ඖෂධ හිඟය, නිරතුරු ව බිඳ වැටෙන උපකරන, අප්‍රමානවත් යටිතල පහසුකම් සහ සේවක හිඟය හේතුවෙන් ලංකාවේ සමස්ත මහජන සෞඛ්‍ය පද්ධතිය ම අඩපන වී ඇත. මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් කරා පැමිනෙන රෝගීන්ට මෙන්ම, සෞඛ්‍ය සේවකයන්ට ඉමහත් දුෂ්කරතාවන්ට මුහුන දීමට සිදුව ඇත.
ජූලි 22 දා දිවයින පුවත්පත ට අනුව, මහරගම අපේක්ෂා, මහනුවර ජාතික රෝහල, ගාල්ල හා මඩකලපුව යන රෝහල්වල පිලිකා විකිරන ප්‍රතිකාර සඳහා යොදාගන්නා ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර කලක සිට අක්‍රිය වී ඇත. එම ලැයිස්තුවට අලුතෙන්ම එකතු වී ඇත්තේ යාපනය රෝහලේ යන්ත්‍රයයි.
රජයේ රෝහල්වල මෙම ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර ප්‍රමානවත් තරම් නොමැති නිසා යල්පැනගිය තාක්ෂන ක්‍රමයක් මත පාදක වන කොබෝල්ට් 60 යන්ත්‍ර තවමත් විකිරන ප්‍රතිකාර සඳහා යොදාගනී. ඌව පලාතේ සහ උතුරු මැද පලාතේ රෝහල් වල විකිරන ප්‍රතිකාර සඳහා යන්ත්‍ර නොමැති වීම නිසා වෙනත් පලාත් වල රෝහල් වලට යෑමට රෝගීන්ට සිදු ව ඇත. ලංකාදීප පුවත්පත වාර්තා කලේ දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ වකුගඩු රෝගීන්ගෙන් ලේ ගැනීමට අවශ්‍ය එන්නත් කටු නොතිබීම හේතුවෙන් සති දෙකක් පමන තිස්සේ රෝගීන්ට ඒවා පෞද්ගලික ෆාමසි වලින් ගෙන ඒමට සිදු ව ඇති බවයි.
මීට අමතර ව ඖෂධ හිඟය රෝගීන්ට ප්‍රධාන ලෙස බලපා ඇත. මේ හේතුවෙන් රෝගීන්ට අධික මුදලක් දරා පුද්ගලික ඔසුසැල් වලින් ඖෂධ මිල දී ගැනීමට සිදු ව තිබේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු නියෝග මත කටයුතු කරමින් සිටින ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව මේ අර්බුදය විසදීමට පියවර ගනු වෙනුවට, හිඟ ඖෂධ සහ උපකරන පිටතින් මිල දී ගැනීමට බල කෙරෙන රෙගුලාසි පනවා ඇත.
මතු වී ඇති තත්වය පිලිබදව මහජන විරුද්ධත්වය වැඩෙන තතු තුල ජනාධිපති අනුර කුමාර දිසානායක, ඖෂධ හිඟයක් මතුව ඇත්නම් එය විසඳීමට කඩිනමින් ක්‍රියාකරන ලෙස ජූලි 22 දා, සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන් බව ලංකාදීප පුවත් පත වාර්තා කලේ ය. මේවා මාධ්‍ය සංදර්ශන වලට වැඩි යමක් නොවේ.
මෙවර අයවැයෙන් දිසානායක සහ ඔහුගේ ආන්ඩුව ජාමුඅ නියම කල කප්පාදු අනුව යමින් 2024 දී සෞඛ්‍ය වියදම් ලෙස වියදම් ලෙස වෙන් කල රුපියල් බිලියන 410ක ප්‍රතිපාදන, 2025දී රුපියල් බිලියන 383 ක් දක්වා පහත හෙලුවේ ය. මෙම කොන්දේසි යටතේ මෙවන් අර්බුදයකට මුහුන දීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අයවැය හරහා ම කපා හැර ඇති තතු තුල කඩිනමින් ක්‍රියාකරන ලෙස දෙන උපදෙස් ප්‍රෝඩාකාරී ය.
