අයිඑම්එෆ් කප්පාදු දිලිඳුකම තීව්‍ර කරද්දී ශ්‍රී ලංකාවේ සංගතවල ලාභ ඉහලට

[මෙය Sri Lanka’s corporate profits surge as IMF austerity deepens poverty යන මැයෙන් 2025 ජූලි 21දා පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසින් අනුමත කල ඩොලර් බිලියන 3ක ඇප නය මුදලේ සිව්වන වාරිකය මේ මාසයේ ලබා ගත් අතර, ඒ සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 315 ක් ලැබුනි; ඒ සමග, දැනට ලබා ගෙන ඇති මුලු ගෙවීම් ඩොලර් බිලියන 1.75 කි.

අයිඑම්එෆ් දැඩි කොන්දේසි යටතේ, සාමාන්‍ය ජනතාව ජීවන වියදමේ අධික වැඩි වීමකට මුහුන දී සිටී. දුප්පතුන්ගේ සමාජ පීඩාවට හාත්පසින් ම වෙනස් ලෙස, අයිඑම්එෆ් පිටුබලය ලත් ආර්ථික ප්‍රතිසංස්කරනවල උත්තේජනය යටතේ සංගත ඉපැයීම් වේගයෙන් ඉහල යමින් පවතින අතර, ප්‍රධාන සමාගම් දැවැන්ත ලාභ නෙලා ගනී.

ශ්‍රී ලංකාවේ කොලඹ පිහිටි තම පැල්පත් නිවාසය තුල පියෙකු සහ පුතෙකු ආහාර . අනුභව කරමින් [ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන] [AP Photo/Eranga Jayawardena]

2025 පලමු කාර්තුව අවසානයේ දී, කොලඹ කොටස් වෙලඳපොලේ ලැයිස්තුගත සමාගම්, වසරින්-වසර ඉපැයීම්වල සියයට 57.4 ක අති විශාල වර්ධනයක් වාර්තා කරමින්, ඒවායේ අඛන්ඩ හයවන කාර්තුවේ වර්ධනය සනිටුහන් කලේය. මෙම වැඩිවීම ප්‍රධාන වශයෙන් මෙහෙයවනු ලැබුවේ බැංකු සහ පාරිභෝගික-ප්‍රමුඛ අංශ විසිනි.

බැංකු අංශයේ පමනක් එහි වසරින්-වසර ඉපැයීම් සියයට 43.5 කින් ඉහල ගිය අතර, ප්‍රධාන පෞද්ගලික බැංකු සාමූහික ව ගත් විට ලාභයේ සියයට 52.9 ක වැඩිවීමක් වාර්තා කලේය. මෙම මූල්‍ය උත්පාතයට හේතු වූයේ ශුද්ධ පොලී ආදායමේ ප්‍රසාරනය සහ ගාස්තු සහ කොමිස් වැඩි වීම, විශේෂයෙන් ක්‍රෙඩිට් කාඩ් නය ඉහල යාමයි.

ආහාර පාන වර්ග සහ දුම්කොල කර්මාන්තය සියලුම අංශ අතුරින් විශාලත ම ඉපැයීම් වර්ධනය වාර්තා කරමින්, පසුගිය මූල්‍ය වර්ෂයට වඩා දැවැන්ත ලෙස සියයට 174 කින් ඉහල ගියේය. බලවත් විකුනුම් වර්ධනය,  ආන්තික (marginal) ප්‍රසාරනයන් සහ අඩු මූල්‍ය පිරිවැය මෙයට හේතු විය.

සාමාන්‍ය පුරවැසියන් මත ඉහල බදු සහ උපයෝගිතා වියදම් පටවන අතර, සංගත බදු අනුපාත සාපේක්ෂ ව සියයට 15 සිට 30 දක්වා අඩු මට්ටමක පවතී. සුපිරි ධනවතුන් සඳහා ධන බදු හෝ දේපල සඳහා බදු හඳුන්වා දී නොමැත. ඒ වෙනුවට, විශාල ව්‍යාපාර සහ විදේශීය ආයෝජකයින් බදු විරාම සහ විශේෂ සහන භුක්ති විඳින අතර, ගෙවීම් අවම කිරීම සඳහා බදු උපදේශකයින් භාවිතා කරයි.

