ශ්‍රී ලංකාවේ වයඹ පලාතේ හලාවතට ආසන්නයේ පිහිටි තොඩුවාව ධීවර ගම්මානයේ ජනතාවගේ දෛනික ජීවිතය, දිවයිනේ බහුතර ගම්බද ජනයා මුහුන දෙන දුෂ්කරතාවන් පිලිබඳ චිත්‍රයක් සම්පාදනය කරයි.
බටහිර වෙරල තීරයේ පිහිටි නිසා, දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි දස දහස් ගනන් මරනයට පත් වූ හා වෙරලබඩ ප්‍රජාවන් විනාශයට පත් වූ 2004 දෙසැම්බර් සුනාමියෙන් තොඩුවාව විනාශයට පත් නො වී ය.
එසේ වුවත් මේ ප්‍රදේශයේ ධීවර ජනතාව මිල ගනන් ඉහල යෑම, විශේෂයෙන් ඉන්ධන මිල, පහල සේවාවන් සහ සිවිල් යුද්ධය යලි වැඩීමේ අන්ත්‍රායන්ට මුහුන දී සිටී.
කෙනෙකු තොඩුවාවට ලඟාවීමට කොලඹ සිට කි.මී.
65ක් උතුරින් පිහිටි මහවැව හන්දියේ සිට බස් රථයක හෝ පුද්ගලික මගී ප්‍රවාහන වෑන් රථයක යායුතු ය.
සෑම පැය බාගයකටම වරක් බස් රථය හෝ වෑන් රථය හෝ දුර්වල පාලම් සහිත අබලන් පාරක් ඔස්සේ කි.මී.
10ක් දුර මන්දගාමී ගමනක යෙදේ.
ගම්මානයේ පවුල් 1700න් 1500ක් ධීවර කර්මාන්තයෙන් යැපේ. බොහෝ ධීවරයන් පාවිච්චි කරන්නේ තෙප්පම් හෝ ලීවලින් හෝ ෆයිබර්ග්ලාස්වලින් තැනූ වර්ග මීටර් 2.5 ං 1.2 පහුරුය.
කුඩා එන්ජිං බෝට්ටු 100ක් ලොකු එන්ජිං බෝට්ටු 50ක් සහ තෙප්පම් 230ක් පමන තොඩුවාවේ තිබේ.
විශේෂයෙන් තෙප්පම් හා ලොකු බෝට්ටුවල රැ කියාවේ නියුතු ධීවරයන්ට ජීවිතය සරිකර ගැනීම කටුක අරගලයකි. කොතරම් මහන්සි වී වැඩ කලත්, බහුතරයක් ජීවත් වන්නේ ජලය හා අනෙකුත් සනීපාරක්ෂක පහසුකම් නොමැති, පොල්අතු සෙවිිලි කල පහසුවෙන් කැඩෙන ලීයෙන් තැනූ නිවාසවල ය.
තෙප්පමක යාමට පිලිවන් ධීවරයන් දෙදෙනෙකුට පමනි. බොහෝ අවස්ථාවල ඒවා මෙහෙයවන්නේ තනි ධීවරයෙකු විසිනි. දැල් සමග තෙප්පමක් දියත් කිරීම අමාරු කාර්යයකි. සමහර අවස්ථාවල තුවාල සිදු කරමින් තෙප්පම රැල්ලට හසු වී පෙරලී යයි. මෙම යාත්‍රාව භාවිතා කල හැක්කේ වලාල කාලයේ දී පමනි.
වාරකන් කාලයේ දී ධීවරයන්ට රටේ නැගෙනහිර වෙරල තීරයට හෝ උතුරු මැද පලාතේ වැව් රස්සා කිරීමට යෑමට සිදු වේ. එසේ නොමැති වුවහොත් ජීවත් වීම සඳහා එදිනෙදා කුලී වැඩ කිරීමට සිදු වේ.
