා ය. දැන් ඔහු සිය පාවාදීම්වලට කෘතගුන සැලකීමක් ලෙස ජවිපෙන් කඩුවෙල පුරපති පදවියෙන් සංග්‍රහ ලබා ඇත.
ජූලි 22 දා උද්ඝෝෂනය තුල දී ලංවිම කාර්මික නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මාධ්‍ය අමතමින් පැවසුවේ, රටේ සමස්ත ජනතාව “අපහසුතාවයකට පත් නොකර මේ කාරනය ගොඩින් බේරා ගැනීමට” ආන්ඩුවට ආයාචනය කරන බවයි. ඇහුම්කම් දීමක් නැත්නම්, ජූලි 23ට පසු “ඊලඟට ගන්නා ක්‍රියාමාර්ගය දරුනු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් විය හැකියි” යනුවෙන් ඔහු පුහු තර්ජනයක් ද කලේ ය.
එහෙත් ඔහු කතාව අවසන් කලේ, වෘත්තීය සමිති කැඳවූ උද්ඝෝෂනය “ආන්ඩු විරෝධී සටනක්වත්, ආන්ඩුව අපහසුතාවට පත් කරන්නවත් මේ පනත අකුලා ගන්න කරන සටනක්වත් නොවේ,” යනුවෙන් ආන්ඩුවේ මූලික පිලිවෙත් සමග එකඟතාව සපථ කරමිනි.
මෙම විපරීතයට එරෙහි ව, කම්කරුවන් මුහුන දී සිටින්නේ, මෙම පනත පරාජය කිරීමේ දේශපාලන සටනකට යි. මන්ද යත්, අයිඑම්එෆ් නියෝග අකුරට ම ක්‍රියාවට දැමීමට සපථ කර ඇති ජනධිපති දිසානායක ආන්ඩුව සියලු සංස්ථා ප්‍රතිව්‍යුහගත කර, ඇතැම් ඒවා වසාදමා, දෙස්-විදෙස් ආයෝජකයන්ගේ ලාභ ගැරීමට සුදුසු සේ පුද්ගලීකරනයට මාවත සෑදිය යුතුය.
පසුගිය දෙ වසරේ, විදුලිබල කම්කරුවන් වික්‍රමසිංහ ආන්ඩුව මෙම වැඩපිලිවෙල ක්‍රියාවට දමන විට, ඊට එරෙහි ව වර්ජන ඇතුලු උද්ඝෝෂනවලට වලට නැවත නැවතත් පැමිනියහ. ගිය වසරේ ජනවාරි මාසයේ දින දෙකක වර්ජනයේදී මර්දනයේ මුගුර එල්ලකල කල වික්‍රමසිංහ ආන්ඩුව සේවකයන් 62ක ගේ වැඩ තහනම් කලේය.
දැන් උද්ඝෝෂනය කැඳවා ඇති සමිති, කලින් ආන්ඩුව යටතේ විරෝධතා කැඳවූයේ, ජවිපෙ සමිති නායකත්වයේ මූලිකත්වයෙනි. මෙම නිලධරයන් සියල්ල වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දමා එහි සැලසුම් ආපසු කරකැවිය හැකි බවට මිථ්‍යාවන් වපුරා කම්කරුවන්ගේ අරගල මොට කර දැමු අතර, ඔවුන්ගෙන් බෝහෝ දෙනා වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට දර දිය ඇද්දෝ ය. වැඩ තහනමට ලක් කල සේවකයන් සේවයේ පිහිටුවූ ආන්ඩුව ප්‍රහාරය අලුතින් සුදානම් කලේය.
සමාජවාදී සමානතා පක්ෂයත් (සසප), ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටුවල සාමුහිකයත් ලංවිම කම්කරුවන්ගේ අරගල තුල මැදිහත්වෙමින්, සිය අයිතීන් රැකගැනීමට ඔවුන්වෙත සක්‍ය ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කලේය.
2024 මාර්තු 25දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ලිපියක, අයිඑම්එෆ් ලංකාවේ සිය වැඩපිලිවෙල නිසියාකාර ව ක්‍රියාත්මක වේ දැයි සොයාබලමින් ක්‍රියාත්මක වන තතු තුල, කම්කරුවන් ගත යුතු මුලිකත්වය අපි මෙසේ සඳහන් කලෙමු:
ලංවිම හා අනෙකුත් රාජ්‍ය අංශයේ කම්කරුවන්, ජාතික ජන බලවේගයේ හා අනෙකුත් ධනේශ්වර විරුද්ධ පක්ෂවලට දේශපාලනික ව ගැට ගැසීමේ වෘත්තීය සමිති නිලධරයන්ගේ ප්‍රතිගාමී උත්සාහයට එරෙහි ව, සසප සහ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම ධනේශ්වර ගැති ව්‍යුහයන්ගෙන් ස්වාධීන ව සංවිධානය වන ලෙස ය.
වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු පියවර සහ එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා, කම්කරුවන් දේවල් තමන්ගේ අතට ගත යුතු ය. මෙයින් අදහස් කරන්නේ, සෑම වැඩබිමකම, වතුකරයේ සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ක්‍රියාකාරී කමිටු පිහිටුවීම යි. ඒවා තුලට, වෘත්තීය සමිති නිලධරයන්, ධනේශ්වර පක්ෂ සහ ඔවුන්ගේ හෙංචයියන් ඇතුලත් කර නොගනු ඇත.
කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට තම ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කර ගත හැකිවන්නේ, වික්‍රමසිංහ ආන්ඩුව සහ එහි ජාමූඅ පියවර පලවා හැරීමේ දේශපාලන හා කාර්මික අරගලයක් තුල පමනි.” මෙම අරගලය සමාජවාදී පිලිවෙත් සඳහා අරගලයකින් මුදුන්පත් කරන ලෙස ද කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටියෙමු.
අපගේ ඉල්ලීම ක්‍රියාවට දැමීමේ අවශ්‍යතාව තරයේ සනාථ වී තිබේ. මෙම අරගලයට අප්‍රමාද ව එක්වන ලෙස අපි ඉල්ලා සිටිමු.
වැඩිදුර කියවන්න
- විදුලි ගාස්තුව සියයට 20 කින් පමන වැඩි කරන ලෙස ජාමූඅ ශ්‍රී ලංකා ආන්ඩුවට බල කර සිටී
- ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ආන්ඩුවේ කප්පාදු අයවැයට සහාය දක්වයි
- විදුලිබල ඇමති ලංවිම රැකියා දසදහස් ගනන් කප්පාදු කිරීමේ සැලසුම් ගැන වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කරයි
- ශ්‍රී ලංකාවේ ආන්ඩුව සහ ජාමූඅ, කප්පාදු වැඩසටහනේ “සාර්ථකත්වය” සමරයි
- ප්‍රමූඛ පෙලේ ජවිපෙ වෘත්තීය සමිති නායකයකු වන රන්ජන් ජයලාල් කඩුවෙල නගරාධිපති තනතුරෙන් පිදුම් ලබයි
- ලංකා විදුලිබල මන්ඩලය, පුද්ගලීකරනයට එරෙහි වූ කම්කරුවන් දඩයම් කරයි