2025 මාර්තු මාසයෙන් අවසන් වූ වසර සඳහා සංගත ලාභවල කැපී පෙනෙන වැඩිවීම්වලට ඇතුලත් වන්නේ:

  • ශ්‍රී ලංකාවේ විශාලත ම සමූහ ව්‍යාපාරයක් වන හේලීස් සමූහය, වසරින්-වසර බදු ගෙවීමට පෙර ලාභය සියයට 40 කින් වැඩි කර ගනිමින්, රුපියල් බිලියන 35 ක් දක්වා ලඟා වූ අතර, ආදායම වාර්තාගත රුපියල් බිලියන 492 දක්වා ඉහල ගියේ ය.
  • කාර්ගිල්ස් (සිලෝන්) සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය, සියයට 22.5 කින් ඉහල ගියේය. ඒ අනුව  සමාගමේ කාර්තුමය ආදායම රුපියල් බිලියන 59.5 දක්වා ඉහල ගියේ ය.
  • එයිට්කන් ස්පෙන්ස්: බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 25 ක ලාභයක් උපයා ඇත. එය, වසරින්-වසර සියයට 12.5ක වර්ධනයකි.
  • එල්ඕඑල්සී හෝල්ඩින්ග්ස්: බදු ගෙවීමෙන් පසු ලාභය සියයට 89 කින් ඉහල ගොස් රුපියල් බිලියන 41 ක් දක්වා පැමිනියේ ය.
  • බ්‍රවුන් සහ සමාගම: ආදායමේ සියයට 34ක වසරින්-වසර වර්ධනයක් අත් කර ගනිමින් රුපියල් බිලියන 108ක් දක්වා සහ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 26ක් දක්වා ඉහල ගිය බව වාර්තා කලේ ය.

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව පසුගිය වසරේ බලයට පත් වූයේ, සාමාන්‍ය ශ්‍රී ලාංකිකයින්ගේ සමාජ බර ලිහිල් කරන බවට ව්‍යාජ ප්‍රකාශ කරමින් වුව ද, එය ජාමූඅ කප්පාදු සහ මහා ව්‍යාපාරික ලාභ ඉහල නැංවීම් සඳහා සම්පූර්නයෙන් ම කැප වී සිටී.

ජනවාරි 28දා ලංකා වානිජ මන්ඩලයේ වාර්ෂික ආර්ථික සමුලුව අමතමින් ජනාධිපති දිසානායක, මහා ව්‍යාපාරිකයන්ට ප්‍රශංසා කලේ මෙසේ ය: “ඔබ ආර්ථික වර්ධනයේ එන්ජිමයි... ආර්ථිකයේ අනාගතය ඔබේ අතේ. වෙනසක් කිරීමට ඔබට බලය, දැනුම සහ ආකල්ප තිබෙනවා.”

ශ්‍රී ලාංකික කම්කරුවන් සහ දුප්පතුන් දුෂ්කර සමාජ තත්වයන්ට මුහුන දී සිටිද්දී, පසුගිය වසර හතර තුල ජීවන වියදම දෙගුනයකටත් වඩා වැඩි වී තිබේ. 2021 දී, මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට රුපියල් 7,913 ක් අවශ්‍ය විය. 2025 දී, රජයේ ජන සංගනන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව එම අගය රුපියල් 16,302 කි.

දරිද්‍රතාව සහ විරැකියාව ඉහල ගොස් තිබේ. 2025 අප්‍රේල් මාසයේ ලෝක බැංකු යාවත්කාලීන වාර්තාවක් ඇස්තමේන්තු කර ඇත්තේ, ජනගහනයෙන් සියයට 25 ක්—නැතහොත් මිලියන 5.5 ක් පමන ජනතාව—දැන් අන්ත දරිද්‍රතාවයේ ජීවත් වෙන බවයි. බහුමාන දරිද්‍රතාවය අත්විඳින ප්‍රමානය, සියයට 55.7 (මිලියන 12.3) කි.