ගම්මානයේ අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් සීමා සහිත ය. ප්‍රමානවත් නොවන ගුරුවරු සහ උපකරන, අබලන් ගොඩනැගිලි සහිත පාසලක් තිබේ. රජයේ ඩිස්පෙන්සරියේ වෛද්‍යවරයෙක් සිටින මුත් අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය බොහොමයක් නොමැත. බොහෝමයක් පවුල්වල දරුවන් අධ්‍යාපනය ලබන්නේ 8 වසර හෝ 9 වසර දක්වා පමනි.
ලෝසවෙඅ සමග අදහස් ප්‍රකාශ කරමින් තොඩුවාව ධීවරයෝ තෙල් මිල දිගින් දිගට ම වැඩි වීම හා යුද්ධයේ වැඩෙන අනතුර පිලිබඳව සිය කෝපය ප්‍රකාශ කලහ.
ධීවර යාත්‍රාවල හා ධීවර ආම්පන්නවල අධික මිල සුදුසු ධීවර වරායන් හා නැංගුරම්පලවල් අප්‍රමානවත් -- නොමැතිකම -- අනාරක්ෂිත රැකියා කොන්දේසි සහ පහල මාලු අස්වැන්න පිලිබඳව ඔවුන් පැමිනිලි කලේ ය.
වසර 30ක් තිස්සේ තෙප්පම් ධීවරයෙක් ලෙස රැ කියා කරන වයස 55 වන වර්නකුලසූරිය රෝගුස් ඔවුන්ගේ අවිනිශ්චිත අනාගතය ගැන පැහැදිලි කලේ ය. “මේක තමයි අපි දන්න රස්සාව. අපි දන්නෑ හෙට මොකක් වෙයිද කියලා. මාලු අහුවුනොත් එදා වේල පිරිමහගන්නවා. නැත්තං අපිට නය වෙන්න වෙනවා.
සමහරදාට රුපියල් 300-400 ආදායමක් තියෙනවා.
සමහරදාට අපේ ගෙදර හොද්දටවත් මාලු නෑ.” වාරකන් කාලයේ දී ඔහු ප්‍රධාන වසයෙන් කරන්නේ ගඟේ ඉස්සන් ඇල්ලීම. නමුත් පුද්ගලික ඉස්සන් වගාවේ (ඉස්සෝ කොටු තරගය) නිසා ඔහුගේ ආදායම සැලකිය යුතු ලෙස පහල වැටිලා.
තිස් වියැති දෙදරු පියෙකු වන ජේ.කේ. අනිල් ඔහුගේ ජීවිතය ගැන විස්තර කලේ ය. “මා ඉගෙන ගත්තේ 9 වසර දක්වා පමනයි. ඊට පස්සේ මගේ තාත්තත් එක්ක මූදු රස්සා පටන් ගත්තා. තාත්තටත් තෙප්පමක් තිබුනා. ඒ දවස්වල ජීවත් වන එක මෙච්චර අමාරු නෑ. අපට මාලු අහුවුනා. මාත් මාදුරු ඔයේ (උතුරු මැද පලාතේ වැව්වල) රස්සාව කලා.“මගේ පලමු දරුවා ලැබුනායින් පසුව මා නැවත ගමට ආවා. මූදු රස්සා කරන්න. වැව් රස්සාව අමාරුවුනා. ප්‍රවාහන පහසුකම් තිබුනෙ නැහැ.
වෛද්‍යවරු සිටියෙ නැහැ.
“සමහරදාට මගේ තෙප්පම දියකඩට අහුවෙලා කිමී 10 විතර ඈතට ගහගෙන යනවා. එතකොට ගොඩට එන එක හරි අමාරුයි. මොකද අපිට එන්ජිං නැති නිසා. තෙල් මිල දිගින් දිගටම ඉහල යෑම නිසා සමහර බෝට්ටු කාරයෝ බෝට්ටු විකුනලා තෙප්පම් රස්සාව කරනවා.” ධීවරයින්ව ප්‍රධාන දේශපාලන පක්ෂවල දේශපාලනඥයන් විසින් රැවටූ ආකාරය ඔහු පැහැදිලි කලේ: “මැතිවරනයක් ලං වෙන කොට එක්සත් ජාතික පක්ෂය (එජාප), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) දේශපාලනඥයෝ ඇවිල්ල කියනවා තෙප්පම් දෙනවා බෝට්ටු දෙනවා කියලා. ආයේ ඊලඟ මැතිවරනයටත් ඒකම කියනවා. නමුත් අපට මුකුත් ලැබුනේ නැහැ.