සමාජවාදී සමානතා පක්ෂය(සසප) සහ එහි ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සෞඛ්‍ය පද්ධතිය තුල වැඩෙන අනතුරුදායක තත්වය පිලිබඳ පැහැදිලි කරමින් ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමට මහජනතාවට සහ සෞඛ්‍ය සේවකයින්ට ක්‍රියාමාර්ගයක් සම්පාදනය කරමින් පසුගිය ජූලි 7 වනදා “ශ්‍රී ලංකාවේ ආන්ඩුවේ ප්‍රහාර සෞඛ්‍ය සේවාව බිඳ වැටීමේ අද්දරට තල්ලු කරයි” මැයෙන් ලිපියක් පල කලේය.
ලෝසවෙඅ වාර්තාකරුවෝ දිවයිනේ විවිධ රෝහල් අසල මෙම ලිපිය බෙදා හරිමින් සෞඛ්‍ය සේවකයින්, රෝගීන් සහ රෝගීන්ගේ භාරකරුවන් සමග මෙම තත්වය පිලිබඳව සාකච්ඡා කලහ.
මහරගම අපේක්ෂා රෝහල
බන්ඩාරවෙල සිට පැමිනි ලක්ෂ්මිගේ සැමියා මහරගම අපේක්ෂා රෝහලේ මාස පහක් තිස්සේ නේවාසික ව ප්‍රතිකාර ලබා ගනී. රෝහලේ පවත්නා ඖෂධ සහ පරීක්ෂන පහසුකම් ඌනතාව නිසා විශාල වියදමක් දැරීමට පසුගිය මාස දෙකේ දී ඇයට සිදු ව ඇත. ARA-C නමැති වෙලඳ නාමයෙන් හඳුන්වන ඔෂධය ලබා දීම සඳහා පසුගිය මාස දෙකට රුපියල් 140,000.00 ක් ඇයට වියදම් වූ බව ඇය පැවසුවා ය.
“සමහර පරීක්ෂන මෙහේ කෙරෙන්නේ නැහැ. බෝන් මැරෝ පරීක්ෂනය කරගන්න උනේත් ඉන්දියානු සමාගමක් හරහා ඒ සඳහා එක පාරකට රුපියල් 40,000 ක් විතර යනවා. දැනට එම පරීක්ෂන දෙකකට සල්ලි ගෙවලා තිබෙනවා” යැයි ලක්ෂ්මි කීවා ය.
මෙම අධික වියදම් දැරීමට සිදු ව ඇත්තේ “කනකර සියල්ල විකිනීමෙන්” බව පැවසූ ඇය තවත් කොපමන කාලයක් මේ අයුරින් වියදම් දැරීමට හැකිවේද යන්න ගැටලුවක් බව කීවා ය. මෙම රෝගීන්ගේ ගැටලු විසදීමට ආන්ඩුවෙන් කිසිදු මැදිහත් වීමක් නොකරන බව පැහැදිලි කල ඇය පෙන්වා දුන්නේ ඒ හේතුවෙන් රෝගීන්ට උපස්ථාන කරන අයට උනුවතුර පවා මුදල් වලට ගැනීමට සිදු ව ඇති බවයි.
මාතලේ සිට තමන්ගේ දුවගේ පිලිකා රෝගයට ප්‍රතිකාර සඳහා විටින් විට පැමිනෙන චමිලා ලෝසවෙඅ වාර්තාකරුවන් සමග අදහස් පල කලා ය: “අපට රෝහලෙන් බෙහෙත් ලැබෙනවා. නමුත් දුව ගෙදර එක්ක ගෙන යන්න, නැවත ඉස්පිරිතාලට එක්ක ගෙන එන්න එක වරකට රුපියල් 50,000ක් විතර වියදම් වෙනවා. එය අපට දැරිය නොහැකි විශාල වියදමක්. මේ වෙන කොට ලක්ෂ දෙකක් විතර නය වෙලා තියෙනවා. මාතලේ හෝ මහනුවර මේ පහසුකම් තියෙනවනම් අපිට මෙච්චර කරදර වෙන්නෙ නෑ.”