ආසියානු සංවර්ධන බැංකුව මේ මාසයේ වාර්තා කලේ, තරුන විරැකියාව සියයට 22.2 ක් ලෙස භයානක ආකාරයේ ඉහල මට්ටමක පවතින බවත්, එය ආසියා-පැසිෆික් රටවල් අතරින් ඉහලම අගයක් බවත් ය.

ආහාර, ඖෂධ සහ අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය දෑ ආවරනය කිරීම සඳහා පමනක්, ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක්, ඔරොත්තු දිය නොහැකි ආකාරයේ නය ගැනීම් වලට යොමු වී ඇත.

“පිරිවැය පිලිබිඹු කරන මිලකරනය” සඳහා වන අයිඑම්එෆ් ඉල්ලීම්වලට අනුකූල ව, 2022 සිට උපයෝගිතා මිල ගනන් නාටකාකාර ලෙස ඉහල ගොස් තිබේ. 2022 අගෝස්තු සහ 2024 ජූලි අතර විදුලි බිල පමනක් සියයට 159 කින් ඉහල ගියේ ය.

2025 ජනවාරි මාසයේ දී ජවිපෙ/ජාජබ ආන්ඩුව විදුලි බිල සියයට 20 කින් අඩු කරන බව නිවේදනය කල ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එය ආපසු හරවන ලෙස ඉල්ලා සිටියේ ය. තම වැඩසටහනෙන් බැහැර වීමකට මෙම ආයතනයේ සතුරුකම කෙතරම්ද යත්, ආන්ඩුව තම ගමන් මග වෙනස් කරන තෙක්, ඇප නයේ සිව්වන වාරිකය නිකුත් කිරීම අත්හිටුවන ලදි. දිසානායක පාලනය ඊට එකඟ වෙමින්,  ජුනි මාසයේ දී විදුලි බිල සියයට 18.3 කින් වැඩි කලේ ය.

සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සුභසාධන සහනාධාර සඳහා තවදුරටත් වියදම් කප්පාදු කිරීම සඳහා වන විධානයන් සමඟ අයිඑම්එෆ් හි දරුනුත ම ප්‍රහාර ඉදිරියේ එල්ලවීමට නියමිත ය. ප්‍රධාන ආයතන 52 කින් ආරම්භ වන රාජ්‍ය ව්‍යවසායන් (රාව්‍ය) 400 ක ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීමට පොරොන්දු වෙමින්, ආන්ඩුව, ජුනි මාසයේ දී, අයිඑම්එෆ් සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් මත එකඟත්වයට පැමිනියේ ය. මෙම ක්‍රියාමාර්ග අනිවාර්යයෙන් ම රට පුරා දැවැන්ත විරැකියාවකට හේතු වනු ඇත.

අඩු පොලී අනුපාත, නියාමනය ඉවත් කිරීම සහ හිතකර බදු තන්ත්‍ර හරහා මහා ව්‍යාපාරිකයන් සහ සංගත ප්‍රභූන් තවදුරටත් පොහොසත් කිරීමත්, මහජනතාව දුප්පත්කමට ඇද දැමීමත් හරහා, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ආරම්භයේ දක්නට ලැබුනු රටාව දිගට ම ඉදිරියට යයි.

කොවිඩ්-19 සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව නැටෝ හි වක්‍ර යුද්ධය හේතුවෙන් ඇති වූ ගෝලීය අර්බුදයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2022 මුල් භාගයේ දී කඩා වැටුනු අතර, ආහාර හා ඉන්ධන හිඟයකට සහ දීර්ඝ විදුලි කප්පාදුවලට මෙහෙයවිනි. මෙය රාජපක්ෂ ආන්ඩුව බලයෙන් පහ කිරීමට හේතු වූ ආන්ඩු-විරෝධී මහජන විරෝධතාවලට හේතු විනි.