පසුගිය ජනාධිපතිවරනය (නොවැම්බර්) දවස්වල ආන්ඩුව අපේ ගමේ ධීවර වරායක් හදන්න පටන් ගත්තා.
නමුත් ඒක හදල ඉවර වෙනකන් අපිට ඔවුන්ව විශ්වාස කරන්න බැහැ.” ගැඹරු ම ු හු දෙු මාලු ඇල ් ල් මී ලොකු එන්ජිං බෝට්ටුවල රැකියා කරන ධීවරයින්ට සමහර විට මාසයක් පමන කාලයක් ඔවුන්ගේ නිවෙස්වලින් පිට නැවතී සිටීමට සිදු වේ. විසිතුන් වියැති පියල් සම්පත් මෙසේ පැවසීය. “අපි පස්දෙනෙක් අපේ බෝට්ටුවේ යනවා. ඒක හරිම අමාරු රස්සාවක්.
අපි වතුර ගෙනියන්නේ බොන්න විතරයි. ඒනිසා අපිට මාසයක්ම නාන්න නෑ. අපිට නිදාගන්න පුලුවන් දවසකට පැය දෙකක් පමනයි. අපි නිතරම අසනීප වෙනවා. තුවාල වෙනවා නමුත් අපිට මුහුදේ ම ඉන්න වෙනවා. සමහර වෙලාවල්වල දී අසාද්‍යවෙනවා. ගිය අවුරුද්දේ මුහුදේ දී කොලරාව හැදිලා ඉරනවිල (අල්ලපු ගම) ධීවරයෙක් මැරුනා.” මූදු ගිහින් ආවහම බෝට්ටු මුදලාලි තෙල්වලටයි කෑමවලටයි වියදම ආදායමෙන් අඩු කරනවා.
ඉතිරියෙන් සියයට 55ක් ඔහු අරගෙන ඉතිරි 45% පමනයි ධීවරයන් අතර බෙදන්නේ. බෝට්ටුවේ පාලකයට (ඉස්තීරේ) අමතර මුදලක් ලැබෙනවා. මාලු අස්වැන්න වියදම පියවා ගැනීමට ප්‍රමානවත් නොවුව හොත් ධීවරයන්ට කිසිවක් ලැබෙන්නේ නැහැ. හිඟ වියදම ඊලඟපාර වියදමට එකතු කරනවා.
සම්පත් තව දුරටත් පැහැදිලි කරමින්: “මාසයක් විතර ගෙදරින් ඈත් වෙලා ඉන්නකොට අපිට ගෙවල් මතක් වෙනවා. හතර වටේම අපිට පේන්නේ මූද අපේ ගෙවල් එක්ක කතාබහ කරන්න විදිහක් නෑ. දවස් දෙකකට සැරයක් බෝට්ටු මුදලාලි ඉස්තීරේ සමග පමනක් (ගුවන් විදුලිය මගින්) කතා කරනවා. අපි පසුගිය ජනාධිපතිවරනයටත් හිටියේ මූදේ.” පනස් වියැති ඇන්ටනි ප්‍රනාන්දු කුඩා බෝට්ටුවක හිමිකරුවෙකි. ඉන්ධන හා ධීවර ආම්පන්න මිල දිගින් දිගටම ඉහල යෑම පිලිබඳව ඔහු පැමිනිලි කලේ ය. “ 1982 දී මගේ මුල්ම බෝට්ටුව ගත්තේ රු. 11,000ට.
නමුත් එම බෝට්ටුවම දැන් රු. 130,000ක් වෙනවා.