අපේක්ෂා රෝහලේ MRI යන්ත්‍රයක් නොමැති වීම නිසා එම පරීක්ෂාව කිරීමට කොලඹ මහ රෝහලට සාම්පල යැවීමට සිදු ව ඇත. මෙවන් තත්වයක් තුල රෝහල් තව දුරටත් පුද්ගලීකරනය කලහොත් ප්‍රතිකාර ගැනීමට නොහැකි ව මිය යෑමට සිදුවන බව ඇය කීවා ය. දැනටමත් අපේක්ෂා රෝහලේ පුද්ගලීකරනයේ අදියරක් ලෙස ගෙවන වාට්ටු ආරම්භ කර ඇත.
එම රෝහලේ සේවය කරන පෞද්ගලික උපස්ථායකයෙක් ලෝසවෙඅ වාර්තාකරුවන් සමග සාකච්ඡා කලේ ය. “කීමො බෙහෙත් තමයි අඩුයි කියන්නෙ. එලියෙ පාමසි වල තියෙනවා ඒවා ලක්ෂ ගනන් වෙනවා. රෝගීන්ට ඒ වගේ වියදම් දරාගන්න අමාරුයි.”
ඔහු වැඩි දුරටත් කීවේ රෝහල තුල උපකරන සහ පහසුකම් විශාල වශයෙන් අඩපන වී ඇති බවයි. “කරන්ට් (Radiotherapy) අල්ලන උපකරන සතියට තුන් පාරක් විතර කැඩෙනවා. කැඩුනම හදන්න සමහර වෙලාවට සති ගනන් ඉන්න වෙනවා.”
මෙය, අනුප්‍රාප්තික ආන්ඩු ගෙන ගිය කප්පාදුව හේතුවෙන් උද්ගත වූ තත්වයක් බව ලෝසවෙඅ වාර්තාකරුවෝ ඔහුට පැහැදිලි කර දුන්හ. උපකරන නිසි ලෙස නඩත්තු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන කපා දැමීම ඒවා අඩපන වීමට හේතු වී ඇති බව සාකච්ඡා කෙරිනි.
සිය පවුලේ ඥාතියෙකුට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිනි සුමිත්‍රා, රේඩියෝතෙරපි උපකරන වල ගැටලු සම්බන්ධයෙන් සිය අත්දැකීම් විස්තර කලේ මෙසේය. “ඉස්සර ඉදලම කරන්ට් අල්ලන මැෂිම කැඩෙනවා. මගේ එක මල්ලි කෙනෙකුත් මෙහේ ප්‍රතිකාර ගන්න ආවා. ඔය වගේ ප්‍රශ්න හින්දා හරියට ප්‍රතිකාර ගන්න බැරුව අවුරුදු දෙකකට උඩින් එයා නැතිවුනා.”
මෙම තත්වය හේතුවෙන්, “දුප්පත් මිනිස්සු සෑහෙන අසරන වෙලා ඉන්නවා” යැයි පැවසූ ඇය, “පෞද්ගලික රෝහල් වලින් විශාල වියදමක් දරලා සමහර දේවල් කරගන්න පුලුවන්. නමුත් අපිට එහෙම වත්කමක් නෑ” යැයි කීවා ය.
මේ තත්වය පිලිබඳව ආන්ඩුව විවේචනය කරමින් ඇය පැවසුවේ බදු පිට බදු පටවද්දී මූලික පහසුකම් පවා ලබා ගත නොහැකි තත්වයට පත් ව ඇති බවයි. “විශ්‍රාමික අපෙත් බැංකු වල තියෙන මුදල් වලට බදු ගහනවා. ගිය අවුරුද්දේ ඉතුරු කරපුවට බදු ගහලා කපලා මන් බැංකුවට ලියුමක් දීල යන්තම් නවත්තගත්තේ” යැයි ඇය කීවා ය.