කෙසේ වෙතත්, 2022 පලමු කාර්තුවේ දී, මහා ව්‍යාපාර, ලාභයේ දැවැන්ත වැඩිවීමක් වාර්තා කලේය. 2021 එම කාර්තුවට සාපේක්ෂ ව, ආහාර පාන වර්ග සහ දුම්කොල කර්මාන්තයේ ඉපැයීම්වල සියයට 303 ක වර්ධනයක් සමග ප්‍රාග්ධන භාන්ඩවල සියයට 210.2ක; විවිධාංගීකරනය වූ මූල්‍ය කෙෂත්‍රවල සියයට 138.8 ක; ප්‍රවාහනයේ සියයට 682.1 ක සහ පාරිභෝගික සේවාවල සියයට 173.6 ක වර්ධනයක් මෙයට ඇතුලත් විය.

මෙම ක්‍රියාවලීන්—කම්කරු පන්තිය සහ දුප්පතුන්ගේ ගැඹුරු වන සූරා කෑම සහ දරිද්‍රතාව හරහා සංගත ප්‍රභූව තවදුරටත් පොහොසත් කිරීම—ධනේශ්වර ක්‍රමයේ ඓතිහාසික බංකොලොත්භාවය පිලිබඳ තවත් හෙලිදරව්වකි.

ධනේශ්වර ක්‍රමය ප්‍රතිසංස්කරනය කරන ලෙස ඉල්ලා සිටීමෙන්, කම්කරු පන්තියට සහ ග්‍රාමීය දුප්පතුන්ට තම ජීවන තත්වයන් සහ සමාජ තත්වයන් ආරක්ෂා කර ගත නොහැක. ඒ වෙනුවට ඔවුන් සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන ව සංවිධානය වෙමින් ක්‍රියාත්මක විය යුතු ය.

ආන්ඩුවට බලපෑම් කර එහි ගමන් මග වෙනස් කල හැකි බවට වෘත්තීය සමිති නිලධරයන් කරන නිරර්ථක ප්‍රකාශ, තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරුවන් විසින් සිදු කරනු ලබන සැබෑ අරගලයක වර්ධනය මැඩීමට හිතාමතා ම දරන උත්සාහයකි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන් සහ ග්‍රාමීය ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටින්නේ, සෑම වැඩබිමක ම, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශයක ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙසයි. මෙම කමිටු කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය කල යුතුවාක් මෙන් ම, අයිඑම්එෆ් හි නියෝජිතයන් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නිලධරය ඇතුලු ධනේශ්වර සංස්ථාපිතයේ සියලු කොටස්වල බලපෑමෙන් නිදහස් විය යුතු ය.

වැඩ කරන ජනතාව මුහුන දෙන තීරනාත්මක අභියෝගවලට සැබවින් ම මුහුන දීමට නම්, ඔවුන් අයිඑම්එෆ් කප්පාදු ප්‍රතික්ෂේප කල යුතු අතර විදේශ නය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටිය යුතු ය. බැංකු, විශාල සමාගම් සහ වතු පොදු අයිතියට සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුවන්ගේ පාලනයට යටත් කල යුතු ය.

මෙම කමිටුවල නියෝජිතයින්ගෙන් සැදුම් ලබන, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම සඳහා සසප කැඳවුම් කරයි. සමාජවාදය සඳහා පුලුල් ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් ලෙස, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කැප වී සිටින කම්කරුවන් සහ ගොවීන් විසින් මෙහෙයවනු ලබන ආන්ඩුවක් සඳහා අඩිතාලම දමමින්, ඒකාබද්ධ සමාජවාදී උපාය මාර්ගයක් වර්ධනය කිරීම සඳහා මෙම සම්මේලනය වේදිකාවක් ලෙස සේවය කරනු ඇත.

Loading