1982 දී භූමිතෙල් ලීටර් පහක් රු. 35යි. දැන් රු. 200යි.
අවුරුදු 3කට පෙර අපේ දවසක තෙල් වියදම රු.
600ක් විතර වුනා. දැන් එය 1700 දක්වා ඉහල නැගලා.
වසර 10ට පෙර අශ්වබල 25 එන්ජිමක් රු. 99,000යි.
දැන් අපිට රු. 247,000ක් ගෙවන්න වෙනවා. දැල් කට්ටලයක මිල රු. 45,000 සිට රු. 85,000 දක්වා ඒ කාලය තුල දීම ඉහල ගිහිල්ලා තියෙනවා.
ඔහු එල්ටීටීඊයට විරුද්ධව දියත් කල යුද්ධය හෙලාදුටුවේ ය. “යුද්දෙට කලින් අපි මෙහේ වාරකං කාලෙට අපි ත්‍රිකුනාමලේ ගියා. සටන් විරාම කාලයේ දී පමනයි අපට නැවත එහේ යෑමට හැකි වුනේ. මේ අවුරුද්දේ යන්න බැරිවෙයි වගේ. මොකද යුද්දේ ආයේ පටන් ගනී වගේ. යුද්දේ ඇතිවුනේ දෙමල මිනිස්සුන්ගේ අයිතිවාසිකම් නොලැබෙන නිසා. නැවත යුද්දේ ඇති වුනොත් ඒකෙන් කිසි යහපතක් වෙන්නේ නැහැ.
දුප්පත් තරුනයො සටනට යවනවා පමනයි.
තෙප්පම් ධීවරයෙක් වන නිරෝෂී දීපානිගේ සැමියා සුසිල් ඇන්ටනි පසුව මූදේදී සිදු වූ හදිසි අනතුරකින් පසුව කොලඹ ආසිරි පුද්ගලික රෝහලේ දී 2004 මාර්තු මාසයේ දී මිය ගියා. ඇය පැහැදිලි කරමින්: “මගේ සැමියා 2004 පෙබරවාරි 12 දා මූදු රස්සා ගිහිල්ලා එද්දී තෙප්පම රැල්ලට පෙරලිලා බරපතල ලෙස තුවාල වුනා. හලාවත මූලික රෝහලේ ඔහුට මාසයක් පමන ප්‍රතිකාර කලා. ආහාර මාර්ගයත් ගුද මාර්ගයත් තුවාල වෙලා කියල (දෙකඩවී) වෛද්‍යවරු කිව්වා. ඔහුගේ එක වකුගඩුවක් දරුනු ලෙස හානියට පත්වී ඉවත් කරන්න සිදු වුනා. පසුව ඔහුව කොලඹ කලුබෝවිල මහා රෝහලට මාරු කෙරුවා. ලංකාවේ හොඳම වෛද්‍යවරු කිව්වා ඔහුගේ ජීවිතය අවිනිශ්චිත බව.
සුසිල්ගේත් ඉල්ලීම පිට ඔහුව ආසිරි එකට ගෙනාවා.
“ආසිරි එකේදී ඔහු ශල්‍යකර්මයකට භාජනය වුනා.
දවස් 18ක මුලු බිල රු. 507,022ක් වුනා. ඔහු මැරෙන්න කලින් මගේ රත්තරං බඩු උකස් කරලා රු. 180,000ක් ගෙව්වා. බිල මෙච්චර ලොකු බිලක් එයි කියල මා හිතුවෙ නැහැ. නමුත් සම්පූර්න බිල ගෙවන තෙක් ආසිරි එකෙන් මිනිය දෙන්න බැහැ කිව්වා. හලාවත බිෂොප් රු.100,000ක් දුන්නා. ගම්වාසීන් තවත් මුදලක් ආධාර කෙරුවා. ඉතිරි මුදල් සම්පූර්න කරගන්න මට ගෙදර බඩුමුට්ටු විකුනන්න වුනා. ඔහු මියගිහින් දවස් තුනක් යනකං මිනිය ගන්න බැරි වුනා.දැන් සිය පවුලේ නඩත්තුව සඳහා ප්‍රදේශයේ සති පොලවල කරවල විකුනන දීපානි බොහෝ සෙයින් ඇගේ නෑදෑයන්ගේ සහ අසල්වැසියන්ගේ උපකාරවලින් යැපෙන්නී ය. ඇගේ 11වියැති දුව හා 7 වියැති පුතාත් පාසල්යති. ඇයට තවම සමෘධි සහනාධාරය ලැබී නොමැත.