ලෝසවෙඅ වාර්තාකරුවන් ඇයට පැහැදිලි කර දුන්නේ ආන්ඩුව මේ ආකාරයෙන් බදු ඉහල නංවන්නේ මහජනයාට පහසුකම් සැලසීමට නොව, ධනපති ක්‍රමය පවත්වා ගෙන යාම සඳහා ජාමූඅ මගින් ලබාගත් නය ගෙවීමට බවයි. 2028 පටන් වසරකට ඩොලර් බිලියන පහකට වැඩි මුදලක් ජාමුඅ වෙතට ගෙවීමට ආන්ඩුව සූදානම් වී සිටින අතර එම මුදල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට යෙදුවහොත් අනිවාර්යෙන් ම මෙම ගැටලු විසඳිය හැකි බව ඔවුහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත් එය, ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය පෙරලා දමා, සමාජවාදී ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා වන සටන සමග ගැට ගැසී ඇති බව සාකච්ඡා කෙරිනි.
“කොයි තරම් බොරු කියලද ආන්ඩුව ගත්තෙ. දැන් මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා. අරපිරිමැස්මෙන් වැඩ කරනවා. වාහන පාවිච්චි කරන්නෙ නෑ ඕවානෙ කිව්වේ. දැන් ඒවා ඔක්කොම අතෑරලා දාලා. හාල්, පොල් ගිනි ගනන් කඩවල. මේවා සාමාන්‍ය මිනිස්සුන්ට දරාගන්න බෑ” යැයි ඇය කීවා ය.
බදුල්ල රෝහල
බදුල්ල රෝහලේ වෛද්‍යවරියක් පැවසුවේ, “මේ ආන්ඩුව ආවට පස්සෙ ඖෂධ, කාර්ය මන්ඩල හිඟය තවත් ඉහල යෑමක් පෙනෙන” බවයි. බදුල්ල රෝහල අයත් වන්නේ ලංකාවේ ජනගහනයෙන් දුගීම කන්ඩායම් අයත් වන ඌව පලාතට ය. ඇය සඳහන් කලේ වතු කම්කරු සහ අනෙකුත් දුප්පත් මවුවරුන් විශාල වශයෙන් රක්තහීනතාවයෙන් පෙලුන ද ගැබිනි මවුවරුන්ට ලබා දීමට ප්‍රමානවත් තරම් ඖෂධ රෝහල් සතු ව නොමැති බවයි.
ඒවා පෞද්ගලික ඔසුසැල් හරහා ලබා ගැනීමට ද වත්කමක් නොමැති බැවින් නොමේරු දරුවන් බිහි වීමේ තත්වයකට මුහුන දිය හැකි බව ඇය කීවා ය. සෞඛ්‍යයට විශාල ම වියදම කරන බවට සෞඛ්‍ය ඇමති කල ප්‍රකාශය “බොරුවක්” බව පැවසූ ඇය ජවිපෙ/ජාජබ ආන්ඩුව පිලිකුලෙන් හෙලා දුටුවා ය. “අපි ඡන්දෙ දීල බලයට පත් කර ගත්ත ආන්ඩුව මෙහෙම වෙයි කියල කවුරුවත් හිතුවෙ නැහැ. කවුරුත් වගේ ඉන්නෙ මොනව වෙයි ද කියල හිතා ගන්න බැරුව” යැයි වෛද්‍යවරිය කීවා ය.
ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ජාමූඅ ගැති කප්පාදු වැඩපිලිවෙල මැතිවරනයට පෙර පටන් ම හෙලිදරවු කරමින් සසප සටන් වැදුනු බව පෙන්වා දුන් උද්ඝෝෂකයෝ, මෙම තත්වයට එරෙහි ව සටන් වැදීම සඳහා කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමේ අවශ්‍යතාවය පැහැදිලි කලහ.