ඩබ්ලිව්. චන්ද්‍රාගේ සැමියා තෙප්පම් ධීවරයෙක්ව සිටියේ ය. නමුත් ෆයිබර්ග්ලාස් තෙප්පමක් මිලදී ගැනීම සඳහා ගත් නය මුදලක් පියවීම සඳහා දැන් ඔහු කිමී 100ක් දුරින් වූ කල්පිටියේ මුදලාලි කෙනෙක් ලඟ රැ කියාව කරයි. ඔහු ගෙදර එන්නේ මාස කීපයකට වරකි.
බහුතරයක් ධීවරයෝ නිල දේශපාලනය කල අතර විශේෂයෙන් ප්‍රධාන පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය කෙරෙහි සිය පිලිකුල ප්‍රකාශ කලහ. එජාපය හා ශ්‍රීලනිපය කෙරෙහි අප්‍රසාදය ගසා කමින් සිටින ජනතා විමුක්ති පෙරමුන පිලිබඳව ද ඔවුන් සිය කෝපය ප්‍රකාශ කලහ. 2004 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වකරු ලෙස පලමු වතාවට බලයට පත්වූ ජවිපෙට ධීවර අමාත්‍යංශයත් ඇතුලත්ව අමාත්‍යංශ හතරක් ලැබුනි.
සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වයන් නගා සිටුවීම පිලිබඳ වූ මැතිවරන පෝරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම නිසා කෙටි කාලයක් තුල ජවිපෙ සමාජ පදනම ඛාදනය විය. ඔවුන්ට උදව් කිරීම ප්‍රතික්ෂේප කිරීම පිලිබඳව තොඩුවාව ජනතාව විශේෂයෙන්, ධීවර ඇමති කෙරෙහි කෝපයෙන් සිටිති.
2004 මහා මැතිවරනය අතරතුර ජවිපෙ ග්‍රාමීය සංවිධායකයා ලෙස සිටි පී.ටී. විජේ ජයලත් මේ වන විට පක්ෂය එපා වී සිටී. “ජවිපෙ 2004 දී තොඩුවාවේදී පැවැත්වූ රැස්වීමක දී පක්ෂ නායකයින්, වාරකන් කාලයේ දී ධීවරයන්ට සහනාධාර, වරායක් සහ ඉන්ධන සහනාධාරයක් ඇතුලු පොරොන්දු කීපයක් දුන්නා.
නමුත් මොකුත් කරලා නැහැ. ඉන්ධන සහනාධාරය ලොකු බෝට්ටු අයිතිකාරයන් අතට ගියා. ජවිපේත් අනෙක් පක්ෂ දෙක වගේ තමයි. 2005 ජනාධිපතිවරනයට තරග කෙරුවේ නැතොත් ඔවුන් පරදින බව දන්න නිසයි.” දේශපාලන සංස්ථාපිතයෙන් දුරස්ථ වීම දෙසට තොඩුවාව ධීවර ජනතාව තුලින් ප්‍රකාශිත වූ තත්වය සහ පරිහානියට පත්වෙන ජීවන කොන්දේසි පිලිබඳ ඔවුන්ගේ කනස්සල්ල දිවයින පුරාම පුලුල් ගැමි ජන ස්තරයක මනෝගතියේ ප්‍රකාශනයකි.
3
[මෙය 2006 පෙබරවාරි 01 වැනි දින On-the-spot report from a Sri Lankan fishing village යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
